සුහදිනී -40

“අනේ තාත්තට අමාරුයි වගේ”

ඇය සිටියේ නිම්නාගේ අත තදින් අල්ලාගෙන ය.අහස් හෙමින් සීරුවේ ඇගේ හිස මෘදුව පිරි මැද්දේ ය.මෙතැන ඕනෑවට වඩා ඇඟෑලුම් පෑම අසීරු ය.නමුත් සකීව දරා ගන්නටම උවමනා මොහොත මේ බව අහස් හොඳින් දනියි.

“ඔය පොඩ්ඩක්වත් ලේසි වැඩක් නෙවේනෙ.අපි ඒක දන්නවනෙ නේද? ඒත් තාත්තට සනීප වෙයි කියලා අපි විශ්වාස කරනවනෙ”

අහස්ගේ වචන විශ්වාස කරන්නට සකීට ඕනෑ විය.ඔහු එතැනින් නොනැවතී සකීගේ තාත්තා ගැන වෛද්‍යවරයාගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් විමසන්නට පවා කටයුතු කළේ ය.

“ඔපරේෂන් එක ටිකක් ලොකු එකක් මිසක තාත්තට අමාරු නෑ හොඳද!”

ඔහු සකීට පැවසුවේ විශ්වාසයකිනි.නමුත් සකී බියෙන් ගල් ගැසී බලා සිටියා ය.අසීරු ශල්‍යකර්මයක් හන්දා තාත්තා සුව වීමට වේගයක් ඇති බව අහස් පහදා දෙද්දී එය නොපිළි ගන්නට ද ඇයට හේතු නොතිබිණ.

අහස් සකී අසල නොරැඳුණේ හේතු ඇති හන්දා ය.සාරණ්‍යා කලබලයට පත් වෙමින් සිටී.කුමන මොහොතක හෝ ඇය තමන් ලුහුබැඳ සකී ගැන තොරතුරු සොයා ගන්නට ඉඩ ඇතැයි සිතීම ද අහස්ට වෙහෙසක් ගෙන ආවේ ය.එවැන්නක් විය යුතු නොවේ.

“මිස් ද අර කියන සන් ෆ්ලවර්?”

රෝහලේ තරුණ හෙදියක නිම්නාගෙන් ඇසුවේ එක්තරා මොහොතකදී ය.නිම්නා පුදුමයෙන් උඩබිම බැලුවා ය.මේ කුමන මරාලයක් ද?

“අහස් වරින්වර හොස්පිටල් එකට එනවනෙ.එයාට ගැළපෙන ලස්සන තියෙන්නෙ මිස්ගෙ නිසා අපි හිතුවෙ”

නිම්නාට උස් හඬින් හිනැහෙන්නට සිතිණ.ප්‍රේමය රූපයට ලඝු කරන්නට ඔවුහු නොපැකිළෙති.මෙතැනට විත් අහස් සකී සමඟ රැඳුනානම් අහස්ට මීට වඩා ලස්සන පෙම්වතියක සොයා ගත හැකි වීමේ කතාව තටු සලා ඉගිලෙන අන්දම ඇය සිහි කළා ය.

“එයා සියුම්ගේ යාලුවා නිසා අපිට පොඩ්ඩක් උදව් කරා,සල්ලිවලින්”

නිම්නා එසේ කියා ගත්තා ය.සියුම් කාගේ හෝ පෙම්වතෙකු බවට හෙදියන් සිතීමේ ගැටලුවක් නොවේ.

අහස් ඉලංගසිංහ කියන්නේ අසරණ වූ අයට හැකි තරම් උපකාර කරන්නෙකු බව අසා ඇතැයි හෙදියගේ කියවීම අසා සිටි නිම්නා එන්නට ආවේ කෝපයෙනි.ඔහු ගැන වර්ණනා කිරීම ගැටළුවක් නොවේ.එහෙත් අහස්ගේ පෙම්වතිය ඇයදැයි ඇසීම ම ඇයට කෝපයකි.නිම්නා සිදුවීම කෙටියෙන් අහස්ට ලියා යැවී ය.

“මිනිස්සු ආදරේ මනින්නේ ඔහොම තමා.සරල පහසු හේතු”

අහස්ගේ පිළිතුර එසේ විය.ඔහුගේ ඉදිරිපත් වීම හන්දාම සකීගේ තාත්තා සුව වීම ඔහුට සතුටකි.එහෙත් ඔහුට සකී අසල ඇයට ඕනෑ අන්දමට රැඳෙන්නට නොලැබීම ගැන ඔහු මේ මොහොතේ පවා සිටින්නේ දුකිනි.

“මේ ජනප්‍රියකම අත් ඇරලා තාත්තගෙ කම්පැනියෙ වැඩක් බලන් ඉන්න හිතිලා තියෙන්නෙ මට.”

අහස් එසේ කියද්දී සියුම් හිනැහිණ.

“ජනප්‍රියකම අතෑරියත් දක්ෂකම අතාරින්න බෑනෙ”

සියුම් එසේ කියද්දී මේ මාවත තෝරා ගැනීම ගැන නැවත නැවතත් සිතා බලන්නැයි ඔහු අතීතයේ පැවසූ අන්දම අහස් සිහි කළේ ය.ඒ අතීතය බව සැබෑවකි.නමුත් දැන් සියුම් හිඳින්නේ ඒ මාවතේ ඇවිද යන මිතුරාට සම්පූර්ණ සහයෝගය ලබා දෙමිනි.

“ඔය සන් ෆ්ලවර් අනිවාර්යයෙන් ම මිතුලි තමයි.අහස්‍ට ආයෙ ටීම් එකට එන්න ලැබුණේ ඔය පොලිටිකල් සීන් එක නිසා.”

සාරණ්‍යා මිතුරියකට පැවසුවේ පුදුමාකාර කෝපයකිනි.අහස් මේ පණ දෙවැනි කර පෙම් කරන්නේ කුඩා සරසවි සිසුවියකට බවත් ඇය රූපලාවණ්‍යගාරයකට පවා යන්නේ යලට මහට බවත් ඇය සිහිනයකින්වත් නොසිතුවා ය.සාරණ්‍යා නම් තාරකාව අත් හැර ඔහු අල්ලා ගත යුතු වන්නේ එවැනි දිස්නයක් සහිත ගැහැනියකගේ අත ය.

“කවුරු වුණත් ඔයාට ආයේ අහස්ව ලැබෙන් නෑ කියන එක පැහැදිලියිනෙ.”

මිතුරිය දෙවුර නටවා පැවසී ය.සාරණ්‍යා ඉලංගසිංහ වන දවස ගැන ඇයට ලොකු සතුටක් නොතිබිණ.සාරණ්‍යා සිටියේ ඒ දවස උදා වූ පසු සල්ලි ගොඩක පිහිනන සිහිනයකිනි.එය ඇගේ මිතුරියන් දවාලන්නට හේතු වූ කාරණාවක් විය.සාරණ්‍යාට එතරමට ධනවතෙකු සහ තාරකාවක ලැබිය යුතු නැතැයි ඔවුන් විශ්වාස කරන්නට විය.

“එයාට එහෙම මාව ලේසියෙන් අත් අරින්න බෑ.මට පුලුවන් ඕනනම් ගොසිප් පේජ් දෙක තුනකට ඔය හිරිකඩුවගෙ කතාව කියන්න”

සාරණ්‍යා එසේ කියද්දී මිතුරිය,තරුෂි ඇය දෙස බැලුවේ පුදුමයෙනි.සැබෑ භීතියකිනි.

“කළු ගල්වල ඔලුව හප්පා ගන්න එපා බං.මං මේ ඇත්තටම කියන්නෙ.හිරිකඩුවලා ඕවා ලේසියකට අත් අරින් නෑ”

එහෙත් ඒ ආරංචිය එන්නේ තමන්ගේ අතින් බව දන්නේ කවුරුන්දැයි සාරණ්‍යා සිතුවා ය.උල්පත නොදන්නා ඕපාදූපයක් පැතිර යාමේ වගකීම බාර ගත යුතු නොවේ.

“ක්‍රිකට් වගේ දේකට මානසික නිදහස හරිම වැදගත්.ඒ හින්දා අහස්ගෙ මානසික නිදහස නැති වෙන තරමට ඔය මිනිහා ෆේල් වෙනව.ෆේල් වෙන ගාණට සෝෂල් මීඩියා මඩ වැදෙනකොට අහස්ට නැගිටගන්න අමාරුයි.මට දැන් ඕන කරන්නෙ ඒක.”

කාලයක් ප්‍රේම කළ සිතකට නැගිට ගත නොහැකි ලෙස වේදනා ගෙන දිය හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කරන්නට තරුෂිට නොසිතිණ.නිම්නා තරම් විශාල හදවතක් වන්නට ඇයට නොහැක.ඇය නිම්නාගේ අසලටවත් එන්නට තරම් හැකි තැනැත්තියක නොවේ.ඒ නිසා සාරණ්‍යා විකාර වැඩ කරන්නට ගොස් අතරමං වන ආකාරය ගැන සිතන්නට තරුෂි වඩාත් කැමති වූවා ය.සෑම මොහොතකම සකීගේ අත තදින් අල්ලා ගන්නා නිම්නා සහ සමාජ ජාලාවල සාරණ්‍යාට තුරුළු වී පින්තූර පළ කරන තරුෂි අතර වූයේ අහසට පොළොවටත් වඩා දුරකි.

(අසනීපයෙන් පසු වීම නිසා කෙටි කොටසක් ලිවීම ගැන සමා වන්න.සකී ගැන ප්‍රේමයෙන් ලියන්නට නොහැකි තරමට රෝගීව ය.අද දවස ද අපේ අහස්ලාට ජයම වේවා!)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles