මල් පිපුණිද හිම කැළයේ – 28

0
2861

කලබලයෙන් ආපසු හැරී ආවද ස්ටීව් උන්නේ අනවශ්‍ය අතීත මතකයක් ඇවිස්සීමේ තරහද කළකිරීමද ඇතිවය. අවසානයේ ඒ තරහා පාව ගියේද ආච්චී අසළ උන් ඇය මතිනි. පසුගිය දින කිහිපයේ ඇය හා ඇතිව තිබූ සමීප බව එක මොහොතින් ස්ටීව් අමතක කොට හැරී ආවේය. පෙර කළක සේම යළිත් පාලනය කරගන්නට බැරිතරම් තරහක් මතුව ඒම ඔහු ගේ මනස විඩාපත් කරලීය.

නිලංගා මේරි මර්ෆි යළි කාමරයට කැඳවාගෙන ආවාය. පළමු දිනයේම වැඩිවේලාවක් ඇය එළිමහනේ තබන්නට නිලංගා බිය ගත්තාය.අවුරුදු එකහමාරක් පමණ කාළයක් නිවස ඇතුළටම වී උන් ඇය බාහිර පරිසරයට වුව හුරුකරවාලිය යුත්තේ ක්‍රමයෙනි.එහෙත් ඇය තව වේලාවක් එළිමහනේ සිටින්නට කැමැත්ත ප්‍රකාශ කරමින් විරෝධතාවය පළ කළාය.

“අද ඉස්සෙල්ලාම දවස..හුඟක් වෙලා හුළඟ එහෙම වැදිලා හෙම්බිරිස්සාවක් එහෙම වත් හැදුණොත් මටයි බැනුම් අහන්න වෙන්නෙ මැඩම්ගේ මුණුපුරා ගෙන්….”
නිලංගා මේරි ඇඳට නංවා පැවසුවාය.

“දැක්කෙ නැද්ද පුප්පන් ගිය හැටි…ඇත්තමයි මෙහෙ කොහිල තිබ්බ නම් මම කොහිල කැඳ එකක් හදල දෙනවා ඔය මූලග්ගාය බහින්න..”
ඒ කොටස ඇය සිතෙන් පැවසුවාය.

“හෙටත් යමු…”
ගෙතුම් කටුවද වූල් බෝලයද අතට ගත් මේරි පැවසුවාය.

“හා දැන් පාඩම් වෙලාව…ගිහින් ගොතන බඩු ටික ගන්න…”
අන්තිමේදී නිලංගා මේරිගේ සිසුවියක වූයේ එලෙසිනි.මතක ශක්තිය වැඩිදියුණු කරන්නටත් ඇයගේ කතාබහ සහ චර්‍යා රටාව ගොඩනගන්නටත් පහසු සහ පලදායී ක්‍රමයක් ලෙසින් නිලංගා ගෙතුම් ඉගන ගන්නට මේරි කල යෝජනාවට කැමති වූවාය..

“ඉස්සෙල්ලා අපි තේ බීලා ඉම්මු..මම ගිහින් අද මැඩම්ට රස තේ එකක් හදන් එන්නම්කො”
නිලංගා ඇයගෙන් අවසර පතමින් මුලුතැන්ගෙය ට ගියාය.

“නෙලී….අම්මෝ අද නම් නියම වැඩක් ඔයා කලේ….කොහොම හරි මේරි මැඩම්ව එළියට එක්කන් ගියා නේද..? මායි සිල්වියා මැඩමුයි හොරෙන් බලාගෙන උන්නේ..ඒක නෙමෙයි නෙලී..ඇයි අර මිස්ටර් ස්ටීව් කලබලෙන් වගේ යන්න ගියේ?”
පෝලා මුළුතැන්ගේ සිට ඉදිරියට විත් නිලංගා වැළඳ ගනිමින් පවසුවාය.

“මේරි මැඩම් නම් හරි සතුටින් ඉන්නේ.ගෙට එන්න කැමැති වුනෙත් නැහැ.මම වදෙන් පොරෙන් වගේ එක්කන් ආවෙ.හෙටත් යන්න ඕනලු ඔන්න…”
නිලංගා පළමු පැනයට පිළිතුරු දුන්නාය.එහෙත් දෙවෙනි කොටසට පිළිතුරු දෙන්නට පැකිලුනාය.

“අනේ මන්දා පෝලා..මේරි මැඩම් එළියට ගිහිල්ලා මිස්ටර් ස්ටීව්ගේ පොඩ් කාලෙ ගැන එයා
එක එක දේවල් කිව්වා. ඒ වුනාට එකපාරටම මේරි මැඩම් කිව්වා මිස්ටර් ස්ටීව් පුංචිකාලෙ හරිි දඟයි..එයා මේරි මැඩම්ගෙ වත්තේ තිබුන ඔක්කොම මල් කඩලා පොඩි කරලා දානවා කියලා.. එක කිව්වා විතරයි එයා හුඟක් අප්සෙට් ගියා..එකපාරටම හදිසි වැඩක් තියෙනවා කියලා යන්න ගියා..”
නිලංගා කෙටියෙන් සිදුවූ විස්තරය පැවසුවාය.පෝලා කිසිවක් නොකියා සුසුමක් හෙළුවාය.

“එයාලගේ ජීවිත වල තියෙන ප්‍රශ්න හරිම complicated..ඒවට අපිට කරන්න දෙයක් නැහැ.අපි එයාලගේ සේවකයෝ විතරයිනේ…”
පෝලා කිසිවක්ම ඉන්පසු නොකීවාය.ඇයගේ නිහඬතාවයෙන් ගම්‍ය වූයේ තව දුරටත් ඒ ගැන කතා කිරීමට ඇය අකමැති බවය.

කෙතරම් ධනයෙන් යසසින් ආඪ්‍ය වුවද ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ සංකීර්ණ ගැටලු සමූහයකි.එසේ බැලූ කල කාත් කවුරුවත් නැති තමාද..ඔහුද අවසානයේදී එක් පසෙකින් සමානය.නමුත් තමා ගත්කල කුමන යම් හෝ කුඩා දෙයක සතුටක් සොයා ගෙන ජීවිතය විඳින්නට උත්සාහ දරද්දී ස්ටීව් ඇතුලාන්තයටම හැරුණු හුදෙකලා පුද්ගලයකු වී විඳවන්නේය.

ස්ටීව්ගේ චරිතයෙහි මෙතුවක් කල් තමා දුටු ආත්මාර්ථකාමීත්වය සහ අනුන් නොසලකා හරින ආඩම්බරකාරී ස්වභාවය හේතුවෙන් සැඟව තිබූ ඔහුගේ හිතෛෂි ගතිගුණයන් නිලංගා දුටුවේ පෙර දවසක චාරිකාව යන අතරේය. මිතුරන් නොවූවද යම්තාක් දුරට සමීපතාවයක් උන් දෙදෙනා අතරේ ගොඩනැගී එමින් තිබෙද්දී අද දවසේ වූ සිදුවීම යළිත් ඔහු වෙනස් කරවා දමන්නට හේතු විය.එහෙත් මේ කාරණයට තමා සම්බන්ධ වන්නේ කෙලෙසක දැයි නිලංගා ට සිතාගත නොහැකිවිය.ඔහු අවසානයේ නික්ම ගියේ තමා දෙසවත් නොබලමිනි.

දවස් ගතවී ගියේ ඉතා වේගයෙනි.පරිසරය මලින් බර වී සොඳුරු වසන්තය උදාවෙමින් තිබුණි.නිලංගා සති අන්තයන්හිදී හැකි තරම් ඇවිදින්නට ගියාය.මාලිකා ළඟ ළඟ එන සිය විවාහයට කාර්‍යබහුල වූවාය.විවාහය සැලසුම් කිරීමෙහිලා ඇයට නිලංගා ගේ උදව් නිතර අවශ්‍ය විය.

“මට මෙහෙ වෙඩින් එක සිම්පල් විදියට ගන්න ඕන වුණාට අපෙ අම්මලාට ලංකාවෙත් නෑයොන්ට කියලා වෙඩින් සෙරමනි එකක් ඕනලුනෙ නෙලී.අනේ මට එහේ කස්ටම්ස් තේරෙන්නෙත් නෑ ..මෙහෙ ආවට පස්සෙ මම එහෙ එකම වෙඩින් එකකටයි ගියෙත්… “

“ඒත් අම්මලාගෙත් ආසාවනෙ නෙලී..එයාලට වෙන ළමයිත් නෑ.මේක නෙ වන් ඇන්ඩ් ඔන්ලි චාන්ස් එක…ඒ නිසා බ්‍රයනුත් කැමතියි ලංකාවේ වෙඩින් එක ගන්න…ඔයා මට හෙල්ප් කරන්න හොඳේ…”

මාලිකාගේ අහිංසක ආශාව වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් කරන්නට නිලංගා සූදානම් ව උන්නාය.මාස තුනකින් එළඹෙන දිනයකදී ඇයගේ විවාහ උත්සවය නුවරදී සිදුකරන්නට සියලු දෙනා සූදානම් වෙමින් උන්හ.ඊට පෙරාතුව බ්‍රයන්ගේ නෑදෑයන් මිතුරන් වෙනුවෙන් සාදයක් සමගින් කතෝලික දේවස්ථානයක විවාහ චාරිත්‍රද ඉන් පසු එළිමහන් උද්‍යාන බිමක කුඩා සාදයක්ද පවත්වන්නට සැලසුම් කෙරිණි.

“ඔයා මාත් එක්ක ලංකාවට යන්නත් එන්න ඕන. ඔයා තමයි මගෙ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්නෙ.”
නිලංගා විශ්මයෙන් ගල්ගැසුණාය. ලංකාවට යන්නට ඇය තුළ කිසිදු අභිලාෂයක් නොවීය.ජීවිතයේ තමාගේ යයිි කියන්නට කිසිවෙකු නොමැති කල උපන් දේශය පවා තමා හට ආගන්තුක වන ආකාරය ඇයට අත්විඳින්නට සිදුවෙමින් තිබුණි.

“අනේ මෙලා…මං ඒකට හරියන්නේ නැහැ.ඔයා ඔයාගේ කසින් කෙනෙක්ව ඒකට සිලෙක්ට් කරගන්නකෝ.”
පසුබෑමට නිශ්චිත හේතුවක් නැත ද නිලංගා එක්වනම එය ප්‍රතික්ෂේප කළාය.

“නෑ නෑ නෑ වෙන කවුරුවත් නෑ ..ඔයා තමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්..අනෙක මට ලඟින්ම ඉන්න මගෙ ෆේවරිට් කෙනා තමා මගෙ ජීවිතේ special event එකකදී එතන ඉන්න ඕන..තේරුනාද?”
නිලංගාගේ අකමැත්ත කිසිසේත්ම ගණනකට නොගත් මාලිකා පැවසුවාය.

“එතකොට මේරි මැඩම්..එයාව දාලා කොහොමද එහෙම යන්නේ?..”
නිලංගා සිය අවසාන තුරුම්පුවද භාවිතා කළාය.මාලිකා නිලංගාගේ ඉදිරිපසට විත් ඇයගේ දෙකොපුළ දෑතින්ම අල්ලාගෙන මිරිකුවාය.

“මං හිතුවා ඕක අහයි කියල..ඒවා ඔක්කොම හරි.සිල්වියා ආන්ටි ඒකට ඔක්කොම ප්ලෑන් සූදානම් කරලයි තියෙන්නේ.පෝලා ඉන්නවා. කෙයා ඒජන්සි එකෙන් දෙන්නෙක් තුන්දෙනෙක්ම ආච්චි වෙනුවෙන්ම ස්ටෑන්ඩ් බයි තියාගනීවි ඒ සති තුනට.බ්‍රයන් ඒ ඔක්කොම සිල්වියා ආන්ටියි ස්ටීව්‍ යි එක්ක දැනටමත් කතා කරලා ඉවරයි..”
නිලංගා විශ්මයෙන් දෑස් විසල් කළාය.එසේ නම් ස්ටීව් ද මේ කාරණය ගැන දැනුවත්ය.සිත යට ඇත්තේ තවත් කුකුසකි.

” මෙහෙන් තව කවුද යන්නේ මෙලා…?”
නිලංගා ආයාසයෙන් විමසුවාය.

“බ්‍රයන්ගේ ෆැමිලි එකයි..එයාගේ ළඟම යාළුවො ටික දෙනෙකුයි..යනවා…සිල්වියා ආන්ටි එන්නෙ නෑ…එයා මෙහෙ ෆන්ක්ශන් එකට එනවා කීවා…ස්ටීව් එනවා..එයානේ බෙස්ට්මන්…”
මාලිකා සිනා සෙමින් පැවසුවාය.
සිත හැකිලී ගියේ නිරායාසයෙනි.ස්ටීව් මේ දිනවල සාමාන්‍ය ආකාරයෙන් උන්නද තමා සමගින් ලොකු හිතවත් බවක් නොපෙන්වා සිටී. එය ආරම්භ වූයේ මේරි සිය උද්‍යානයේ සිට ස්ටීව් ගේ දඟකම් පැවසූ දා පටන් ය.හැමදාමත් මෙන් වරද කුමක් වුවත් ඒ අවසානයේ තමා පිටින් ගොස් ඇතුවා සේ විය.ඔහු සමග යහළු මනමාලයා සහ මනමාලිය වීම තමාහට ලැබිය හැකි ලොකුම දඩුවමකි.

“මම හැබැයි බ්‍රයන්ට කිව්වා..බෙස්ට්මන් උනාට කමක් නැහැ..මොන දේ උනත් එයාට නම් මම මාව බලාගන්න රෙස්පොන්සිබිලිටි එක නම් දෙන්නෙ නෑ කියල…”
මාලිකා හඬ නගා සිනාසුණාය.නිලංගාටද අනායාසයෙන් ම සිනාවක් පහළ විය.

“මට තමයි ලොකුම රැග් එක.මිස්ටර් ස්ටීව් අර සිද්ධියෙන් පස්සේ මාත් එක්ක කතා කරන්නෙම නැහැ.trip එක ගිහින් එනකොට එයා ටිකක් ෆ්‍රෙන්ඩ්ලිවෙලා හිටියේ.හැබැයි ඒ ඔක්කොම ආපහු අතුරුදහන් වෙලා ගියා වගේ.දැන් ඉතින් වෙඩින් එකේදිත් ෆොටෝස් වලට එහෙම කොහොම ඉන්නද මන්දා”.

ඕනෑම දෙයක් මාලිකා සමඟින් පවසන්නට හැකිවීම එක් අතකට ලොකු සහනයකි. කිසිදු විනිශ්චයක් කල් ඇතුවම නොගන්නා ඇය සාවධානව සවන් දෙන්නියකි. එහෙයින් ඇය සමඟ පවතින මිත්‍රත්වය ඇත්තෙන්ම ජීවිතයට පහසුවකි.එවන් මිතුරියක් වෙනුවෙන් අසීරු වුවද මේ කැපවීම කළ යුතු බව නිලංගා සිතට ගත්තාය.

“එයා ඉතින් ඔහොම තමයි කාලෙන් කාලෙට.තමන්ගේ අම්ම එක්කවත් කතා කරන්නේ නැතිි මනුස්සයා අපිට මොන ප්‍රතිචාරයක් දුන්නත් ඒක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ.ඕවා ගණන් ගන්න එපා ඔයා.”

මාලිකා ඇයගේ සිත හදන්නට මෙන් පැවසුවාය.බ්‍රයන් සමගින් ස්ටීව් එම කාරණය ගැන කතා කළ බව මාලිකා නිලංගා හට පැවසුවේ නැත.

“ස්ටීව් හිතාගෙන ඉන්නේ ආච්චී එදා ස්ටීව්ගෙ පොඩි කාලෙ ස්ටබර්න් ගති ගැන කිව්වම ඒක නෙලී ජෝක් එකට වගේ ගත්තා කියලා.මං මෑන්ට කිව්වා එහෙම වෙන්න බෑ කියලා.නෙළී එහෙම කෙනෙක් නෙමෙයි කියලා කොච්චර කිව්වත්..ස්ටීව් හිතාගෙන ඉන්නේ මෑන්ට ඕනේ විදිහටමයි.මෑන් මගෙන් අහනවා එයාගේ ජීවිතේ තිබ්බ ඒ ඩාක්නස් එක පිට කෙනෙකුට කීයටවත් තේරුම් ගන්න බැහැ නේද කියලා..මොකද මෑන් හිතාගෙන ඉන්නෙ නෙලී කියන්නේ හරි ලස්සන යුනිටි එකක් තියන ඒශියන් පවුලක කෙනෙක් වෙන්න ඇති කියල.මම ඒවා වෙනස් කරලා මොකුත් කියන්න ගියෙ නෑ මෙලා. ස්ටීව් එක්ක උනත්..නෙලීගේ personal life එකේ තිබිච්ච ප්‍රශ්න කියන එක හරි නැහැනේ.ඔයා මට ඒ දේවල් කිව්වට මම තව කෙනෙකුට කියන්න හොඳ නැහැ ඒ වගේ දේවල්.ඊට වඩා හොඳයි ඔය මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකෙන්ම එයා ඉන්න එක.”
බ්‍රයන් එසේ පැවසූ දා අනුමත කළ බව මාලිකාත් සිහිපත් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here