රෑට නිදාගන්න යද්දී අනේ අම්මා මට කතාවක් කියන්නකෝ කියලා අයදින පොඩි පැටව් ඔබේ නිවසෙත් ඉන්න බවත් ඒත් ඔවුන් ඉල්ලන තරම් කතා ගොඩක් කොහෙන් හොයන්නද කියලා ඔබ සිතන බවත් අප දන්නවා. බස් එකේදී, පොඩි විවේකයකදී ෆේස් බුක් එන ඔබට ස්මාට් ලේඩි වෙබ් අඩවියට ඇවිත් ඉතාමත්ම සුලු මොහොතකින් ඔබේ පුංචි පැටියාට කියන්න ට රසවත් කතාවක් බලාගන්නට පුළුවනි.
ඔබ වෙනුවෙන්ම දැනටමත් කතා කිහිපයක් එක්කර ඇති අතර ඉදිරියේදී ත් කතා රැසක් ඔබට තිළිණ කරන්නයි අපේ වෑයම. ඔන්න ඉතින් දැන් කලබල වෙන්න දෙයක් නැහැ. කතාවක් ඕන වුන ගමන්ම අප ලඟට එන්න අමතක කරන්නට එපා.
ඔන්න අද පුංචි හා පැටියාගේ උපන්දිනේ. හැමෝම එයාට ආදරේට කිව්වේ රාබි කියලා. ගෙදර ඉන්නේ රාබියි, අම්මයි තාත්තයි විතරයි. හවස ට උපන්දිනේ නිසා තේ බොන්න රාබි එයාගේ හොඳම යාළුවො දෙන්නටත් එන්න කිව්වා.
රාබිගේ අම්මා හවස කේක් එකක් හදන්න ගත්තා. යාළුවො දෙන්නත් ඉක්මනින්ම ඇවිත් රාබි එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. අම්මා වෙනද හදන කේක් එකට වඩා අමුතු රසම රස සුවඳක් කේක් එකෙන් ආවා. රාබි හෙමින් හෙමින් අවන් එකට එබිලා බැලුවා. කේක් ගෙඩිය හිනාවෙනවා වගෙයි එයා දැක්කේ. ඒක කොහෙත්ම වෙන්න බැහැනේ. එයා හිතුවා.
කේක් සුවඳ කුස්සියෙන් කාමරේට, කාමරෙන් සාලෙට, සාලෙන් මිදුලට විහිදුණා. දොරවල් වහලා තිබ්බත් සුවඳ ඒවා අස්සෙන් රිංගලා ගියා වගේ. ඔන්න දොරට කවුද තට්ටු කරන්න ගත්තා. අම්මා දොර ඇරියා. තෑගී බෝග අරන් වලස් පවුල ඇවිත්. ඒත් එයාලට ආරාධනා කරලා නැහැනේ. කේක් මදිවෙයි. පොඩි ගෙඩියක්නේ අපි හැදුවේ රාබි හිතුවා. ඒත් අම්මා නම් කිසිම කලබලයක් නැහැ. ආයෙමත් දොරට කවුදෝ තට්ටු කළා. අලි පුංචා අම්මයි තාත්තයි එක්ක ඇවිත්. හරිම වැඩේ. රාබි ආයෙමත් කේක් එක බලන්න දිව්වා. කේක් එක හරිම පුංචියි. සුවඳයි.. මටවත් කෑල්ලක් කන්න ලැබෙන්නේ නැහැ මේ යන විදියට රාබි හිතුවා. ඒ එක්කම කේක් එක හිනාවෙනවා වගේ එයා දැක්කා. ඒක වෙන්න බැහැ. රාබි හිතුවා. එයා කල්පනා කරමින් සාලෙට ගියා. මුළු සාලෙමත්, කාමරවලත්, ගෙවත්තෙත් අමුත්තෝ පිරිලා. එයාල තවමත් වැල නොකැඩි එමින්. කේක් කපන වෙලාව ආවා...
අම්මා හිනාවෙවී කේක් එක අරගෙන මිදුලට ආවා. හැමෝම හැපී බර්ත්ඩේ ටූ යූ කියලා ගායනා කළා. රාබි පරිස්සමින් කේක් එක කැපුවා. ඉන්න හැමෝටම ඇතිවෙන්න කේක් කෑලි නිකන්ම කැපුණා. රාබිට හරිම පුදුමයි. යාළුවො රස කරමින් කේක් කෑවා. කේක් වලට ස්තුති කරලා රාබිට තෑගී බෝග දීලා එයාලා පිටත් වුණා.
තෑගි හැමතැනම පිරිලා තිබුණා. ඒත් කේක් ඉවර නැහැ. කේක් ගෙඩිය එහෙම්මම තිබුණා. රාබි පුදුමයෙන් බලද්දී කේක් ගෙඩිය ආයෙමත් හිනාවුණා.
මම මැජික් කේක් ගෙඩියක්. එයා හිනාවුණා.අම්මත් හිනාවුණා. රාබිටත් හොඳටම හිනා. කොහොම වෙතත් අම්මගෙන් මැජික් කේක් හදන්න ඉගෙන ගන්න ඕන කියලා එයා හිතුවා..
– චම්මි –