මල්සර හී සර – 25

0
2327

මාලවී සප්තමී එක්ක කතා කරන්න ලං උනේ සමුද්‍රයි, සුමලුයි, තාත්තයි, තුන්දෙනා සාලෙ සෙටියට වෙලයි අම්මල දෙන්න කුස්සියට වෙලයි කතා කර කර ඉද්දි. අම්මා කුස්සියෙදි අරහෙම දෙයක් කිව්වයින් පස්සෙ සප්තමීට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ දැන් සමුද්‍රලා රෑට කෑම කාලා ගියාට පස්සෙ අම්මගෙ මූන බලන්නෙ හරි අම්මයි තාත්තයි අහන ඒවට හරි උත්තර දෙන්නෙ කොහොමද කියන එක. ඒ හිතුවිල්ල නිසාමද කොහෙද වෙනද වගේ සමුද්‍ර දිහාවට ඇස් බැල්මක් යවන්නවත් සිහියක් කල්පනාවක් නිස්කාන්සුවක් සප්තමීට තිබ්බෙ නෑ.

බීම අරගෙන එන්න කුස්සියට ගිය ටිකට සප්තමීගෙ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා කියලා තේරුනාට සමුද්‍ර උන්නෙ ඒක අහගන්න විදියක් නැතුව. මාලවී පිස්සු හොල්මන මෙතන තමන් අස්සෙම රිංගන් උන්නෙ නැත්තම් අගේට සප්තමීට මැසේජ් එකක් දාලා හරි “මොකද්ද සීන් එක?” කියල අහන්න පුලුවන්කමක් තිබ්බට මාලවී සප්තමී අස්සට රිංග ගත්තයින් පස්සෙ එහෙම මැසේජ් එකක් දාන එක ඔක්කොටම වඩා සප්තමීට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියන එක සමුද්‍රට ආය අමුතුවෙන් තේරුම් කරලා දෙන්න උවමනා උනේ නෑ. 

“උඹ මගෙන් මොනව හරි හංගනවද?” කියාගෙන මාලවී කාමරේට එද්දි සප්තමී ඇත්තටම ගැස්සුනා. හිත ඇතුලෙන් වගේම හිතට එලියෙනුත්. ඒත් ඒ ගැස්සීම අස්සෙනුත් කිසිම වෙනසක් නෑ වගේ පෙන්නගෙන “මොනව හංගන්නද මං උඹෙන්?” කියල අහන්න සප්තමීට බැරි උනේ නෑ. හැබැයි එහෙම කියද්දිත් සප්තමී කල්පනා කල එක දෙයක් තමයි මේ හැමදේම මෙහෙම වෙන්නෙ තමන් සහ සමුද්‍ර අතරෙ තාම නමක් නැතුව තියෙන සම්බන්ධෙ හන්ද නම් ඒ හන්දා නේද මේ පොඩි කාලෙ ඉඳල දන්න යාලුවට වගේම තමන්ට මෙච්චර ආදරේ කරන අම්මා තාත්තට පවා බොරු කියන්න වෙලා තියෙන්නෙ කියන එක. 

“සමුද්‍ර අද මේ ඩිනර් එකට ගෙදර එනවා කියන එක උඹ මට කිව්වෙ නැත්තෙ ඇයි එහෙනම්? අඩුම උඹ මට කිව්වෙ නෑනෙ දියතෙදි සමුද්‍ර හම්බුවෙලා උඹලගෙ අම්මල තාත්තල ඔක්කොම එක්ක කතාකරල මිනිහ උඹලව ගෙදෙට්ටම ගෙනත් ඩ්‍රොප් කරා කියලා” මාලවී අමුතුම විදියෙ තරහක් මූණට අරගෙන අහද්දි සප්තමී උන්නේ උණ හැදිල වගේ ගැහෙන ගමන්. මොකද්ද කියන්න ඕන මොකද්ද මේ කතාවට දෙන්න ඕන උත්තරේ කියල හිතාගන්න බැරුව තප්පර ගාණක් ගෙවුනත් ඒ තප්පර ගාණ සප්තමීට දැනුනෙ නිකන් පැය ගාණක කාලයක් ගියා වගේ.

“අනේ මං එහෙම හිතලා නොකිය ඉඳියෙ නෑ. එදා උබ සමුද්‍ර සර්ට බැන්න හන්ද මං ඒත් හිතුවා මෙහෙම ඒ මනුස්සය හම්බුවෙලා අපේ ගෙදර එනවා කිව්ව එක කිව්වොතින් උඹේ හිත රිදේවි කියල. උඹ කොහොමත් හිත රිද්දගෙනනෙ උන්නෙ ඒ මනුස්සය එදා අර මොකද්ද කතාවක් කිව්වා කියලා ආණමඩුවෙදි. ඒකයි මං ඒ විත්තිය මුකුත්…”

“උඹ ඇත්තටම මට ඔය විත්තිය නොකිව්වෙ ඔය දැන් උඹේ කටින්ම එලියට ආව හේතුව හන්ද නම් අවුලක් නෑ. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න හොඳේ. මම එහෙම මේ කොහෙවත් ඉන්න මගෙ පස්සෙන් ආව පිරිමියෙක් ඊටපස්සෙ මිනිහට වැරදීමක් වෙලා කියල නිකන් ඥං පචං ගෑවට කාටවත් සෙකන්ඩ් වෙන බිම දනගහන ජාතියෙ එකෙක් නෙවෙයි. සමුද්‍ර මොකා එක්ක මොන විදියෙ සම්බන්ධයක් තියාගත්තත් මට කිසිම අවුලක් නෑ. හැබැයි උඹ මොකක් හරි විදියකින් සමුද්‍ර එක්ක මට හදාගන්න බැරි විදියෙ සම්බන්ධයක් හදාගන්න හිතුවොත් අන්න ඒක උඹේයි මගෙයි මේ යාලුෆිට් එකේ අවසානෙ කියන එක නම් අමතක කරන්න එපා” කියලා මාලවී තමන්ගෙ මූණ දිහාවට ඇඟිල්ලකුත් දික්කරලා තර්ජනේ කරන්න වගේ කියද්දි සප්තමී ඇඬුවෙ නෑ. මේක අඬන්න ඕන වෙලාවක් නෙවෙයි තමන් වෙනුවෙන් නැගිටින්න ඕන වෙලාවක් විත්තිය මතක් වෙච්ච හන්දම තමයි සප්තමී හීනි හිනාවක් කට අස්සෙ හදාගෙනම මාලවී දිහාව බැලුවෙ.

“දැන් උඹ ඔය මට තර්ජනයක්ද කරන්නෙ?” කියල සප්තමී අහද්දි මාලවී ඇත්තටම හිතුවෙ නෑ සප්තමී මේ විදියට කතාකරාවි කියලා.

“ඇයි එහෙම කිව්වෙ?”

“එහෙම කිව්වෙ උඹ නිකන් කතාකරන්න ආවෙ මම හරියට උඹට මාර ලොකු වරදක් කරපු ගානට වගේනේ. සමුද්‍ර එක්ක උඹට සම්බන්ධයක් තිබුනෙ නෑනෙ. උඹම කිව්වනෙ ඒ මනුස්සය කිව්ව කියලා එයා උඹලගෙ ගෙදර ඇවිත් තියෙන්නෙ වැරදීමකින් කියලා. එහෙම එකේ මම මොන විදියෙ සම්බන්ධයක් සමුද්‍ර එක්ක හදාගත්තත් ඒක උඹට මාත් එක්ක තරහවෙන්න, මට තර්ජනේ කරන්න, මගෙන් පලිගන්න හේතුවක් වෙන්නෙ කොහොමද කියන එක මට හිතාගන්න බෑ”

“හිතාගන්න බැරිවෙන්න බෑනෙ? උඹ දන්නවනෙ ඉස්සර ඉඳලම මට දෙයක් ඕන උනානම් මම කොහොමහරි ඒක ලබාගත්ත විත්තිය. උඹ දැනටම මට ලැබෙන්න තිබිච්ච දෙයක් උඹේ කරගත්තා. එහෙම එකේ තව මං ආස දෙයක්, මම මගෙ කරගන්න බලාපොරොත්තු වෙච්ච දෙයක් උඹට දෙන්න මම ලෑස්ති නෑ.”

“මොකද්ද මම උඹෙන් උදුරගත්ත උඹට ලැබෙන්න තිබිච්ච දේ?”

“මේ ටෙලි ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක. මොකක් හරි හේතුවකට මම එදා උඹව ඔඩිශන් එක්කරගෙන ගිය හන්දානෙ උඹට ඒ චාන්ස් එක හම්බුනේ, ඒක කමක් නෑ කියමුකො. ඒ උනාට උඹට තිබ්බ මගෙ හිත රිදෙනවනෙ කියල හිතල හරි ඒ චාන්ස් එක භාරගනෙ නැතුව ඉන්න. ඒත් උඹ මොකද්ද කරේ “මං යන්නෙ නෑ ඒකට” කිය කිය ඉඳලා සමුද්‍ර කතාකරලා විස්තර කිව්ව ගමන් හරි උගෙ සල්ලි දැක්ක ගමන් හරි යාලුකම අමතක කරලා ඒ චාන්ස් එක අරගෙන මට ලැබෙන්න තිබිච්ච තැන නැතිකරලා දාපු එක. උඹ නොදැන හිටියෙ නෑනෙ මේ හවුසින් ස්කීම් එකේම නිලියක් වෙන්න ලොකුවටම උවමනාවයි, බලාපොරොත්තුවයි තිබ්බෙ මට කියන එක. එහෙම එකේ උඹ ලැබිච්ච චාන්ස් එක භාරගෙන මට බලු වැඩක් නෙවෙයි ද කරේ? ඒ හන්දා සමුද්‍රව උඹේ ඔය අහිංසක දහං ගැට දාලා අල්ල ගන්න පුලුවන් කියල නම් හිතන්න එපා. මම කීයටවත් ඒක කරන්න ඉඩ දෙන්නෙ නෑ” කියල මාලවී කාමරෙන් එලියට යද්දිත් සප්තමී කලේ උන්නු තැනම හිටගෙන මාලවී කිව්ව දේවල් ගැන ආයෙ ආයෙ කල්පනා කරන එක. තමන්, මාලවී වගේම සමුද්‍ර ඇවිල්ල තියෙන්නෙත් ලේසියෙන් ලෙහාගන්න පුලුවන් දහ අට වංගු ගැටේකට නෙවෙයි කියන එක තේරුණත් මාලවී මේ ගැටේ ලෙහාගන්න හදන්නෙ ප්‍රශ්න ඇතිකරගෙන නම් තමන් කරන්න ඕන ඒ ප්‍රශ්න වලට මූන දෙන එක මිසක්කා ප්‍රශ්න වලට බයේ පැනලා යන එකා නෙවෙයි කියන එක සප්තමී ආයෙ ආයෙ හිතට කිව්වා. 

එදා සප්තමීලගෙ ගෙදර ඇවිත් මව් දෙමව්පියො එක්ක හොඳට හිනාවෙලා කතා බහ කරලා කාලා බීලා යන්න පුලුවන් උනාට සප්තමී එක්ක කතාකරන්න බැරි වෙච්ච හන්දම සමුද්‍ර උන්නෙ බඩ පිරුණට හිත හිස්කරගෙන.  එදා ගෙදර ගිහිල්ලා සප්තමීට මැසේජ් එකක් දැම්මට සප්තමී වෙනදා වගේ ඒකට රිප්ලයි නොකරෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා නිසාද කියන එක එදා රෑ නින්ද සමුද්‍රට නැති කරා.

හැබැයි එදා රෑ නින්ද නැති උනේ සමුද්‍රට විතරක් නම් නෙවෙයි. දෙන්න අතරෙ වෙච්ච සදාකාලික හිත් නොහොඳකමක පලවෙනි කතාබහ හන්දා සප්තමීට වගේම මාලවීට නින්ද ගියෙත් නෑ. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ දරුවා පැටලිලා ඉන්නෙ මොන වගේ දේකටද කියල හිතාගන්න බැරුව නන්දාට නින්ද ගියෙ නෑ වගේම නන්දා ජයබාහුට නිදියන්න දුන්නෙත් නෑ.

“ඔය සමුද්‍ර කියන මනුස්සය එක්ක වැඩි ඇයි හොඳැයියකට යන්න එපා කියල ඔයා දරුවට ටිකක් කියන්න” කියලා නන්දා ඇඳේ එහා පැත්තෙ හාන්සිවෙලා අහද්දි ජයබාහු නන්දා දිහාවට හැරුනෙ එහෙම කියන්නෙ ඇයි කියල හිතාගන්න බැරුව.

“ඇයි එහෙම කිව්වේ?”

“මංදා මට හිතෙන්නෙම ඒ මනුස්සය හදන්නෙ අපේ දරුවව අල්ලගන්න කියලා”

“මොකටද අල්ලගන්නෙ?”

“අල්ලගන්නෙ කිව්වෙ යාලුවෙන්න කියල”

“ඉතින් හොඳයිනෙ නෝනෙ”

“මොකද්ද හොඳේ?”

“යාලුවෙනවනම් හොඳයිනෙ. තරහ උනොත් නේද ප්‍රශ්නෙ?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here