මතක දිගහැරුම – අප්සාරි සිංහබාහු තිලකරත්න

තුන්වන දිගහැරුම ,

තාත්තා අප කුඩා කල සිටම දේශීයත්වයට මුල් තැන දී අපව හැදූ අතර ඔහු නිතරම අපට කියා දුන්නේ අපේ රටට , සංස්කෘතියට ආදරය කිරීමටය.ලංකාවේ සෑම සිද්ධස්ථානයක්ම නැරඹීමට ඔහු අපව රැගෙන ගියා පමණක් නොව ඒවායේ ඇති වටිනාකම් ගැන පහදා දීමටද ඔහු අමතක කලේ නැත.විටෙක බස් රථයක් පිරෙන්නටම තාත්තාගේ මිතුරන් සමඟ එවැනි චාරිකා ගිය බව මට මතකය.රටේ ඇති සෑම තැනක්ම පාහේ තාත්තා අපට පෙන්වූ අතර රටේ ඇති වටිනා දේවල් වලට ගහකොළට ආදරය කිරීමට පවා ඔහු අපට මැනවින් කියා දුන්නේය.

වර්තමානයේ බහුතරයක් දෙනා මෙන් සිංහල අවුරුදු නිවාඩුවට අප කිසි දිනක විනෝද චාරිකා ගියේ නැත.අවුරුදු දිනවල නිවසේ සිටීම අපට අනිවාර්‍යය කාරණාවක් විය.සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම නිවසේ සිදු කලහොත් අපද ඒවා ඉදිරි පරම්පරාව වෙත රැගෙන යාවී යන විශ්වාසය අම්මා සහ තාත්තා තුළ විය.

නිවසේ ගෘහණිය නිතරම ගනුදෙනු කරන්නේ මුලුතැන්ගෙය සමග නිසා අම්මා එය මුල් කරගෙන අවුරුදු නැකතට ළිඳ සමඟ ගනුදෙනු කරයි.ඇය පිරිසිදු රෙදි කඩක් ගෙන එයට සහල් ස්වල්පයක් ද , සූදුරු , අබ , ගම්මිරිස් ඇට වැනි කුලු බඩු ද, ,සතයේ හෝ සත පහේ කාසියක් ද දමා කුඩා පොට්ටනියක් බඳියි.එම පොට්ටනිය කෑම මේසයේ පහන දල්වන තැන තබන අම්මා නැකතට පහන පත්තු කර ආහාර අනුභවයටත් පෙර ළිඳ ලඟට යන්නේ තවත් විශේශ වූ යමක් රැගෙනය.අප නිවසේ බුදු පහන අසල නිතරම කට ලගටම පිරවූ වතුර බෝතලයක් ඇත.එම බෝතලයත් රැඟෙන ළිඳ ලගට යන අම්මා එම වතුර ළිඳට හෝ ගහකට දමයි.අනතුරුව ඇය කලින් සකස් කරගත් පොට්ටනිය ළිඳ තුළට දමා ළිඳෙන් අලුත් වතුර බාල්දියක් ගෙන හිස් බෝතලයේ කට ලඟට වනතුරු වතුර පුරවයි.එම බෝතලයත් රැගෙන නිවසේ ඉදිරිපස දොරෙන් ඇතුලුවන අම්මා එය නැවත බුදු පහන අසලින් තබා වැඳ අනෙක් කටයුතු අරඹයි .නිවසේ ගෘහණිය සිංහල අවුරුද්දට ගනුදෙනු කරන්නේ ඒ ආකාරයෙන් බව අප ඉගෙන ගත්තේ අම්මාගේ ඒ ක්‍රියා පිළිවෙත නිසාවෙන්ය.

සිංහල අවුරුද්දට තාත්තා අපට වැඩ ඇල්ලීම ගැන කියාදුන්නේ අප කැටුව ගොස් පොත් කියවන්නට සැලැස්වීමෙන් වන අතර කිරි ගහකට පිහියෙන් ඇන කිරි එන්නට සලස්වා වැඩ ඇල්ලීම ඔහුගේ සිරිත විය.

කෑම මේසයේ වාඩිවන අප සියලු දෙනාටම තාත්තා විසින් කිරිබත් කවයි. ඉන් අනතුරුව අප බුලත් දී තාත්තාට වඳින අතර මුලින්ම තාත්තාට වැඳ ඔහුගේ ආශිර්වාද ලබා ගන්නේ අම්මාය.වර්තමානයේදි මම ද ඒ චාරිත්‍රය නොකඩවා සිදු කරනු ලබන්නේ ඔවුන්ගෙන් ලැබුනු ඒ ආභාසය නිසාය.ඒ සංස්කෘතික උරුමය ඉදිරියට ගෙන යන ලෙස අම්මා සහ තාත්තා අපට කිසි දිනක නොකීවත් ඔවුන් ඒවා සිදු කර අපට පෙනෙන්නට සැලැස්වීමෙන් ඒ චාරිත්‍ර ඉදිරි පරම්පරාව වෙත ගෙන යාමට අපව යොමු කරවීමට ඔවුන් සමත් විය.

වෙසක් කාලයට අප වෙසක් කූඩු සෑදුවේ නිවසේ සියලු දෙනා එක්වීය.ඒ වගේම නිවසට ආසන්නව ඇති පාරේ අප විසින් කෙසෙල් බඩ සිටුවා ඒවායේ ඉරටු සවි කර පහන් තබා රාත්‍රියේදි පහන් දල්වන්නේ එම වීදියම ආලෝකමත් කරමිනි.
වෙසක් දිනයේ අපට ඇති අනෙක් සතුටුදායකම මතකය නම් දන්සල් දීමය. අසල්වැසි නිවෙස් වල දෙමව්පියන් සහ දරුවන් එක්ව නිවෙස් වල සිසිල් බීම සකස් කර පාර අයිනට ගෙනගොස් දන්සල් දීම කුඩා දරුවන් වූ අපට බෙහෙවින් විනෝදජනක මෙන්ම අතිශය සුන්දර අත්දැකීමක් විය.
වර්තමානයේ බොහෝ දෙනා තම පවුලට පමණක් සීමා වී අසල්වැසියන්ද නොහඳුනන යුගයක ,එකල අප සියලු දෙනා එකට එක්ව එකා මෙන් සහයෝගයෙන් ජීවත් වීම පුදුමාකාරය.

එළවලු සමඟ බත් කන්නට අකමැති වූ මට බත් කන්නට මස් කෑල්ලක් හෝ මාලු කෑල්ලක් අනිවාර්යයෙන්ම උවමනා විය.ඇතැම් දිනවල එසේ මස් මාංශ ගන්නට නිවසේ මුදල් නොතියෙන්නට ඇති වුනත් , මගේත් නංගිගේත් බත් පිඟානේ මස් ,මාලු හෝ බිත්තර වරදින්නේ නැත.අපට කිසිම අඩු පාඩුවක් නොකල අම්මා සහ තාත්තා ඇතැම් දිනවල කරවල හෝ හාල් මැස්සන් බැද ඒවා සමඟ බත් කනවා අප දැක ඇත.

තරමක මුරණ්ඩු කෙල්ලක වූ මට එකළ දෙයක් උවමනා වූවොත් උවමනා වූවාමය.කෙසේ හෝ එය ලැබෙන තුරු මා පැය ගණනාවක් වුවත් හඬන නිසා අවශ්‍ය සෑම දෙයක්ම පාහේ අපට ලබා දෙන්නට තාත්තා වෙහෙස ගත්තේය.වරෙක මට ” චොපර් බයිසිකලයක් ” ඕනෑ විය.විදෙස් ගතවී සිටින පියෙකුගේ දරුවෙක් එවැනි බයිසිකලයක් පදිනු දැක මට ඉන් එකක් උවමනා වූයෙන් මම ඉකිගසමින් රාත්‍රිය වනතුරුම හැඬුවෙමි.එකල චොපර් බයිසිකල් බොහෝමයක් පිටරටින් පමණක් ගෙන්වන නිසාත් , මා දිගින් දිගටම හඬන නිසාත් තාත්තා ඒ ගැන බොහෝ දුක් විය. මහරගම පිහිටි එක් වෙළඳසලක එවැනි බයිසිකල් තිබෙන බව මිතුරෙකුගෙන් දැනගත් තාත්තා ඒ රාත්‍රියේම එම වෙළඳසැල් හිමිකරුට කතා කොට වෙළඳසැල විවෘත කරවාගෙන බයිසිකලයක් මිලට ගෙන ඇත.හැඬූ කඳුලෙන් නින්ද ගොස් සිටි මගේ ඇඳ ලඟ බයිසිකලය තැබූ තාත්තා පසුදින උදෑසන මාව පුදුමයෙන් පුදුමයට පත් කලේ තාත්තාගේ හදවතේ මා කෙරෙහි වූ අසීමාන්තක ආදරය එසේ පෙන්වමිනි.

තාත්තා කළමනාකරු ලෙස සේවය කල සිනමා ශාලාවේම සේවය කල ” පර්සි අන්කල් ” මට බයිසිකලය පදින්න හුරු කලේ ඉමහත් ආදරයෙනි.මා බයිසිකලය පදින විට පසුපසින් එය තල්ලු කරගෙන එන ඔහු , මම සංගීත පන්තියට යනතුරුම මගේ පසුපසින් ආවේය.

මා හවස තුනට හතරට පමණ නිවසට මදක් නුදුරින් වූ බේකරියට බයිසිකලය පැදගෙන යන්නේ එකල අපට එම ප්‍රදේශයේ වූ ආරක්ශාව ගැන අම්මාට සහ තාත්තාට බියක් නොවූ නිසා සහ මිනිසුන් අතර හොඳ විනයක් තිබූ නිසාය.පෙනෙන නොපෙනෙන දුරක වූ බේකරියට මා බයිසිකලයෙන් යන්නේ එය පැදීමට තිබුනු ආසාව නිසා වන අතර මා බේකරියට ගොස් එනතුරු අම්මා බලාගෙන සිටින්නේ නිවස ආසන්නයේ සිටය.

සෑම නත්තල් දිනයකදීම අප නිවස නත්තල් ගසකින් සැරසෙන අතර අසල්වැසි ළමුන් පැමිණ එය අලංකාර කිරීමට අප හා එක්වුනේ ඉතාම කැමැත්තෙනි.තාත්තා අපිට තෑගි ගෙනවිත් ඒවා ලස්සනට ඔතා අප නිදා සිටින කොට්ටය යටින් තබන්නේ අපව පුදුම කරන්නටය.උදෑසනදී අප ඉතා සන්තෝසයෙන් ඒවා දිගහැර බලන විට තාත්තා කියන්නේ ඒවා නත්තල් සීයා විසින් ගෙනවිත් තබා ගිය තෑගි කියා ය.

එකල තාත්තා ළමා ගීත සහිත කැසට් පට ගෙනවිත් ඒවා අප රාත්‍රියේ නිදන්නට යන විටදි පවා ඇසෙන්නට සැලැස්වූයේය.ඉතා මිහිරි එවැනි ගීත අසන්නට මම මෙන්ම නංගීත් ප්‍රිය කරද්දී ඇතැම් විට අම්මා අපට දුටුගැමුණු රජතුමා ,යෝධයන් ,අන්දරේ පිළිබඳව මෙන්ම ජාතක කතා ,වීරවරුන් ,යශෝධරා දේවිය ,විහාරමහා දේවිය පිළිබඳවද ලස්සන කතන්දර කියා දුන්නේ අපට නින්ද යනතුරු අපේ හිස අතගාමින් ය.වර්තමානයේ ළමුන්ට මෙන් ජංගම දුරකථන ,කාටුන් වැනි දේ නොතිබුනද අපගේ ළමා කාලය අතිශයින්ම සුන්දර එකක් වූයේ එවන් වූ ඉතාම සරල දේවල් සමඟය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles