මල්සර හී සර – 15

0
2872

“ඔලුව බර වුනෙ මම අරයා එක්ක කතා කරනව දැක්ක හන්දද කියලා ඇහුවෙ?” 

සමුද්‍ර එහෙම අහද්දි කෙල්ල උන්නෙ පොඩ්ඩක් විතර එක්සයිට් වෙලා විත්තිය ඇත්ත උනත් මේ වගේ ප්‍රශ්නෙකට දෙන්න ඕන ඔයා අනිත් කෙල්ලො දෙනවා වගේ ඇඬෙන උත්තරයක් නෙවෙයි කියල මතක් කරගන්නා තරම් ඒ එක්සයිට්මන්ට් එක සප්තමීට ලොකුවටම හානියක් කරලා තිබ්බෙ නෑ.

“මගේ ඔලුව මොකටද බරවෙන්නෙ සර් එයා එක්ක කතා කරා කියලා” සප්තමී කියද්දි ඒ ලොකු සීන් එකේ කිව්ව වචන අස්සෙ උනත් පොඩි පහේ දුකක් ගෑවිලා තියෙනව කියන එක අවුරුදු ගාණක් ඇඩ්වටයිසින් ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු එක්ක තෙම්පරාදු වෙච්ච සමුද්‍රට තේරුම් ගන්න බැරිකමක් තිබ්බෙ නෑ.

“දැන් ඔයාට මං මොනවද ඉගැන්නුවෙ?” කියල සමුද්‍ර අහද්දි නම් මොකද්ද මිනිහා මේ කියන්නෙ කියන එක සප්තමීට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ.

“ඒ කිව්වේ?”

“නෑ ඉතින් උගන්නන මිනිස්සුන්ටනෙ අපි සර් කියලා කියන්නෙ. ඔයා මට සර් කිව්ව හන්දා මං ඇහුවෙ මොනවද සර් කියන්න මම ඔයාට ඉගැන්නුවෙ කියලා” සමුද්‍ර හීනියට හිනාවෙවී කියද්දි සප්තමීගෙ දෙතොල් උඩ ඒ හිනාව වගේම හිනාවක් ඇඳෙන්න ගියාට ඒ හිනාව දෙතොල් උඩට එන්නෙ නැතුව හංග ගන්න සප්තමී ලඟ ඕනවටත් වඩා ගෑණුකම තිබ්බා. තමන් කිව්ව දේට කෙල්ලට ලැජ්ජ හිතුනා කියන එක තේරිච්ච හන්දා ආයෙ කටෙන් වචනයක් ගන්න බෑ කියන එක සමුද්‍ර හොඳටම දැනගෙන හිටියා. නතර වෙච්ච තැනින් කතාව පටන් ගන්න සමුද්‍ර ඉස්සර උනේ ඒ නිසා.

“ඔලුව බර වුණේ මං එයා එක්ක කතා කර හිටිය හන්ද නෙවෙයිනම් ඩිරෙක්ටරුයි ඇසිස්ටන්ට් ඩිරෙක්ටරුයි දෙන්න කිප සැරයක්ම නම කියල කතාකරද්දි මොකටද මම දිහා බලාගෙන හිටියෙ. හිත රිදිච්ච හන්දනෙ වෙනදට මේ හොඳට ඇක්ට් කරපු මනුස්සයට අද හරියට ඒක කරගන්න බැරිවුණේ” කියලා සමුද්‍ර හීනී හිනාවක් එක්ක තමන් දිහාව බලද්දි මෙච්චර වෙලා අහක බලාගෙන උන්න සප්තමී සමුද්‍ර දිහා බැලුවා.

“හිත රිදෙනවනම් ඉතින් රිදෙන්න ඕන අද නෙවෙයිනෙ, කට්ටිය බලාගෙන ඉන්නවා මම යනවා. නැත්තම් ආයෙ වසන්ත සර් බණීවි මම සර් එක්ක…” කියලා කතාව නතර කරලා සප්තමී දෙතොල් යාන්තමට වගේ හපාගෙන තමන් දිහා බලද්දි ඊලඟට කටෙන් පිටවුණේ හිතුවෙ නැති වචනයක් උනාට මූණ රතුකරගෙන යන කෙල්ල දිහා බලාගෙන සමුද්‍ර කලේ හිනාවෙන එක.

“Don’t bite your own lips, let me do it”  කියලා සමුද්‍ර කිව්ව එක එදා මුලු දවස පුරාම මතක් කරන හැම වෙලාවකම දෙතොල් උඩ හිනාවක් ඇඳුනෙත් තමන් තමන්ගෙ ඇඟිලිවලින්ම දෙතොල් අල්ලගත්තෙ ඇයි කියන එක සප්තමීට හිතාගන්න බැරිවෙච්ච එක ඇත්ත. ඒ උනාට හිතුවෙ නැති වෙලාවක එකම ශූටින් ලොකේශන් එකක, හැමෝටම ඉන්න වෙන් කරපු ලොජ් එකක කාමර දෙකක ඇඳේ හාන්සිවෙලා කල්පනා කර කර ඉද්දි ෆෝන් එකට ආව මැසේජ් එකේ ඒ හැම ප්‍රශ්නෙකටම උත්තරේ ලියවිලා තිබිච්ච විත්තිය සප්තමී නොදැන උන්නෙ නෑ.

සමුද්‍රට සප්තමීගෙ නම්බර් එක හොයාගන්න එක අමාරු උනේ නෑ. ලොකුවටම අමාරු උනේ සප්තමී එක්ක කතාකරන්න තියා ෆෝන් එකෙන් මැසේජ් එකක්වත් දාගන්න බැරි විදියට මාලවී අස්සෙ රිංගන්න ආව එක. “කෑවද, බිව්වද, පොඩ්ඩක් අර පැත්තට යන්ද? පාලුද?” අරව මේව අහගෙන මාලවී පස්සෙන් එද්දි බේරෙන්න කියල කරන්න පුලුවන් වෙච්ච එකම දේ කාමරේට රිංගගන්න එක විතරයි.

“අනේ බං අර කෙල්ල චුයින්ගම් එකක් වගේ මගෙ ඇඟේ ඇලෙන්න වෙනවා. මම මේ සප්තමී එක්ක කතාකරන්නෙ කොහොමද කියල කල්පනා කරනවා. මේකි ඉන්න දෙන්නෙම නෑනෙ. අනේ පොඩ්ඩක් කතා කරලා ශේප් කරගනිංකො” කියල සමුද්‍ර කියද්දි සුමල් නිකන් මූණ ලඟින් ජරා සුවඳක් ගියා වගේ මූණ අවුල් කරගෙන තමයි සමුද්‍ර දිහා බැලුවෙ.

“දැන් උඹ මට කියන්නෙ උඹේ ඇඟේ ඇලවෙන්න එන චුයින්ගම් එක මගේ ඇඟේ අලවගන්න කියලද?” 

“මොකද්ද බං? යාලු ෆිට් එකට ඔහොම දෙයක් කරන්න බැරිද? මං උඹට කොච්චර උදව් කරලා තියෙනවද? බලපං උඹ දීපු චොකා ප්ලෑන් එකකට වැඩ කරල මගේ පස්සටත් වද දුන්න මිනිහා. එහෙම එකේ?”

“අනේ යකෝ ඔය පස්සට වද දුන්න සීන් එක නම් ආයෙ කියන්න එපා. ඕක අහන මිනිස්සු හිතාවි අපි දෙන්න අතරෙ මේ වෙන මොකක් හරි සීන් එකක යනවා කියල. හරි හරි මං චුයින්ගම් එක අලවගන්න බැරිනම් ගිලින්නම්කො. උඹ අරකිට කතා කරපං. මල වදයක් බං උඹලා මේ ලව් කරන්න පටන් අරගෙන අපිට තියෙන්නෙ” කිය කිය සුමල් කාමරෙන් එලියට ගිහිල්ලා මාලවී එක්ක කතා කරන්න පටන් අරගෙන තමන් දිහාවට එවන දුක්මුසු ලුක්ස් දිහා බල බල තමයි සමුද්‍ර සප්තමීට පලවෙනි මැසේජ් එක යැව්වේ.

“තරහද?” කියල මේ හැන්දෑවෙ යවන එක සප්තමී “මේ මිනිහට පිස්සුද?” කියන ලෙවල් එකෙන් භාරගනීවිද කියල හිතුනත් වෙන ඉතින් යවන්න දෙයක් නැති හන්දනෙ ඒක යැව්වෙ කියල සමුද්‍ර හිත සනසගත්තා. ඇඳේ හාන්සිවෙලා ටිකක් කල්පනා කර කර ඉද්දි “ටිං” ගාලා ආව ඒ මැසේජ් එක සමුද්‍රගෙන් කියල දැක්කම හිත හීනියට ගැස්සුණා. සුලං හමන එක නතර වුනා. කාලය අතරමග නතර වුනා වගේ දැනිච්ච එක ඇත්ත. ඒත් එක්කම කෙල්ලගෙ ලස්සන ලා රෝස පාට දෙතොල් එහෙ මෙහෙ වෙලා හිනාවකට පාර කැපුවා.

තමන් මේකට යවන්න ඕන උත්තරේ “ඔයා කවුද?” වගේ නොදන්න පාට් එකේ උත්තරයක්ද එහෙම නැත්තම් “මොකටද?” කියල ඇත්තටම අහන්න ඕන එකද කියන එක දෙපාරක් විතර හිතලා තමයි සප්තමී අන්තිමේ දෙවනි ඔප්ශන් එක තෝරගත්තෙ.

“මොකටද?”

“මං දවල් කිව්ව එකට”

“දවල් කීයක් ඒව කිව්වද”

“Don’t bite your own lips, let me do it කිව්ව එකට”

ඒ මැසේජ් එකෙන් පස්සෙ උත්තර එන්න ගිය තප්පර ගාණ ඇතුලෙ සමුද්‍ර ගෙව්වෙ කල්ප කාලාන්තරයක් දුර දිග ගිය කාලයක්. සප්තමී උන්නේ අයිස් වගේ හීතල හැඟීමක් අස්සෙ හිරවෙලා. “ඔව්” කියන එක මේ කතාව නතර කරන්න හේතුවක් වෙනවා වගේම “නෑ” කියල කියන එක කතාව දිග්ග්සන්න හේතුවක් වෙනව කියල දන්නව උනත් සප්තමීගේ හිතට තිබිච්ච එකම ප්‍රශ්නෙ ඒක නෙවෙයි.

“සමුද්‍ර මාලවීගෙ ගෙදරත් ගිය එකේ මම මෙහෙම සමුද්‍ර එක්ක කතා කරන එක හරිද?” කියන එක. මාලවීලගෙ ගෙදර යන්න තරම් සමුද්‍රට තිබිච්ච කාරණාවට උත්තරයක් සමුද්‍ර ලඟ තියෙන්න පුලුවන් කියන එක සමුද්‍ර මාලවීව මගාරින්න හදන එකෙන් හීනියට තේරුණාට සමුද්‍ර මොක කිව්වත් මාලවී තමන්ගෙ පොඩි කාලෙ ඉඳන් යාලුවා කියන එක, ඒකි තමන්ට මොන වරදක් කරත් තමන් එයාට කිසිම වරදක් කරන්න හොඳ නෑ කියන එක සප්තමී ආයෙ ආයෙ හිතුවා.

සමුද්‍රගෙ පැත්තෙන් කෝල් එකක් ආවෙ ඒ වෙලාවෙ. 

“ඇයි රිප්ලයි එකක් නැත්තෙ?” කියල සමුද්‍රගෙ ගැඹුරු කටහඬ ෆෝන් එක දිගේ ගලාගෙන එද්දි ආයෙම වතාවක් ඇඟේ හිරිගඩු පිපෙනවත්, අයිස් සීතල ඇඟ දිගේ ගලාගෙන යනවත් සප්තමීට තේරුනේ. ඒ හීතල ගල්ගැහීම අස්සෙ තමයි හිතන්නවත් වෙලාවක් දෙන්නෙ නැතුව කෙල්ලගෙ කටින් “නෑ” කියල කියවුණේ.

“ඒ කියන්නෙ කැමති කියන එකද?” කියල සමුද්‍ර ආයෙ අහද්දි ඒ කටහඬේ ඕනවටවත් වඩා විශ්වාස කරන්න පුලුවන් විදියෙ ආදරේකුයි, සරාගෙකුයි, පිරිමිකමකුයි, හිත ඇදිල යන ගතියකුයි තිබ්බට සප්තමීට හිතන්න තව දෙයක් ඉතුරු වෙලා තිබ්බා. ඒ හිතුවිල්ල වචන වෙලා සප්තමීගෙ පැත්තෙ ඉඳලා සමුද්‍රගෙ පැත්තට මාරු වුනා.

“මාලවීව අල්ලගත්තෙත් මේ වගේ දේවල් කියලද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here