ටෝස්ටරෙන් මේ කෑම වර්ගත් හදන්න පුළුවන් කියල දැනන් හිටියද?

ගෙදර තියෙන පාන් ටෝස්ටරය කියන්නෙ ඉස්කෝලේ අධ්‍යාපන චාරිකාවක්, පවුලේ විනෝද චාරිකාවක් එහෙමත් නැත්නම් වන්දනා ගමනක් යන්න සූදානම් වෙන දවසකදි විතරක් පේන්ඩ තියෙන විදුලි උපකරණයක් කියලනෙ අපි බොහෝදෙනෙක් අඳුරගෙන ඉන්නෙ. 

ඒ වුනාට පාන් ටෝස්ට් කරනවට අමතරව තවත් බොහෝ කෑම වර්ග ඔබේ ගෙදර ටෝස්ටරයෙන් වඩා ඉක්මණින් හදන්න පුළුවන් ඔබ දැනන් හිටියද? 

අපිත් එක්ක එකතුවෙන කාර්යබහුල ගෘහණියෝ වගේම බෝඩිම් වල නැවතිලා රැකියාව කරන සහ අධ්‍යාපනය ලබන අපේ smart කාන්තාවන්ට උදව්වක් වෙන්න ඉතාම පහසුවෙන් පාන් ටෝස්ටරය භාවිතා කරල පිළියෙල කරගන්න පුළුවන් රෙසිපි කීපයක් ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරා. 

මේ කෑම වර්ග ටෝස්ටරයෙනුත් හදන්න පුළුවන් කියල ඔබ දැනන් හිටියද බලන්නකෝ. 

බිත්තර බුල්සායි

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 02 ක්
  • ඔබ කැමති තෙල්, බටර් හෝ මාගරින් ස්වල්පයක්
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • අවශ්‍ය නම් කොටු හැඩයට කපාගත් ලූණු, ලූණු කොළ හෝ ලීක්ස් ස්වල්පයක්, කුඩාවට කපාගත් කරපිංචා

සාදාගන්නා ආකාරය

මුලින්ම ඔබේ ටෝස්ටරය රත්වීමට තබන්න.

රත්වූ ටෝස්ටරයේ නන්ස්ටික් තැටිය මත තෙල්, බටර් හෝ මාගරින් ස්වල්පයක් ආලේප කර ගන්න. 

දැන් නන්ස්ටික් තැටියේ කොටස් දෙකට බිත්තර දෙක වෙන වෙනම දමා ගන්න. 

උඩින් ලුණු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් ද ඔබට අවශ්‍ය නම් කපාගත් ලූණු, ලූණු කොල සහ කරපිංචා ද එක්කර ගන්න. 

ටෝස්ටරයේ අනෙක් කොටසට අවශ්‍ය නම් පාන් පෙත්තක් දමා ගන්නත් පුළුවන්.

දැන් ටෝස්ටරය වසා විනාඩි 02 ක් පමණ තබා බිත්තරය ඔබට අවශ්‍ය ප්‍රමාණයට බැඳී ඇත්නම් ටෝස්ටරයෙන් ඉවත්කර ගන්න. 

ඔබ බිත්තර කහ මදය දියාරු ස්වභාවයෙන් කන්න කැමති කෙනෙක් නම් ටෝස්ටරය විවෘත කර තබා ඔබට අවශ්‍ය ප්‍රමාණය බැඳී අවසන් වුනාම බිත්තරය ඉවත්කර ගන්නත් පුළුවන්. 

තෙල් අඩුවෙන් ඉක්මණින් මේමත් බිත්තර බුල්සායි හදල බලමුද?

චිකන් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔබට අවශ්‍ය ප්‍රමාණයට කටු ඉවත්කළ සෝදා පිරිසුදු කරගත් කුකුල් මස්
  • ඔබ කැමති වර්ගයකින් තෙල් ස්වල්පයක්
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු 
  • තල ඇට ස්වල්පයක් ( අත්‍යාවශ්‍යම නැත)

සාදාගන්නා ආකාරය

මුලින්ම බ්ලෙන්ඩරයක් හෝ මස් අඹරන යන්ත්‍රයක් භාවිතා කර ඔබ සූදානම් කරගත් මස් ටික හොඳින් අඹරා ගන්න. එහෙමත් නැත්නම් පිහියක් ආධාරයෙන් කුඩාවට කපාගන්නත් ඔබට පුළුවන්. 

භාජනයක් ගෙන එයට අඹරාගත් මස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු ඔබට අවශ්‍ය ප්‍රමාණයට යොදා හොඳින් කලවම් කරගන්න. 

දැන් ඔබේ ටෝස්ටරයේ නන්ස්ටික් තැටිය මත තෙල් ආලේප කරගන්න. 

සූදානම් කරගත් මස් මිශ්‍රණය නන්ස්ටික් තැටියේ කොටස් වල හැඩයට අතින් සකස් කරමින් ඒවා මත අතුරාගන්න. 

ඔබට අවශ්‍ය නම් උඩින් තල ඇට ස්පල්පයක් ඉස ගන්න.

දැන් ටෝස්ටරය වසා එය ක්‍රියාත්මක කර සාමාන්‍ය පරිදි ටෝස්ටරය රත්වී අවසන් වනතුරු තබා විවෘත කරන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට මස් ටික රෝස්වී නැතිනම් නැවත ටෝස්ටරය ක්‍රියාත්මක කර ටික වේලාවක් තබන්නත් පුළුවන්.

දැන් චිකන් ටෝස්ට් ටික ප්‍රවේශමෙන් ඉවතට ගෙන මද රස්නෙන්ම රස විඳින්න. 

තේ වෙලාවට ලේසියෙන්ම ටෝස්ට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කෝප්ප 01 ක්
  • සීනි කෝප්ප ¾ ක් 
  • බේකින් පවුඩර් තේ හැඳි 01 ක්
  • කිරි මේස හැඳි 04 ක්
  • තෙල් මේස හැඳි 08 ක්
  • ලුණු ස්වල්පයක්
  • වැනිලා රසකාරක තේ හැඳි ½ ක්
  • චොකලට් කුඩු මේස හැඳි 02 ක් (අත්‍යාවශ්‍යම නැත)
  • වතුර තේ හැඳි 01 ක දියකරගත් කෝපි කුඩු ¼ ක් (අත්‍යාවශම නැත)

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට බිත්තර, සීනි, වැනිලා එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් එම මිශ්‍රණයට තෙල් සහ කිරි ද එකතු කර හොඳින් කලවම් කරගන්න. 

පිටි, බේකින් පවුඩර් සහ ලුණු පෙරනයක් ආධාරයෙන් දෙවරක් පමණ හලාගෙන සූදානම් කරගන්න. 

දැන් සූදානම් කරගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික බිත්තර මිශ්‍රණයට එක්කරමින් හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් මේ මිශ්‍රණයෙන් භාගයක් වෙනම් භාජනයකට වෙන්කර ගෙන චොකලට් කුඩු සහ කෝපි එකතු කරගෙන මිශ්‍රකර ගන්නත් ඔබ කැමති නම් පුළුවන්. 

දැන් ඔබේ ටෝස්ටරයේ නන්ස්ටික් තැටිය මත තෙල් ආලේප කර එක් කොටසක් සඳහා සාදාගත් පිටි මිශ්‍රණයෙන් මේස හැඳි 1 ½ ක් පමණ යොදා හැන්ඳකින් නිසිපරිදි සකසා ගන්න.

ටෝස්ටරය වසා විනාඩි 02 කට පසුව ටෝස්ටරය ක්‍රියා විරහිත කරන්න. 

ඔබට කැමති නම් චොකලට් මිශ්‍රණය දමා චොකලට් කේක් ද වැනිලා සහ චොකලට් මිශ්‍රණය මාරුවෙන් මාරුවට දමා සීබ්‍රා කේක්ද සාදාගන්නත් පුළුවන්. 

මඳ රස්නෙන්ම රස විඳින්න. 

මතක තබා ගන්න

ටෝස්ටරය කියන්නෙ අධික ඌෂ්ණත්වයට රත්වෙන උපකරණයක්. ඔබේ අත පිළිස්සීමේ ඉඩකඩ බොහොම වැඩි නිසා හැකිනම් අත් ආවරණයක් භාවිතා කරන්න. 

ටෝස්ටරය ක්‍රියාත්මකව තිබියදී විවිධ උපකරණ භාවිතයෙන් එහි සෑදූ කෑම වර්ග ඉවතට ගන්න එපා. සෑම විටම ටෝස්ටරය විවෘත කරන්න පෙර ටෝස්ටරය ක්‍රියා විරහිත කරන්න වගබලා ගන්න. 

යකඩ හෝ ඇලුමිණියම් හැඳි භාවිතා නොකිරීම, නිමුණු පසු ටෝස්ටරයේ නන්ස්ටික් තැටිය හොඳින් පිරිසිදු කර තෙතමනය ඉවත්කර නැවත භාවිත කරන තුරු වසා තැබීමෙන් ඔබේ ටෝස්ටරය දීර් ඝ කාලයක් පාවිච්චි කරන්න ඔබට පුළුවන්.

සටහන – දුලානි නවොද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles