ඇස් දෙක ඇස් දෙක වගේ බලාගන්න මේ දේවල් හරියටම කරන්න. 

පිළිකා, හෘද රෝග, දියවැඩියාව, කෙල්ස්ට්‍රෝල්, අස්ථි සහ සන්ධි වේදනා කැක්කුම්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝ වන රෝග ගැන අපි නිතරම කතාබහ කරනවනේ. 

නිතරම කතාබහ නොකරන අපේ නිරන්තර අවධානයට යොමු නොවෙන නමුත් ඉතාම වැදගත් මාතෘ කාවක් ගැන ඔබත් එක්ක කතාබහ කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

ඒ තමයි අපේ ඇස් වල නීරෝගී පැවැත්ම.

ඇස් දෙක ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න වගේම හොඳ පෙනීමක් පවත්වගෙන යන්න අපි අනුගමනය කළ යුතුම ඉතාම වැදගත් කරුණු රාශියක් ගැන ඔබව දැනුවත් කිරීමයි අද අපේ ලිපියේ අරමුණ.

එහෙම නම් අපි බලමු, ඇස් දෙක ඇස් දෙක වගේ රැකගන්නෙ කොහොමද කියල?

ඇස් පරීක්ෂා කරගන්න

ඇස් වල පෙනීම හොඳට තියෙනව නම් ඇස් නිරෝගී කියන වැරදි මතය අපි බොහෝ දෙනෙක්ට තියෙනවා. 

නමුත්, ඔබේ ඇස් වල පෙනීම දුර්වල වෙලා කියල ඔබට තේරෙන්නත් යම් කාලයක් ගතවෙන බව ඔබ දැනන් හිටියද?

මීට අමතරව ඇතිවෙන්න පුළුවන් ග්ලූකෝමා, දියවැඩියාව නිසා ඇතිවෙන අක්ෂි රෝග, වයස්ගත වීමත් සමඟ ඇතිවෙන අක්ෂි දුර්වල වීම් වගේ පූර්ව රෝග ලක්ෂණ නොපෙන්වන තත්වයන් මුල් අවධියේදීම හඳුනාගන්න පුළුවන් ඇස් පරීක්ෂාවකට පමණයි. 

ඒ නිසා ලඟම ඇති රජයේ රෝහලකින්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් හෝ ඇස් පරීක්ෂා කරන මධ්‍යස්ථානයකින් ඇස් පරීක්ෂා කරගන්න තවත් ප්‍රමාද වෙන්න එපා. 

මේ පරීක්ෂණ අඩුම තරමින් වසරකට එක් වරක්වත් කරගන්න අමතක කරන්නත් එපා. 

රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න

දියවැඩියාව නිසා ඇතිවෙන අන්ධභාවයෙන්  90% ක්ම වළක්වා ගත හැකිව තිබූ අන්ධභාවයන් කියල ඔබ දන්නවද?

අන්න ඒ නිසයි රුධිරගත සීනි මට්ටම පාලනය ඇස් වල නීරෝගී පැවැත්මට ඍජුවම බලපෑම් කරනව කියල අපි සඳහන් කරන්නෙ. 

ඒ නිසා ඔබේ රුධිරයේ ඇති සීනි මට්ටම වගේම කොලෙස්ට්‍රෝල් සහ රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමත් ඇස්වල නීරෝගී බවට අත්‍යාවශ්‍ය සාධක ලෙස හඳුනාගන්න පුළුවන්. 

පවුලේ ඉතිහාසය

සමහර ඇස් පෙනීමේ දුර්වලතා වගේම විවිධ අක්ෂි රෝග පවුලේ ආභාෂයෙන් ඇතිවීමේ ඉඩකඩත් තියෙනවා. 

ඒ නිසා පවුලේ සමාජිකයන් සමඟ සාකච්ඡා කර ඒ අවධානම පිළිබඳ යම් අවබෝධයක් ලබා තිබීමත් ඉතාම වැදගත්. 

නිවැරදි බර පවත්වා ගැනීම

උසට සරිලන බර පවත්වා ගැනීමත් ඇස් වල නීරෝගී පැවැත්මට බලපානවද කියල ඔබට හිතෙනව නම් අපේ පිළිතුරු තමයි ඔව් !

තරබාරුව සහ ස්ථුලතාවය නිසා ඇතිවෙන ග්ලූකෝම සහ අක්ෂි දියවැඩියා තත්වයන් ඔබේ ඇස්වල පෙනීම දුර්වල කරන්න බලපෑම් ඇති කිරීම ඊට හේතුව විදිහට හඳුනගන්න පුළුවන්. 

ඇස් ආවරණ පළඳින්න

පිහිනීමේදී goggles පැළඳීම, වත්තෙ පිටියේ වැඩ කරද්දී විශේෂයෙන්ම තණකොල කැපීම, පෑස්සුම්, වෑද්දුම් වැනි කාර්‍යන් වලදී ඇස් ආවරණ පළඳින්නත්, රාත්‍රියේදී වාහන පැදවීමේදී night vision කණ්ණාඩි පළඳින්නත් ඔබට පුළුවන්. 

දැඩි හිරු රශ්මියෙන් ඔබේ ඇස් ආරක්ෂා කරගන්න නිවැරදි ප්‍රමිතියකින් යුතු අව් කණ්ණාඩි භාවිතා කරන්න නම් අමතක කරන්නම එපා. අව් කණ්ණාඩි තෝරා ගැනීමේදී සූර්‍යාලෝකයේ ඇති UV-A සහ UV-B කිරණ වලින් 99% ක් ඇස් වලට ඇතුළු නොවන පරිදි නිෂ්පාදනය කර ඇති ප්‍රමිතිගත නිෂ්පාදනයක් තෝරා ගැනීම අනිවාර්‍යයි. 

ඔබ නිතරම පරිඝනකයක් ඉදිරියේ හෝ ඩිජිටල් තිර වල වැඩ කරන කෙනෙක් හොඳ තත්වයේ computer glass පැළඳීමෙන් ඔබේ ඇස් වලට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න ඔබට පුළුවන්. 

ඒ ගැන තවත් තොරතුරු දැනගන්න smart lady අපේ https://smartlady.lk/article/30065/benefit-using-computer-glasses/ ලිපිය කියවල බලන්නකෝ. 

පිරිසිදු බව

කණ්ණාඩි වෙනුවට සහ රූපලාවන්‍ය සඳහා අක්ෂි කාච පැළඳීම අද වෙද්දී ඉතාම ජනප්‍රියයිනෙ.

කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ computer glass තෝරා ගන්නවාටත් වඩා ප්‍රවේශමෙන් අක්ෂි කාච තෝරගන්න කියල අපි ඔබට මතක් කරනව. නියමිත පැය ගණන පමණක් අක්ෂි කාච පැළඳ සීටීම, ගින්දර වැනි අනාරක්ෂිත ස්ථාන වලින් ඈත් වී සිටීම, පිරිසිදුකාරක දියර සමඟ ගබඩා කර තැබීම වගේම අක්ෂි කාච පළඳින්න කලින් අත් හොඳින් පිරිසිදු කරගෙන තිබීමත් අනිවාර්‍යයි. 

විවේකය

ඔබේ ශරීරයේ අනෙක් අවයව වලට වගේම ඔබේ ඇස් වලටත් විවේකය අත්‍යාවශ්‍යයි. 

දවස පුරාම ඩිජිටල් තිර ඉදිරියේ ගත කිරීම සහ දැඩි හිරු එළියේ ගත කිරීම ඔබේ ඇස් වලට දැඩි වෙහෙසක් ගෙන දෙනවා. 

ප්‍රමාණවත් නින්දක් ලැබීම වගේම, 20,20,20 නීතිය අනුගමනය කිරීම ඒ කියන්නෙ ඩිජිටල් තිරයක් දෙස දිගින් දිගටම බලන් ඉඳල වැඩ කටයුතු කරද්දී විනාඩි 20 කට වරක් අඩි 20 ක් දුරින් ඇති වස්තුවක් දෙස තත්පර 20 ක් බලන් ඉඳීමත් හරිම වැදගත්. 

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව

දුම්පාන ඍජුවම ඇස් වල පෙනීම දුර්වල කිරීමට, ඇසේ සුද වගේම දෘෂ්ටි ස්නායු දුර්වල වීමේ තත්වයන් ඇතිකිරීමට හේතුවෙන බවයි පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ. 

ඒ නිසා දුම්පානය සම්පූර්ණයෙන්ම නවත්වා දැමීම ඉතාම වැදගත්. 

ඊට අමතරව Omega 3 අඩංගු මාළු, ධාන්‍ය, නිවිති වගේ කොළ වර්ග වර්ග හැකිතරම් එක්කරගත් සමබර ආහාර වේලක් ගැනීම සහ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමත් හරිම වැදගත්. 

ඉතිං, ඔබේ ඇස් නීරෝගීව පවත්වා ගැනීමේ වටිනාකම සහ අවශ්‍යතාවය දැන් ඔබට වැටහෙනවනේ.

එහෙනම් තවත් පරක්කු වෙන්න එපා. ඇස් දෙක පරිස්සන් කරගන්න, අදම පටන් ගන්න.

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles