ගමන අවසාන වන්නට පෙරාතුවම මාලිකාත් නිලංගාත් අධික වෙහෙසට පත්ව උන්නෝය.ගමනේ අවසාන භාගයේ වූයේ සෘජු නැග්මවල් සහ තද බෑවුම් ඇති කඳු කිහිපයකි. ගමනේ යෙදෙන සමහරක් අය අත සංචාරයන්හි රැගෙන යන යෂ්ටි ඇත. එවැන්නක් තිබුණේ නම් කෙතරම් පහසුදැයි නිලංගාටද සිතුණි.
“දැන් නම් ඇතිවගෙ…අප්පා..”
මාලිකා අවසාන කොටස ගියේ බ්‍රයන්ගේ වාරුවෙනි.නිලංගා කෙතරම් අසීරු වුවද ගමන හිතේ සවියෙන්ම අවසන් කළාය. බ්‍රයන් මාලිකාට වාරුවක් වූවාට තමාහට ස්ටීව් වෙතින් ගමනට වාරුවක් අනවශ්‍ය බව නිලංගා තීරණය කොට උන්නාය.ස්ටීව් ගමනේ අවසාන කොටසේදී තමා සමීපයෙන්ම ගමන් ගත්තේය. ඇත්තෙන්ම කිහිප වාරයක් වෙහෙස නිසාම පය පැකිළෙන විට නිලංගා නැවතුණාය.එවිට ඔහුද නැවතුණේය.ගතින් වාරුවක් නොවූවාට එය ඇත්තෙන්ම ගමනට දුන් වාරුවක්ම විය.
“හොඳ ගණන් …අපි දෙන්නා මෙතනින් බස් එකක් එනවා…ඒකෙ ගිහින් කා එක අරන් එනකල් ඔය දෙන්නා මේ කොෆි ශොප් එකේ ඉන්න.මොනවා හරි බීලම යනවද ස්ටීව් නැත්නම් මේ බස් එකට නගිමුද?”
බ්‍රයන් විමසීය.එම මාර්ගයේ දෙපසට ගමන් ගන්නා බස් රථයෙන් බොහෝ දෙනා සිය රථ නවත්වා ආ ස්ථානය වෙත යති. නැතහොත් ගමනේ ආපසු යාම අධික දුරක් හා වෙහෙසක්ම වෙයි.
“නෑ අපි යමු…මටත් ඕනෙ පුලුවන් තරම් ඉක්මනින් නවතින තැනට යන්න.වොෂ් එකක් දාගෙන මේ ඇඳුම් මාරු කරගන්න ඕනෙ…දාඩියත් එක්ක…”
ස්ටීව් පැවසුවේය. සුදු ජාතිකයන් වූ හෙයින් බ්‍රයන් සහ ස්ටීව් දෙදෙනාම ඒ වන විටත් රත්පැහැව ගත් වතින් යුතුව උන්නෝය.” තම්බපු ඉස්සො දෙන්නෙක් වගෙ..”යටි සිතින් සිතුණ සිතුවිල්ලට සිනායන්නට ආවද නිලංගා ඉවත බලා එය පාලනය කර ගත්තාය.නිලංගාගේ මුවෙහි නැගුණ අමුතුම සිනහව ස්ටීව් දුටුවේ බස් රියට නගින්නට මොහොතක් තබාය.
“අපි මොනව හරි බීලා… වොෂ් රූම් එහෙමත් පොඩ්ඩක් ගිහින් එමු…වතුර බිබී ඇවිදලා මට නම් ෆුල්..”මාලිකා නිලංගාගේ අතකින් ඇදගෙනම අවන්හල වෙත පිවිසුණාය.තරමක් සෙනග බහුල වුවද ඔවුන් දෙදෙනාහට ඉක්මනින් කවුන්ටරය වෙත යාහැකි විය.ඇණවුම් කළ පානයන් ද ගෙන අවන්හලට පිටතින් ඇති තුරු සෙවනට ආ යෙහෙළියන් දෙදෙන ලී බංකුවක විඩානිවන්නට ඉඳගත්තෝය.
“මගෙ කකුල් දෙක නම් නෑ වගේ නෙලී….”
මාලිකා කකුල් දෙක අතගාමින් පැවසුවාය. ගමන ඇවිද නතර වූ පසු ඒ අපහසුව වඩ වඩාත් දැනෙන්නට ගනී.නවාතැන් ගන්නා ස්ථානයට ගිය පසු උණුවතුරෙන් ගත දොවාගත යුතුය.එවිට බොහෝ අපහසු කම් නිවී යනු ඇත.
රිය පැමිණි පසු මාලිකා සහ නිලංගා රියේ පිටුපස අසුනට ගොඩවැදුණේද අපහසුවෙනි.පයක් ඔසවා පයක් තබන්නටත් අසීරු තරම් ය.විනාඩි පහළොවක පමණ කාලයකින් නවාතැන වෙත රිය ළඟාවිය.එය කුඩා ගෙවත්තක් සහිත කාමර තුනක නිවෙසකි.මේ ප්‍රදේශයේ විවිධ ස්ථාන වල මෙවන් නිවෙස් සංචාරකයන් වෙනුවෙන් වෙබ් අඩවි ඔස්සේ වෙන්කරවා ගැනීමේ පහසුකම ඇත.
“හරිම ලස්සන තැනක්නෙ..අර ඈතින් මූදත් පේනවා…”.නවාතැනෙහි මිදුලේ කෙළවර වූ ලී වැට අසළට ගිය නිලංගා කෑගැසුවාය. තව දුරටත් ස්ටීව් සිටීම හේතුවෙන් මුලු ගැන්වෙන්නියක වන්නට ඇයට අවශ්‍ය නොවීය.
“දැන් පැය ගාණක් මූද බල බල නේද අතන ඇවිද්දෙ…ඇතිවෙන්නෙ නැද්ද අප්පා…”
මාලිකා රියෙහි පිටුපස කොටසෙන් බෑගයන් පිටතට ගනිමින් පැවසුවාය.
“ඒ ළඟට පෙනුණ මූදට වඩා මේ ඈතින් පේන මූදෙ තියෙන්නෙ වෙනම ලස්සනක්…එන්නකො බලන්න මෙලා..”
නිලංගා ලී වැටට බරදී පැවසුවාය.
“මේ ඔය මූද උස්සන් යන කෙනෙක් නෑ…යං යං ඉස්සරවෙලා රූම්ස් වලට ගිහින් වොශ් දාල චේන්ජ් එකක් දාන් ඉම්මු…මට නම් ඇඳකට වැටෙන්නයි හිතෙන්නෙ…”
මාලිකා නවාතැන වෙතට පියමනිමින් පැවසුවාය. ඇය පසුපසින් නිලංගා ගෙතුළට පැමිණෙන විටත් ස්ටීව් ඔහුට වෙන්කළ කාමරයට ගොස් තිබුණි. මාලිකා සහ බ්‍රයන් එක කාමරයකත් නිලංගාට සහ ස්ටීව්හට වෙන වෙනම කාමර දෙකකුත් වන සේ නවාතැන තෝරාගෙන තිබුණි. නිලංගාට ලැබුණ කාමරයේ කුඩා ජනේලය විවෘත කළවිට ඈතින් ඇති මුහුද දක්වා දිවෙන තැනිතලාවක් මැද කුඩා පාරක් දිස්වේ.ඒ තැනිතලාවේ තැන තැන තණබිම්වල ඇතිකරනා බැටලුවන් දකින්නට ලැබුණේ කුඩා සුදු පුලුන් ගුලි සේය.නිලංගා අවට සිරි නැරඹීම පසෙක ලා නාන කාමරය වෙත පිවිස හොඳින් ස්නානය කළාය.ලුණු මිශ්‍ර සුලඟත් කෙලින්ම ගත වැකි අව් රශ්මියත් හේතුවෙන් ගත ඇලෙන සුලු සහ පිලිස්සුණ සුලු බවක් දැනේ.
සැන්දෑවේ කුඩා නිවහනේ ආලින්දයට සිව් දෙනාම එක්වූයේ රාත්‍රී ආහාරය සැකසෙන්නට පෝරණුව සූදානම් කර තබමිනි. මාලිකාද බ්‍රයන්ද බිම දැමූ ඝණ පොරෝණයක උනුන් වෙත ආසන්නව ගුලිවී උන්හ.දිවා කළ උණුසුම මැකෙමින් මඳ සීතලක් උදාවෙමින් ඇත. ආලින්දයේ පඩි කිහිපයක මුදුන් පඩියේ කුළුණකට පිටදී ඉඳගත් නිලංගා ඈත තැනිතලාවට සඳ පායා ඇති අයුරු බලා උන්නේ වශීකෘත වෙමිනි. සොබාදහම ජීවිතයේ සියලු දුක් දොම්නස් නිවා ලන ඔසුවක් බඳුය.සඳ එළිය පැතිර ඇති හෙයින් ඈත මුහුදේ රැළි නගනු යාන්තමින් පෙනෙයි.හුදෙකලා නැව් එළියක්ද ඒ අතරට දිස්වේ.
“නෙලී, බ්ලැන්කට් එකක් ඕනද?”
මාලිකා බ්‍රයන් වෙතින් මෑත්ව විමසමින්ම එය නිලංගා වෙතට විසිකළාය. අතදිගු කොට එය අල්ලාගත් නිලංගා ගත වැසෙන සේ එය පොරවා ගත්තාය. ආලින්දයේ කෙළවරක පුටුවකට වී බීර කෑනයක් තොළ ගාමින් උන් ස්ටීව් නුරුස්සන සුසුමක් හෙළීය.මෙතුවක් වේලා තමා අඳුරේ හිඳගෙන නැරඹූ ඇය දැන් දුඹුරු පැහැ ගුලියක් සේය.මින් මොහොතකට පෙර ඇය සුදු සහ කහ මල් ඉහිරී ගිය අත්දිගු ගවුමකින් සඳවතක් සේ බැබළෙමින් උන්නාය.දෙපා නවා ඒ මත නිකට තබා ගෙන ඈත මුහුදත් තැනිතලාවත් සඳත් බලමින් ඇගේම ලෝකයක තනිව උන්නාය.ඉඳහිටක දෙතොල් අග සැලුණේ ඇය ගීයක් බඳු යමක් මිමිණූ හෙයින් වන්නට ඇත.
මාලිකා,බ්‍රයන් සහ තමා බීර පානය කළද ඇය එය ප්‍රතික්ෂේප කළාය.කිසිවෙක් ඇයට බල කළේද නැත.ඒ වෙනුවට රැගෙන ආ කෝලා පානයක් ඇයම තෝරාගත්තාය. ඇගේම ලෝකයේ හුදෙකළා වෙමින් බිඳෙන් බිඳ එය පානය කළාය.එය බලා ඉන්නට අපූරු දසුනකි. ගමන ගොස් නවාතැනට ආ මොහොතේ පටන් ස්ටීව් සිය දුරකතනය අතට ගත්තේ නැත.ඒ වෙනුවට ඔහු ඇය ගේ බැල්ම හා යමින් අවට ඇති දෑ නිරික්ෂණය කළේය.මෙතුවක් කල් දුටු එහෙත් තමා “නොදුටු” ඉතා කුඩා දෙයෙහි පවා ඇති අපූරු සුන්දරත්වයන් ඔහු ඒ මොහොතේ දුටුවේය.
රාත්‍රිය උදාවත්ම සීතල වැඩිවෙමින් තිබිණ. මාලිකා ගේ අදහසට අනුව විසිත්ත කාමරයේ රාත්‍රී ආහාරය කුඩා මේසය මතට රැගෙන විත් පිළියෙළ විය. කෑම අතරේ කතාබහක් කළා නම් ඒ බ්‍රයන් සහ මාලිකා පමණක්ම විය. ඔවුන් දෙදෙනාහට එකකට එකක් පසුව එන මාතෘකා ඕනෑතරම් විය.ස්ටීව් ඉඳහිට බ්‍රයන් අසනා දෙයකට පිළිතුරු දුන්නා පමණි.
“ආච්චි ශේප්ලු ද ස්ටීව්.එයාගේ ගාඩියන් නැතුව සාංකාවද දන්නෑ..”
නිලංගා එවදන් සමගින් හිස ඔසවා ස්ටීව් දෙස බැලුවාය. තමා එක්වතාවක් පමණක් පෝලා වෙතින් මේරිමැඩම් ගැන විමසුවත් ඉන් පසු නෑසුවේ එය පෝලා වරදවා වටහාගනු ඇතැයි සිතාය.ඇය තමා ඇයව පරික්ෂා කරනු ඇතැයි සිතුවහොත් එය එතරම් සුදුසු නොවේ.
“පොඩ්ඩක් අවුලෙන් වගෙ උන්නලු.මෙයාව කීප පාරක් ඇහුවා කීවා. පෝලා මොනව හරි කියලා ශේප් කරගන්න ඇති…”
ස්ටීව් පැවසුවේ මඳ සිනහවකිනි. ආච්චී දිවා කාලයේ නෙලී නැතැයි කියා කළ කලබලය ගෙනහැර පෑවොත් මේ මහ රෑ ආපසු යන්නට ඕනෑ යයි නෙලී පවසනු ඇතැයි කියා ස්ටීව් එපවත් නොකියා උන්නේය.
“මිස්ටර් ස්ටීව් , මේරි මැඩම්ට නෙලී නැතුව බෑ දැන්…කලරින් බුක්ස් ටික දුන්නමත් බෑ කීවා නෙලී නැතුව කරන්න..අපි ශේප් කරගත්තා.මේවා නෙලීට කියන්න එපා.එයාට ගමන එන්ජෝයි කරන්න දෙමු..”
පෝලා පවා නෙලීට බෙහෙවින් ආකර්ශණය වී ඇති අන්දම ස්ටීව් දුටුවේය.
සමහර පුද්ගලයන් ජීවිත වලට පැමිණෙන්නේ අහඹු ලෙසය. එහෙත් ඔවුහු ඒ ජීවිත පුරා සතුටු මල් වැසි වස්සති…රාත්‍රී ආහාරයට පසු නිදන කාමරයට ගොස් කවුලුවෙන් පිටතවූ කහ සහ සුදු මිශ්‍ර ඩැෆඩිල් යාය දෙස බලා උන් ස්ටීව් හට ආලින්දයෙහි කණුවකට පිටදී ඈත බලා උන් කහ සුදු මල් ගවුමක් හැඳ උන් යුවතිය යළිත් සිහිවිය.