මේ ඒ වසන්තයයි – 18

0
4739

18

නුරාන් ගත උණුසුම් ජලයෙන් දොවාගත්තේය. ඉසිනි දුන් තුවාය හැඳ ගත්තේය. කලිසම සහ කමිසය වියලෙන්නට විදුලි පංකාව අසලට ගෙනැවිත් දැම්මේය. ඉසිනි පෙනෙන්නට උන්නේ නැත. විනාඩි කිහිපයක් යද්දී ඕ පැමිණියේ දනහිස තෙක් කලිසමකට සැහැල්ලු ටී ශර්ට් එකකින් සැරසීගෙනය. ඇගේ එක් අතක ගුලිවූ යමක් විය. ඕ එය නුරාන් වෙත පෑවාය. නුරාන් එය අතට ගෙන දිග හැරියේය. ඔහුට සිනහ නැඟුනේය. එය විශාල ප්‍රමාණයේ කාන්තා ඇඳුමක් විය. ඉසිනි සීතලට අඳින්නට යැයි ගෙන ආ ඇඳුමකි.

” මේක අඳින්නද කියන්නේ ?…”

ඔහු ඉසිනිගෙන් ඇසුවේ ඇය වෙතටද සිනහව හුවමාරු කරමිනි.

” සීතල යන්න අඳින්න …”

නුරාන් සිනාසෙමින්ම දෑත් ඔසවා එය ගත ලාගත්තේය. අසුනකට වැටුණේය.

ඉසිනිද ඒ අසලින්ම හිඳගත්තාය.

” හස්බන් එක්ක කතා කරලා මෙහෙන් යන්න  බලන්න ඉසිනි ..”

නුරාන් එක්වරම පවසද්දී ඉසිනි තිගැස්සුණාය. හදවත් බිත්ති ඉරි තලා යන හඬද ඇයට ඇසුනේය. ඔහු පැමිණියේ එය පවසා යන්නද ?

” මෙහෙ ඔයාට හරියන්නෙ නෑ … “

නුරාන් ඉන් පසුව කීවේය.

” එහෙම අවුලක් නෑ .. මට පුලුවන් …”

” පුලුවන් නම් රෙද්දක් හින්දාද පහල අලි ඇවිල්ලා කියලා ආරංචියට ගුලි වෙලා අඬ අඬා හිටියේ ?..”

තමා සියල්ල දුටුවාක් මෙන් නුරාන් එලෙස කඩා පැන්නේය. ඉසිනි ඔහු දෙස බලා උන්නේ ඔහු පැවසූව විශ්වාස කරගන්නට පවා අකමැති ලෙසින් ය.  තමා බියෙන් උන් බව, අඬමින් උන් බව ඔහු දන්නේ කෙලෙසද ?

” අයිම් සොරි … මේක මට අදාල නෑ .. ඒත් ඔයාට මේක කරන්න බෑ .. මොකක් හරි කන්ටැක් එකක් හොයාගෙන මෙහෙන් යන්න …”

නුරාන් වඩා සෞම්‍ය වෙමින් කීවේය.

ඉසිනි කෙල පිඬක් ගිලෙන්නට හැරියේය. නුරාන් වේදනා දෙන නලලත දෑතින්ම මිරිකා හැරියේය.

” මට පුලුවන් නුරාන් .. ඔයා දන්න ඉසිනි නෙවෙයි දැන් ඉන්නේ … අනෙක, අපේ සර්විස් එකේ කවුරුම හරි මේ කට්ට කන්න ඕනි නේ .. මෙවෙලේ ඒකට සුදූසුම මම ..”

” අනේ නිකන් කට කියවන්න එපා … මම නොදන්න ඔයා … අනෙක, හස්බන්ඩ් එක්ක ඉන්න තියෙන කාලේ මේ මූකලානකට වෙලා කටු කන්නේ පිස්සුද ?…”

” මේක මූකලානක් නෙවෙයිනේ නුරාන් ..”

“: හරි මොක වුනත් …”

” ඔයා … ආවේ .. අලි ආවා කියලා ආරංචියට මාව බලන්නද ?..”

ඉසිනි ඉන් පසුව එක්වරම ඇසුවාය. නුරාන් එයට එකඟව හිස වැනුවේය.

” මම මෙහෙ ආවත් හරි, එකම එක දවසක්වත් මෙච්චර හිත ගැස්සුණෙ නැ.. මුලින්ම එක දිගට අලි වෙඩි දානවා ඇහුනා.. ඊට පස්සේ කවුරු හරි කෑ ගහගෙන පාරේ දිවුවා ..ඊටත් පස්සේ අලි සද්දෙත් ඇහුණා.. ඒ එක්කම අකුණු ගහ ගහ වහින්නත් ගත්තානේ …”

ඉසිනි  කීවාය. නුරාන් කිසිත් නොපවසා උන්නේය.

” මං මැරෙන්න බය නෑ නුරාන් … මට බය මරණේ ලං වෙන බව දැනෙන ටික …”

ඉසිනි ඉන් පසුව කීවාය.

” මොන මඟුලක්ද ඕයි කියන්නේ ?… මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දී, මොන මඟුලක්ද කියන්නේ ?..”

” ඔව් නුරාන් .. මට ලස්සනට ජීවත් වෙන්න පුලුවන්කම තිබුනා .. මම මගේ අත් දෙකින්ම ඒ ඔක්කොම විනාශ කරගත්තා …”

ඉසිනි කොපුල් පෙඟී දමමින් තිබූ කඳුලු දෑතින්ම පිසදා දමමින් කීවාය. නුරාන් ඇය දෙස වඩා විමසිල්ලෙන් බලා උන්නේය.

” ඔයා ආයේ මෙහෙම එන්න එපා නුරාන් .. ඒක ඔයාට හොඳ නෑ …”

අනතුරුව ඉසිනි එක්වරම යමක් සිහි වූවාක් මෙන් අඟවා කීවාය. සැබැවින්ම ඇයට ධනුකගේ අනතුරු ඇඟවීම සිහියට ආවේය

” මට හොඳ නැති එකද අවුල?? ඔයාට හොඳ නැති එකද ?…”

” මං ..  මං ජීවිතේ .. වරද්දගෙන ඉවරයි නුරාන් … ඔයා තවම ජීවිතේ පටන් අරගෙනවත් නෑ .. මට දැන් කොහොම වුනත් එකයි … ඒත් , දික්කසාද ගෑණුන්ගේ ගෙවල් අස්සේ ඉන්නවා කියන නරක නාමේ ඔයාට හැදෙන එක හොඳ නෑ .. ඔයාට , අක්කාට. අයියාට, බබාට .. ඒ කාටවත්ම හොඳ නෑ ..”

ඉසිනි එලෙසින් පවසද්දී නුරාන්ගේ හිස ගිණි ගත්තේය. අයියාද එවැන්නක්ම පැවසූ වග සිහියට ආවේය. එහෙත්.., ඇය පෙර දින විශ්වාසයෙන් පැවසූ යමක්ද සිහිව ආයේය. නුරාන් කලබල නොවී සිටින්නට උත්සාහ කලේය. ඇය සිටින්නේ හුදෙකලාවක ගිලී යළි ගොඩ එන්නට උත්සාහ දරන පැය කිහිපයක් පසු කර බව ඔහුට දැනුණි.

” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන් .. දැන් ටික කාලයක් .. අරුණෝද ආයේ මැරි කරන්න යන්නේ … එයාගේ අක්කලා මට හරියට වද දෙනවා නුරාන් … හවස ලොකු අක්කා කතා කරලා කියනවා මඟුල් දවසේ අරුණෝද දුන්න ජුවලරි ආයේ එයාලට දෙන්නලු ලැජ්ජාවක් තියෙනවා නම් … ඒත් , මම ආවේ ඒ මුකුත්ම අරගෙන නෙවෙයි නුරාන් .. මං ඒ මුකුත්ම ගෙනාවේ නෑ .. අක්කා ඒක විශ්වාස කරන්නේ නෑ … හිඟන්නි හිඟන්නි කිය කියා  වොයිස් මැසේජ් එවනවා ඉවරයක් නෑ … මම ඇඬුවේ අලි ආවට නෙවෙයි නුරාන් .. මගේ කියලා හිතාගෙන මම කරපු කියපු මිනිස්සු මගේ ජීවිතේ විනාශ කරලා දාලා තියෙන හැටි මතක් වෙලා …”

ඉසිනි ඉකි ගසා හැඬුවාය.
” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්”

” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්”

” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්”

” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්”

” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්”

නුරාන්ගේ හිසේ යළි යළි වාදනය වූයේ එයම පමණක්‍ ය. ඇයව එලෙසින් ප්‍රතික්ශේප කර දමන්නට ඇගේ වෛද්‍ය සැමියා කෙතරම් නරුමයෙක් වී ඇතිද ?.. නුරාන් ඇය දෙස බැලුවේය. ඇය ඉකිලන්නීය.

” මට පාඩුවේ ඉන්න දෙනවා නම් ඒගොල්ලෝ මම ආයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක්වත් හදාගන්නවා නුරාන් … ඒත්, ඒගොල්ලෝ එහෙම ඉන්න දෙන්නේ නෑ..  “

එලෙස පවසා ඕ වේගයෙන් හුස්ම හෙලුවාය. නුරාන් උන්නේ හිඳ උන් අසුනේ ඉදිරියටම වී ඇය දෙසට නැඹුරුව ඇය වඩා සමීපයෙන් අසමිනි.

“මට මෙහෙම වෙන එක ගැන මට පුදුමයක් නෑ නුරාන් … ඔයාට මම කල දේට මම විඳවන්න ඕනි .. ඔයා දුක් වින්ද තරමට මට දඬුවම් තියෙන්න ඕනි … ඔයාව අහගෙන නොවුන්නට, ඔයාට එක අවස්තාවක්වත් නොදී හිතුවක්කාර වුනාට මට මෙහෙම වෙන්න ඕනි … ඒත් නුරාන් , ඒ දවස් වල ඔයාට ගොඩක් මිනිස්සු ඉන්න ඇති .. ඔයාව අල්ලන් ඉන්න ඔයාගෙම පවුලක් උන්නා … මට තනියි නුරාන් .. මට කවුරුත් නෑ .. මේක මගේ දඬුවම කියලා හිතලා විඳවන්න ලෑස්ති වෙනකොටම ඊට වඩා මහ බරක් මගේ ඔලුවට වැටෙනවා නුරාන් .. ලේසි නෑ මට …. මට සමාවෙන්න මෙහෙම කියවනවට .. ආයේ මම ඔයාව හමුවෙලා මෙහෙම මුකුත් කියන්නේ නෑ .. අදට විතරක් අහගෙන ඉන්න ..ප්ලීස් …”

නුරාන් අසුනෙන් නැගිට්ටේය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here