මේ ඒ වසන්තයයි – 13

0
2787

නුරාන්ට නිවස තුළට එන්නයැයි නොකියා සිටින්නට ඉසිනිට හැකි වූයේ නැත. ඇරත් දැන් මැදියමට ආසන්නය. අකුණු පුපුරා හැලෙන්නේ මහ වැස්සක ඔහු තනිව යෑම නවතන්නට තමාට අයිතියක් හෝ කල හැකි කිසිවක් නොමැති බව ඉසිනි දනී. ඕ දොර අඟුලු විවෘ ත කලේ නුරාන්ට ඊලඟට පැවසිය යුත්තේ කුමක්දැයි සිතමිනි. එහෙත් ධනුක සහ පැහැසරා මේ කිසිවක් සැහැල්ලුවෙන් නොගන්නා බවද ඉසිනිට ඒ සැනින් සිහිපත් විය.

සෝමා නැන්දාගේ ඇමතුමට ඉසිනි පිළිතුරු දෙන අතරේ ඉසිනි නුරාන් දෙස බලා නිවසට ඇතුලු වන ලෙසට හිසින් සන් කලාය. එහෙත් නුරාන් කලේ ඇයට ඇමතුම අවසන් කරන මෙන් හිසින් සන් කල ඉස්තෝප්පු කොටසේම හිඳීමය. විනාඩි කිහිපයකින් ඉසිනි ඇමතුම අවසන් කරන විට ධාරානිපාත වැස්සක් ඇද හැලෙමින් තිබුණි.

” ඇතුලට එන්න නුරාන් …ඔයා තෙමෙනවානේ ඔය …”

නුරාන් එක්වරම ආපසු හැරී බලා, ඇයගේ යෝජනාව පිළිගත් බව අඟවා නිවස තුළට ඇතුලු වූවාය.

” පෙරේදා පලමුදා වැස්ස වගේ වැස්සොත් නම් ආයේ කපන්න ගොයමක්වත් ඉතුරු වෙන එකක් නෑ …”

නුරාන් එලෙස කීවේ නිවස තුළ වු නිහැඬියාව දෙදෙනා තුළම අපහසුවක් තනමින් තිබූ නිසාය.

” ඔව් … වගා හානි වලට නැහෙන්න වෙනවා ඊට පස්සේ..”

” වගා හානි කියලා දෙන ගාන සාධාරණ ප්‍රතිපූර්ණයක් නෙවි නේ…”

” ඒක හරි ….ඒත්, මුකුත්ම නැතුවට වඩා ඒක වටිනවානේ …”

” ඔව් ඒක හරි .. මුකුත්ම නැතුවට වඩා මොකක්ම හරි බලාපොරොත්තුවක් වටිනවා තමා …”

නුරාන් එතෙක් වේලා වූ ස්වරයට මද සුසුමක්ද දවටා කීවේය. ඒ සූසුම හී තුඩක්ව දැවටුනේ ඉසිනිගේ පපු මැදය. ඉසිනි එයට කිසිත් නොපවසා නුරාන්ට හිඳ ගන්නට කීවාය.

” රෑට කාලද ? .. මොනවා හරි බොනවාද ?..”

නුරාන් බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැලුවේ ඉසිනිටද වෙලාව පෙනෙන්නට එක්කය.

” මේ වෙලාවේ මම මෙහෙ ඉන්න එක සුදුසු නෑ .. ඔයාගේ හස්බන්ඩ්ගේ කනේ මේවා තියන්න මිනිස්සු නම් මෙහෙ නැහැ.. ඒත් ගැටලුවක් ඇති වෙන දෙයක් දැන දැනම කරන්න ඕනි නැහැ .. මං දැන් යන්නම් ඉසිනි .. මට කුඩයක් දෙන්න වාහනේට යන්න …”

නුරාන් හිඳගන්නට උත්සුක නොවීම පවසද්දි, ඉසිනි දෑස් විසල් කරගෙන ඔහු දෙස බලා උන්නාය. සැබැවින්ම තමා විවාහයෙන් ලෙහී සිටින අබ්ව ඔහු නොදන්නවාදැයි ඇයට වැටහුනේ නැත.

” ඉසිනි … මම යන්නද ?…”

” මේ වැස්සේ යන්න එපා නුරාන් .. ටිකක් ඉන්න එහෙනම් ..”

” මට මෙහෙ පාරවල් නුහුරක් නෑ … වැස්ස අවුලක් නෑ .. අනෙක මහ දුරක් නෑනේ ..”

” ඒකට කමක් නෑ … පායනකල් ඉන්න ..”

” හස්බන්ඩ්ට ඔයාව එච්චරට විශ්වාසයිද ඉසිනි ?… එහෙම නැත්නම් ඔයාට හස්බන්ඩ්ව එච්චරට විශ්වාසද ?.. එයා මේ දේවල් තේරුම් ගනීවි කියලා ….”

නුරාන්ගේ හඬෙහි වූයේ සරදමකි. නොපහන් බවකි. ඉසිනිව ප්‍රශ්න කිරීමකි. තමාගේ කෝපය තමා වෙතම තබාගෙන සිටීමේ නොහැකියාවකි.

ඉසිනි අඩ සිනහවක් පෑවාය. නුරාන්ගේ මේ හැසිරීමට වරදක් පැවසිය නොහැකි බව ඕ දනී. එහෙත්, ඔහුට මෙතරම් ඉක්මනින් තමා අඩපණ කරන්නට ඉඩ දිය යුතු නැත. ඔහුගේ කෝපය තමා මත වැටීමට ඉඩ දීම තුළ ඇවිලෙන්නේ ඔහු පමණක් නොවේ, තමාද ය.

” විශ්වාස නැත්නම් මාව මේ වගේ පළාතක ජොබ් එකකට එවන්නේ නෑනේ නුරාන් .. අනෙක මම මේ ජොබ් එකෙන් ලැබෙන සැලරි එකම එයාට මට දෙන්න පුලුවන් මම එහෙ  ගෙදරට වෙලා නිකන් හිටියත් …  ඒත් එයා දන්නවා මේක මම ආස දේ කියලා.. ඒ නිසයි ඉඩ දුන්නේ . පවුලක් ඇතුලේ ඒ තේරුම් ගැනීම තියෙන්න ඕනිනේ නුරාන් .. එයා මාව විශ්වාස කරලා මේ ගමන එන්න ඉඩ දුන්නා වගේම, මාත් එයාගේ විශ්වාසේ රැකලා මේ ගමන යනවා නුරාන් .. ඒ වගේම මට විශ්වාසයි, එයාට මාව විශ්වාස බව … ඒ නිසා ඔයා ඉන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ ….. ප්‍රශ්නයක් වෙන්නේ මේ වැස්සේ ඔයා එලියට බැහැලා ඔයාට කරදරයක් වුනොත් …”

ඉසිනිගේ හදවත තුළ යක් බෙර වැයෙමින් තිබියදී ඕ කීවාය. පැවසූ එකම එක වචනයක්වත් සත්‍ය නොවන බව දැනීමේ මරණීය බව ඕ අසීරුවෙන් දරා ගනිමින් උන්නාය. නුරාන් ආපසු හැරුනේ ඉසිනි දෙස බලන්නටවත් හදිසි නොවෙමිනි.

ඕ තමා අතැර යන්නට එක්වරම තීරණය කල උද්දච්ච ගැහැණියම මිසෙක අනෙකකු නොවේයැයි නුරාන් සැනින් පසක් කල ගත්තේය. ඇය වෙනුවෙන් තමා මේ කලේ නොකල යුතු දෙයකැයි සැනින් සිතුනේය.

” නුරාන් … නුරාන් …”

නුරාන් වැස්සේම කැබ් රිය වෙත ඇවිද ගියේය. වැස්සේ තෙතට නුරාන්ගේ තෙත් වූ ඇස් හා තෙත් වූ හදවතද එකතු විය. එනිසාම කිසිවෙකුත් ඒ තෙත දැක්කේ නැත.

” නුරාන් ….”

ඉසිනි යළි එලෙස අමතද්දී නුරාන් කැබ් රිය පණ ගන්වාගෙන පිටත්ව ගොස් තිබුණි. ඉසිනි හිස බඳාගෙන සාලයේ දොර අසල හිඳගත්තාය. තමා ගුණමකු ගැහැණියකි. නුරාන් තම ස්වාමි පුරුෂයා පිළිබඳව පවසමින් කී හැම වචනයක්ම අග තිබුනේ ඔහුගෙ වේදනාව බව ඉසිනිට නොවැටහුනා නොවේ. එහෙත්, තමා දැන් දික්කසාද ගැහැණියක බව නුරාන්ට පවසා ගන්නට තමාට නොහැකි වූයේ ඇයිදැයි ඉසිනි තමාගෙන්ම ඇසුවාය.

” ඇයි මම නොකිව්වේ මම ඩිවෝස් කියලා.. ඇයි මම නොකිව්වේ අරුණෝද මාව ඩිවෝස් කලා කියලා.. ඇයි මට ඒක නුරාන්ට කියාගන්න බැරි උනේ …”

ඉසිනි බිම හිඳගෙනම දොර වසා දැමුවාය. මහ හඬින් පුපුරා හැලෙන අකුණු වලට දැන් බිය දැනෙන්නේ නැත. ජීවිතය තුල පුපුරා යන්නේ ඊට වඩා දැඩි අකුණුය.

” කමක් නෑ.. මේ දේවල් සිද්ද වෙන්නේ සිද්ද වෙන්න තියෙන හොඳම විදියට .. මම අරුණෝද ගැන එච්චරට විශ්වාසෙන් කතා කල එකෙන් නුරාන්ට රිදෙන්න ඇති තමයි .. ඒත් ධනුකට  මගෙන් අවශ්‍ය දේ ඒ රිදීම අස්සෙන් ඉපදෙයි .. නුරාන් මට තවදුරටත් ආදරේ කරන්නේ නැති වෙයි .. නුරාන්ට තවදුරටත් මගේ පස්සේ ඇස් යන්න දෙන්න බැරි වෙයි … මෙච්චර කල් හිතින් මාව අල්ලන් ඉඳලා තියෙන  නුරාන් මාව අතාරියි …ඔව් .. මාව අතාරියි .. මේ මම යන්න ගිය ගමන වැලකිලා මේ විදියට නුරාන්ව මට මුණගස්වන්න ඇත්තෙත් යම් හේතුවකටනේ .. මේ ඒ හේතුව … දැන් නුරාන්ට මං ගැන තියෙන්නේ අප්‍රසන්න, කලකිරීමක් එක්ක හැදුන තරහක් වෙන්න පුලුවන් .. ඒකේ සැකයක් නෑ මට …”

ඉසිනි දණ අතරේ හිස හොවාගෙන තමාටම එලෙස කියවාගත්තාය. ඕ නැගිට්ටේ උන්නාට වඩා සවියක් එක්කය. එක් වරක් ද්‍රෝහී වූ ගැහැණියට, තමාට වඩාත්ම පෙම් කරන මිනිසා සිය වතාවක් අහිමි වූවත් කම් නැතැයි ඕ සිතුවේ උණුසුම් තේ කෝප්පයක් සමග සෙටියේ හිඳගෙන ජනේලයෙන් එපිට පුපුරා හැලෙන අකුණු එලි දෙස බලාගෙනය.

ජීවිතය තුලද පුපුරා හැලෙන අකුණු මෙලෙසින්ම බව ඕ කල්පනා කලාය. ඇතැම් අකුණු පහර නිසා හඬක්වත් නොනැගීම ජීවිතය වෙනස් වන අබ්ව් අකල්පනා කලාය.

” බිනර … ෆ්‍රී වරුවක් ඕනි මට .. කවුන්සලින් සෙෂන් එකක් දාගමුකෝ ..”

නෑදෑ සොයුරා වෙත වට්සැප් කෙටි පණිවිඩයක් යොමු කල ඕ නුරාන් නිවසට යන්නට ඇතිදැයි සිතුවාය.

” කොහොමද අහන්නේ ඒත්…..”

නළලත ඇඟිලි තුඩෙන් පිරිමදිමින් ඕ කල්පනා කලාය. නුරාන් ගැන වද නොවී සිටිය නොහැකි බව දැනෙන්නේය. එහෙත් ඒ වද වීම කිසිවෙකුට නොපෙනෙන්නට තබා ගත යුතු බවද දැනෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here