මේ ඒ වසන්තයයි – 14

0
4419

නුරාන් නිවසට ඇතුලු වෙන විටත් ධනුක උන්නේ අවදියෙනි. නුරාන් ඔහු මඟ හැර කාමරය තුලට වැදුනද පිටුපසින්ම ආ ධනුක නුරාන් ඉක්මවා කාමරය තුලට ඇඨ්හුලු වූයේය.

” කොහෙද උඹ ගියේ ?…”

ධනුක විමසුවේ නුරාන් ගේ බාහුවෙන් අල්ලා ඔහු තමා වෙත හරවාගෙනය.

” කොහෙද උඹ මේ මහ වැස්සේ ගියේ ?..”

” මම යද්දී වැස්සක් තිබ්බේ නෑනේ ලොකූ .. ගිහින් නිදාගනින් ….අනෙක මම එහෙම පොඩි එකෙක්ද බං යන යන තැන උඹට කියලා යන්න …”

නුරාන් ඉසිනි කෙරෙහි වූ කෝපය ධනුක මතින් පිට වෙන්නට නොදී සිටින්නට උත්සාහ කලද, ඔහුගේ ස්වරය සෞම්‍ය වූයේ නැත.

” තෝ ඕනි දීපංකරේක ගියාට නම් මට කමක් නෑ නුරාන් .. හැබැයි තමන්ගේ ජීවිතේ විනාශ කරලා දාලා ගිහින්, උඩම අතු අල්ලගෙන ඉඳලා, දැන් ඒ අතු වලින් බිමට වැටුනම උබව අල්ලන්න මායම් දාන කිරිල්ලියොන්ගෙන් පරෙස්සම් වෙලා …”

නුරාන් ධනුක දෙස විමසිල්ලෙන්  බැලුවේය. මුල පැහැදිලිය. එහෙත් අග කෙලෙසකින්වත් පැහැදිලි වූයේ නැත. අයියා ඉසිනිව හඳුනාගෙන බවද දැන් සැක නැත.

” මොනවාද බං කියන්නේ ?…”

” මේක හොඳට මතක තියාගනින් මල්ලී .. තවම මම අක්කාට කිව්වේත් නෑ ඉසිනි සෙල්ලනායක කියලා අක්කා ඔය හෙන සෙනෙහසින් බඳාගෙන ඉන්න ඒඩී මිස් උඹේ ජීවිතේ විනාස කරපු යක්ශනී කියලා .. මම ඒක නොකියා ඉන්නේ ඉන් පස්සේ මේ ගෑණි, අර ගෑණිට මොකෙන් මොකක් කරාවිද දන්නේ නැති නිසා… මම අද ඒකිටත් පැහැදිලිව කිව්වා.. මේ මම උබටත් පැහැදිලිව කියනවා… සූප්පු කරලා විසි කරපු මස් කටු ආයේ කටේ දාගන්න හදන්නේපා ..”

නුරාන් ධනුකට තවත් වේලා කතා කරන්න නොදී බලා උන්නේය.

” ඒකි මොකක් හරි හේතුවක් නිසා දැන් ඩිවෝස් … ඒ හින්දා ආයේ උඹේ කරේ එල්ලෙන්නත් පුලුවන් කියලා මට සාධාරණ සැකයක් තියෙනවා… අන්න ඒ හින්දා, උඹ උඹේ පාඩුවේ වැඩක් කරගෙන ඒ තාලේට ජීවත් වෙයං …”

නුරාන් ධනුක පැවසූ කිසිවක් විශ්වාස නොකරන බව පෙන්වන සිනහවක් පා කලේය.  මීට පැයකට පමන පෙර ඉසිනි ඇගේ වෛද්‍ය සැමියා ගැන පැවසූවේ මොනවාදැයි නුරාන්ට අමතක නැත. එය එලෙස තිබියදී අයියා මේ  පවසන කතන්දරයට කිසිම පදනමක් නැති බව නුරාන් සැනින් කල්පනා කර ගත්තේය. ඇතැම් විට අයියා උත්සාහ කරන්නේ තමාව ඉසිනිගෙන් ඉවත් කිරීම සඳහා වන කාරණා සැකසීමද විය හැක.

” තෝ මොකද යකෝ ගස් බල්ලෙක් වගේ හිනාවෙන්නේ?…”

” මං පොඩි එකෙක් නෙවෙයි අයියේ .. තමුසේ බය නොවී ඉන්නවා .. මම ආයේ පිස්සු නටන්නේ නෑ … එහෙම පිස්සු නටන්න ඕනි වුනත් නුරාධ්‍යා දැන් ලොකුයි කියන එක මම අමතක කරන්නේ නෑ ..”

” උඹට අපි ආදරෙයි බං …”

” දන්නවා යකෝ … ගිහින් නිදාගනින්කෝ දැන් …”

නුරාන් වදෙන් පොරෙන්ම ධනුකව කාමරයෙන් පිටතට තල්ලු කලේය. ටී ශර්ට් එක ගලවා පසෙකට දැම්මේය. දෙපා වල තැවරී ඇති මඩ නිසා සුදු ටයිල් පොලවේ සලකුණු හැදී ඇත. ඒවා හෙට සෝදා දැමූවද සේදී යන්නේය. එහෙත්, ඉසිනි තම හදවත මත තබා ඇති සලකුණු එලෙසින් සෝදා දමන්නට නොහැකිව ඇත්තේ මන්ද ?… ධනවත් දියණියකට ප්‍රේම කිරීම තම තෝරා ගැනීම නොවූ වග නුරාන් දනී. පෙම් කලේ ඇයටය. අවැසි වූයේ ඇය හා එක්ව සියල්ල ගොඩ නඟා ගැනීමය. ඇය උන්නා නම් තමා අද සිටින සීමාව ඉක්මවා ගොස් බොහෝ දුරක බව නුරාන් දනි. එහෙත් ඔහු ඒ පිළිබඳව කිසිවෙක් හා නොකියා සිටින්නට පරෙස්සම් වූයේය.

“………………….විශ්වාස නැත්නම් මාව මේ වගේ පළාතක ජොබ් එකකට එවන්නේ නෑනේ නුරාන් .. අනෙක මම මේ ජොබ් එකෙන් ලැබෙන සැලරි එකම එයාට මට දෙන්න පුලුවන් මම එහෙ  ගෙදරට වෙලා නිකන් හිටියත් …  ඒත් එයා දන්නවා මේක මම ආස දේ කියලා.. ඒ නිසයි ඉඩ දුන්නේ . පවුලක් ඇතුලේ ඒ තේරුම් ගැනීම තියෙන්න ඕනිනේ නුරාන් .. එයා මාව විශ්වාස කරලා මේ ගමන එන්න ඉඩ දුන්නා වගේම, මාත් එයාගේ විශ්වාසේ රැකලා මේ ගමන යනවා නුරාන් .. ඒ වගේම මට විශ්වාසයි, එයාට මාව විශ්වාස බව … ඒ නිසා ඔයා ඉන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ ….. ප්‍රශ්නයක් වෙන්නේ මේ වැස්සේ ඔයා එලියට බැහැලා ඔයාට කරදරයක් වුනොත් …”

සැනින් ඉසිනිගේ හඬ නුරාන්ගේ හිස තුළ මහ වේගයෙන් වාදනය වූයේය. ඇයට ඔහු පිළිබඳව ඇති විශ්වාසය පසුපස ඇත්තේ ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි දක්වන අදරය නොවේදැයි නුරාන් සිතුවේ ජනේලයෙන් එපිට ඇද හැලෙන මහ වැස්සට ඇස් අලවා ගනිමිනි. ඉසිනි කොහොමටත් සම්බන්ධතාවයක් තුළ අනෙකා සුව පහසුවෙන් තබන්නට ඉතා වෙහෙසෙන තැනැත්තියක බව නුරාන්ට මතකය. ඇය තමාගේ හැම අවශ්‍යතාවයක් ගැනම ඇඟිල්ලෙන් අනිමින්ම සෙව්වාය. තමා ඇතැම් විට ඒවාට විරුද්ධවෙද්දී, අමනාපව පසෙකට වී බුම්මා ගත්තාය.

” ඔයා , මම කියලා දෙයක් නෑ .. අපි කියලා දෙයක් තියෙන්නේ .. මට පුලුවන් හැම විදියෙන්ම මම ඔයාව බලාගන්නේ.. ඔයත් එහෙම වෙන්න …”

ඒ නුරාන් තම නිවසේ ආර්තික අපහසුතා ගැන ඉසිනිට පැවසුවාට පසු ඇය මන්තරය මෙන් මැතිරූ වචන බව නුරාන් සිහි කලේය.

” සතුටින් නේ ඉන්නේ ඉසිනි ?… එච්චරයි .. මට හැමදාම මේ ගින්නෙම පිච්චෙන්න වෙයි … කරුමයක්ද, වාසනාවක්ද මට හිතා ගන්න බෑ .. ඒත් මම තමුසේට ආයේ ආයේ ආදරේ කරන එක මට නවත්තගන්න බෑ ….  ඇස් දෙකට පේන්නවත් නාපු කාලෙවත් අමතක නොවුන තමුසේව මම දැන් කොහොමද අමතක කරන්නේ කියනවා ඉසිනි ?…. මොන එකක් නිසාද මෙහෙමටම ආවේ?… ඇයි මෙහෙටම ?..”

නුරාන් නාන කාමරයට වැදී සීතල ජලයෙන්ම නා ගත්තේය. දෙපා වල මඩ සේදී යන යුරු බලා උන්නේය. ජීවිතයෙන්ද ඉවත් කල යුතුය දැනෙන දේවල් මෙතරම් පහසුවෙන් ඉවත් කර ගන්නට හැකිනම් ජීවිත පහසු වන බව සිතුවේය.

හෙට උදෑසන යලි ඉසිනි මුන ගැසීමට යා යුතු නැත. කාර්මික ශිල්පියාගේ තොරතුරු ඉසිනිට එවෙලෙහිම ලබා දුන් නිසා ඇය එය කලමණාකරනය කරගනු ඇත. ඇතැම් විට ඇගේ ස්වාමිපුරුෂයාද හෙට  දිනයේ පැමිණිය හැක.

නුරාන් නින්දට ගියේ මහ බරක් සිතෙහි ගොඩ ගැසෙද්දීය.

ඉසිනි පිලිබඳව තම සිත තුල බලාපොරොත්තු නොසිඳීම තිබි ඇති බව දැනෙද්දීය.

ඇය තමා ඉදිරියේ කෙලෙස කලබල වුවද, ඒ තමා පිළිබඳව වන ප්‍රහර්ෂයකින් නොවන බව නුරාන් සිහිනයෙන් පවා සිතුවේය. ඇය පෙම් කරන්නේ වෛද්‍ය සැමියාටය. තමා නිකම්ම නිකන් බිම්මල් ව්‍යාපාරිකයෙක් පමණක් නොවේද

නුරාන්ට ලැබුනේ සුව පහසු නින්දක් නොවේය. ඔහු අඩ නින්දේ නේක විධ දෑ සසඳමින් කල් ගෙව්වේය. එනිසාම උදෑසන ඇහැරෙද්දී ගත ද, සිතද විඩාවක වෙලී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here