ආතුරයන් මැද ආදරෙන් 21

අප්‍රේල් 28

කේසරගේ වෙනස් වීම පුදුමයි. එයාට මතක නෑ අපි ඉස්සර ආදරෙන් උන්න විදිහ ..දුවගේ උපන්දිනය දවසෙත් එයාට මීටිමක්ලු. මට දුව ඉදිරියේ අඬන්න බැරි හින්දා ඉවසුවා. මට දුව ගැන දුකයි. කේසරගෙන් මම මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ.අපි වෙනුවෙනුත් අඩුම තරමේ පැය දෙක තුනක් වෙන් කරන්න කියන එක විතරයි ඉල්ලන්නේ.අපි මහා කාලයක් ජීවත්වෙන මිනිස්සු නෙමෙයි.
……………………………………………………
මැයි1

කේසර දවසම මැයි රැලි වලට ගිහින් …පුරුදු විදිහටම දුවයි මමයි ගෙදර… ගෙදරම පාළුයි….
මං හෙව්ව ආදරය ,දයාවංශ ඇමතිතුමා හැමතිස්සෙම අඬගහගෙන අරන් යනවා.  ආදරය, බලය පිටිපස්සේ දුවනවා.
එළියට පේන්න ලස්සනට ඇඳලා මමයි දුවයි කේසර එක්ක සම්පූර්ණ පවුලක් විදිහට පේන්න හිටියට ඇත්ත ජීවිතය දන්නෙ මම විතරයි.

…………………………………………………….
මැයි2

අද මමයි දුවයි උපුළුයි පන්සල් ගියා.හිත හරි බරයි කියලා දැනෙනවා.බණ පදයක් වගේ උන්නු කේසර මගේ හිත මේ තරං රිද්දයිද..අපි එනකොට හවස් වුණා.කේසර ගෙදර නැති හින්දා නින්ද ගියේ නැහැ.කේසර මොනවා හරි මට කියන්න හදනවා කියලා හිතනවා.ඒත් එයාට ඒක කියාගන්න බැරුව ලත වෙනවා කියලත් දැනෙනවා.දවස් දෙක තුනක්ම මට මොනවා හරි කියන්න ඇවිල්ලා ආපහු කියාගන්න බැරුව නැගිටලා ගියා කියන එක මට තේරුණා.

……………………………………………………

මැයි’5

දුවට දවසම උන..බෙහෙත් ගන්න ගියේ මම තනියම. මගේ තනියට උපුල්ව අඬගහගෙන යන්න කියලා කේසර කියනවා.උපුල් කියන්නෙත් තාම පොඩි ළමයෙක් කියන එක කේසරට කොහොමද මම තේරුම් කරන්නේ?..දවසම දුව වඩාගෙන ඉන්න වුණා.හරිම මහන්සියි දවස අවසානයේදී.රෑ වෙද්දි දුවගෙ උණ අඩු වුණා. කේසර ගෙදර එද්දි පාන්දර එකත් පහුවෙලා.මං කේසරට රෑ කිව්වා අපි පුරුදු අතීතයට ආපහු යමු කියලා. එයාගේ එකම බලාපොරොත්තුව මේ රටේ ජනාධිපති වෙන එකලු… එක දවසකට හරි.ඇත්තටම මට ඒකට හිනා ගියා.එක දවසකට  හරි රජ වෙන්න කේසරට පිස්සු කියලා මට හිතුනා.
……………………………………………………

“තාත්ති අම්මිටයි මටයි වඩා ආදරේ කරලා තියෙන්නේ දේශපාලනයටයි බලයටයි  වගේ.”.

වර්ණාසි අන්තිම කෝපි උගුරත් බොන ගමන් කිව්ව..

” අම්මා ඉන්නව ඇත්තේ කියාගන්න බැරි දුකකින් පාළුවකින්.
මට අම්මා ගැන හරි දුකයි”…

වර්ණාසි  බිත්තිය ට හේත්තු වෙලා
රූ රටාවලින් සිතුවම් වෙලා තිබිච්ච සිවිලි ම දිහා බලාගෙන හිටියා..

” හුඟක් වෙලාවට දැන් ලොකු සර් එනවත් ඇති බේබි.. බේබිට හුඟක් හිතේ අමාරුව තියෙන්නෙ මෙතන හිරවෙලා ඉන්න එකනේ.. තව පැය දෙක තුනයි නේ ඉවසන්නකෝ..අනිවාර්යෙන්ම අපේ ලොකු සර් දිනලා ඇති.. දන්නැද්ද ඉතින් දිනුවහම හැමෝම ගෙදර පිරෙනවනේ..මෙලහට සර්ට මාධ්‍ය සාකච්ඡා ඉවරයක් නැතුව ඇති..”

ජාදු කිව්වේ අසරණ වෙලා තියෙන වර්ණාසිගේ හිත ටිකක් හදන්න ඕනෙයි කියලා හිතිච්ච හින්දා.

වර්ණාසි ඔහේ ජනේලෙන් එළිය බලාගෙන හිටපු හින්දා ආපහු සැරයක් ජාදු දින පොත කියවන්න පටන් ගත්තා.

මැයි 10

උදෙන්ම මටත් නොකියාම කේසර ගිහින් තිබුණා. මට මහා බයක් දැනෙනවා.. දයාවංශ ඇමතිතුමාගේ බැල්මට මට බයක් හිරිකිතයක් දැනෙන බව කේසරට මම කිව්වා. කේසර මට හොඳටම බැන්නා. මම එයාගේ ගමනට විරුද්ධව හරස් කපනවා කියලත් කියනවා. මට කොතැනක හරි වැරදිලා තියෙනවා.මට කෙනෙක්ගෙ වෙනසක් දැනෙනවා නම් ඒක මුලින්ම කියන්න ඕනේ කේසරට.දයාවංශ ඇමතිතුමාගේ බැල්ම හැසිරීම හොඳ නැති බව මට කාලයක ඉඳන් දැනිච්ච දෙයක්.ඒක මම කේසරට නොකියා වෙන කාටද කියන්නේ?..කේසරගේ ගමනට බාධා කරන්න මට කොහොමත් ඕනේ නෑ.ඒ කියපු කතාවට ඇත්තටම මගේ හිත ගොඩක් රිදුනා .

………………………………………………….

ළිඳ ළඟ සංගමය වගේ මේ දිග ඇරෙන අතිශය පෞද්ගලික කතන්දරය තමන්ට වුනත් දැනගන්න එක සුදුසු නැහැයි කියල ජාදුට හිතුනා.

“මේ කන් දෙක පුරවගන්න ඕනේ අපිට අදාල දේවල් වලින් විතරයි කොල්ලෝ.. ඕන නැති හැම දෙයක්ම කන් දෙක අස්සට ඔබාගන්න ගියාම අන්තිමේදී හොඳ නරක මොකක්ද කියලා අපිටම අමතක වෙනවා.”

එහෙම කියලා දවසක් කේසර සර් තමන්ට කිව්වා ජාදුට මතක් උනා..

“ඉතුරු ටික කියවන්නද බේබි “..

කියලා ජාදු ඇහුවේ ඒකයි.

“කියවන්න … “

දවස් ගාණක් තමන්ව මැණිකක් වගේ බලා ගත්ත… සහෝදරයෙක් වගේ ආරක්ෂා කරපු ජාදු ට හංගන්න දෙයක් නෑ කියලා වර්ණාසි ට හිතුනා.
…………………………………………………..

මැයි12

ගෙදර යන්න මට හිතෙන්නෙත් නෑ. අපේ අම්මලා මාව තේරුම් ගන්නෙත් නෑ කියලා මට හිතෙනවා. දුව නිසා මම ඉවසනවා. මේ ගෙදර පාලුයි කේසර කියන්නේ මට දරුවත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න කියලා.අම්මල කියන්නේ බොරු දේවල් හිතෙන් මවාගෙන මම කේසර දාලා එන්න හදනවා කියලා.ඇත්තටම ගෑණු ළමයෙක්ව කසාද බන්දලා දුන්නට පස්සේ  අම්මලාට ඒ විදියට නිදහස් වෙන්න පුළුවන්ද.. මට දැනෙන අපහසුව කේසරට කියන්නත් බැරි නම් මගේ අම්මට කියන්නත් බැරි නම් ..කාටද මම කියන්න ඕනේ..

…………………………………………………..

පිටුවෙන් පිටුව පෙරළීගෙන යන දිනපොතේ නාලිකාගේ ජීවිතය වර්ණාසී ජාදුයි ඉස්සරහ ලණුවක් ලෙහනවා වගේ ලෙහි ලෙහි තිබුණා.අවුරුදු ගානක් මේ පොත අස්සෙ අම්මගේ අතීතය හැංගිලා තිබිලා කියලා වර්ණාසිට හිතුනා.එදා අම්මා නැති වෙච්ච වෙලාවෙ පොලිසියයි තාත්තියි අල්මාරි පෙරළ පෙරළ මේ පොත හොයන්න ඇත්තේ ඒකයි කියලා වර්ණාසිට කල්පනා වුණා.පස්සෙන් පහු හිතුණා අම්මා අපි හැමෝගෙම ජීවිත ඒකෙ දිග ඇරලා කියලා .සමහර විට මේ හැමදේම තාත්තා  දැනගෙන ඉන්න ඇති. ඒ හින්දා තමයි අම්මා නැති වෙච්ච වෙලාවෙත් මේ තරම් උනන්දුවෙන් දිනපොත හොයන්න ඇත්තේ?..

ජූනි8

කේසර ගැන මට දැනෙන්නේ පිළිකුලක්.. බලය වෙනුවෙන් කේසර මොනවද මේ කරන්න හදන්නේ කියලා මට හිතුනා.පාර්ලිමේන්තු යන ලැයිස්තුවට තමන්ගේ නම දාගන්න කොහොම හරි උත්සාහ කරනවාලු. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්න කියලා කේසර කියනව.අගමැතිතුමා එක්ක එක දවසකට රෝස් ගාර්ඩ්න් විලා වලට ගිහින් එන්න පුළුවන්ද අහනව.දයාවංශ ඇමතිතුමා මේ පාර පක්ෂයෙන් ඡන්ද ඉල්ලුවේ අගමැති ධුරයට.කේසර පුදුම විදිහට ඒ වෙනුවෙන් වැඩ කළා.එච්චර උදව් කරලත් කේසරට ආපහු සැරයක් දයාවංශ කියලා පාර්ලිමේන්තු යන ලැයිස්තුවට තමන්ගේ නම දාගන්න ඕන නම්  රෝස් ගාර්ඩ්න් විලා වලට එවන්න කියලා.මට ඒ ඇහුන දේ බොරුවක් වුනා නම් කොයිතරම් හොඳයිද.ඒත් ඒක සහතික ඇත්ත.. කේසරගේ කටින්ම පිටවෙච්ච සහතික ඇත්ත මට ඉවසන්න අමාරුයි..

……………………………………………………

ජූනි 20

දවස් ගානකට පස්සේ අදයි යන්තම් ඔලුව ඉස්සුවේ. එදා දැනුණු අප්පිරියාවට මට දිගටම වමනෙ ගියා. ඉස්පිරිතාලේ ඉන්න උනා දවස් කීපයක්. කේසර වගේ මිනිහෙක් ළඟ දරුවා තනියම තියන්න මට බය හිතුනා. පොඩි එකීවත් අරගෙනමයි හොස්පිටල් එකට  ගියේ.. දයාවංශය දෙපාරක් මාව බලන්න ආවා. මට දැනුනේ පුදුම අප්පිරියාවක්… මං කතා නොකර ඇස් පියාගෙන උන්නා.. ගෙදර ආවහම කේසර මට බැන්නා. නොමිනේෂන් නැති උනොත් මාව මරනවා කියලා කිව්වා. දෙයියනේ මගේ දරුවට මොනවා වෙයිද..
මම මෙච්චර ආදරය කරපු කේසරට    දේශපාලනය වෙනුවෙන් මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. තමන්ගේ බිරිඳ කියන ගෞරවයවත් මට දෙන්න බැරි නම්..
තවත් මම මෙතන ඉන්න ඕනෙද..ඒත් මගේ දරුවට මොකද වෙන්නේ?…

…………………………………………………..

ජාදු ගේ උගුර හිරවෙන ගතියක් දැනෙන්න පටන් ගත්තා.කේසර සර් දේශපාලනය වෙනුවෙන් බලු වැඩ කරන බව ජාදු ට අමුතුවෙන් කියන්න ඕන වුණේ නැහැ..ඒත් මනුස්සයෙකුට මේ තරම් බලු වෙන්න පුළුවන්ද කියලා ජාදු ට හිතාගන්න බැරුව ගියා. නෙළුම් මලක් වගේ ලස්සන නාලිකා මැඩම්ව ජරා දේශපාලනය වෙනුවෙන් තමන්ගේ ඉහල නායකයින්ට මේ විදිහට බිලි දෙන්න පුළුවන්ද කියලා ජාදු ට හිතා ගන්න බැරුව ගියා.

“අනේ බේබී මේක මීටත් වඩා මම කියවන්න ඕනෙද..”

“කියවන්න ජාදු  කියවන්න..හිතාගන්න බැරි අතීතයක් අපේ ඉස්සරහා මේ දිග ඇරෙන්නේ..අපි හිතාගෙන හිටපු තාත්තා නෙමෙයි මේ දිනපොතෙන් එළියට එන්නේ.”…
……………………………………………………
ජූලි 22…

මට දරුවා ගැන දුකයි බයයි. මම මැරුණොත් දරුවට මොකද වෙන්නේ? කේසර මහජරා මිනිහෙක් .මට අම්මල ගාවට යන්නත් බැහැ. මම මේ විස්තර කිව්වට අම්මලා පිළිගන්නෙත් නැහැ. මං හිතෙන් හදාගත්තු දේවල් වෙන්න  ඇතිලු.  එකම විසඳුම දයාවංශ ලඟට යන එක නම් ඊට වඩා හොඳයි මම මැරෙන එක… පිහිට ඉල්ලන්නේ කාගෙන්ද… මම නංගිට කිව්වා මට මොනවාහරි උනත් එක තත්පරයක්වත් අපතේ නොහැර කෙල්ල අරගෙන යන්න කියලා. නංගි මට බැන්නා බහුබූත කියවනවා කියලා..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles