අම්මාට මුසා බස් පවසා නුරාන් කිරිබත් පාර්සලයක් ඔතාගත්තේය. ඔහු නිවසින් පිට වෙද්දී නවය පසුවී තිබුණි. ඉසිනිගේ කාර්‍යාලය වෙත පැමිනෙන්නට තවත් විනාඩි තිහක් පමණ ගත විය. ඔහු ඉසිනිට ඇමතුමක් ගත්තේය. ඉසිනි උන්නේ දිනයේ ලියුම් වෙන් කරමින් අංකනය කරමිනි. ඕ තවමත් නුරාන්ගේ අංකය ජංගම දුරකතනය තුල සුවපහසු ලෙසින් ගබඩා කරගෙන තිබුනේ නැත.
” හෙලෝ …”
” තාරා බිසිද ?…”
” මම වැඩ …”
” බිසිද කියලා ඇහුවේ …?..”
” නෑ ..කියන්න …”
” ඊයේ මට නින්ද යනකල්ම අම්මා ළඟ .. ඒ නිසයි රෑ කතා කරන්න උනේ නැත්තේ …”
ඉසිනි ජංගම දුරකතනය අල්ලා උන් ස්පර්ශය දැඩි කලාය. අසුනේ මදක් ඉදිරියට විත් ඍ ජු වන සේ ඉරියව්ව වෙනස් කරගත්තාය. ඔහු එලෙසින් නිදහසට හේතු පැවසිය යුතු නැත්තා නොවේද ?.. පැය කිහිපයකට පසු මෙතරම් ආක්‍රමණශීලි ලෙසින් ඔහුට නැඟෙන්නට තමා ඉඩ දිය යුතුද ? ඉසිනිට කිසිවක් පවසා ගන්නට ඉඩක් නොදී නුරාන්ම යලි කතා කලේය.
” විනාඩි පහකට එලියට එන්න පුලුවන්ද ?..”
නුරාන් උන්නේ අතිශය උත්කර්ෂයක වෙලෙමිනි. ඉසිනි ඒ උත්කර්ෂය වටහා ගන්නට නොහැකිවද, ඒ උත්කර්ෂය ප්‍රතිචාර ලෙසින් තමා කල යුත්තේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිවද අසුනෙන් නැගිට්ටාය. ඉන් පසුව ජනේලයෙන් එපිට බැලුවාය. ඉදිරි මාර්ගයේ කිසිවකු පෙනෙන්නට නැත.
” තාරා …”
නුරාන්ගේ නොඉවසිලිමත් හඬ යළි ඇසෙද්දී ඉසිනි යළි කවුලුවෙන් එබී බැලුවාය.
” තාරා .. විනඅඩි දහයකට එලියට එන්න පුලුවන්ද ?..”
නුරාන් එතරමට ධෛර්‍යමත් වෙමින් විමසුවේය. විනාඩි පහ දෙඟුණ කල ඉල්ලුවේය. ඉසිනි උන්නේ කලබලයෙන් පැටලෙමිනි.
” මේ .. වෙලාවේ කොහොමද ?..”
” ඔයා බොස්නේ ඔතන ..”
” ඒත් එහෙම එන්න බෑ නුරාන් …”
ඉසිනි අහේතුවකවම නුරාන්ට හේතු කියමින් උන්නාය.
” ඉතා හදිසියකට එලියට යන්න මොකක්ම හරි විදියක් ඇතිනේ ..?..”
නුරාන් එවර යළි විමසුවේය. ඉසිනි යළි අසුනේ හිඳගත්තේය.
” තාරා .. එන්න පුලුවන් විදිය හදාගන්න එක ඔයා අතෙ තියෙන්නේ .. මම ඉන්නේ පශු වෛද්‍ය ඔෆිස් එකට හැරෙන තැන හන්දියේ .. විනාඩියෙන් ඔයාට එන්න පුලුවන් .. මම කැබ් එකේ නෙවෙයි ආවේ .. කවුරුත් අඳුනගන්නේ නෑ … එන්න …”
නුරාන් එලෙසින් පවසා ඇමතුම විසන්ධි කලේය. ඉසිනි ඇගේ හේතු කීම වෙනුවෙන් වචන ගලපා අවසන් වන විට නුරාන් උන්නේ නැත. ඉසිනි ජංගම දුරකතන මේසය මත තැබුවාය. කුමක් කරන්නට යුතුදැයි සිතුවාය. හදිසි බැහැර යෑමක් වෙනුවෙන් ලියැවෙන සටහන් පොත අතට ගත් ඉසිනි එහි දිනයට අදාල පිටුව පෙරලුවාය.
ඉසිනි නයනතාරා සෙල්ලනායක
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
පෙරවරු නවයයි තිස් පහ
පශු වෛද්‍ය කාර්‍යාලය වෙත යෑමට
එලෙසින් සඳහන් කල ඉසිනි එවෙලෙහි කාර්‍යාලයේ සිටි සංවර්ධන නිළධාරිනියකටද පවසා කාර්‍යාලයෙන් පිටතට ආවේය. තමා ඇය කැටුව යන්නටදැයි විමසමින් ආ රියැදුරාටද එලෙසින් අවශ්‍ය නොවන බව පැවසූ ඉසිනි හොර පූසියක මෙන් ගේට්ටුවෙන් පිටතට ආවාය.
” කිසිවෙකුට තමා ඉක්මවා යන්නට නොදෙන ගැහැණු හිතක්, එක් ක්ෂණයකින් හිතුවක්කාර වෙන හැඩ ..”
කොහෙන්දෝ එවන් මිමිණීමක් ඉසිනිට ඇසුනේය. ඕ අඩිය ඉක්මන් කලාය. වට පිට නොබලා සිටින්නට පරෙස්සම් වූවාය. යළි ජංගම දුරකතනය කම්පනය වන බව දැනුනේය. ඕ ඒ දෙස බලමින් පශු වෛද්‍ය ආයතනය දෙසද බැලුවාය. ඇමතුමට පිළිතුරු දුන්නාය.
” එන්න .. මම මේ කලු පාට කාර් එකේ …”
නුරාන්ගේ හඬ ඇසුණි. ඕ අඩියට දෙකට මෝටර් රිය වෙත ළැං වූවාය. නුරාන් දොර විවෘ ත කර තිබුණි. ඕ ඒ තුළට වී වහා දොර වසා ගත්තාය. නුරාන් උන්නේ ඕ දෙස බලාගෙනය. ඕ නුරාන් දෙස බැලුවේ තවත් තත්පර කිහිපයක් ගෙවී යන්නට දෙමිනි. නුරාන් වෙත ඕ හෙලූ බැල්මම, ඕ අනෙක් තත්පරයේම පසෙකට යොමු කලාය.
නුරාන් වහා පියවි සිහියට එලැඹුනේය. පිටුපස අසුන වෙතට ඇදී යමක් ගත්තේය. ඉසිනි ඒ දෙස යන්තමින් බැලුවේය. ඉන් පසුව එය ඉසිනි වෙත පෑවේය.
ඉසිනි ඒ දෙස බලා උන්නා මිසෙක කිසිත් කීවේ හෝ කිසිම ප්‍රතිචාරයක් දැක්වූයෙ නැත.
” කිරිබත් …. අවුරුදු ගානකට පස්සේ, කිරිබත් මූඩ් එකෙන් කිරිබත් කෑවා … ඔයාට නොදී කන්න හිතුන් නෑ .. මං අපි දෙන්නාටම කෑලි දෙක තුනක් ඔතාගෙන ආවා …”
නුරාන් එලෙසින් පවසද්දී ඉසිනිට දැණුනේ කිසිවෙකු තම හුස්ම හිර කරන බවය. තමා වේදනා වින්දේ තම තීරණ නිසාය. තම දෙමාපියන් ගේ තීරණ නිසාය. එහෙත්, නුරාන් විඳි වේදනා වලට ඔහුට කිසිම සම්බන්ධයක් නැත. ඒ සියල්ල තමා සහ තම පවුලේ අයවලුන් නිසාය. එලෙස විඳවා ගෙවා දැමූ කාලයකට පසු ඔහු මේ තාල තබන ගීතය ගයන්නට තමාට අයිතියක්වත් නැතිවා නොවේද ?…
” තාරා .. මං කවන්නද ?…”
ඉසිනි සාරි පොටෙන් මුව වසා ගත්තාය. ඉන් පසුව මුහුණම වසා ගත්තාය.
” උඹට බං ජොබක් නැති වුනත් අවුලක් නෑ … ඩේ කෙයාර් එකක බබලාට කවන වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුලුවන් වෙයි .. ඇයි බං මේ ගෑණි කොයි වෙලෙත් කවන්න කියාගත්ත ගමන් නේ …”
සරසවි මිතුරන්ගේ උසුලු විසිලු ඉසිනිගේ සවන් තුල රැවු දෙන්නට විය. තැන අදාල නොවීය. ඔහු එක බත් කටක් හෝ තම මුව තුළට දමන්නට පැකිලුනේ නැත.
” හරි හරි බං .. මං කවන්නේ නැතුව ආයේ කොමලිට උඹලා කවන්නයැ .?’
නුරාන් ඒ හැම වෙලාවකම එලෙසද පැවසූ බව ඉසිනිට මතකය.
” තාරා .. අඬවන්න ආව ගමනක් නෙවෙයිනේ .. හරි .. එහෙනම් කන්න ඕනි නෑ .. ඔය ඇඬිල්ල නවත්තලා.. කාර් එකෙන් බැහැලා ඔෆිස් එකට යන්න … කන්න ඕනි නෑ..”‘
නුරාන් යළි එය පසුපස අසුනෙහි තමන්නට උත්සාහ කරත්ම ඉසිනි ඔහු වැලැක්වූයේය.
” එහෙනම් කටක් කවන්න …”
ඕ ඔහුගේ දෑස් දෙස බලාගෙනම කීවාය. නුරාන් සමනල් හැඟුමන් තමා තුල නැඟෙන්නට දුන්නේය. වඩා රැකෙන්නේ අයිති වන ප්‍රේමය නොව, රැක බලාගන්නා ප්‍රේමය බව පසක් කරගත්තේය.
එක් කටකට අවසර දුන්නාට, ඉසිනි කිරිබත් කැබලි තුනක්ම අවසන් කලාය. නුරාන් ඉතිරි කැබලි දෙකක් කෑවේය. මද උණුසුමින් වූ වතුර බෝතලය නුරාන්ට පෙර ඉසිනි වෙත දිගු විය.
” බීලා ඉන්න .. මගෙන් උණ බෝවෙයි …”
ඔහු එලෙසින්ද කීවේය.
ReplyForwardAdd reaction |