මේ ඒ වසන්තයයි – 22

0
3219

දෙවන වතාවටද එම අංකයම ජංගම දුරකතන තිරය මත වැටෙද්දී, ඉසිනි ජංගම දුරකතනය අතට ගත්තාය. සන්සුන් වන්නට අවැසි තරමේ හුස්මක් හෙලුවාය. ජීවිතයේ දශක තුනකුත් ඉක්මවා ඇති ගැහැණියක, එක් ජංගම දුරකතන අංකයක් නිසා මෙතරම් තිගැස්මක නතු වීම විශ්වාස කල හැකි යමක්ද නොවේය. එහෙත් ඉසිනි එතරමට වන තිගැස්මක උන්නාය.

” හෙලෝ …..”

” නම්බර් එක මාරු කලේ නෑ කිව්වාට , මම හිතුවේ ඒත් මාරු කරලා කියලා ….”

නුරාන්ගේ හඬ ජංගම දුරකතනයකින් ඇසෙන්නේ වසර කීයකින්දෝ සිතන්නට ඉසිනිට අවැසි විය. එනිසාම ඕ පිළිතුරු දෙන්නට ප්‍රමාද විය.

” ඉසිනි මම නුරාන් …”

නිහඬ ඇමතුමෙන් එලෙස ඇසෙද්දී ඉසින්ඉ මතක ඇවිස්සීම පසෙකට තැබුවාය. එහෙත්, ඊළඟට පැවසිය යුත්තේ කුමක්දැයි ගලපා ගන්නට  හැකි වූයේ නැත.

” හෙලෝ …”

යළි ඇසුණි.

” හෙලෝ …”

” නුරාන් කතා කරන්නේ …”

” දන්නවා …”

” සේව් කරලාද තියෙන්නේ තාම ?…”

” නැහැ … නම්බර් එක  මතකයි …”

ඉසිනි ට එලෙසින් නොපවසා සිටින්නට තිබුනායැයි සිතුනේ නුරාන්ගෙන් ඉන් පසුව කියැවුනු දෙය  ඇසුනාට පසුවය.

” වළ දාලා ඉවරයක් කරන්නම හිතුවත්, අයිති දේවල් මතු වෙනවාම තමයි නේද ?…”

ඉසිනි එයට කිසිත් නොපවසා මේසය මත වූ සුදු පැහැ කොලයක නිල් පැහැ කාබන් ඉරි අඳින්නට ගත්තාය.

” ඔෆිස් එකේද ?…”

” ඔව් …”

” සනීප නින්දක් ගියා … දැන් ඇහැරුනේ … “

ඉසිනි අත් ඔරලෝසුව දෙස බැලුවාය. දහවල් දෙකද පසුව ගොසිනි. නින්දක් කීවොත් අන් කිසිවක් අවැසි නොවූ නුරාන් මන්දිනු සිහි විය.

 ” ඉස්සර වගේ නින්ද යන්නේ නෑ මට දැන් … පැය අටක් නිදාගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනි .. මම පිල්ස් පවා ගත්තා කාලයක් … මේ නින්ද නම් සනීපෙටම ….”

නුරාන් එලෙසින් පවසද්දී ඉසිනිගේ දෑස් අග දැවෙන්නට ගත්තේය. මේ මිනිසාගේ ජීවිතයේ සුව පහසු කලාප කීයක්නම් තමා විනාශ කර දමා ඇතිද ?..

” ඉසිනි බිසි නම් ඕකේ … පස්සේ ගන්නම් මම . අක්කලා ලඟ කියලා කතා කලා … ඒකෙන් ඇහැරුනේ .. ඒ ගමන් එක පාරටම ගත්තේ මම …”

නුරාන් එලෙසින්ද පැවසුවේය. ඉසිනි එයටද කිසිවක් පැවසූයේ නැත. නුරාන් මොනවාදෝ පවසා ඇමතුම විසන්ධි කෙරූ බව දැනීමෙන් පසුව ඕ ජංගම දුරකතනය  යලි මේසය මත තැබුවාය. සුදු පැහැ කොලයේ ඉංග්‍රීසි අකුරින් නුරාන් ලෙස සඳහන්ව තිබුණි. ඕ එය ඉදිරියෙන් තාරා ලෙසින්ද ලීවාය.

යළි ඉසිනිගේ ජංගම දුරකතනය  නාද විය. යළි ඔහුය. ඉසිනිට දැනුනේ සැහැල්ලුවකි. තමා පසුපසින් යමෙකු සිටින බව දැනීම ජීවිතයේ කොයි වයසක සිටින්නෙකුට වුවද මෙතරම් උත්කර්ෂවත් ලෙසින් දැනෙනවා විය යුතුය.

” හෙලෝ …”

” තාරා …”

ඉසිනි අසුනේ උන් ඉරියව්වද හරි බරි ගැහී සැකසුනාය. ජංගම දුරකතනය සවනටම ලං කර ගත්තාය.

” තාරා … ඔයාට ඉසිනි කියන වාරයක් ගානේ මගේ හුස්ම හිර වෙනවා.. දැන් මං ඔයාට තාරා කීවට කමක් නෑ නේද ?… මගේ නේද ?…”

නුරාන් ඉළන්දාරියෙකු ලෙසින් විමසුවේය.

” ඔයා මට තාරා කිය කිය කතා කරන්න එපා නුරාන් … මං කිව්වානේ මගේ නම ඉසිනි …”

සම්බන්ධතාවය නවතා දමා මාස කිහිපයකින් එලැඹි උපාධි ප්‍රධානෝත්සවය දිනයේ තමා නුරාන් බිද දැමූ අයුරු ඉසිනිට සිහි විය. ඒවා ඇය මතකයේ තබා උන් කාරනා නොවේය, එහෙත් ඒ කිසිවක් ඇයට අමතකව ගොස් තිබුනේ නැත.

ඕ දෑඟිල්ලකින් මිරිකා දැම්මාය. මේ හැඟීම් පිට දැමිය හැකි තැනක් නොවේය.

” තාරා…”

” මට තේරෙන්නේ නෑ නුරාන් …”

” මොකද්ද නොතේරෙන්නේ ?…”

” කිසිම දෙයක් තේරෙන්නේ නෑ …”

” පෙර පාසල් කෙල්ලෙක් වගේ තේරෙන්නේ නෑ කියන්න එපා තාරා ..ඔයාට දැන් මේ වෙන්න යන දේ තේරෙන්න ඕනි …”

” මේක මෙහෙම වෙන්න දෙන්න බෑ නුරාන් .. මේ මිනිස්සු මට සාප කරාවි .. මට ගල් ගහවි … මට .. මට එච්චර අපවාදයක් ඉස්සරහ ඔලුව නවාගන්න හයියක් නැහැ නුරාන් ..ප්ලීස් .. ඔයාගේ ජීවිතේ හදාගන්න නුරාන් …”

ඉසිනි ආයාසයෙන්, ඉතා පහත් ස්වරයෙන් එලෙසින් ගැලපුවාය. එහෙත් නුරාන්ට ඒ කිසිවක් අදාල වූයේ නැත.

” මං කිව්වානේ, අනෙක් ඔක්කොම අමතක කරන්න කියලා ..ඔයාට ඉස්සරහින් මම ඉන්නවා.. කවුරු වුනත්, ඔයා ළඟට එන්න ඕනි මාව පහු කරලා …”

නුරාන් මේ වසර ගනනාවක් තිස්සේ දැරූ විශ්වාසයකි. තමා දරන ප්‍රේමය කවදාම හෝ තමාගේ සුවය වෙනුවෙන්ම හේතු වේයැයි ඔහු සිතුවේය. ඉසිනි නුරාන්ගෙන් වෙන් වි තමා වෙත පැමිණීමක් ගැන නුරාන් ඍජුවම සිතා තිබුනේ නැත. එහෙත්, මියෙන්නට පෙර ඇය තමා අසලින් සිටින්නට පැමිණෙන බවට වන විශ්වාසය නුරාන් කෙරෙන් ඉවත්ව ගොස් නොතිබුනේය.

ඒ බලාපොරොත්තුව ඇස් පනාපිටම පෙනෙද්දී එය නොදැක්කා සේ ඉවත යන්නට නුරාන් කිසි ලෙසකින්වත් කටයුතු නොකරන්නට ඉටා උන්නේය.

” ඔයාට මේක තේරෙන්නේ නෑ ..”

“: මට හොඳට තේරෙනවා .. ඔයයි තේරුම් ගන්න ඕනි …”

” මං හින්දා ඔයා මේ ගොඩ නඟා ගත්ත දේවල් නැති වෙයි නුරාන් … අනේ මට ආයෙම වතාවක් පවු පුරවගන්න බෑ..”

ඉසිනි කැබිනයේ දොරෙන් ඉවත බලමින් කීවාය.

” ආයේ මං එහෙම වැටෙන්නේ නෑ ඉසිනි .. තමුසේ  මගේ  ළඟ ඉන්නවා නම් කාටවත්ම මාව වට්ටවන්න දෙන්නේත් නෑ මම …”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here