මල්සර හී සර – 27

0
2677

“කවුද බං හිතුවෙ එහෙම සීන් එකක් වෙයි කියල. මං සප්තමී විතරක් ඉන්නව කියල හිතල තමයි පිටිපස්සෙන් ගිහින් පිටට තට්ටුවක් දැම්මෙ. මාත් පස්සෙ දැක්කෙ ආන්ටි ඉන්නව, ආන්ටි වෙනදා ආවෙ නෑනෙ ශූටින්. කවුද හිතන්නෙ මෙහෙම දෙයක් වෙයි කියල. සප්තමී දාපු මැසේජ් එක ආවෙ පස්සෙ. සිග්නල් මොකක් හරි ඩ්‍රොප් එකක් හන්ද මැසේජ් එක ඩිලිවර් වෙලා නෑ. අනේ මන්ද බං මං මේ කල්පනා කලේ මගෙ ලව් එකට බලන් යද්දි කෙලවන්න ඉන්නෙ මේ සප්තමීලගෙ අල්ලපු ගෙදර ඉන්න උන් විතරක් නෙවෙයිනෙ ටෙලි කමියුනිකේශන් කාරයොයො ඔක්කොම ඉන්නෙ මට කෙලවන්න බලාගෙන” කියල සමුද්‍රයා පැණි හැලිය බිම වැටිච්ච ඇඹලයා වගේ අඬද්දි සුමල්ට කරන්න පුලුවන් වෙච්ච එකම දේ ඉතින් බලාගෙන කල්පනා කරන එක තමයි. වෙන මොනව කරන්නද?”

“කොහොමත් උඹ කිව්ව විදියට ඒ ආන්ටි සප්තමීට බැණල නම් උඹ එක්ක මොකක් හරි හුටපටයක් තියෙනව කියල ඒකෙන්ම තේරෙනව නේද ඒ මනුස්සය උඹට කැමති නෑ කියල” සුමල් රැවුල ගිනි අරගත්ත වෙලේ උගෙ බණ දේශනාව කරන්න ආ එකට නම් සමුද්‍රට සිරාවටම තරහා ගියා. 

“සප්තමී කැමති නම් එච්චරයි මට අදාල නෑ බං ආන්ටිල අංකල්ල කැමතිද කියන එක. මට තියෙන අවුල යකෝ දැන් මේ මං හිතුවෙවත් නැති සීන් එකක් මගෙ පැත්තට පෙරලිල තියෙන්නෙ මේ අර මල පිස්සිගෙ ගෙදර ගිය එකෙන්නෙ. මට කියපංකො මොකක් හරි විදියක් මේක විසඳගන්න?” කියල සමුද්‍ර ඇහුවට සුමල් උන්නෙත් මොකද්ද ඇත්තටම මේකට කරන්නෙ කියලා හිතාගන්න බැරුව. සප්තමීවත් හිතුවෙ නැති විදියට අම්මා උදේම ලෑස්තිවෙලා ශූටින් යන්න ආව එකෙන් උනේ වෙනද වගේ සමුද්‍ර එක්ක කතා කරන්න තියා සමුද්‍ර දිහා බලන්නවත් විදියක් නැතුව. වෙනදට නම් මොනව හරි විහිලුවක් කරලා ශූටින් අතරවාරෙ කට්ටිය ආතල් එකේ උන්නට මෙදා නම් සප්තමී එක්ක කතා කරන්න වෙන්නෙ නැති හන්ද සමුද්‍රයි, මාලවී ආවෙ නැති හන්දා වසන්තයි ඔක්කොම උන්නෙ මූණවල් නිකන්  නොරොක් කරගෙන. උදෙයි දවාලෙයි ශූටින් ඔක්කොම ඉවර වෙනකම්ම සප්තමීලගෙ අම්මා උන්නෙ සප්තමීව වගෙම සමුද්‍රවත් පේන මානෙ වාඩිවෙලා. ඒ නිසාම දෙන්නට දෙන්නගෙ මූණවත් බලන්න විදියක් තිබ්බෙ නෑ. අම්ම එක්ක එක කාමරේ ඉන්න හන්දා කෝල් කරන්නත් බැරි එකේ සප්තමීටයි සමුද්‍රටයි එදා දවසෙම කරන්න පුලුවන් උනේ චැට් කරන එක විතරයි. ඒකත් මහන්සියට සප්තමීට ඉක්මනට නින්ද ගිය එකෙන් සමුද්‍රට උනේ රෑ තිස්සෙ කල්පනා කර කර ඉන්න එක විතරයි. 

දවස් පහක් අම්මා කෙනෙක් ගෙදර දොරවල් අතෑරල දාලා මෙහෙම වෙන පැත්තක ඇවිත් ඉන්න එක ලේඉස් වැඩක් නෙවෙයි වගේම කරන්න බැරි දෙයක් උනත් තමන්ගෙ දරුවව පරිස්සම් කරගන්න බලාපොරොත්තුවෙන් ඒ අමාරු වැඩේ කරන්න නන්දා හිතුවෙ වෙන කරන්න දෙයක් නැතිම හන්දා. 

“මං නම් කියන්නෙ ඔය කෙල්ලො කොල්ලන්ගෙ හොර අල්ලන්න වගේ හිතාගෙන ඔයා ඔය ශුටින් අස්සෙ යන එක තේරුමක් නෑ” කියල ජයබාහු මහත්තය කිව්වට මොකෝ නන්දා නම් උන්නෙ ඒව අහන සිහියක නෙවෙයි.

“කොල්ලො කෙල්ලන්ගෙ හොර කියන්නෙ ඔයා ඒව අපේ කාලෙ හොර වැඩ විදියට හිතන්න එපා. දැන් කාලෙ ඉන්න ළමයි හරි මෝඩයි. කොච්චර තාක්ශනේ දියුණු උනත් අපිට වඩා ඉගෙන ගත්තත් මනුස්සයො එක්ක කරන ගනුදෙනු වලදි හරි මෝඩ විදියට තමයි හැසිරෙන්නෙ”

“මං හිතන්නෙ නෑ අපේ දරුව එහෙම කවදාවත් මෝඩකමක් කරගනීවි කියල. අනික ඔයා සැකෙන් බැලුවට මං හිතන්නෙ නෑ අර සමුද්‍ර ළමයා උනත් එහෙම නරක කෙනෙක් කියලා”

“ඕන් ඕකයි ප්‍රශ්නෙ. ඔය ඕනවට වඩා දරුවො විශ්වාස කරන එක තමා ප්‍රශ්නෙ.ඒ විශ්වාසෙන් තමා අන්තිමේ ළමයි කණෙන් රිංගල යන්නෙ” 

“සප්තමී කවදාවත් අපිට එහෙම හොර වැඩක් කරපු ළමේක් නෙවෙයිනෙ නේද? එහෙම එකේ ඔයා මේ කතාව දිහා නිකන් ඕනවට වඩා සැකෙන් බරපතලෙට බලනව කියල තමා මට හිතෙන්නෙ. අනික ඔයා ඔච්චර සැකෙන් බලනවනන් නෝනෙ ඔයාට තිබ්බනෙ ඔය රඟපාන්න යන වැඩේට විරුද්ධ වෙන්න. කොටින්ම එදා දියතෙදි ඒ ළමයා හම්බ උනාමත් ඔයා හොඳට කතා බස් කරානෙ”

“මට අපේ එක්කෙනා ගැන සැකයක් නැ. මං මුලින් එහෙම අර ළමය ගැන උනත් සැකේට හිතුවෙ නෑ. මට ඔක්කොම දේවල් හිතෙන්න පටන් ගත්තෙ එදා කාන්ති ඇවිල්ල අර ඒ ළමයා එහෙත් ආව කියල කිව්වයින් පස්සෙ. කවුද දන්නෙ ඒ මනුස්සය මේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ව මරාගන්න හදනවද කියලා? කාන්ති නම් එදා මහ ඉහළින් ඒ ළමයා ආව විත්තිය කිව්වෙ. ඕගොල්ලො කතා කර කර ඉද්දි මං කාන්තිගෙන් හීන් සැරේ ඔය විස්තර අහලා බැලුවනෙ. චොකලටුයි අරව මේව හෙන ගොඩක් අරගෙන ඇවිල්ල කතා කර කර ඉඳල සෑහෙන වෙලා. කාන්ති නිකන් ඇඟෙව්වෙම ඒ ළමය එහෙ යන්නෙ එන්නෙ මාලවී ගැන මොකක් හරි බලාපොරොත්තුවකින් කියල. එහෙම එකේ අපේ ළමය එක්ක එදා දියතෙ ඉඳන් කතා කර කර ආවෙයි, අපේ අහට රෑ කෑමට ආවෙයි අපේ ළමයවත් එහෙම රවට්ටගන්නද කියල කවුද දන්නෙ?

ඔය රඟපාන්න සෙල්ලම මං මෙතනින් එහාට ආයෙ කරගෙන යන්න දෙන්නෙ නෑ. අර දිගටම එවනවා කියල පොරොන්දු වෙලා මගින් නතරකරන එක අපි කාටවත් හොඳ නැති හන්ද මම සද්ද නැතුව ඉන්නෙ දැන්. ඒ උනාට ඔය නිලිකම් කරන්න ගිහිල්ල අන්තිමේ කතා අහගන්නවට වඩා හොඳයි ගෙදරට වෙලා නිකන් ඉන්න එක. අනික කොහොමත් එයා ඉඳියෙ අර ඕපන් යුනිවසිටියෙ කෝස් එකක් කරන්න යන්නනෙ. මේකෙන් පස්සෙ බැරිය ඒකට යන්න” කියල නන්දා කතාව කරගෙන කරගෙන යද්දි ජයබාහු මහත්තය ආයෙ ඒකට මුකුත් කියන්න හිතුවෙ නෑ. හැබැයි අත්දැකීම් මහ ගොඩක් එක්ක වයසට ගියපු ජයබාහු මහත්තයට තමන්ගෙ නෝන මහත්තය කියන කතාව ඇත්තක් කියන එක පිළිගන්න තව හේතු කාරණා උවමනා උන්නෙ නෑ. ඒත් මොකක් හරි හේතුවකට ඒ හැමදේම පිළිගන්න හිතම හිමින් සැරේ ඉඳගෙන “සමුද්‍රගෙ ඔය කියන විදියෙ වැරැද්දක් ඇත්තටම තියෙන්න පුලුවන්ද?” කියලත් හිතුවා.

ඒ දවස් කීපය ශූටින් ඉවර වෙලා ආයෙ කවද්ද කොළඹ යන්නෙ කියල නන්දා නෝනා බල බල උන්නෙ. කෝල් වලින් මහත්තයයි පුතයි එක්ක කතා බහ කරන්න පුලුවන්කම තිබ්බට මොකෝ ගෑණු උණුහුමක් නැති ගෙදරක පිරිමි දෙන්නෙක් කන බොන එකක්වත් හරියට කෙරෙන්නෙ නෑ කියන එක ඉතින් නන්දට අමුතුවෙන් කියන්න උවමනා උනේ නෑ. ඔහොම දවස් ගෙවිලා ශූටින් ඉවරවෙලා කට්ටිය ආපස්සට කොළඹ යන දවසත් ආවා. උදේ වරුවෙත් හදිසි ශොට්ස් දෙක තුනක් ශූට් කරලා  ඉවර කරගෙන කැමරා කෘ එක අරන් යන්න ඕන ආම්පන්න එහෙම ලොරිවලට දානකම් නිලියො නලුවො ටික කරේ තමන් ගෙනියන්න ඕන කරන දේවල් බෑග් මලු වලට එහෙම දාගෙන බස් එකට ගිහින් දාගත්ත එක. 

සප්තමීට එන්න ඇරලා නන්දා නෝනා තමන්ගෙ බෑග් එකත් අරගෙන යද්දිම තමයි එහා පැත්තෙ කාමර පේළියෙ නතරවෙලා උන්නු සමුද්‍ර තමන්ගෙ වාහනේට තමන් අරන් ආව බඩු ටික පැක් කරේ. 

ගමන් මල්ල උස්සගෙන ගිය නන්දා නෝන බස් එක තියන තැනට යන්න කණ්ඩිය නගින්න කකුල තිබ්බෙ ඇදේට.

මුලින්ම වැටුණෙ නන්දා. 

ඊටපස්සෙ බෑග් එක.

කොහොමහරි සප්තමී අම්මගෙ බෙරිහන් දීම ඇහිල කාමරෙන් එළියට එද්දි දැක්කෙ සමුද්‍ර අම්මව වඩාගෙන ඉන්න එක. ඊටපස්සෙ තමයි සප්තමීට ඇහුවෙ වසන්ත හයියෙන් කෑගහනව “සමුද්‍ර මොකද මිනිහෝ ඔය ගෑණු මනුස්සයව වඩාගෙන කරන්නෙ?” කියන එක.

පස්සෙ කට්ටිය “මොකද්ද බං උනේ?” කියල අහද්දි සීන් එක දැකපු අය කිව්වෙ “අපිට විසාල ශබ්ධයක් ඇසුණා” කියල තමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here