“මං දන්නවා ඔයා එහෙම දෙයක් ඇහුවෙ ඇයි කියන එක. ඒ උනාට ඔයා ඒ දැකපු දේ නෙවෙයි ඇත්ත. ඊට වඩා කතාවක් ඔයා දැක්ක දේ අස්සෙ තියෙනවා” කියල සමුද්‍ර කියද්දිත් ඒක පිළිගන්න තිබ්බ නම් හොඳයි කියල අදහසක් තිබ්බට ඒක එහෙමම පිළිගන්න බෑ නේද කියන එක සප්තමී කල්පනා කලා.
“මං දැකපු දේ නෙවෙයි ඇත්ත කියල කියන්නෙ ඔයානෙ. ඒ උනාට ඇස් දෙකෙන් දැකපු කන් දෙකෙන් අහපු දේ ඇත්ත කියල මට පිළිගන්න වෙනවනෙ. මොකද මම ඒව එක්ස්පීරියන්ස් කල නිසා” කියල සප්තමීගේ හීනි කටහඬ ෆෝන් එක දිගේ එහා පැත්තෙ ඉඳලා මෙහා පැත්තට හුවමාරු වෙද්දි සමුද්‍ර ලොකු හුස්මක් හුලඟට අත ඇරියා.
“මං ඇත්තටම එදා එන්න ආවෙ ඔයාලගෙ ගෙදර සප්තමී. මට ඕන උනේ ඔයාට කතාකරන්න. ඔයාගෙ නම්බර් එක මම ඉල්ලගත්තෙ සුමල්ගෙන්. මිනිහ අතින් වැරදිලා මට දීල තිබ්බෙ අරයගෙ නම්බර් එක. මම දැනගෙන හිටියෙ නෑ ඒ ඉන්නෙ එයා මිසක් ඔයා නෙවෙයි කියලා. මම කෝල් කරෙත් නෑ මැසේජ් කල එක කලේ. මං ඒත් කල්පනා කලා ඇත්ත ජිවීතේ මූණ බලලා කතා නොකරන කෙල්ල ටෙක්ස්ට් කරද්දි හරිම ෆෝවර්ඩ් විදියට කතා කරද්දි. ඒත් මම කීයටවත් මෙහෙම දෙයක් වෙලා කියල හිතුවා නෑ. මම එයාලගෙ ගෙදර දොරකඩ ඉස්සරහට ගිහිල්ලා බෙල් එක ගහල එයා එලියට එද්දි තමයි දැනගත්තෙ මොකක් හරි අංජබජල් කේස් එකක් වෙලා කියන එක. ඔයා දැක්ක හැමදේම ඇත්ත. මාලවී මොනව කිව්වද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඒ දැක්ක හැමදේම වගේම අහපු හැමදේම පිටිපස්සෙ ඔයා හිතන්නෙ නැති වෙන දෙයක් තියෙනවා.
මං දන්නවා කවුරුවත් මං එහෙම කිව්වට විශ්වාස කරන්නෙ නෑ කියන එක. ඒ උනාට සප්තමී ඒක තමයි ඇත්ත” කියලා කිව්වයින් පස්සෙ කෙල්ල උන්නෙ ඇත්තටම දැන් තමන් මොකද්ද කියන්න ඕන කියලා හිතාගන්න බැරුව. සමුද්‍ර කියන දේ ඇත්ත වෙන්න පුලුවන් බව හිත විශ්වාස කරත් තමන්ගෙ හිත සමුද්‍ර ගැන මොන තරම් ලස්සන දේවල් හිතන්න කරන්න පෙළඹෙව්වත් මාලවීගෙ හිත රිද්දල ලබාගන්න පුලුවන් සතුටක් තමන්ට නෑ කියන එක සප්තමී දැනගෙන හිටියා.
“ඔයා සද්ද නැතුව ඉන්නවා ඇත්තෙ සමහරවිට මං කියන ඒව විශ්වාස නැති හන්දා වෙන්නැති. ඒ උනාට ඒක තමයි…”
“නෑ මං දන්නව”
“මොකද්ද?”
“ඔයා බොරුවක් නෙවෙයි කියන්නෙ කියන එක”
“ඔයාට මාව විශ්වාස කරන්න බැරි සමහරවිට මාලවී ඔයාගෙ යාලුවා හන්ද වෙන්නැති. එහෙමත් නැත්තම් එයා කිව්ව දේවල් හන්දා වෙන්නැති. ඒ උනාට මට ඇත්තටම උවමනා උනේ එදා ඔයාව හම්බුවෙන්න සප්තමී. එදා මෙහෙ ශූටින් ඉවරවෙලා ඇවිල්ලා ආයෙම ඔයාව දකින්නෙ කවදද කියල කල්පනා කර කර ඉන්න වෙලාවෙ තමයි සුමල් කිව්වෙ මෙන්න මෙහෙම දෙයක් කරල බලමු කියල. ඒක හරි යාවි කියල අපි හිතාගෙන හිටියට අන්තිමෙ ඒක වැරදි පාරක තමයි ගියේ. ඒකෙන් උනේ ඔයාගෙ හිතේ මං ගැන සම්පූර්ණ වැරදි චිත්‍රයක් මැවිච්ච එක විතරයි. මං දන්නෙ නෑ මං කොහොමද ඒක හරි ගස්සන්න ඕන කියල. මට ඇත්තටම ඕන උනේ ඔයාව හම්බුවෙන්න, ඔයා එක්ක කතා කරන්න ඔයාව දකින්න.
ඔයා ඒ ඇයි කියල අමුතුවෙන් ආයෙ මගෙන් අහන්නවත් ඒකට හේතුව මම කියන්නවත් ඕන කියල මම හිතන්නෙ නෑ. ඔයාට හිතාගන්න පුලුවන් ඇතිනෙ ඇයි මම මෙහෙම දෙයක් කියන්නෙ කියලා” කියද්දි සමුද්‍ර මේ කියන්නෙ ලස්සන කතාවක් බව අමුතුවෙන් තේරුම් ගන්න සප්තමීට උවමනා උනේ නෑ. එතන තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි.
“ මාලවී හිතාගෙන ඉන්නේ ඔයා එයාට කැමතියි කියල. ඒ ළමයගෙ හිත රිද්දන්න එපා” කියලා සප්තමී කියද්දි “ඒ ළමයගෙ හිත රිද්දන්නෙ නැතුව ඉන්න කියල මට ඔයාව නැතිකරගන්න බෑ” කියන කතාව සමුද්‍රට වචන කරගන්න ලේසි උනේ නෑ. ඊටත් එහා ඒ කතාව කියන්න කලින් ෆෝන් එකෙන් මෙහා ඇත්ත ජිවීතෙත් තමන් තව ලංවෙන්න ඕන කියන කතාව සමුද්‍ර දැනගෙන හිටියා.
“මම මාලවීට තේරුම් කරලා දෙන්නම්. ඔයාගෙ නම කියන්න මට බෑ. ඒත් මැසේජ් කරේ ඔයා කියල හිතන් එයාට බව කිව්වම එයා කොහොමත් මොකක් හරි එකක් හිතාවි. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි කියන එකයි මට තියෙන ලොකුම බය. මේක ලොකු පැටලවිල්ලක් බව ඇත්ත. හැබැයි ඒ පැටලවිල්ල හැදුවෙ මං හන්දා මම කොහොමහරි ඒක ලෙහාගන්නම්. ඔයා දැන් කාමරේ ඇතුලට වෙලා ඉන්නෙ මේ වෙච්ච දේවල් හන්දනම් ප්ලීස් එහෙම ඉන්න එපා. අනික ඊලඟ දවසෙ ශූටින් වලදි අද වගේ එක එකාගෙන් බැණුම් අහන්නත් එපා. මං හින්දනෙ ඒ ඔක්කොම. ප්ලිස්. දැන් ඩිනර් එක ඇරේන්ජ් කරල කට්ටියට එන්න කියනවනෙ. හොඳ ළමයා වගේ එන්න” කියලා සමුද්‍ර කතාව ඉවර කරද්දි මාලවී උන්නෙ සුමල් එක්ක සමුද්‍ර ගැන වෙනම කතාවක් කර කර.
“සමුද්‍ර ඇයි එලියටවත් එන්නෙ නැතුව රූම් එකට රිංගගෙන ඉන්නෙ අද?” කියලා මාලවී අහද්දි සුමල් නිකන්ම ඔහේ කියලා දැම්මා “මිනිහගෙ ඔලුව රිදෙනවලු” කියලා. වෙන ඉතින් මොකෝ ඇත්ත කියන්න කියලද?
“අනේ මං දන්නෙවත් නෑ. හෙඩ් මසාජ් එකක් දෙන්නද කියල අහන්නෝන”
“ඔයා මොකටද එයාට හෙඩ් මසාජ් දෙන්නෙ?”
“ඇයි සමුද්‍ර අයියා ඔයාට කිව්වෙ නැද්ද?”
“මොකද්ද?”
“අපි දෙන්න ගැන”
“ඔය දෙන්නා ගැන මොනවද?”
“එයා අපේ ගෙදර ආව කියලා”
“වෙන්න බෑ”
“මොකද්ද වෙන්න බැරි?”
“සමුද්‍ර ඔයාලගෙ ගෙදර ආව කියන එක”
“වෙන්න බෑ කියල ඔයා කිව්වට ඔය වුනේ”
“ඔයා මොකක් හරි වැරදි වල්ගෙයක් අල්ලගෙන. හරි ආවම කියමුකො. ඉතින් මොකද්ද? මිනිහෙක් එහෙම ගෙදර එන එකේ අවුලක් නෑනෙ, ඒක සාමාන්‍ය දෙයක්නෙ. ඔයා නිකන් ඒක වැරදියට හිතාගත්තට”
“මං ඒක වැරදියට හිතාගත්ත එකක් නෑ, හිතේ මොකක් හරි දෙයක් තියෙන හන්දනෙ සමුද්‍ර අයියා මට මැසේජ් කරල අපෙ ගෙදරත් ආවෙ. හිතේ මුකුත් නැත්තම් ඔයා කියනවා වගේ එහෙම එන්නෙ නෑනෙ”
“මං හින්දා තමයි ඌට එහෙම එන්න වුනේ ඔයාලගෙ ගෙදර?”
“ඒ කිව්වේ? මොනවද ඔයා කියන්නෙ? මට තේරෙන්නෙ නෑ”
“මං හිතන්නෙ නෑ මේක මම ඔයාට කියන්න ඕන කියලා. සමුද්‍ර ඕක කියන්න කැමති වෙයිද කියලා මං දන්නෙ නෑ. මිනිහා කොහොමත් කාගෙවත් හිත රිද්දන්න කැමති මනුස්සයෙක් නෙවෙයි හන්ද සද්ද නැතුව ඉඳලා අන්තිමේ පස්සෙ ඔක්කොම වණ කරගනීවි. ඒ වුනාට මේ කතාව කියන්න ඕන සමුද්‍ර මිසක් මම නෙවෙයිනෙ නංගි. ඒ නිසා ඔයා ඒක සමුද්‍රගෙන්ම අහගන්න” කියල සුමල් කතාව ඉවර කරනවත් එක්කම වගේ තමයි සමුද්‍ර කාමරේ දොර ඇරගෙන එලියට ආවෙත් එච්චර වෙලා සුමල් ළඟ හිටගෙන උන්න මාලවී කෑගහගෙන සමුද්‍ර ඉන්න දිහාවට ගියෙත් එකම වෙලාවේ.
“මොකද්ද මේ කියන කතාව?” කියල මහ සද්දෙට අහගෙන මාලවී කුණාටුවක් වගේ එද්දි හිතපු නැති විදියට ඔක්කොම කෙලවෙලා විත්තිය විතරක් සමුද්‍රට තේරුණා.
“මොකද්ද?”
“මොකද්ද අර සුමල් කියන්නෙ මම ඔයා ගැන හිතාගෙන ඉන්නෙ වැරදි දෙයක් කියලා” මාලවී අහද්දි හොඳට හෝ නරකට වේවා මේ කතාව මෙහෙමම ඉවර කරන එක හොඳ විත්තිය විතරක් සමුද්‍ර හිතුවා.
“ඒ කතාව ඇත්ත”
“මොන කතාවද?”
“ඇත්තටම මම එහෙම ආවෙ වැරදීමකින්. ඒ වගේම මම ආවෙ ඔයා එක්ක යාලුවෙන්නවත් එහෙම අදහසකින්වත් නෙවෙයි.අයෑම් සොරි මං දන්නවා මගෙන් වරදක් උනා. ඒක ලොකුම ලොකු වරදක්. ඔයා මං ආව එක වැරදියට තේරුම් අරගෙන ඒ උඩ ගොඩක් දුර හිතපු එක හරි කියලවත් වැරදි කියලවත් මං කියන්නෙ නෑ.ඒ උනාට මම එහෙම වැරදි අදහසකින් නෙවෙයි ඔයාට කතාකරේ. ඇත්තටම ඒක වැරදීමකින් වෙච්ච දෙයක්”