26 කොටස
ඉරිදාවේ උදෑසන අනෙක් අය නින්දේ සිටියදී නිලංගා සුපුරුදු වේලාවටම ඇහැර ගත්තාය.ගමන එන්නට කලියෙන්ම මාලිකාහට කිරිබත් කෑමේ උවමනාවක් ඇතිවී තිබුණි. එහෙයින් නවාතැනේ කෑම සාදාගන්නට අවශ්‍ය ද්‍රව්‍ය ගන්නා අතරේ නිලංගා කිරිබත් හදන්නට අවශ්‍ය අඩුමකුඩුම සියල්ල ද මාලිකා හට සැපයූවාය.
නිලංගා උදෑසනින්ම කිරිබතක් සාදා මිරිස් රස අඩුවන්නට සීනි සම්බෝලයක් ද සෑදුවාය.මාලිකා කෙසේ වෙතත් අනෙක් දෙන්නාහට නම් මිරිස් රස දරන්නට නොහැකි බව ඇය දැන උන්නාය.කිරිබතෙහි සුවඳ හමා එන පණිවුඩය ඔස්සේ කුඩා මුලුතැන්ගෙයට මුලින්ම එබුණේ ස්ටීව් ය.
“වට් අ මවුත් වෝටරින් ස්මෙල් ඉස් දැට්..මම මේ සුවඳ දැනිලා ආවේ…”
ස්ටීව් ගේ හඬින් නිලංගා තිගැස්සුනාය.ඇය ඒ වනවිට උයමනේ අවසානයේ උන්නාය.
“සොරි මම බය කරන්න හිතුවෙ නෑ..” යුවතිය තිගැස්සෙනු දැක ස්ටීව් පැවසුවේය. නිලංගා ආයාසයෙන් සිනාසුණාය. හිත තිගැස්සුණේ කාරණා දෙකකටය.එකක් අනපේක්ෂිත ව ඔහු හඬ ඇසීමය.අනෙක ඔහු එතරම්ම කඩවසම්ව දුටු පළමු වතාව එය වීමය.උදෑසන ලානිල් පැහැ ටීෂර්ටයක් සමග සුදු කොට කලිසමකින් පැමිණි ඔහු වෙත වූයේ වෙනදා වූ ආඩම්බර ගාම්භීර කම නොව සරළ කඩවසම් පෙනුමකි.
“අහ්..මේ මම කිරිබත් ඒ කියන්නෙ මිල්ක් රයිස් හැදුවා..මෙලා ආසයි කීවා කන්න…මිස්ටර් ස්ටීව් කෑම කනවද දැන්ම…නැත්නම් ටී එකක් හදන්නද?”
ආයාසයෙන් හිත පාලනය කරගත් නිලංගා ඇසුවාය.
“ටී එකක්…නෝ ෂුගර්..ප්ලීස්”
ස්ටීව් මුලුතැන්ගෙයෙහි වූ කුඩා රවුම් මේසය වටා වූ පුටුවක ඉඳගත්තේය.නිලංගා නිහඬවම තේ සෑදුවාය.ඉන් පසු කෝප්පය ඔහු ඉදිරිපසින් තැබුවාය.ස්ටීව් ස්තුති කරමින් එය පිළිගත්තේය.
“මිස්ටර් ස්ටීව්…කිරිබත් කනවද…නැත්නම් ටෝස්ට් හදන්නද…?”
නිලංගා නිහඬවම සිටීමේ අසීරුව බිඳළමින් විමසුවාය.
“නෙලී, බ්‍රයන්ට නිකම්ම බ්‍රයන් කියලා මට මිස්ටර් ස්ටීව් කියන්නෙ ඇයි…? මට නම කියල කතාකරන්න බැරි ඇයි..?”
ස්ටීව් තේ පානය කරන අතරේම විමසුවේය.නිලංගා තිගැස්සුනාය.කිසිසේත්ම ඔහු එවැනි ප්‍රශ්නයක් තමාගෙන් අසනු ඇතැයි ඇය බලාපොරොත්තු නොවුනාය.බ්‍රයන් සමඟින් කතාබහ කරනා විට ඇති පහසුව ස්ටීව් සමග කතා කරනා විට ඇති නොවේ යැයි ඉතින් ඔහුට කිව හැකිද? නිලංගා මොහොතක් වචන සොයා ගත නොහැකිව එකෙල මෙකෙළ වූවාය.
“මම ඔයාගේ යාළුවෙක් නොවෙන්න පුළුවන්.මාලිකා බ්‍රයන් වගේ ඔයාට මාව පේන්නෙත් නැති වෙන්න පුළුවන්.එවුනාට අඩුු තරමේ මට නම කියලා කතා කරනවනම් ඒක මට හරි කම්ෆටබල්.ඔයා මට mr කියල කතාා කරාම ඒක හරියට මං නාඳුනනම කෙනෙක් මට කතා කරනවා වගේ.අඩු තරමේ මගේ ඔෆිස් එකේ අයවත් එහෙම කතා කරන්නේ නැහැනේ.”
මේසයටම යොමු වූ දෙනෙත් ඇතිව ස්ටීව් පැවසීය.
“මම ආව දවසේ ඉඳලම කතා කරන්න පුරුදු උනේ එහෙමනේ.සිල්වියා මැඩම්ට මේරි මැඩම්ට වගේම මිස්ට ස්ටීව්ටත් මම respect කරන්න ඕනනේ.ඔයාලා නිසයි මම අද මේ විදිහට ඉන්නේ.එදා ඒ වෙලාවේ ඔයාලගෙන් මට මේ ජොබ් එක ලැබුණේ නැත්නම් මම ගොඩක් අසරණ වෙනවා.”
නිලංගා ජනේලයෙන් පිටත සුළඟේ පිපී වැනෙන ඩැෆඩිල් මල් දෙස බලා සිටිමින්ම පැවසුවාය.
“කමක් නැහැ..ඒකට කමක් නැහැ..ඔයාට පහසු විදියකට කතා කරන්න..”
අසුනෙන් නැගී සිටිමින් ස්ටීව් පැවසුවේ හැඟීම් විරහිත හඬිනි.ඔහු අඩක් පානය කළ තේ බඳුනද අතැතිව මුළුතැන් ගෙයින් නික්මී යන්නට ගියේය.
“මිස්ට…සොරි…ස්ටීව්…අර දෙන්න එක්ක බ්‍රෙක්ෆස්ට් ගන්න එනවද? කිරිබත් නිවිලා කාලා වැඩක් නෑ..”
නිලංගා ආයාසයෙන් පවසා මුලුතැන්ගෙයින් පිටතට බසින්නට ඇති දොරවෙත හැරුණාය. ඒ ආමන්ත්‍රණය ඇසී ස්ටීව් ගේ මුහුණේ නැගුණ සිනහව එහෙයින් ඇය නුදුටුවාය.
“ෂාහ් ඒ කිරිබත් එකේ රස…අපේ මමී ඉව්වට මේ මිල්කි ටේස්ට් එක මෙච්චර නෑ…නැද්ද බ්‍රයන්.ඔයාත් කාලා තියේනෙ අපේ ගෙදර ආවාම..”
මාලිකා තුන්වෙනි කිරිබත් කෑල්ලද ඉමහත් ආශාවෙන් බෙදාගත්තේ එසේ පවසමිනි.
“ඇත්තෙන්ම රසයි ..නැද්ද ස්ටීව්..”
බ්‍රයන් ද පැවසුවේ කිරිබත් කෑල්ලක් මතට පැණිද දමාගනිමිනි.
“බ්‍රයන් ඔහොම කාලා ඩ්‍රයිව් කරන්න නම් බැරිවෙයි.ඔය කම්බිනේශන් එකට අනිවාර්‍යයෙන්ම නිදිමත එනවා ෂුවර්..”
ස්ටීව් පැවසුවේ සිනාසෙමිනි. නිලංගා ද හිස සලා එය අනුමත කළාය.
“ඒකටනෙ බොස් ඔයා ඉන්නෙ.අපි දෙන්නා මේ කන එක නවත්වන්නෙ නෑ..කාලා යනකල් නින්දක් දානවා…ස්ටීව් ට නෙලී එක්ක කතාවක් දාගෙන ඩ්‍රයිව් කරන්න තමා තියෙන්නෙ..”
පෙරදා හවස පටන් ස්ටීව්ගේ වෙනස නිරීක්ෂණය කරමින් උන් බ්‍රයන් එසේ පවසා ඇසක් ඉඟිකර මාලිකා දෙස බැලීය.
වෙනදා මෙවන් විහිලුවක් යනු ස්ටීව්හට යකා ආරූඪ වන්නට ප්‍රමාණවත් කාරණයක් වුවද ඔහු මඳ සිනහවකින් එය ඉවසන අන්දම බ්‍රයන් බලා උන්නේ පුදුමයෙනි.
“ඇත්තෙන්ම මේ ස්ටීව්ට මොකද වෙලා තියෙන්නේ…මේරි ආච්චිට නම් ඩිමෙන්ෂියා කියමුකෝ..මේ මනුස්සයාට මොකක්ද හැදුණ අසනීපෙ..?”
බ්‍රයන් මාලිකාහට ළංවෙමින් අනික් දෙදෙනාට නෑසෙනසේ පැවසුවේය.
“කට වහන් ඉන්න බ්‍රයන්..මෙතන නැති ප්‍රශ්න හදන්න එපා.. මම කැමති නැහැ නෙලීට ස්ටීව් වගේගේ කෙනෙක් සම්බන්ධ කරලා හිතන්නවත්..”
මාලිකා නොමනාපයෙන් පැවසුවාය.නෙලී යනු ජීවිතයේ වැඩි කාලයක් සිය පවුල හේතුවෙන්ම අනන්ත අප්‍රමාණ දුක් දොම්නස් විඳි යුවතියකි.ඇයි යාන්තමින් නිදහසේ ජීවත්වන්නට පටන් ගත්තාා පමණි. ඇයට ස්ටීව් වැන්නෙකු කිසිසේත්ම ගැලපෙන්නේ නැතැයි මාලිකා විශ්වාස කළාය.මන්ද ස්ටීව් ගේ ගති පැවතුම් සියල්ල කාලයක් තිස්සේ මාලිකා නිරීක්ෂණය කොට තිබුණු හෙයිනි.
“එහෙම කියන්න එපා මෙලා..ඕනම මනුස්සයෙකුගෙ ජීවිතයෙ දුර්වලකම් තියෙනවා.කාගේ හරි උදව්වකින් හරි ඒවා හදාගන්න පුළුවන් නම් අපි ඒකට ඉඩ නොදෙන්නේ.අනික් එක ඒ දෙන්නම පොඩි ළමයි නෙමෙයිනේ.ඒ අයගේ ජීවිත ගැන ඒ අයට තීරණ ගන්න පුළුවන්.අපි ඒවට බලපෑම් කරන්නේ නැතුව ඉම්මු.වෙන්න තියෙන දෙයක් නම් වේවි.”
බ්‍රයන් මාලිකාගේ වදන් වලට එරෙහි වෙමින් පැවසුවේ ඇයගේ සිත නොරිදෙන ආකාරයටය.
මාලිකා සහ බ්‍රයන් පිටුපස ආසනවලට නැගුණු පසු නිලංගා ඉදිරිපස මගී ආසනයේ ඉඳගත්තාය.ගමන පැමිණෙන දිනයට වඩා අද දිනය හිතේ යම් තාක් දුරට සැහැල්ලුවක් ඇති කොට තිබේ.තව දුරටත් ස්ටීවි යනු තමා හට මුළුගැන්වෙමින් ප්‍රතික්ෂේප කරමින් සිටිය යුතු නාඳුනන්නෙක් නොවන බව ඇය වටහා ගනිමින් උන්නාය. සමීප මිතුරෙකුගේ ස්ථානය ඔහුට ලබා දෙන්නට තවමත් වේලාසන වැඩිය.අනෙක් අතට ඔහු තමාගේ හාම්පුතෙකි.මිතුරකු සේ ඇසුරු කිරීම යම්තාක් දුරට ඒ හෙයින් බාධාවක් වෙයි.
ආපසු ගමන පුරාවටම විටින් විට ස්ටීව් මාලිකා වෙතින් විව්ධාකාර දේ ගැන විමසීය.මාලිකා නොදත් කාරණය වූයේ ස්ටීව් යනු බොහෝ කලා කුසලතාවයන් ඇත්තෙක් වුව ඒ කිසිවකට ජීවිතයේ ඉඩක් වෙන්කල අයෙකු නොවන බවය. තමා විසින්ම තම ජිවිතය ව්‍යාපාරික ලෝකයක සිරගත කළ මේ පුද්ගලයා සතු දැනුම විටෙක නිලංගා මවිත කරවාලීය.ඔහු චාරිකා කළ රටවල් ගණන , ඒ සමහරක් අත්දැකීම් නිලංගා මවිත කරවාලීය.තමන්ගේ ජීවිතයේ වූයේද එබඳු සිහිනයන් නොවේදැයි නිලංගා විටෙක සිතුවාය.
“නෙලී කොහෙද ට්‍රැවල් කරල තියෙන්නේ..?”
ස්ටීව් තම සංචාරයන් ගැන පවසා ඉනික්බිති නිලංගා වෙතින් විමසීය. එක්සත් රාජධානියට පැමිණෙන්නට පෙර තමා සේවය කළ ආයතනයේ සමුලුවකට මැලේශියාවට පමණක් ගොස් ඇති බව නිලංගා පැවසුවාය.
“මැලේශියාවත් හොඳ රටක්.මමත් කීප පාරක්ම ගිහින් තියනවා.හැබැයි බිස්නස් ටුවර්ස් තමයි.ශොපින් එහෙම කරන්න කැමති අයට හොඳ ඩෙස්ටිනේශන් එකක්.”
ස්ටීව් පැවසීය.
“මං ලංකාවට ගියෙ එකම එක පාරයි…ඒ මම යුනිවර්සිටි ඉන්න කාලේ වැකේශන් එකකට…සති දෙකක් හිටියා …ගෝල්, කැන්ඩි එතකොට අර ගොඩක් ටෙම්පල්ස් තියෙන්නෙ…ටෑන්ක්ස් තියෙන්නෙ…ඒ කොහෙද …දිග නමක් තියෙන්නෙ…අන්න එහෙත් ගියා …”
ස්ටීව් සිය මතකයන් අවදිකළේය.
“අනුරාධපුර?”
නිලංගා විමසුවාය.
“දැට්ස් රයිට්…මම එක ලොකු වයිට් කලර් මෙහෙම ස්ටැචු එකක් ලඟ ෆුල් මූන් ඩේ එකක ගොඩක් රෑවෙනකල් වාඩිවෙලා උන්නා…ඉට් වස් ඇමේසින් එක්ස්පීරියන්ස්.”
රිය පදවන අතරේ චෛත්‍යක රුව අතින් මවා පෙන්වමින් ඔහු පැවසුවේය.එකත් එකටම ඒ රුවන්වැලිසෑය විය යුතුය.නිලංගා සිය මව්බිමේ මතකයන් හමුවේ සුසුමක සිත සැහැල්ලු කරගත්තාය.
“නෙලී ආයෙම ශ්‍රීලංකා යන්න ප්ලෑන් එකක් තියද?”
ස්ටීව් ගේ ඊලඟ පැනය නිලංගා ගේ සැහැල්ලුව සුන් කර දැම්මේය.ඇය හිස දෙපසට වනා නැතිබව අභිනයෙන් පැවසුවාය.
“මම ලංකාවට ගියාට මට එහේ කවුරුවත් නෑ ස්ටීව්…”
නිලංගා සිනාසෙන්නට වෙර දරමින් පැවසුවාය.තමා අනවශ්‍ය යමක් විමසා ඇතිබව ස්ටීව් වටහාගත්තේය.එහෙත් තමා එය සිතාමතා සිදුවීම් දැන ඇසූවක් නොවීය.
“සොරි…ඔයාගෙ හිත රිදුණා නම්…මම නිකම් ඇහුවෙ…”
ස්ටීව් සිය කතාබහ වෙනත් අතකට යොමු කොට ගන්නට උත්සාහ කළේය.
“නෑ…එහෙම හර්ට් වෙන්න දෙයක් නැතිම තරම් දැන්…”
නිලංගා සිනාවක් පෑවාය.ඕනෑම ගැටලුවක් හමුවේ වුවද සිනාසෙන්නට හැකි මේ අපූරු යුවතිය ටිකෙන් ටික සිය සිතේ යම් වපසරියක් ඇයටද ඔහුටද නොදැනීම අල්ලාගනිමින් සිටිනා බව ස්ටීව් නොදත්තේය.