සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඔබ සතු යුතු පුරුදු දහතුනක්

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම තරමක් දුෂ්කර බව පෙනුනත් එයට ඔබේ ජීවිතයට නව වෙනසක් ගෙන දෙන්නට පුළුවන්. ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න එකක් බවට පත්කර ගැනීම සඳහා ඔබට හුරුවිය හැකි පුරුදු බොහොමයක් තිබෙනවා. මේවා සියල්ල එකවරම ජීවිතයට එකතු කරගන්නට බැහැ. ඔබ පියවරෙන් පියවර ක්‍රමානුකූලව මේවා ජීවිතයට එකතු කර ගැනීමෙන් ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න සහ  ඵලදායි එකක් බවට පත් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. එවැනි පුරුදු 13 ක් ගැනයි අද අපි ඔබට කියන්නේ.

ඇවිදින්න 

දිනකට පියවර දහදාහක් ඇවිදින්න ඔබට පුළුවන්ද ? යමක් ක්‍රමයෙන් පුරුදු විය හැකි මේ පුරුද්ද ඔබ දිගටම කරගෙන ගියොත් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක් තියෙනවා. ඔබේ බර නිසි ලෙස පවත්වාගෙන යන්න වගේම ශරීරයේ අනවශ්‍ය බර වැඩිවීම වළක්වා ගන්නත් , ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්නත් ඔබට මෙයින් හැකියාව ලැබෙනවා.

ව්‍යායාම කරන්න 

සතියේ දින හතෙන් දින පහක් වත් ඉතා හොඳ ව්‍යායාම රටාවකට හුරු වීම ඔබට හැම අතින්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙනවා. මෙසේ ව්‍යායාම කිරීමෙන් ඔබේ මාංශ පේශීන් ශක්තිමත් වීම , ශරීරයේ ක්‍රියාශීලීත්වය වැඩි වීම සහ බර පාලනය වීම සිදු වෙනවා.

නිදාගන්න

නින්ද කියන්නේ පුද්ගලයෙකුට අත්‍යවශ්‍යම දෙයක්.කාර්යබහුල ජීවිතයක් අවසානයේදී හොඳ නින්දක් ලබා ගන්නවා කියන්නේ දවස පුරාවට අවිවේකීව ගත කරපු ඔබේ ශරීරයට ලැබෙන ඉතාම හොඳ විවේකයක්. දිනකට පැය හතක් අටක් අතර කාලයක් ගුණාත්මක නින්දක් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වන්නේ ඒ නිසයි.

පලතුරු කන්න

පලතුරු වලින් ඔබේ ශරීරයට ලැබෙන අත්‍යවශ්‍ය පෝෂක සහ විටමින් වර්ග බොහොමයක් තියෙනවා.එනිසා දෛනිකව ඔබේ ආහාර වේලට අවම වශයෙන් එක පළතුරක් හෝ එකතු කර ගන්න අමතක කරන්න එපා. ඔබ ගන්නා ස්නැක් වර්ග වෙනුවට වගේම පැණි රස බීම වර්ග වෙනුවට පලතුරක් ආහාරයට ගන්න ඔබට පුළුවන්.

එළවළු කන්න 

ඔබේ ප්‍රධාන ආහාර වේල් 3 අනිවාර්යයෙන්ම සමබල ආහාර වේල් තුනක් බවට ඔබ සහතික කරගත යුතුයි. එයින් ඔබගේ දෛනික පෝෂ්‍ය පදාර්ථ වල අවශ්‍යතාවය සපුරා ගන්න ඔබට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම අවම වශයෙන් හොඳ එළවළු වර්ග තුනක් ඔබේ ආහාර වලට එකතු කර ගන්න.

Morning routine එකකට හුරු වෙන්න 

සමහර වෙලාවට ඔබේ දවසේ කාර්යබහුලම වේලාව උදෑසන කාලය වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි නිසි සැලසුමක් උදෑසන කාලය ගැන නොමැති වීම. නමුත් අවදිවන වේලාවේ පටන් රැකියාවට යන තෙක්ම හොඳ Morning routine එකක් ඔබට තිබෙනවා නම් ඔබේ ජීවිතය වඩාත් පහසු වේවි.

Skin care routine 

සෑම උදෑසනකම සහ රාත්‍රී කාලයකදීම කල හැකි Skin care routine  එකක් සකස් කර ගන්න.මෙය ඔබේ සම ඉතා හොඳින් පවත්වාගෙන යාමට වගේම ඔබේ පෙනුම වර්ධනය කර ගැනීමටත් ඔබට ඔබ පිළිබඳවම හොඳ හැඟීමක් දැනීමටත් හේතු වනවා.

වාතාශ්‍රය ලබා ගන්න

අළුයම් කාලයේ පරිසර දූෂණය බොහෝ දුරට අවම නිසා නැවුම් වාතාශ්‍රය ලබා ගැනීමට හොඳම කාලය තමයි අළුයම් කාලය කියන්නේ. ඉතින් එවැනි වෙලාවකට එළිමහනට ගොස් මද වේලාවක් ඇවිදීමෙන් හෝ වාඩිවී සිටීමෙන් නැවුම් වාතාශ්‍රය ලබා ගන්න.

වතුර බොන්න

ශරීරය සජලීයව තබා ගන්න දෛනිකව ඔබට අවශ්‍ය වන වතුර ප්‍රමාණය ලබා ගැනීම අතිශයින්ම වැදගත්. ඔබ මොනතරම් කාර්ය බහුල කෙනෙක් වුණත් නිතර නිතර වතුර පානය කිරීම ගැන සැලකිලිමත් වන්න. අවම වශයෙන් දවසට වතුර වීදුරු අටක් පානය කරන්න කියලා තමයි වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ. මීට අමතරව ඉහළ ජල අන්තර්ගතයක් තියෙන පිපිඤ්ඤා , කොමඩු වැනි ආහාර වර්ගත් ඔබට ලබා ගන්නට පුළුවන්.

දුරකථනය විසන්ධි කරන්න 

මේක බොහෝ දෙනෙකුට පුරුදු වෙන්න තරමක් අමාරු පුරුද්දක්. නමුත් දිනකට අවම වශයෙන් පැයක කාලයක් වත් දුරකථනය විසන්ධි කරලා ඔබ ඔබේම කාලයක් ගත කිරීම අතිශයින්ම වැදගත්. මේ පුරුද්ද  ඔබේ ජීවිතයට එකතු කර ගන්නවා නම් දුරකථන ඇමතුම් වලින් , සමාජ මාධ්‍ය වලින් තොර ජීවිතයක් මොනතරම් සැහැල්ලුද කියලා ඔබට දැනෙන්නට පටන් ගනීවි.

කියවන්න 

කියවීම ඔබේ ජීවිතයට බොහෝ දේ ලබා දෙන අතර ඔබට හොඳ අභිප්‍රේරණයක් ලබා දෙන පොතක පිටු කිහිපයක් හෝ දිනකට කියවීම පුරුද්දක් කරන්න. එසේත් නැතිනම් හොඳ සඟරාවක් හෝ පත්තරයක් , වෙබ් අඩවියක ලිපියක් වැනි ඔබේ ජීවිතයට ධනාත්මක දෙයක් එකතු කරගත හැකි යමක් සෑම උදෑසනකම වේලාවක් වෙන් කරගෙන කියවන්න.

ආහාර පිසින්න

ඔබ ගන්නා සියලු ආහාර හැකිතාක් නිවසේම පිසීමට වග බලා ගන්න. ආහාර පිසීම සැලසුම් කර ගත් විට එය එතරම් අමාරු කාර්යයක් වන්නේ නැහැ. මෙම පුරුද්ද ඇති කර ගැනීම මගින් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක් දිනපතා ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා වගේම ඔබේ මුදල් බොහෝ දුරට ඉතිරි කර ගැනීමට පුළුවන්.

විටමින් ලබා ගන්න 

සමහර වෙලාවට අප කොතරම් සමබල ආහාර වේලක් ලබා ගත්තත් එයින් අපේ දෛනික විටමින් අවශ්‍යතාවය සපුරා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත අවශ්‍ය විටමින් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

මෙවැනි පුරුදු යමක් ක්‍රමයෙන් ඔබේ ජීවිතයට එකතු කර ගැනීම මගින් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායි ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව සහ කැපවීම පමණයි.

Related Articles

Don't Miss


Latest Articles