මල්සර හී සර – 21

0
1004

“ඉතින් පුතා මොකද මේ පැත්තෙ?” කියලාසප්තමීගේ තාත්තා ආයෙම වතාවක් තමන්ගෙන් අහද්දී සමුද්‍ර මෙච්චර වෙලා සප්තමීගේ ඇස් එක්ක පැටලිලා තිබිච්ච තමන්ගෙ ඇස් කලබලෙන් වගේ සප්තමීගෙන් ගලවගෙන ආයෙමා වතාවක් අංකල් දිහා බැලුවා.

“මං මේ ආවෙ අංකල් මගෙ අපාට්මන්ට් එකේ තියන්න පැල ටිකක් ගන්න. ඒ උනාට සෙට් උනේ නෑ හරියන ඒවා”

“මං ඒත් බැලුව මේ කොල්ලො මොකද මේ දියත අස්සෙ එන්නෙ කියල. මල් වවන එක ඉතින් ගෑණු ළමයි ආස කරන එකක්නෙ, නේද නෝනෙ?” කියන ගමන් තාත්ත අම්මා දිහා බලා හිනාවුණ එක සප්තමී වගේම සමුද්‍රත් දැක්කා. අම්මා කොහොමත් ඉතින් වැඩි කතාබහට යන එන මනුස්සයෙක් නෙවෙයි කියන එක දන්න හන්දම සප්තමී අම්ම මුකුත් කියන්නෙ නෑ ඔය කතාව ඔලුව වනනවා ඇරෙන්න කියන එකත් සප්තමී දැනගෙන හිටියා. 

“අංකල්ලා ඉතින් දැන් ඔය බඩු ඒව මේව අරගෙන ඉවරද?”

“අනේ ඔව් පුතා, අපි ඔය එලවලු එහෙම ගන්න ඉඳලා හිටල මෙහෙ එනවා. ගෙවල් ලඟ කඩ තිබ්බට ඉතින් අර කොරටුවකින් කඩන් එක අලුත් එලවලු ටිකක් එහෙම ඉඳල හිටල හරි කැවෙන්න ඕනනෙ”

“දැන් මේව ඔක්කොම උස්සගෙන යන්නෙ කොහොමද? මේ මල් පැල ඒව මේවත් තියෙනවා නේ”

“ඔය ඉතින් අපේ ගෙදර ඉන්න ගෑණු දෙන්නගෙ වැඩනෙ පුත. එලවලු ගන්න කියල මාව මෙහෙ එක්කරගෙන ඇවිල්ලා අම්මයි දුවයි කරන්නෙ මගෙ අන්තිම සතේට යනකම් හිඳෙනකම් මල් පැල ජාති උස්සන් ගෙදර යන එක තමයි. මාව උකස් කරලා තමා අන්තිමේ එලවලු ගන්න වෙන්නෙ” කියල කිව්වට තාත්ත ඔහොම කියන්නෙ වැඩියමත් ආදරේට කියල සප්තමී වගේම අම්මත් දන්නවා. වෙනදට නම් ඔය වගේ කතන්දර වලට උකුලු මුකුලු කරාට අද සමුද්‍ර ගෙ ඇස් තමන් දිහාවටම නැමිල තියන හන්ද ඒ වගේ කරන්න සප්තමීට පුලුවන් උනේ නෑ.

“ගෑණු අය ඉතින් ආසනේ අංකල් මල් පැල වලට. අංකල්ලා දැන් කොහොමද මේව ඔක්කොම උස්සන් යන්නෙ කියල කිව්වෙ නෑනෙ”

“මෙතනින් වීල් එකක් කතා කරගෙන යනවා පුතා.බස්වල යන්න බෑනෙ. අනික දැන් ඉතින් ගිහිල්ලා රෑට උයන්න කරන්නත් තියෙනවානෙ” කියලා තාත්තා කියද්දි ඔන්න මෙච්චර වෙලා සද්ද නැතුව උන්න අම්මත් කට අරින්න හිතුවෙ තාත්තට සෙකන්ඩ් වෙන්න බෑ කියන්න වගේ. “උයන්න තියනවා කියලා කියන්නෙ හරියට එයා ගිහින් උයනව වගේ පුතා. මං තමයි ඉතින් ගෙදර ගිහිල්ල ඔක්කොම එලවලු අස් පස් කරලා උයන්න ඕන. මෙයා කරන්නෙ ඉතින් ටීවි එක බල බලා ඉන්න එක තමා”

“ඉතින් ආන්ටිට පුලුවන් නේ සප්තමීව අඬගහගන්න ගෙදර වැඩ ටික කරගන්න”

“අම්මේ කතා කරත් ඒවිද දන්නෙ නෑ එයානම් පුතේ. තාත්ත තමා එයාව හුරතල් කරලා තියෙන්නෙ. දැන් මේ රඟපාන්න යන එකෙන් පස්සෙ වෙනදා කරපු වැඩක්වත් කරන්නෙ නෑ ගෙදර” කියල කිව්වට මොකෝ ඔය නෝක්කඩු වලින් එලියට එන්නෙ අම්මා කෙනෙක්ගෙ ආදරේ විත්තිය සප්තමී වගේම සමුද්‍රත් දන්නවා.

“බඩු උස්සගෙන ත්‍රිවිල් වල හිරවෙලා යන්න ඕන නෑ අංකල්. මගේ වෙහිකල් එක තියෙ. මම අංකල්ලව ඩ්‍රොප් කරන්නම්”

“අනේ මොන කරදරයක්ද දරුවො ඒක, අනික ඔය දරුව මොන මොනවද අරගන්න කිව්ව නේද ආවෙ?”

“නෑ අංකල් ඒ ඕන කරන පැල ඒව මේවා අපිට හම්බුනේ නෑ. ගෙදර යනව කියල හිතන් එද්දි තමා ඇත්තටම අංකල්ලව දැක්කෙ. අපි එක්ක යන්න පුලුවන් අංකල්. කිසිම කරදරයක් නෑ අංකල්ලව ඩ්‍රොප් කරගෙන යන එක” කියල සමුද්‍රයා කිව්වට මේ මිනිස්සුන්ව ඩ්‍රොප් කරලා ආයෙම ගෙදර යන එක කලුවා මාරපන් ගියා වගේ වැඩක් උනත් ආදරේ ලඟඳි ඕන සිංහලෙන් බලු වෙනව කියල දන්න නිසාම සුමල් මේවට මුකුත් කියන්නෙ ගියේ නෑ. අනික කියන්න ගියා නම් සමහරවිට හිනාවක් එලියට පැනල මුගෙ ලව් සීන් එක චොකා වෙයි කියල බයකුත් පොඩියට වගේ සුමල්ගෙ හිතේ තිබ්බා.

“අනේ මන්දා, පුතා කරදරයක් නෑ කියනවනම්” කියල සප්තමීලගෙ තාත්ත අම්මයි සප්තමීයි දිහයි බැලුවෙ ඒ දෙන්නගෙනුත් මේකට අවසර ගන්න වගේ හිතල කියල දැක්ක හන්දම තමයි සමුද්‍ර නැවිලා අංකල්ගෙ අතේ තිබිච්ච එලවලු මලු ටික තමන්ගෙ අතට අරගත්තෙ. එහෙම කරායින් පස්සෙ කොහොමත් ඉතින් මේ තුන්දෙනාට තමන් එක්ක ගෙදර යන එක වලක්වගන්න බෑ කියලා සමුද්‍ර දන්නවා.

“ආයෙ කාගෙන්වත් අහ අහ ඉන්නෙ මොකටද අංකල්. මට කිසිම කරදරයක් නෑ. අනික මොකෝ අංකල්ලා මේ මගේ වාහනේ ගියා කියල ආයෙ මට වාහනේ යන්න බැරිවෙනවද? හරි හරි මම මේ එලවලු මලු ටික උස්සගෙන එන්නම් අංකල්ලා එන්නකො මගෙ පස්සෙ කාර් එක තියෙන තැනට” කියල සමුද්‍ර ඉස්සරවෙලා යද්දි සප්තමී එක්කම අම්මයි තාත්තයි දෙන්නත් ඒ පස්සෙ ගියේ දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ කියල දන්න හන්දමයි. සමුද්‍ර එක්කල මෙච්චර දවසල් ෆෝන් එකෙන් කතා බහ කරාට මෙහෙම හම්බුනාම එයා දිහා බලන එක, එයා තමන් දිහා බලන එක හිත අස්සෙ නිකන් අමුතුම කිතියක් හදන්න හේතුවෙන්නෙ ඇයි කියන එක සප්තමීටඇත්තටම හිතාගන්න බෑ.

සමුද්‍ර උසට උසේ බඩු මලු ටික උස්සගෙන තමන්ගෙ වාහනේ තියෙන පැත්තට යද්දි තමයි සප්තමී දැක්කෙ සමුද්‍ර අද ඇවිල්ල තියෙන්නෙ වෙනද එන වාහනේ නෙවෙන විත්තිය. ඒකට හේතුව සමුද්‍ර එද්දිම තමන්ව ගෙදරට ඇරලවන ප්ලෑන් එකක ඉන්න ඇති කියන එක වගේම එහෙම ආවොත් මාලවී මේ වාහනේ දකින එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් එක කියන එකට ගැටපදේ ලෙහාගන්න සප්තමීට ඕනවටත් වඩා මොලේ තිබ්බා. සමන්පිච්ච මල් සුවඳක් හමන වාහනේ අස්සට අරගත්ත ඔක්කොම බඩු මලු ටික දැම්මයින් පස්සෙ වාඩිවෙන්න ඉඩ තිබ්බෙ නැති තරම්. 

“මං ඉස්සරහට ආවොතින් මං හිතන්නෙ පුතා පිටිපස්සෙ පොඩ්ඩක් හරි ඉඩ අඩුවෙයි නේද?” කියල තමන් ශරීර ප්‍රමාණෙ ගැන විහිලු කර කර අංකල් කාරයාම දෙන දෙයියො ගෙට ගෙනවිත් දෙනවා සීන් එකක් දාපු හන්දා අංකල්ව ඉස්සරහට වඩම්මවලා සුමල්ව මාතලී කරලා අම්මාව පිටිපස්සෙ සීට් එකේ ජනේලෙ අයිනට දාලා සප්තමීව මැද්දට දාලා අනිත් පැත්තට එන්න සමුද්‍රට වරම් හම්බුනා. වාහනේ ඉස්සරහ කණ්ණාඩියෙන් බලාගෙන ඉන්න සුමල්ගෙ කිණ්ඩි හිනාවට ඔරවන ගමන් සමුද්‍ර හීන් සැරේ ජනේලෙන් අහක බලාගෙන ඉන්න සප්තමී දිහාවට ආදර බැල්මක් පා කරන්න අමතක කරේ නෑ.

දෙන්නට පොඩ්ඩක් කතා කරන්න වෙලාව දෙන්න කියල හිතන් සුමල් වෙනදට වඩා හෙමින් වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියාට මොකෝ සමුද්‍රට ඒක නිකන් දැනුනෙ හෙන වේගෙන් යනවා වගේ. “හදිස්සියක් නෑ නේද අංකල් ගෙදර යන්න?” කියන්න සමුද්‍ර පිටිපස්සෙ ඉඳන් සිග්නල් දෙන්නෙ තමන්ට කියල තේරෙද්දි “මෙච්චර කරලත් මුගෙන් එක එක කතන්දර අහන්න වෙලානෙ මට යකෝ” කියලා හිතන ගමන් සමුද්‍ර දිහා බලලා ඔරවන්න ඕන උනාට මොකෝ පිට මිනිස්සු ඉන්න තැනක එහෙම කරන්න පුලුවන්කමක් සුමල්ට තිබ්බෙ නෑ.

“වාහනවල යද්දි මට කතා කර කර යන්න අමාරුයි පුතේ වමනෙ එනවා” කියල වෙන්ඩ නැන්දම්මා කිව්ව හන්දයි වෙන්ඩ මාමණ්ඩි එක්කල සුමල් චැටක් දාගෙන ගිය හන්දයි සප්තමී එක්ක චැටක් දාගෙන යන එක සමුද්‍රට එච්චර අමාරු නොඋනට සප්තමී නම් උන්නෙ ඕනවට වඩා කයිය දාන්න ගිහිල්ලා අම්මල මොනා හරි හිතාවි කියලා.

“මොකද කතාවක් නැත්තෙ?” කියලා සමුද්‍ර කණට ලංවෙලා අහද්දි ආයෙම වතාවක් ඇඟ දිගේ හිරිගඩු පිපෙනවා දැනෙද්දි මෙච්චර වෙලා ජනේලෙන් එලියට දාගෙන උන්නු ඇස්වලින් සමුද්‍ර දිහා නොබල ඉන්න පුලුවන්කමක් සප්තමීට තිබ්බෙ නෑ. සමුද්‍රගෙ ඇස් වල පැටලිච්ච තමන්ගෙ ඇස්, ඒ ඇස් අතරෙ හුවමාරු වෙන වචනවලින් තේරුම් කරන්න නොතේරෙන මොකක් හරි මාර ලස්සන හැඟීමක් හන්දා තොල් වල පැටලෙන්න බලාගෙන ඉන්න විත්තිය සප්තමී තේරුම් ගත්තෙ මාරුවෙන් මාරුවට සමුද්‍රගෙ ඇස් තමන්ගෙ ඇසුයි දෙතොලුයි අතර මාරු වෙනවා දකිද්දි. ඒ වගේම තමන්ගෙ වගේම සමුද්‍රගෙ දෙතොලුත් හීන් සැරේ එකම විදියට ගැහෙනවා දකිද්දි.

“මුකුත් නෑ” කියලා සමුද්‍ර අහපු දේට උත්තර දුන්නට වෙව්ලන දෙතොල් අස්සෙන් ඒ වචන ආවෙ බලාපොරොත්තු වෙච්ච නැති විදියෙ සරාගී හඬකින් විත්තිය සප්තමීට වගේම සමුද්‍රටත් තේරුණා.

අංකල් ඉස්සර සීට් එකේ වාඩිවෙලා සුමල් එක්ක කතා කර කර ඉන්න විත්තියත් ආන්ටි ඉන්නෙ ජනේලෙන් එලිය බලාගෙන වෙනම කල්පනාවක බවත් ඔලුව හරවල බලලාදැක්ක හන්දා කාටවත් නොපෙනෙන්න සප්තමී උකුල උඩ තියාගෙන උන්න අත අරගෙන තමන්ගේ අතේ තප්පර ගාණකට පටලවගන්න සමුද්‍රට බැරි වුණේ නෑ. ඒත් කිසිම විදියකින් කිසිම දෙයක් කතාකරන්න එවෙලෙ වටපිටාවෙ උඩ දුන්නෙ නැති හන්දා දෙන්නට දෙන්නට කරන්න පුලුවන් උනේ ඇස් වලින් කතාකරන එක විතරයි. තමන්ට වඩා අඩියක් දෙකක් පල්ලෙහයින් පේන සප්තමීගෙ ලස්සන මූණ දිහාත්, රෝස පට තොල් දිහාත් බලාගෙන ඉද්දි හිත සංවර කරගන්න එක මාරම අමාරු වැඩක් විත්තිය සමුද්‍රට හිතුණා. පල්ලෙහට නැමිලා හීනියට රිදෙන්න සප්තමීගෙ දෙතොල් අල්ලගන්න හිතුනනම් හොඳයි කියල හිතුනත් වටපිටාව ඒකට ඉඩ දෙන්නෙ නෑ කියල දන්න හින්දම ඒ අදහස හිත අස්සෙම හංගන් ඉන්න සමුද්‍රට සිද්ද උනා. දෙන්න කරගන්න කතාවක් කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න කරන්න උදව් කරන්න වගේ හිතාගෙන තමයි සුමල් රේඩියෝ එකේ සද්දෙ වැඩි කරේ.

“ඔබ ගැවසෙන මා හිත අවිනීතයි

අවනත නැති නෙතටද අවිවේකයි

හුදෙකලාව අවනඩුවක්… ගෑනු ළමයෝ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here