සති දෙක තුනක කාලයේදී මේරි මර්ෆි නිවස තුළ ඇවිදින ආධාරක රාමුවකින් නිලංගාගේ සහය ද ඇතිව ඇවිදින්නට පටන් ගත්තාය.සති දෙකකට වතාවක් ඩැනියෙල් පැමිණ අවශ්‍ය උපදෙස් සහ ගුරු හරුකම් දී නික්ම ගියේය.ඩැනියෙල් පැමිණෙන හැම මොහොතකදීම ස්ටීව් කෙසේ හෝ ආච්චී අසල රැඳෙන්නට කුමක් හෝ හේතුවක් සොයාගෙන පැමිණියේය.
තුරුණු වියේ යෞවනයකු සේ ස්ටීව්ගේ මේ හැසිරීම ඩැනියෙල් හට එක්තරා ආකාරයකට විනෝදයක් විය.
“ඒ වගේ වෙලාවක බ්‍රයන්ටත් ඉන්නයි තියෙන්නෙ..ඒ වෙලාවට ස්ටීව් පුළුවන්නම් මාව බැදලා කනවා..අර ගර්ල් එක්ක මම කතා කරනකොට මූණ දෙක වෙනවා.මාත් ගානකට ගන්නෙ නැතුව ඔහේ ඉන්නවා..”
පසු දවසක බ්‍රයන් හමුවූ මොහොතේ ඩැනියෙල් පැවසුවේ සිනාසෙමිනි.
“ස්ටීව්ට තියෙන්නෙ පුදුම මාන්නයක්… ඒ නිසාම එයා කැමති නැහැ…එයාට ඒ ගර්ල් ස්පෙශල් කියලා පෙන්වන්න.නමුත් ඒක ඇස්වලින් පුම්බන පිම්බිල්ලෙන් හොඳට පේනවා…”
ඩැනියෙල් යලිත් පැවසුවේය.
නිලංගා හට නිතර ම ඩැනියෙල් සමග මේරිගේ ව්‍යායාම කරන අතර තුරදී කතාබහ කරන්නට සිදුවිය.ඩැනියෙල් ඉතා සුහද එමෙන්ම යහපත් පුද්ගලයෙකු බව වැටහුණ හෙයින් ඇයද කිසිදු ගැටලුවක් නොමැතිව ඔහු සමග කතාබහේ යෙදුණාය.
“ආව වැඩේ කරලා යමු…ඔච්චර කියව කියව ඉන්න ඔයාට වෙලාව තිබුණට මට නෑ…ඩැනී ඩූ වට් යූ හැව් ටු ඩූ…”
විටෙක ඩැනියෙල් හමුවේ කඩා පැන කෑගැසූ ස්ටීව් තවත් වේලාවක නිලංගාහට සැර විය.
“කතාවට වැටුණම ආච්චිව මතක නෑ…ඔයාට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් මම දීලා තියෙන්නෙ මේ ආච්චි ගැන…ඒක අමතක කරල ඩැනී එක්ක කියව කියව ඉන්නව නම් ඉතින් මට මේ එක්සසයිසස් වලට වෙන කෙනෙක් හොයාගන්න වෙනවා…”
ඉවත බලා ගෙනම තදින් පැවසූ ස්ටීව් නික්ම ගියේය.නිලංගා තුෂ්නිම්භූතව බලා උන්නාය.
“නෙලී.. ඔයා ඕවා ගණන් ගන්න එපා..මෑන්ට තියෙන්නේ ඉරිසියාව..අපි කතා කර කර ඉන්න එක ගැන…”
ඩැනියෙල් ඇයගේ හිසට අතින් තට්ටුකොට නික්ම ගියේය.
ඔහු තමා සහ ඩැනියෙල් කතා බහ කිරීම සම්බන්ධයෙන් අමනාප වන්නේ කුමකටදැයි නිලංගාහට සිතාගත නොහැකිවිය.
ආච්චීගේ ඇවිදීම සම්බන්ධයෙන් ස්ටීව් ඉතා සතුටට පත්විය.මෙය කිසිදාක හැකිවේයැයි නොසිතූවකි.නෙලී ඒ නොහැකි දේ හැකි දෙයක් බවට පත්කළාය.ඇයට ස්තුති කළ යුතු වුව එය කරන්නේ කෙළෙසකදැයි ඔහුට නොතේරේ.අනෙක් අතට ඇය සමගින් කතාබහ කොට ඇතිව තිබූ සමීපබවද දැන් අතීතයට අයත් එකක්ව හමාරය.යළිත් ඒ දුර යාකරන්නට හිතට ඉඩක් නැත.
ඇයට යම් විශේෂ ත්‍යාගයක් හෝ දිය යුතුයැයි අම්මා…පෝලා මගින් කියා එව්වාය.ස්ටීව් අම්මාහට එය බාරදුන්නද අම්මා එය ඔහු භාරයටම පත්කළේ ස්ටීව් නුරුස්සනා සුලු බවට හරවමිනි.
“මිස්ටර් ස්ටීව් ,මම එකක් කියන්නම්.ඔයා සල්ලි එහෙම දෙන්න නම් යන්න එපා…සාමාන්‍යයෙන් කරනවා වගෙ…මම මේක හොඳට දන්න නිසයි මෙහෙම කියන්නේ. අනෙක් අයගේ එක එක දේවල් වලදී මිස්ටර් ස්ටීව් සල්ලි දෙනවනෙ…ඒක කරන්න නම් යන්න එපා.”
පෝලා පැවසුවාය.ස්ටීව් විමතියෙන් ඇය දෙස බලාඋන්නේ…සිය යටි සිතේ වූ මුදල් වවුචර් පත ගැන පෝලා කියවාගත්තේ කෙලෙසකදැයි සිතාගත නොහැකිවය.
“මං හරි නේද ඒ කියන්නේ. මිස්ටර් ස්ටීව් ප්ලෑන් කළේ ඒ වගේ දෙයක් නේද?”
පෝලා සිනා සී විමසුවාය. ස්ටීව් කිසිවක් නොකියා බිම බලා ගත්තේය.
“ඔය කෙල්ලන්ට තෑගි දෙන්න මම දන්නවද මනුස්සයො…මෙලාට තෑගි දීලා තමුන්ට හොඳ පුරුද්දක් තියෙනවනේ.ඒ නිසා මෙන්න මේ ගෑණු ළමයට මොනවා හරි හොඳ තෑග්ගක් දෙන්න මට අයිඩියා එකක් දෙනවකෝ.”
අවසානයේ පිහිට පතන්නට වූයේ බ්‍රයන්ගෙනි.
බ්‍රයන් සිත යටින් සිනාසුණු තරම දන්නේ නම් ස්ටීව් ඔහුගේ යහළු මනමාලයා වීම පවා ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය.
“එහෙමයි ඉතින් කෙල්ලෙක්ට තෑග්ගක් දෙනවා නම් ඒක එක එක විදිහයි නේ.ගර්ල් ෆ්‍රෙන්ඩ්ට නං එහෙමයි..යාළුවෙකුටනම් තවත් විදියක්..නෑදෑයෙක් කසින් කෙනෙකුට නම් වෙනස් විදියක්.. දැන් ඉතින් මේ නෙළී කියන්නේ..කවුද කියන එකනේ ප්‍රශ්නේ..”
බ්‍රයන් ස්ටීව් හට පැවසුවේ ඉතා බැරෑරුම් මුහුණක් මවා පෙන්වමිනි.
“මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉන්නවද බ්‍රයන්..නෙලීට තෑග්ගක් දෙන්න හදන්නේ ආච්චි සම්බන්ධයෙන් කරපු කියපු දේවල් ගැන අපි එයාට ස්තුතිවන්ත වෙනවයි කියන එක පෙන්නන්න නේ.. ඒක නිකං කම්ප්ලිමන්ට් එකක් වගේ දෙයක් නේ..නැතුව මෙතන නෙලී මගේ කවුද කියන කෙහෙල් මලක් නෙමෙයිනේ..”
ස්ටීව් අමනාපයෙන් පැවසීය.
“නෙලී කැමති දේවල් මොනවද කියලා පොඩ්ඩක් මෙලා ගෙන්වත් අහන්න ඕනේ..එයාට වැඩකට ඇති එයා කැමති දෙයක් තෑග්ගක් විදියට දෙමු..”
තවදුරටත් ස්ටීව් කේන්ති නොගස්වා බ්‍රයන් පැවසුවේය.මොහොතක් වේලා කල්පනා කරමින් උන් ස්ටීව් එක්වනම සිතට ආ යමක් හේතුවෙන් අසුරු සැනක් ගැසීය..
“හරි මට මතක් උනා..අර සෙවන් සිස්ටර්ස් ගියපු දවසෙත් අතේ තිබිච්ච ෆෝන් එක එන්නේ ෆොටෝස් ගත්තේ.මං ඒත් ඇහුවා proper camera එකක් නැද්ද කියලත්.නෑ කියල කිව්වේ.මගේ එකනේ එදා ගමනේදී ඊට පස්සේ ෆොටෝ ගන්න ගත්තේ.මම කැමරාවක් දෙන්නම් එහෙනම්..”
කැමරාවක් තෑගි දීම මිල අධික දෙයක් බව බ්‍රයන් දැන උන්නද ස්ටීව් සහ ක්ලිෆර්ඩ් පවුලේ අයට එය ඉතා සුළු මුදලකි.එහෙයින් ආච්චි වෙනුවෙන් කළ කී සියලුම දෑ මග යන්නට එවැනි වටිනා ත්‍යාගයක් දුන්නද එක් අතකට කමක් නැතැයි බ්‍රයන් ද සිතුවේය.
“නෙලී ,මේක මිස්අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා.ඔයා අපේ අම්මා වෙනුවෙන් කරපු දේවල් අඩු තරමේ එයාගේ දුව වෙලා මටවත් කරන්න බැරි වෙච්ච දේවල්.ගතවෙච්ච අවුරුදු ගණනාවටම සමහරක්විට ඔයාව අපට හම්බවුණේේ නැත්නම් අම්මා සදහටම එක තැන් වෙන්න තිබ්බා.ඇත්තෙන්ම කිව්වොත් අම්මා මේ වගේ ගොඩ ආවේ ඔයා නිසයි.එදා අහම්බෙන් මෙලාට ඔයාව හම්බවෙලා එයා ඔයාව අපට ඉන්ට්‍රොඩියුස් කලේ දෙවියන් වහන්සේ අපට මග පෙන්නලා.”
“අද අම්මා ඉන්නේ කොච්චර සතුටින්ද? එයාගේ මතකය එහෙ මෙහෙවුණාට කොච්චර ලස්සනට දැන් ජීවත් වෙනවද?මෙලාගේ වෙඩින් එකටත් එයා යන්න සූදානම් වෙනව..අම්මා කවදත් ලස්සනට අඳින්න හරි ආසයි.එයා හයි සෝෂල් ලයිෆ් එකක් ගත කරපු කෙනෙක්.ආපහු එයාට ඒ ජීවිතේ ලැබුණේ ඔයා නිසයි.”
ස්ටීව් ක්ලිෆර්ඩ් හදිසියේම පැමිණ තමා කැඳවා තම අත තබා ගිය ත්‍යාගය විවර නොකරම කිසිවක් සිතාගතත නොහැකිව බලා සිටිනා නිලංගා කැඳවා සිල්වියා ක්ලිෆර්ඩ් පැවසුවාය.ස්ටීව් ක්ලිෆර්ඩ් ත්‍යාගය රැගෙන ආවද හදිසි රැස්වීමකට යා යුතු යැයි පවසා ශ්‍රී ලංකා අත එය තබා “තැන්ක් යූ ෆෝ එව්රිතින් ” යැයි පවසා නික්ම ගියේය.විසිත්ත කාමරයේ අසුනකට වී ඒ දෙස බලා උන් සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගා පත්ව ඇති අපහසුතාවය වටහා ගත්තාය.
“මමයි ස්ටීව්ට කිව්වේ අපි ඔයාට තෑග්ගක් දෙන්න ඕන කියල.හැබැයි මම දන්නේ නැහැ ඔතන තියෙන්නේ මොනවද කියලා නම්.. තෑග්ගක් දීලා ඔය අපට මේ කළ උදව්ව තක්සේරු කරනවා කියලා හිතන්න එපා..ඒක ඇත්තටම කම්ප්ලිමන්ට් එකක්.ඔයාට අපි සැලරි එකක් දුන්න තමයි.උනාට ඔයා වැඩ කළේ සැලරි එකකට බලාගෙන නෙමෙයි.ඊට වඩා ලොකු ඩෙඩිකේශන් එකක් ඔයාගේ තිබ්බා.”
නිලංගා අසලට පැමිණි සිල්වියා ක්ලිෆර්ඩ් ඇයගේ දෝතින් අල්ලා ගත්තාය.
“තෑගි බලාගෙන කවදාවත් වැඩ කරලා නැහැ මැඩම්. මේරි මැඩම් දවසින් දවස සනීප වෙලා එනකොට මට ඇත්තටම මගේ ආච්චි අම්මා මතක්වුණා. මගේ කෙනෙක් කියලා හිතාගෙනයි මේරි මැඩම්ව බලාගත්තේ..”
නිලංගා පැවසුවාය.
“ඒක අපි ඔක්කොම දන්න දෙයක් නෙළී…ඒක හරි …දැන් ඒක ඉවරයි…මම වෙනත් කතාවක් කියන්නයි ගියේ…නෙළී ඔයා දිගටම අපිත් එක්ක ඉන්න කැමතිනම් මම ගොඩක් කැමතියි. ඒත් ඔයා වගේ ඉගෙන ගත්තු ළමයෙක් ජීවිත කාලයම මෙහෙම කෙයාරර් කෙනෙක් වෙලා ඉන්න ඕන නැහැ.ඔයා ඉගෙන ගත්තු උපාධිය ට ගැලපෙන ජොබ් එකක් හොයන්න පටන් ගන්න ඕනේ.මම ස්ටීව් ට ඒක කිව්වා.එයා උදව් කරාවි අනිවාර්යයෙන්ම.”
නිලංගා නොසිතූ යමක් සිල්වියා ක්ලිෆර්ඩ් සිතා තිබුණාය.මේරි මර්ෆී මේ වන විටත් ඇවිදීම අතින් ඉහළ දියුණුවක් ලබා උන්නාය.ඩිමෙන්ෂියා තත්ත්වය හේතුවෙන් ඉතින් විට ඇතිවන මතකයේ ගැටළු විනා ඇයගේ චර්යාත්මක ගැටලු පවා බොහෝ දුරට අඩුවී තිබුණි.
” මොන දේ කරත් මම මේරි මැඩම්ව බලාගන්න එක දිගටම කරනවා.එයාව අතහැරුණොත් ආපහු සැරයක් එයා ඒක තැනකටම වෙයි…අපි මේරි මැඩම්ව හරි විදියට බලාගම්මු මැඩම්..”
නිලංගා ස්ටීව් මගින් රැකියාවක් ලබා ගැනීමේ අදහසින් නොඋන්නාය. සිල්වියා ක්ලිෆර්ඩ්ගෙන් සමුගෙන සිය කාමරය වෙත පැමිණි නිලංගා ඇඳේ ඉඳගත්තාය.ඇත්දල පැහැති දවටනයකින් නිසි ආකාරයකින් ආවරණය කොට තිබූ ත්‍යාගය විවර කිරීමේදී ඇයගේ දෑස් නළලට ගියේ විශ්මයෙනි.
ත්‍යාගයක් යනු මුදල්මය අගයකට වඩා යමෙකුට මානසිකව අගයක් ඇති දෙයකි.මේ ත්‍යාගය තමාගේ ජීවිතයේ ලද වටිනාම ත්‍යාගයයි.
එවන් ත්‍යාගයක් ලබන්නට තරම් තමා සුදුසු දැයි නිලංගා යළි යළිත් කල්පනා කළාය.පෙර දවසක මාලිකා සමගින් කළ සංචාරයේදී ස්ටීව් සිය කැමරාව ඇය අත තැබූ පසු ඉන් ගත් සේයාරූ සියල්ල ඇය යළි යළිත් නැරඹුවාය.එම සේයාරු සියල්ල තමාගේ විද්‍යුත් මේලයට යොමු කරවාගෙන නිලංගා එම කැමරාව යලිත් ස්ටීව් හට භාර දුන්නේ සතියකට පමණ පසුවය.එදා දවසේ ද එවැන්නක් තමා වෙත ඔහු දුන්නා දැයි වත් මතක නොතිබුණු ආකාරයෙන් ඔහු හැසිරුණේය.ධනයෙන් ආඪ්‍ය වූ ඔහු වැන්නෙක්හට කැමරාවක් යන්නද කුඩා දරුවෙකුගේ සාමාන්‍ය සෙල්ලම් බඩුවක් හා සමාන වන්නට ඉඩ ඇත.තමා වැන්නියකට වතාවක් අහිමි වූ කැමරාවේ අගය පවා අතිමහත්ය.
සිය දෑතේ රැඳී ඇති නවීනම කැමරාව පසෙකින් තබා නිලංගා සිය ජංගම දුරකථනය අතට ගත්තාය.මේරි මර්ෆිගේ යම්කිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් එක් වතාවක් පෝලා තමා වෙත දුන් ස්ටීව් ගේ දුරකථන අංකය ජංගම දුරකථනයේ තිරය මතට ගත් නිලංගා ඔහු වෙත දුරකථන ඇමතුමක් දෙම්දෝ නොදෙම්දෝ යැයි මොහොතකට කල්පනා කළාය.