උත්සව සමයේ ආදරණීයන්ට තෑග්ගක් තෝරමුද ?

ඉස්සෙල්ලාම පර්ස් එකට එබෙන්න 

දෙසැම්බර් නත්තලට වගේම 2024 ජනවාරි වලටත් ඔබේ ආදරණීයයන් වෙනුවෙන් තෑගි මිලදී ගන්න ඔබ දැනටම සූදානම් වෙනවා ඇති. උඩු යටිකුරු වුණ ආර්ථිකයක් එක්කල වුනත්, ආදරේ මිනිස්සු වෙනුවෙන් ආදරේ වත් කරන ආදරණීය හැඟිම් වෙනුවෙන් තමයි අද ලියමන. තෑගි ගන්න කලින් අපි අනිවාර්යයෙන් තෑගි වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් මුදල ගැන සැලසුම් හදාගන්න ඕනි. දෙසැම්බර් මාසේදී වැඩිපුර මුදල් ලැබුණා කියලා , ඒ මුදල් කලමනාකාරණය කරගන්නේ නැතුව වියදම් කරලා දාන එක නම් එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ නිසා දෙසැම්බර් මාසේ ආදායම අතට අරගෙන  ඒකෙන් වියදම් කොච්චරක් කරනවද කියලා ඉස්සෙල්ලාම තීරණය කරන්න. ඒ වියදම් වලින් කොච්චරක් ආදර තෑගි වෙනුවෙන් වෙන් කරනවද කියලා තීරණය කරන්න වෙන්නේ ඊට පස්සේ .

තෑගි දෙන කෙනාගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න 

Blonde woman thinking about gifts to give.

අම්මට, තාත්තාට, ආච්චි,සීයට, අක්කාලා ,අය්යලාට,නංගීලා, මල්ලිලාට වගේ දරු පැටවු වෙනුවෙනුත් එක එක ප්‍රමාණ වලින් ඔයාට තෑගි දෙන්න සැලසුම් ඇති. සමහරවිට ඔයාගේ හොඳම යාලුවට තෑග්ගක් දෙන්න ඕනිමයි කියලා හිතනවා වෙන්නත් පුලුවන්. ඉතින් තෑගි තෝරන්න ශොපින් යන්න කලින්, ඒ අයගේ වර්තමානයේ තියෙන සපුරාගෙන නැති අවශ්‍යතා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. කුඩයක්, සෙරෙප්පු දෙකක්, අත්බෑගයක්, සාරියක් සමහරවිට ක්‍රීම් එකක්, ෆේස් වොශ් එකක් එහෙමත් නැත්නම් අලුතින් ආව පොතක් වගේ මේ ඕනිම දෙයක් වෙන්න පුලුවන්.

මිලදී ගැනීම් වලට ක්‍රෙඩිට්, ඩෙබිට් වලින් දෙන වට්ටම් ගැන සොයා බලන්න 

දෙසැම්බර් නත්තල් කාලෙයි, 2024 අලුත් අවුරුද්දයි පදනම් කරගෙන බැංකු සහ මූල්‍ය ආයතන වලින් උතුරන්න වාසි දෙනවා. ඒ වගේමයි සුපිරි වෙළඳසැල් සහ රෙදි පිළි අලෙවිසැල් වලත් වාසි කරප්පරක් ගැන දැන්වීම් තියෙනවා. තෑගි ගන්න යන්න කලින් දවසක රැයක් මේ වෙනුවෙන් වෙන් කරන්න. කොළ කෑල්ලක් අරගෙන මේ වාසි ලියලා බලන්න. ඔයා ළඟ තියෙන මුදල උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් ක්‍රම හොයාගන්න පුලුවන් වේවි. 

සේල් වලින් ගන්නන් වාලේ ගන්න එපා 

සේල්, සේල්,සේල් මේ දවස් වල හැමතැනම එහෙම ඇහෙනවා. ඒත් සේල් කියලා දැක්ක ගමන් අහුවෙන්න නම් එපා. දාහට තිබුණ භාණ්ඩයක මිල දෙදාහක් කියලා දාලා සියයට විසි පහක් සේල් දාන මුදලාලි මහත්‍තුරුත් ඉන්නවා. ඒ නිසා වෙළඳපොල මිල ගැන අවබෝධය ඇතුව ඉන්න.සේල් වලට යනකොට සාමාන්‍ය මිල ගැන දැනුවත් වෙන්න. මහා පරිමාණෙන් තියෙන සේල් එකකට යනකොට මිලදී ගන්න දේවල් ගැන අවබෝධයක් ඇතුද යන්නත් අමතක කරන්නෙපා.

සුපිරිම කඩවල් වල විතරක් නෙවෙයි තෑගි තියෙන්නේ.

සමහරවෙලාවට ඔයා හොයනම තෑග්ග කොලඹ කොටුවෙන් ගන්නත් ඉඩ ලැබෙනවා. ඒ නිසා ඇවිදලා බලන්න. වැඩියෙන් වටින්නේ ආදරේ කරන අයට තෑග්ගක් දෙන්න ඔයාගේ හිතේ ඉපදෙන අදහස. දවසක් දෙකක් වෙන් කරලා කොටුවේ හැම පාරක්ම දිගේ ඇවිදලා බැලුවොත් පර්ස් එකට  නොරිදෙන්න, හිත පිරෙන්න තෑගි ගන්න පුලුවන්. 

අතේ සල්ලි නැත්නම්,ඒත් තැගි දෙන්න පුලුවන්.

මේ ගෙවෙන කාලේ හැමෝටම අමාරුයි. හැමෝම තනි රේස් වල දුවන ගමන් ඉන්නේ. එතකොට තෑගි ගන්නවා කියන කාරණේ පහසු ඉලක්කයක් නෙවෙයි වෙන්නත් පුලුවන්. ඒත් තමන්ගේ ආදරණීයම මිනිස්සු වෙනුවෙන් පුංචි තෑග්ගක් හරි අත මිට මොළවන්න ඔයා ආස ඇති. එහෙම වුනාම ඔයාට ටිකක් මහන්සී වෙන්න වෙනවා. නත්තල වෙනුවෙන් පොඩි කාර්ඩ්පතක් එක්ක, කඩදාසි මල් පොකුර හදාගන්න. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලස්සන බිත්ති සැරසිල්ලක් හදලා දෙන්න. එහෙම නැත්නම් පොඩි වින්චිම් එකක්. එහෙමත් නැත්නම් පබළු වලින් හදපු අත් පළඳනාවක්. මේ දේවල් වෙනුවෙන් අමුද්‍රව්‍ය අන්තර්ජාලය හරහා ඉතාම අඩු මිලට ඇණවුම් කරන්නත් පුලුවන්. ඔයා කොළඹ කිට්ටුව කෙනෙක් නම් කොටුවේ රවුමක් ගැහුවා නම් ඇති.

තෑගි වලට මතක එල්ලන්න

හැම තෑග්ගක්ම කියන්නේ මතකයක්. ඒ මතකය වෙනුවෙන් ලියමනක් එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයා ලියන්න කොච්චරක් කම්මැලී කෙනෙක් වුනත් , තෑග්ග දෙන කෙනාට ඔයාට එයාව කොච්චරක් වටිනවාද කියලා දැනෙන්න ලියලා දෙන්න. මේ දෙන තෑගි ඒ වටිනාකම් වල ප්‍රමාණය වෙනුවෙන් නෙවෙයි වුනත්, ඒ වටිනාකම් මතක් වෙන්න බව ලියන්න. ඔයාලා දෙන්නා අතරේ තියෙන බැඳියාවේ වටිනාකම ජීවිතේ ට පහන් එළියක් බව ලියන්න.  ඒ ලියන කොලේ ලියුමක් කරලා තෑග්ගේ පටලන්න.

| අපේක්ෂා ගුණරත්න | 

Related Articles

Don't Miss


Latest Articles