මල් පිපුණිද හිම කැළයේ – 34

0
3131

“ජීවිතේ කියන්නෙ හරි පොඩිම දේකින් පවා සතුටක් ලබන්න පුලුවන් දෙයක් කියලා මට හිතෙන්නෙ ඔයා දිහා බලන් ඉන්නකොට.ඔයා හරිම වෙනස් කෙනෙක් නෙලී.මට එහෙම ජීවිතේ සතුටින් ඉන්න බැරි ඇයි කියල මම හැමදාම හිතනවා. සල්ලි මොන තරම් තිබුණත් , සතුටින් විනෝදයෙන් ඉන්න ඕනතරම් සල්ලි වියදම් කරලා යන්න තැන් තිබුණත්..මට ඒවායෙන් කිසිම සතුටක් දැනෙන්නෙ නෑ..මං එහෙම ට්‍රයි කරලාත් තියනවා….ඒත් ඒ එකක වත් මම හොයන සතුට සැනසීම නෑ…ඔයා කොහොමද ඔය වගේ පොඩිම දේකින් පවා සතුට හොයාගෙන ඉන්නෙ…?”
කෝපි බඳුන නිසොල්මනේ තොළ ගාමින් දෙදෙනා අතර ඇතිවූ කතාබහ අතරේදී ස්ටීව් විමසුවේය.නිලංගා මොහොතක් ඔහු දෙස බලා උන්නේය.බ්‍රයන් සහ මාලිකා පැවසූ ස්ටීව්ගේ ඇතුළාන්තය ඔහු තමා හමුවේ දිග හරිනා බව ඇයට වැටහිණ.මේ එවන් සවන් දීමකට යහපත්ම ප්‍රවේශයකි.

“ස්ටීව්, මං දන්නෙ නෑ ඔයා මගේ කතාව දන්නවද කියලා…මෙලා මගෙන් දවසක් ඇහුවා ඔයාලා එක්ක ඒ කතාව කීවාට කමක් නැද්ද කියලා.මම හා කීවා….ඒත් ඒ කතාවේ බර වෙන කෙනෙක් කීවාම ඔයාට වැටහුණාද මම දන්නෙ නෑ….

කොහොම වුණත් ස්ටීව් පොඩිම කාලේ ඉඳන් මම සතුටු වුනේ ලැබෙන පොඩිම දේක පවා ලොකුම සතුටක් දවටගෙන.ඒක හරියට මේ බ්ලූබෙල් මලක් දැක්කම මට ඇතිවුණ සතුට ඔයා දැක්කනෙ …අන්න ඒක වගෙ…”

නිලංගා ස්ටීව් තමා වෙත ගෙන ආ උණුසුම් චොක්ලට් පානය රස විඳිමින් පැවසුවාය.එම පානය ඇය විඳින ආකාරය පවා බලා ඉන්නට අපූරු දෙයක් ලෙස ස්ටීව් දුටුවේය.

“ඉතින් ඇයි මට එහෙම බැරි…?”
ස්ටීව් ප්‍රශ්න අසනා ආකාරය කුඩා දරුවකු සේ යැයි ඇයට සිතුණි.

“ඒ ඔයාගේ හිත තරහෙන් නොරිස්සුමෙන් වැහිලා තියන නිසා ස්ටීව්.තමන්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි කළ තමන්ව රිදවපු අය ගැන තියන නොරිස්සුමෙන් ඔයා වැහිලා ඉන්නෙ.ඉතින් ඒ ඉඩ අතරට ඔයාට සතුටක් එක්කරගන්න වෙලාවක් නැහැ….ඒකතමයි හේතුව…”
නිලංගා පැවසුවාය.

“ඔයා එහෙම කියන්නෙ කොහොමද නෙලි…මම ඒ අයව අතෑරලා දාලා ඉන්නෙ…මගෙ ජීවිතේට එයාලට එහෙම බලපෑම් කරන්න බැහැ….”
ස්ටීව් එරෙහි විය.

“නෑ ස්ටීව් ඔයා ඒ අයව අතෑරල දැම්මට එයාලට සමාවක් දීලා නෑනෙ…ඔයාගෙ හිතේ එයාලව දකිනකොට ඇතිවෙන තරහ, නොරිස්සුම කියන්නෙ එයාලා ගැන තරහක් තියන් තමා ඔයා එයාලව අතෑරලා ඉන්නෙ කියන එක…එහෙම නෙවෙයි ස්ටීව් එයාලට සමාව දෙන්න…සමාව දීලා එපා නම් අතාරින්න…එතකොට ඔයා නිදහස්…”
නිලංගා පැවසුවාය.ඔවුන් ඉදිරියෙහි වූ කුඩා ජලාශයේ සුදු පැහැ හංස යුවලක් පිහිනා යනු ඇය බලා උන්නාය.හංසයාගේ පිහාටු මතට වැටෙන දිය බිඳු හිරු එළියේ බබලන්නේය.

“ඔයාට පේනවද අර හංසයාගේ ඇඟට වැටිලා තියන වතුර බිංදු.ඒවා මඩපාටයි නේද? එහෙමයි කියලා හංසයාගේ ඇඟේ ඒ මඩ ගෑවිලා නෑනෙ…ඒවා ඇඟේ නොගෑවී බේරිලා යනවා.තමන්ට අදාළ නොවෙන දේවල් එහෙම්ම අතහැරලා දානවා නම් පොඩ්ඩක් වත් ඒවායෙ කොන් තමන්ගේ හිතේ තියාගන්න එපා ස්ටීව්…”
නිලංගා මුදු ස්වරයෙන් පැවසුවාය.ස්ටීව් කුඩා දරුවකු කතන්දරයක් අසන්නාක් මෙන් ඇයගේ එවදන් අසා උන්නේය.මෙලෙස තමාගේ හිතට දැනෙන්නට දෙයක් කියූ මිතුරෙක් මිතුරියක් හෝ වැඩිහිටියෙක් සිය ජීවිතයේ නොඋන් බව පමණක් ඔහුට ඒ මොහොතේ සිහිවිය.

“ඔයා ටෝටලි ඔයාගේ ඒ අම්මා තාත්තා කළ දේවල් වලට එයාලට සමාව දීලද ඉන්නෙ…පොඩ්ඩක් වත් තරහක් නැද්ද?”
ස්ටීව් තවදුරටත් ඇයගේ අදහස පැහැදිලි කරගන්නා අටියෙන් විමසුවේය.

“නෑ ස්ටීව්…මට වුණත් ඉඳහිටක යම්  යම් දේවල් වලදි එයාලා මට කල කී දේවල් මතක් වෙනවා.එතකොට මට තරහක් නෙවේ දුකක් එන්නෙ.කලකිරීමක් එන්නෙ.ඒත් ස්ටීව් ඒ එන මොන හැඟීම වුණත් අපිට දෙන්නෙ නෙගටිව් ඉම්පැක්ට් එකක්.අපිට ඒ දේවල් අමතක කරලා මිස ඉස්සරහට යන්න බෑ..ඒ වෙලාවට මම හිතාගන්නව අඩුගානේ එයාලා මාව කන්න බොන්න හරි දීලා පාරට නොදා හදාගත්තා නේ කියලා..මොකක් හරිම පුංචිම හොඳක් හරි ඒ වෙලාවට මම මතක් කරගන්නවා”
නිලංගා ආයාසයෙන් සිනාසෙන්නට තැත් කළාය.ඒ සිනාවේ වූයේ ශෝකී බවක් යැයි ස්ටීව් සිතුවේය.

“මට එහෙම හිතෙන්නෙම නෑ නෙලී.මගෙ දෙමවුපියන්ට හොඳටම සල්ලි තිබුණා.ඒත් එයාලා තව සල්ලි පස්සෙ ගියා. මාව අතෑරියා.එක්කො මම එයාලට අවශ්‍ය නොවෙන වෙලාවක ආව දරුවෙක් වෙන්න ඇති.ඔක්කොටම වඩා එයාලට ඕනවුණේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉහළට යන්න.අදටත් බලන්න අපේ අම්මාට ඇතිවීමක් නෑනෙ.”
ස්ටීව් කලකිරීමෙන් පැවසීය.

“එහෙමත් තියාගෙන එයාගේ බිස්නස් වලට තව ඉහළට යන්න මට මගුලුත් කතා කරනවා.මට ඉතින් යකා වැහෙන්නෙ එවෙලෙට තමා…”
ස්ටීව් යළිත් මුහුණ තරහින් අඳුරු කරගනිමින්ම පැවසීය.නිලංගා නිහඬවම ඔහුට කතාකරන්නට දී බලා උන්නාය.

“එයා ඉතින් ලස්සන මදිද?”
නිලංගා ඔහුගේ තරහා නිවෙන තෙක් බලා ඉඳ සෙමින් ඇසුවාය.ස්ටීව් දෙනෙත් හකුලා ඇය දෙස බැලුවේ ඇසූ ප්‍රශ්නය වටහාගන්නට උත්සාහ කරමිනි.

“කවුද?”
නැවත වරක් ඇය දෙස බලමින් ඔහු විමසුවේය. නිලංගා දඟකාර සිනහවක් පෑවාය.

“සිල්වියා මැඩම්ගේ යාළුවගේ දුව…අර ගිහින් හම්බවෙන්න කිව්වේ..එයා ලස්සන මදිද?”
තමා දෙස හිසද මඳක් ඇලකොට ගෙන නෙත් වලින්ද අභිනයන් පාන්නිය දෙස ස්ටීව් සිනහවද මැඩගෙන මෙන් බලා උන්නේය.

“ලස්සන… ලස්සන කොච්චරද කියනව නම් රෑකට කලුවරේ දැක්කොත් බය වෙනවා…”ස්ටීව් මඳක් හඬනගා  සිනාසුනේය.ඉන් අනතුරුව සිය ජංගම දුරකථනයේ යමක් සොයන්නට වෙහෙසුනේය.විනාඩියකට පමණ පසු සිය  දුරකථනය ඇය වෙත හරවා ” මේ ඉන්නේ…” යැයි පෙන්වූවේය.
ව්‍යාපාරික සාදයක් බඳු අවස්ථාවක  නිලලත් ඡායාරූප ශිල්පියෙකු ගන්නා ලද ඡායාරූප සමූහයක එක් ඡායාරූපයක් ඔහු ඇය වෙත පා උන්නේය.නිලංගා ආයාසයෙන් තද කොටගෙන උන් සිනහව එක සැණයකින්ම පුපුරා ගියේය.

“අනේ මට බෑ අප්පා…ඔයා මහ නරකයි ස්ටීව්…”
විනාඩි ගණනක් තිස්සේම එකසීරුවට සිනාසුණ නිලංගා ගේ දෑසින් කඳුලුද මතුව විත් තිබුණි.එතරම්ම විකාරරූපී පෙනුමක් ඇතිවන සේ ආලේපන තවරා උන් ඒ යුවතිය ස්ටීව් හා ගලපන්නට සිල්වියා මැඩම් සිතුවේ කෙලෙසකද කියා නිලංගා සිතුවාය.මේ තමන්ගේ එකම දරුවාය.කුඩා කලදී නොසලකා හැරියද අඩුම තරමේ දැන්වත් සිය එකම දරුවා ගැන මීට වඩා හිතන්නට සිල්වියා මැඩම්හට නොහැකිද යන්න සිහිවන විට නිලංගාගේ සිනහව මැකී ගියේය.

“මොකද  එක පාරටම හිනාව අතුරුදහන් වුණේ..ඔයා හිනාවෙනකොට හරි ලස්සනයිනෙ..”
ස්ටීව් නිලංගා දෙස බලා සිටිමින්ම පැවසුවේය.

“මම කෙනෙක්ට බොඩි ශේමින් කරනව නෙවේ. ඒ උනාට සිල්වියා මැඩම්ට මේ වගේ යෝජනාවක් කරන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා.ඔයා වගේ කෙනෙක් ළඟින් ඒ ගෑනු ලමයව තියලා පොඩ්ඩක් හිතන්න තිබ්බා..කොහෙත්ම ගැලපෙන්නේ නැහැ නේද කියලා..”
නිලංගාගේ වදන් අතරට ශෝකයක්ද එකතු වී තිබුණි.

“ඒක තමයි මම ඔයාට කිව්වෙ. අපේ මමීල හැදෙන්නේ නැහැ.එයාලට හොඳින් කිව්වට තේරුමකුත් නැහැ.මගේ ක්‍රමේට ටිකක් කෑ ගැහුවම තමයි එයාලා චුට්ටක් සරෙන්ඩර් වෙන්නේ..”
ස්ටීව් පැවසීය.

“අපි එහෙනම් යමු නේද? අපේ මමි මේ වෙනකොට මෙලාට කතා කරලා ඇති කීප පාරක්.මම වෙලාවට මෙලාට කියලාා ආවේ ඔයාව ගමනක් එක්ක යනවා කියලා.මමී  කතා කරලා ඇහුවොත් ඔයා මෙලා එක්ක ඉන්නේ කියලා කියන්නත් කියලා මම කිව්වා…”
ස්ටීව් සියල්ල සැලසුම් කොට ඇත්තේ සිල්වියා මැඩම්ගේ සැකයට ඉඩ නොතබමිනි.

“ඔයත් කට්ටම නෑ නේද?”
නිලංගා සිනාසුනාය..

“සමහරක් දේවල් වලදී එහෙම කරන්න වෙනවා..එහෙම කළා කියලා පාඩුවකුත් නෑ…”
ස්ටීව් සිය ඇසක් ඉඟිකොට පැවසුවේය.

මේරි මර්ෆි ක්‍රමයෙන් සුවය ලබන්නට වූයේ වෛද්‍යවරුන් වෙතින් පවා නිලංගා පැසසුමට ලක්කරමිනි.සැරයටියක ආධාරයෙන් මිදුලේ ඇවිදින්නට ගත් පසු මේරි මර්ෆි සිය උද්‍යාන සේවකයන් ලවා යළිත් ගෙවත්ත සකසන්නට උනන්දු වූවාය.ඒ සියලු කාරණා වලදී ඇය නිලංගාගේ අදහස් සහ උපදෙස් නිරතුරුවම අපේක්ෂා කළාය.

“අම්මා, දැන් නෙලීව ඔයාගේ වැඩ වලින් නිදහස් කරන්න කාලෙ හොඳයි..මේ ළමයටත් අනාගතයක් තියෙන්න ඕන.හැමදාම කෙයාරර් කෙනෙක් විදියට ඉන්න නෙවෙයිනේ එයා මෙච්චර දුරට ඉගෙනගෙන තියෙන්නේ.ඉතින් නෙළීව ඔයාගේ වැඩ වලින් අයින් කරලා එයාට දැන් ගැලපෙන ජොබ් එකක් හොයාගන්න අපි උදව් කරමුද?”
සිල්වියා ක්ලිෆර්ඩ් මිදුලේ ඇවිදිමින් සිටිනා සිය මව වෙත පැමිණ පැවසුවාය.ඇයගේ එම කතාබහ තුළ අරමුණු දෙකක් විය.එකක් ඇත්තෙන්ම සද්භාවයෙන් නෙලී ඇයගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන රැකියාවකට යොමු කර ඇයට වඩා යහපත් ජීවිතයක් ලබාදීමය.දෙවැනි කාරණය ඒ සියල්ලටම වඩා සිල්වියා හට වැදගත් විය. ගත වූ කාලය තුළ ස්ටීව් සහ නෙලී අතරේ විශේෂ මිත්‍රත්වයක් ගොඩනැගී ඇති ආකාරය සිල්වියා ගේ උකුසු ඇසට හසුවී තිබුණි.සිය ව්‍යාපාරික සගයාගේ දියණිය සමඟ සම්බන්ධයක් ස්ටීව් ගේ ඇති කිරීමට ඇය කෙතරම් උත්සාහ ගත්තද ස්ටීවය සම්බන්ධයෙන් කිසිවිටකත් කැමති නොවීම සහ නෙලී සමග ඔහුගේ ඇති හිතවත්කම අතරේ සම්බන්ධයක් ඇත්දැයි ඇයි කුකුසකින් පෙළුනාය.මේ සම්බන්ධව ඇයට සිය පුතුගෙන්වත් නෙලීගෙන්වත් කෙලින්ම අසන්නට නොහැක. 

“ඔයාට පිස්සුද නෙළීව යවලා කොහොමද? මගේ අත් දෙක කැඩුනා වගේ තියේවි.මට හැමදේටම ඉන්නේ ළමයා නේ දැන්.නෑ නෑ නෙළීව කොහේවත් යවන්නේ නෑ.. එයාට මීට වඩා හොඳ සැලරි එකක් දීලා මගේ ගාවම තියන්න ඕනේ..එච්චරයි.”
මේරි මර්ෆී වහා කේන්තිගන්නා සුලුය. කායිකව සුවපත් වුවද ඇයගේ මානසික අසමතුලිතතාවය තවමත් විටින් විට ගැටලු ඇති කරයි.සිල්වියා ඇය සමඟින් වාද කරන්නට නොගියාය. එහෙත් නෙළී සමගින් මේ කාරණය සම්බන්ධයෙන් කතාබහ කළ යුතු යැයි ඇය සිතට ගත්තාය.නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරවක් භාවිතා කරන්නට අවශ්‍ය වන තුරු දුරදිග යා නො යුතු බව ඇය තීරණය කොට උන්නාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here