ඊළඟ තත්පරයේ ඉසිනි උන්නේ නුරාන්ගේ දෑත් අතරට ගුලිවීගෙනය. නුරාන් අන් සියල්ල අමතක කලේය. ඔහුගේ සිත තුල වූයේ එක් තහවුරු කර ගැනීමක් වෙනුවෙන් වූ අවශ්‍යතාවයම පමණි.
” මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්”
ඔහු ඉසිනිව වඩාත් තදින් අල්ලාගත්තේය.
” ඒ කියන්නේ ඔයා දැන් මගේද ඉසිනි ?… ආයෙම ඔයා මගේද ?…”
තමා සිටින්නේ වඩා ප්‍රේමයෙන් තමා වැලඳගන්නා දෑතකට සිරවීගෙන බව දැනුනද, ඒ නුරාන් වග ඉසිනි තහවුරු කරගත්තේ ඒ හඬිනි. සැනින් ධනුක සිහිව ආයේය.
ඉසිනි වහා පසෙකට වන්නට උත්සාහ කලාය. එහෙත් ඉන් වූයේ නුරාන් වඩා තදින් ඕ අල්ලා ගැනීමම පමණි.
” ඒකට උත්තර එපා … මට ආයේ අහන්න ඕනි .. ආයේ කියනවා, අරුණෝද ඔයාට අයිතිවාසිකම් කියන්න එන්නේ නැද්ද ?..”
ඉසිනි ඉකි බින්දාට. තමා දිය යුතු පිළිතුර කුමක්දැයි ඇයට වැටහුනේ නැත.
නුරාන් මෙතරම් කල් සිතාගෙන සිට ඇත්තේ තමා අරුණෝද සමඟින් සාර්තක ජීවිතයක් ගෙවමින් සිටිනවාය යන්න බව දැන් ඉසිනිටද වැටහේ. තමා පැවසූ දේවල් නිසා ඔහු ඒ බව තහවුරු කරගන්නටද ඇත. එහෙත්, අද සියල්ල හෙළිදරවු වූයේය.
” ඉසිනි .. කතා කරන්න ඉසිනි … ඔයා ඩිවෝස් කියලාද කියන්නේ ?..”
” ඔව් …”
ඉසිනි එලෙසින් පවසන අතරේ එක්වරම නුරාන්ගේ දෑත් අතරින් මිදුනේය. නුරාන් උන්නේ ඇය ඉදිරියේ සිට ගනිමිනි. ඉසිනි පියවි සිහියට එලබෙන්නට උත්සාහ කරමින් උන්නාය.
” එලියේ කරදරයක් නැත්නම් ඔයා දැන් යන්නකෝ නුරාන් ..ප්ලීස් …”
ඕ ඉන් පසුව කීවාය. එහෙත් නුරාන් උන්නේ ඇය තුල වන රිදූම්, වේදනා, බිඳීම් දකිමිනි. ඇගේ ඇස් වලින් ඇය ගෙවන ජීවිතයේ කටුක බව කියවාගනිමිනි.
“මෙච්චර දවසක් මට ඒක නොකිව්වේ ඇයි ?..”
නුරාන් එක්වරම දැඩි හඬකට මාරු වූයේය. අඩි දෙකක් ඉදිරියට ඇවිද්දේය. ඉසිනිගේ බාහු වලින් ඇයට රිදෙන්නම අල්ලා ගත්තේය.
” ඇයි නොකිව්වේ ?..”
” ඔයාට අදාල නැති නිසා …”
නුරාන්ගේ ඇඟිලි වලින් තම බාහු මත වන පීඩනයේ රිදුම ඇයට දරා ගත නොහැකි වූයේ නැත. ඉන් එපිටට වන මහා වේදනාවක් ඕ තුල ගොඩ ගැසි තිබුණි.
” ඒක තීරණය කරන්නේ මම ..තමුසේ නෙවෙයි …”
” අනේ යන්න නුරාන් … “
ඉසිනි ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත් නුරාන් උන්නේ එටෙහ්ක් කල් ඔහු විඳි සියලු වේදනාවන් එක් මිටකට ගෙන එය පසෙකට විසි කර දමන්නට හැකි තරමට ශක්තියක් එක්කය.
” අපේ අයියාද කිව්වේ මට කියන්න එපා කියලා…”
නුරාන් එලෙසින්ද විමසුවේය.
” නැහැ දෙයියනේ ..නැහැ ..ඔයාට පිස්සුද ?..”
” එහෙනම් මං මේ ගේ ඇතුලටම ආව දවසේත් ඇයි මට එච්චරට පුරාජේරුවක් ගැහුවේ කියනවා ඉසිනි ?…”
නුරාන් උස් හඬින් කෑ ගැසුවේය. ඒ හඬ එක්කමදෝ මහ හඬින් අකුණක්ද පුපුරා ගියේය. එවර ඉසිනි තම දැරීමෙන්ම උන්නේ නුරාන්ගේ පපු මැදය. නුරාන් ඇය පසෙකට වන තුරුම නොසෙල්වී උන්නේය. ඔහුගේ දෙතොල් මත වූ මන්දස්මිතය ඉසිනිට කියවාගන්නට හැකි වූයේ නැත.
” මට අර වෛරස් එක හැදිලා ඉන්නේ … මගේ ලඟින් ටිකක් ඈතට වෙලා ඉන්න ..”
ඒ සිනහව එක්කම නුරාන් කීවේය. ඉසිනි වහා ඔහුගේ නළලත මත පිටි අල්ල තැබුවේය. එහි උණුසුමක් දැනේ. වැස්සට තෙමීම නිසා රෝගී තත්වය වැඩිව යනවාද විය හැකි බව ඕ සිතුවාය.
සැනින් සඟවා දමා ගන්නට උත්සාහ කරන ගිණි පුපුරක් මතු විය. ඕ නුරාන්ට හිඳගන්නට කීවාය.
” මම පස් පංගුව පැකට් එකක් තම්බන්නද ?..”
” හා…”
නුරාන් අකමැත්තෙන්ම පානය කරන ඔසුවක් වුවද, ඇයට ඉඩ දෙන්නට අවැසි විය. ඉසිනි වහා කුස්සියට ගියාය. නුරාන් අසුනේ හිඳගත්තේය. ඉසිනිට දැනෙන හැඟීම ඇයට වෙන් කර ගන්නට නොහැක.
ලැජ්ජාව, බය, වරදකාරී බව, ආශාව, උණුසුම, බලාපොරොත්තුව මේ සියල්ල ඕ වටාවන්නේය.
” නුරාන් …ආහ් ….චුට්ටක් රස්නෙයි …”
නුරාන් එය මේසය මතින් තබන ගැහැණිය දෙස බලා උන්නේය. ඇස් ඇය කෙරෙහිම අලවා තියා ගත්තා වුවද කම් නැතැයි දැනෙන හැඟීම ඔහුට සුව සදන්නේය.
” නුරාන් …”
” වාඩි වෙන්න ඉසිනි .. අපේ ගෙදර කවුරුත් නෑ අද .. අම්මලා එක්ක එන්න අයියලා එයාර්පෝර්ට් ගිහින් .. එනකොට හෙට දවල් වේවී .. බයවෙන්න එපා ඒ නිසා අයියා ගැන…”
ඉසිනි අයියාගේ ඇණුම් පද සහ බැණුම් වෙත නතුව ඇති බව ඉන්තේරුවෙන්ම දැනගෙන මෙන් නුරාන් කීවේය. ඉසිනි එයට කිසිත් කීවේ නැත.
” ඇයි මාව දාලා ගියේ ඉසිනි ?…”
නුරාන් ඉන්පසුව එක්වරම විමසද්දී ඉසිනි අසල වූ බිත්තියට වාරු වූවාය. එක් අතකින් හැඳ උන් කලිසම මිරිකාගෙන හැඬුම් පාලනය කරගන්නට උත්සාහ කරාය
” හරි .. දාලා ගියේ ඇයි කියලා කියන්න එපා … දැන් ආයේ මං ළඟට එන්න හරි පුලුවන්ද ?… එහෙම නැත්නම්, මට ඔයා ළඟට එන්න දෙන්න හරි පුලුවන්ද කියන්න …”
නුරාන් ඉතා ඉක්මන් අඩි තබමින් උන්නේය. ඉසිනිගේ උස් ඉකි ගැසීම හැරෙන්නට අන් හඬක් වූයේ නැති නිසාම නුරාන් යළි ඕ ඇමතුවාය.
” ලෝකේ මිනිස්සු, අපෙ ගෙවල් වල මිනිස්සු, මේ ඔක්කොම අමතක කරලා දාලා මට කියන්න ඉසිනි .. ඔයාට පුලුවන් නේද මට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඉසිනි ?…”
ඉසිනි කලේම හැඬීම පමණි. නුරාන් යලි යලි විමසුවේය.
” එපා .. අනේ කරුණාකරලා එපා නුරාන් … අපිට ආයේ එකට ගමනක් කොහෙත්තම තියෙන්න විදියක් නැහැ නුරාන් … ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට හදාගෙන තියෙන්නේ .. අනේ ඒක විනාස කරගෙන මට තව පවු පුරවන්නේ නැතුව , ඔය කතාව මෙතනින් නවත්තලා දාමු අපි නුරාන් …ප්ලීස් … අනේ…”
” මට ඔය බයිලා කතන්දර වලින් තේරුමක් නෑ ඉසිනි .. මං අහපු දේට මට උත්තරයක් දෙනවා …”
නුරාන් මහ වැස්සේ හඬ පරයා යන හඬකින් කෑ ගැසුවේය.
” මම කැමති නෑ නුරාන් … මට ඕන් නෑ .. මට ඕන් නෑ …”
ඉසිනිද ඒ හා උස්වම කෑ ගැසුවාය.
” මටද අකමැති ?… මාවද එපා .. හරි .. හරි .. මං දිහා බලලා ආයේම ඒකම කියනවා ඉසිනි .. ආයේ කවදාවත් ඔයාට නොපෙනෙන්නම යන්නම් මම ,….”
නුරාන් අසුනෙන් නැගිට ඉසිනි වෙත ආවේය. බලෙන්ම ඇය අල්ලා යළි එයම ඇගෙන් විමසුවේය. ඕ අපහසුවෙන් එයම කීවාය.
” මට ඔයාව එපා ..නුරා..න් … එපා …”
ReplyForwardAdd reaction |