සැලසුම් සහගත සතියකට සූදානම් වෙමු..

සාර්ථක සතියක් ගත කරන්න නම් ඔබට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තියෙන්නට ඕනේ. සතිය ආරම්භ වන විට ඔබට බොහෝ සැලසුම් තිබුණත් සමහර ඒවා සතිය අවසාන වන විට මග හැරී තිබෙන්නට පුළුවන්. ඒ මගහැරීම් වළක්වා ගන්නට ඔබට කළ හැකි හොඳම දේ තමයි ඔබ වඩාත් සැලසුම් සහගත වීම. ඒකට හොඳම දවස තමයි ඉරිදා දවස කියන්නේ. හොඳින් සැලසුම් කරගත් සතියකට කොහොමද ඉරිදා දවසේදී සූදානම් වෙන්නේ ?ඒ ගැන අපි කතා කරමු.

දවස පුරාම නිදාගන්න එපා 

ඉරිදා යනු විවේකී දිනයක් වුණත් ඒ විවේකය සඳහා ඔබේ මුළු දවසම නාස්ති කර දැමීම නිශ්ඵල ක්‍රියාවක්. උදෑසන කාලයේදී ඔබ පැයක් හෝ දෙකක් වෙනදාට වඩා වැඩිපුර නින්ද සඳහා ගත කළත් ඉන්පසු කාල වේලාව ඔබ වෙනුවෙන් ඔබට ගත කරන්නට පුළුවන්. ඒ නිසා නිදා ගැනීම සහ විවේක ගැනීම සඳහා සම්පූර්ණ දවසම ගත කරන්න එපා.

ගෙවුණු සතිය ගැන හිතන්න 

පසුගිය සතිය සමාලෝචනය කිරීම සඳහා හොඳම දවස වන්නේ ඉරිදා දවසයි. ගෙවුණු දිනයන් ඔබ ගත කළ ආකාරය , ඔබ නිම කරන ලද දේවල් , ඔබට නිම කිරීමට නොහැකි වූ දේවල් , ඔබට මගහැරුණු දේවල් සහ ඔබට කරන්නට ඇති දේවල් පිළිබඳව අදහසක් ලබා ගන්න ඔබට ඉරිදා දවසෙන් වෙලාවක් වෙන් කරන්න පුළුවන්.

ඔබේ ඉදිරි සතියේ ඉලක්ක ලැයිස්තු ගත කරන්න 

ඔබට ඉදිරි සතියේදී සාමාන්‍ය දින චර්යාවට වඩා වෙනත් වැඩ කටයුතු යෙදී තිබෙන්නට පුළුවන්. බඩු මිලදී ගැනීමට යාම , බිල්පත් ගෙවීම , රූපලාවණ්‍යාගාරයට යාම , සෞඛ්‍ය පරීක්ෂණ , සාද හෝ රැස්වීම් වැනි කටයුතු විශේෂයෙන් යෙදී තිබේ නම් ඒවා ලැයිස්තුවට එකතු කරන්න. 

සැලසුම් කරන්න 

ඔබේ ඉලක්ක ලැයිස්තු ගත කළ පසුව ඔබ සම්පූර්ණ කළ යුතු වැඩ ප්‍රමාණය පිළිබඳව ඔබට දළ අදහසක් ලැබෙනවා. මීළඟට ඔබ කළ යුතු වන්නේ එම වැඩ සැලසුම් කර ගැනීමයි. ඒවා කළ යුතු දිනයන් සහ වේලාවන් , බිල්පත් ගෙවීමට තිබෙනවා නම් ඒවාට සූදානම් කර තබා ගත යුතු  මුදල් ප්‍රමාණය ආදි සියල්ල ඔබේ සැලසුමේ සටහන් කරන්න.

සතිපතා අයවැය සකස් කරන්න 

සෑම ඉරිදා දිනකම ඔබ සතු මුදල් ප්‍රමාණය පරීක්ෂා කර බලා ඔබේ සතිපතා අයවැය සකස් කරන්න. පසුගිය සතියේ ආහාර පාන සඳහා , ගමන් වියදම් සඳහා සහ වෙනත් කටයුතු සඳහා ඔබට වියදම් වී ඇති මුදල් ප්‍රමාණ සටහන් කර ගන්න. ඒ වගේම ඉදිරි සතියේ වියදම් සඳහා ඔබ සතුව ප්‍රමාණවත් මුදල් ඇත්දැයි පරීක්ෂා කරන්න.

ඔබේ ආහාර වේල් සැලසුම් කරන්න 

ඔබ ඉදිරි සතිය තුළ ආහාරයට ගන්නේ මොනවාදැයි සැලසුම් කර තිබීම සතිය තුළදී ඔබේ කාලය ඉතිරි කර ගැනීමට හේතුවක් වෙනවා. එසේ සැලසුම් කර තිබීමේ දී උදෑසන කාලයේදී ඔබට සකස් කල යුතු ආහාර මොනවාදැයි සිතමින් කාලය ගත කළ යුතු වන්නේ නැහැ. ඔබට මුළු සතියක් සඳහාම මෙම සැලසුම සකස් කර තැබිය හැකි වන අතර දැනටමත් නිවසේ ඉතිරිව තිබෙන එළවළු පළතුරු සහ මස් මාලු වර්ග ආදිය ඉක්මනින් අවසන් කිරීම සඳහා ඒවා සතියේ මුල් දින කිහිපය තුළ සකස් කිරීමට සැලසුම් කළ යුතුයි.

සාප්පු සවාරි යන්න 

ඔබ ඔබේ ආහාර සියල්ල සැලසුම් කළ විට ඔබ සතුව දැනටමත් ඇති දේ සහ ඔබ මිලදී ගත යුතු වන දේවල් පිළිබඳව ඔබට යම් අදහසක් ලැබෙනවා. ඒ නිසා අවශ්‍ය දේවල් මිලදී ගැනීමට යාම සඳහා ඔබට ඉරිදා දිනයේ හවස් වරුව ගත කල හැකියි. 

සතිය සඳහා ඇඳුම් තෝරන්න 

ඔබ රැකියාවට යන කෙනෙක් නම් ඔබ ඔබේ ඇඳුම් පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙනවා ඇති.ඉරිදා දිනයේදී ඔබ ඉදිරි සතිය තුළ භාවිතා කිරීමට බලාපොරොත්තු වන ඇඳුම් තෝරා ඒවා සූදානම් කර තැබීම ඔබට විශාල පහසුවක් වෙන බවට සැකයක් නැහැ. ඒවාට ගැලපෙන ආභරණ, බෑග්, සපත්තු ආදියත් වෙන වෙනම සූදානම් කර තබන්න ඔබට පුළුවන්.

පිරිසිදු කිරීමේ කටයුතු කරන්න 

ඔබේ නිවස ඉතා හොඳින් පිරිසුදු කිරීමට ඉරිදා කියන්නේ ඉතාම හොඳ දිනයක්. සඳුදා දිනයේදී නැවුම්ව සතිය ආරම්භ කිරීමට හොඳ අභිප්‍රේරණයක් ලබා ගැනීම සඳහාත් ඔබට මේ පිරිසිදු කිරීම් කරන්නට පුළුවන්. ඔබේ මුදල් පසුම්බිය , අත් බෑගය , අල්මාරිය, ශීතකරණය සහ මුළුතැන්ගෙයි කබඩ් ආදියත් මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ ඇඳ ඇතිරිලි වෙනස් කිරීම , නිවසේ තිර රෙදි වෙනස් කිරීමත් ඔබට කළ හැකියි.

මේ දේවල් සඳහා ඔබ හුරු වෙනවා නම් ඔබට වෙහෙසකාරී සහ කලබලකාරී සතියක් ගත කරනවා වෙනුවට ඉතාම සැලසුම් සහගත සහ ඵලදායී සතියක් ගත කරන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles