සීගිරියට උඩින් තිබ්බ අහස තිබුණේ රතු පාටට හැරිලා. ඒ රතු පාට අහස පුරා ඇඳුනේ මහ විසාල සීගිරි ගලට පිටිපස්සෙන් දවස පුරාම මහන්සිවෙලා හවස ගෙදර යන්න බලාගෙන shift එක ඉවර කරපු ඉර හන්දා. කාශ්‍යප රජතුමා බලකොටුව අස්සෙන් evening walk එකක් ගියේ ඕන්න ඔය වෙලාවෙ. මෑන්ස් හිටියෙ තනියම.
වෙනදා තරම් සීගිරිය දැන් happening නෑ කියල කාශ්‍යප රජතුමාට හිතුනෙ වෙනද මේ වෙලාවට තමන් මෙහෙම ඇවිද යද්දි ඇහිච්ච කෙල්ලො හිනාවෙන සද්දෙ, කොල්ලො කඩු ෆයිට් පුහුණු වෙන සද්දෙ එහෙම දැන් දැන් ඇහෙන්නෙ නැති හන්දා. මාරම නිකන් silence එකක් තමයි සීගිරියෙ තිබ්බෙ. ඒ silence එක බිඳින්න කියල ඇත්තටම තිබ්බෙ ගලේ හැප්පීගෙන එහෙ මෙහෙ යන හුලඟ විතරයි. ඒකත් හරියට අර කාලයක් තිස්සෙ හැමෝටම අමතක වෙලා ගිය මේ සීගිරිය අස්සෙ වෙච්ච දහසක් දුක හිතෙන කතන්දර වල කෙඳිරිය ආයෙ ආයෙ මතක් කරන්න වගේ.
වෙන වෙලාවක වුණානම් මෙහෙම evening walk එකක් ගල උඩ යද්දි “ඔය කලුවරේ ඕක අස්සෙ රිංගන්න ගිහිල්ල පුළුවන් නම් වැටෙන්නකො” කියල කියන්න කවුරුහරි ගෑණියෙක් උන්නට දැන් මේ සීගිරි ගල උඩ බේතකට හොයාගන්න ගෑණියෙක් නැති විත්තිය කාශ්‍යප දැනගෙන උන්නා. ඒ ඔක්කොම උනේ තමන් අර මේඝලතාගෙයි විජ්ජුලතාගෙයි රූප ගල උඩ ඇන්ද දවසෙ ඉඳලා කියන එක කාශ්‍යපට අමතක වෙලා තිබ්බෙ නෑ.
“ඔයා කරපු මේ විලිලැජ්ජ නැති වැඩෙන් අපිට උනේ අන්තිමේ පාරෙ බැහැල යන්න බැරිවෙච්ච එක” කියල උන් දෙන්නා සීගිරියෙන් ගියේ මේක උන්නු හැම ගෑණිම වගේ එක්කහු කරගෙන. තමන්ව මරන්න බලාගෙන පල්ලෙහ කට්ටිය බලන් ඉන්න හන්දා කාශ්‍යප උඩට වෙලා උන්නු එකෙන් උනේ ගෑණියෙක්ගෙ පුස්ඹක් තැවරිච්ච හුළඟක්වත් ඇඟේ ගෑවිච්ච නැති එක. අනික “තමන් ඉන්න තරම් උඩහට හුලඟක් වෙලාවත් එන්න තරම් පල්ලෙහ ඉන්න ගෑණුන්ට පුලුවන්කමක් තිබ්බෙ නැති විත්තිය” කාශ්‍යප දැනගෙන උන්නා. ඕන්න ඕව කල්පනා කරන ගමන් තමයි කාශ්‍යප තමන්ගෙ evening walk එක මාළිගාවේ බටහිර පැත්තෙ නෙරුම ළඟින් නතර කරලා දැම්මෙ. බිත්තියෙ ඇඳලා උන්නු ගෑණුන්ගෙ රූප ළඟට රෑ තිස්සේ හුලු අත්තක් පත්තුකරගෙන හොරෙන් හොරෙන් වගේ ඇවිල්ලා බලපු වෙලාවල් වල නොදැක්ක දෙයක් කාශ්‍යප දැක්කෙ ආන් ඒ ඉර බැහැගෙන යන වෙලාවෙ.
තමන් කාලෙකට කළින් ඇන්ද විදියටම ඒ ගෑණු රූපෙ මූණෙ තිබ්බෙ හරිම ලස්සන ගෑණු ලාලිත්‍යයක්. ගෑණියෙක්ගෙන් කාශ්‍යප දකින්න ආස වෙච්ච අහිංසක කමයි, ගෑණුකමයි ඕනවටත් වඩා ලස්සනට ඒ ගලේ ඇඳිලා තිබිච්ච එක ඇත්ත. කාශ්‍යප ඒක දැක්ක. මොකෝ නොදකින්නෙ? මිනිහනෙ කොහොමත් ඒව ඇන්ද. කාශ්‍යපට මතක තිබ්බා උඩ ඇඳුම ගලවල චිත්‍රෙට පෙනී ඉන්න කිව්ව වෙලාවෙ විජ්ජුලතායි, මේඝලතායි ඇඹරිච්ච විදිය. සිරි යහන් ගබඩාවෙදි නම් තමන් තමන්ගෙ අත්දෙකෙන් ඒ සලු පිළි ගලවල ඉවත් කරාට හීතල හුලඟ වඳින සීගිරි ගල උඩ වාඩිවෙලා, lion beer එකක් බොන ගමන් කාශ්‍යපට ඕන උනේ ඒ ආතල් එක තව පොඩ්ඩක් විතර වැඩි කරගන්න විජ්ජුලතායි මේඝලතායි දෙන්නා තමන්ගෙ අත් දෙකෙන්ම තමන්ගෙ සලුපිළි ඉවත් කරගන්නවා දකින්න. තමන් කොහොමත් ගෑණුන්ගෙන් දකින්න බලාපොරොත්තු වෙච්ච ගෑණුකම මූණ අස්සෙ පාටවලින් තවරන්න පුලුවන්වෙලා තිබ්බට ඒ ඇස් අස්සෙ තමන්ට කවදාවත් තේරුම්ගන්න බැරි වෙච්ච, තමන් චිත්‍රෙ අඳින දවසෙවත්, ඉන් පස්සෙ රෑට හුලු අතු එළියෙන් හොර ගමනක් එද්දිවත් නොදැක්ක බැල්මක් මලානික ඉර එළිය මැද්දෙ එවෙලෙ කාශ්‍යප දැක්කා.
මෙච්චර දවසක් “මේ ගංවල ඉඳල ආව ගොඩේ ගෑණුන්ව මෙට්ටෙ තිබ්බෙ මං” කියල හිතන් උන්නට ජීවිතේ පළවෙනි වතාවට තමයි කාශ්‍යපට හිතුණෙ “හැමෝගෙන්ම ලස්සනයි කියල අහගන්න ඇන්දා කියල හිතුවට මං ඇත්තටම කරේ මුන්ගෙ ආත්මෙ මේ ගල උඩ හිර කරපු එකද?” කියලා. එක අතකින් නෙළුම් මලක් අරගෙන “ගෑණු කියන්නෙ තමන් ගාව තියෙන හැමදේම පිරිමි වෙනුවෙන් පූජ කරන්න බලන් ඉන්න ජාතියක්” කියල පෙන්නන චිත්‍රෙ ළඟදි උනත් කාශ්‍යපට පළවෙනි වතාවට තමයි හිතුනෙ ඒ ඇස් අස්සේ, පින්තාරු කරපු හිනාවට එහා ගිය මොකක් හරි මාරම deep වේදනාවක් රැඳිලා තියෙනවා කියන එක.
එදා රෑ කාශ්‍යපට නින්ද ගියේ නෑ. වෙනදා වගේම හැමෝටම හොරෙන් හුලු අත්ත පත්තු කරගෙන ආපහු වතාවක් මාළිගාවෙ බටහිර පැත්තෙ නෙරුම දිහාවට කාශ්‍යප ගියේ වෙනදා ගිය හේතුවට නෙවෙයි. හිත කිව්ව මොකක් හරි මහ අමුතු හේතුවක්, හැඟීමක් හන්දා. හිත “පලයං කාශ්‍යප ගිහින් බලපං” කියලා කිව්ව හන්දා. ඉර එළියෙන් දිලිහුනාට වඩා වැඩියෙන් හඳ එළිය වැටිලා කෙල්ලො දෙන්නා උන්නේ ලස්සනට දිළිහි දිළිහි. හරියට ඉස්සර පහන් එළියෙන් සිරියහන් ගබඩාව අස්සෙදි තමන්ගෙ ඇස් ඉස්සරහ විතරක් දිළිහුනා වගේ. එක තප්පරේකට දෙකකට කාශ්‍යපට හිතුනෙ ගලේ ඇඳපු ගෑණු චිත්‍ර දෙක නිකන් තමන් දිහා බලලා කිණ්ඩියට වගේ හිනා උනා කියලා. ඒ උනාට ඉතින් එහෙම වෙන්න බෑනෙ. කොටින්ම මේ පණ තියෙන ගෑණු දෙන්නෙක් වෙලා තමන්ගෙ ඇස් ඉස්සරහ ඉන්නකොට පවා හෙලවෙන්න පවා තමන්ගෙ අවසරේ ගන්න වෙච්ච ගෑණු දෙන්නෙක්ට, චිත්‍රයක් වෙලා ගලක තැපලා ඉද්දි තමන් දිහා බලලා කිණ්ඩි හිනා දන්න හයියක් තියෙනවද?
කාශ්‍යප හිතුවෙ එහෙම තමයි. ආන්න ඒ හන්දා තමයි “උඹලා කවදාවත් ඇත්තක් වෙන්නෙ නෑ. කවුරුවත් උඹලා ඇත්ත ගෑණු කියල හිතන්නෙත් නෑ. උඹලා අයිති මට. ගෑණු විදියට වගේම මේ චිත්‍ර විදියටත් උඹලව අයිති මට. Perfect, Flawless, එකට එක කියන්නෙ නැති මට අයිති ගෑණු උඹලා. උඹලව රෑට හරි මෙහෙම ඇවිල්ල බලන්නෙ මං විතරයි. උඹල සන්තෝස වෙන්න ඕන ආයෙ කවදාවත් වෙනස් කරන්න බැරි ඉතිහාස කතාවක, කවදාවත් ගෑණියෙක්ට එන්න බැරිතරම් උඩකට මම උඹලව අරගෙන ආව එක, උඹලව ඇඳලා තිබ්බ එක ගැන. වෙන කිසිම පිරිමියෙක් මෙහෙම සලකන්නෙ නෑ. වෙන කිසිම පිරිමියෙක් උඹලව භාරගන්නෙත් නෑ.
උඹලා දන්නවද මං උඹලට දුන්න ඒ තැන මේ ලෝකෙ ඉපදුණ, ඉපදිලා ඉන්න, ඉපදෙන්න ඉන්න කිසිම පිරිමියෙක්ට ගන්න බැරි තැනක්. මං නැත්තම් උඹලා එයි මෙච්චර දුර” කියල හිතලා තමයි කාශ්‍යප ආයෙ යන්න හැරුණෙ. ඒ හුලඟ ආවෙ කොහෙන්ද කියන්න කාශ්‍යපට ඇත්තටම හිතාගන්න බෑ. හුළඟක් ආවා, හුලු අත්ත නිවුනා. කවුරු හරි ගෑණියෙක්… නෑ දෙන්නෙක් හිනාවෙනවා ඇහුණා. කාශ්‍යප ආයෙ හැරුණේ ඒ සද්දෙට. වටපිටාව ඔක්කොම අන්ධකාරෙන් වැහිලා තිබ්බට හඳ එළියට වැටිලා ගල් පර්වතේ උඩ කෙල්ලො දෙන්නා උන්නෙ දිළිහි දිළිහි. හරියට පණ තියෙනවා වගේ.
“ඔව් කාටවත් දෙන්න බැරි විදියෙ තැනක් තමයි කාශ්‍යප උඹ අපිට දුන්නේ” කියල උන් දෙන්නා හිනාවුනේ කවදාවත් හිනා උනේ නැති විදියට. වෙනදට මේ තමන් ඇස් ඔරවල බැලුවමත් ice cream එකක් වගේ දියවෙච්ච දෙන්නා මේ රෑ උන්නේ ගලක් තරම් හිත හයිය කරගෙන.
“ඒත් අපිට ඒ තැන ඕන වුණා කියල කාශ්‍යප කවදා හරි හිතුවද?”
අපිට ඕන වුණේ වෙන තැනක්, වෙන දෙයක් කියලා කාශ්‍යප කවදා හරි හිතුවද?
අනික අපිට ලැබෙන්න ඕන තැන මේකයි කියලා කාශ්‍යප තීරණේ කරන්නෙ කොහොමද කියලා කාශ්‍යපට කවදා හරි හිතුණද?”
“ගෑණු මොනවද දන්නේ? උඹල සන්තෝස වෙන්න ඕන ඉතිහාසෙ කිසිම තැනක ලියවෙන්න වරම් නොලබපු උඹලව මං සදාකාලිකව මිනිස්සුන්ට දකින්න මේ වගේ තැනක ඇන්ද එක ගැන. උඹලාව ලෝක උරුමයක් කල එක ගැන”
“ඔව් ඔයා අපිට තැනක් දුන්නා. ඇත්ත. ඒත් ඒ තැන අපි බලාපොරොත්තු වෙච්ච නිදහස තිබ්බා කියලා කාශ්‍යප හිතුවද? දහසක් මිනිස්සු ඇවිල්ලා තමන්ගෙ ඇස්වලින් අපි දිහා බලාගෙන ඉද්දි අපිට දැනිච්ච හිරවෙච්ච ගතිය ගැන කාශ්‍යප දැනගෙන උන්නද? ඔයාට කවදාවත් හිතුනෙ නෑ නේද චිත්‍රයක් වෙලා මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ ඇඳුම් ගලවන් ඉන්නවට වඩා එහා ගිය ජීවිතයක් අපි බලාපොරොත්තු වෙච්ච බව.ඔයාට ඕන විදියට මේ ගලක චිත්‍රයක් වෙලා ඉන්නවට වඩා අපිට ඕන වුනේ නිදහස් ජීවිතයක් ගෙවන්න කියන එක? ඔයා අපි ගැන දැක්කට, ඔයා අපි ගැන හිතුවට, ඔයා අපිව චිත්‍රයක් කරලා ඇන්දට වඩා ජිවිතයක් අපිට ඕනවෙච්ච බව? කොටින්ම ඔයා අපිව ඔයාගෙ ඔලුවෙ ඇඳගත්තට වඩා vision එකක් අපිට අපි ගැන තිබ්බා කියන එක”
“නිදහස? මීට වඩා ඔයාලා බලාපොරොත්තු වෙච්ච දේවල් මොනවද? මුලු ජීවිත කාලෙම ලෝකෙම මිනිස්සු බලන්න එන චිත්‍රයක් වෙලා ඉන්නවට වඩා ජීවිතයක් ඔයාලා බලාපොරොත්තු උනා?මම ඔයාලට දුන්නේ කවදාවත් කාටවත් මකන්න බැරි විදියෙ ජීවිතයක්” කියලා කාශ්‍යප ආයෙ වතාවක් හිනා වුනා. ඒ හිනා සද්දෙ ගල් පර්වතේ අස්සේ දෝංකාර දුන්නා. ඒත් වෙනදා වගේ හිනා හඬ මැද්දෙ කෙල්ලො දෙන්න බිම බලාගත්තෙ නෑ. ලැජ්ජාවෙන් ඔලුව පහලට හරවගත්තෙ නෑ. ගල් බිත්තියක ඇන්දක ගල් වෙච්ච හිත් තියෙන ගෑනු දෙන්නෙක් වගේ උන් දෙන්නා කරේ දිගටම කාශ්‍යප දිහා බලන් උන්නු එක. හිනාවක් ඇතුව. ඒ වගේම නැතුව.
“ඒත් කාශ්‍යප අපෙන් කවදහරි ඇහුවද අපිට ඕනද කියලා ඒ වගේ කවදාවත් මකන්න බැරි ජීවිතයක්? කාශ්යපගෙ බලයෙන් මිදිච්ච, වදෙන් මිදිච්ච ජීවිතයක්? ඒ හැමදේටම වඩා කාශ්‍යප හිතුවද ඔය පින්සල අපේ අතේ තිබ්බා නම් අපි අඳින්නෙ මොනවගේ චිත්‍රයක්ද කියන එක?
නෑ නේද?
ඔව් ඔයා අපිට අමරණීය ජීවිතයක් දුන්නා, අපි බලාපොරොත්තුවෙච්ච නැති විදියෙ visibility එකක් දුන්නා. But only in the shape you desired. ඔයාට ඕන විදියට, ඔයා අපි ඇන්දෙ ඔයාට ඕන විදියට මිසක්කා ඇත්තටම අපි කවුද කියන එක පේන විදියට නෙවෙයි. අපිව දැක්ක මිනිස්සු, අපිව දකින මිනිස්සු, ඉස්සරහට අපිව දකින්න මිනිස්සු හිතන්න ඇති, හිතනවා ඇති, හිතාවි අපි මේ ගලේ අපේ බාගෙට ඇඟ වහන් ඉන්න චිත්‍ර ඇන්දෙ ආසාවට කියලා. අපි මෙහෙම අඳින්නෙ, අපි මෙහෙම ජීවත්වෙන්නෙ හරිම ආශාවෙන්, හරිම කැමැත්තෙන්, හරිම ලොකුවට හිතාගෙන, මාරම රජ සැප විඳින ගමන් කියලා
මේ චිත්‍ර ඇඳලා ඔයා කරේ අපිව අගය කරන එක කියල ඔයා මුලු ලෝකෙටම ඇහෙන්න කිව්වත් ඇත්ත ඒක නෙවෙයි කියන එක අපි දෙගොල්ලොම දන්නවා කාශ්‍යප. ඔයා අගය කරේ අපිව නෙවෙයි.ඔයා අගය කරේ ඔයා අපි කියලා හිතාගෙන ඇඳපු, සම්පූර්ණයෙන්ම ඔයාගෙ අදහසක් වෙච්ච, ඔයාගෙ ඔලුව ඇතුලෙ ඇඳිච්ච අපි කියන කෙනාව. ගැහැණිය කියන කෙනාව. ඔයාගෙ හිත ඇතුලෙ ජීවත්වෙච්ච පිරිමියෙක් ලඟ ඔලුව නමන, පිරිමි කියන හැම වචනයක්ම දේව වාක්‍යයක් වගේ අහන, පිරිමි හදන හිර ගෙවල් රජ මාළිගා කියල හිතාගෙන හිරකාරයො වගේ ජීවත්වෙන ගෑණුන්ව. කවදාවත් මේ කැටපත් පවුරෙන් එලියට පැනලා යන්න හිතන්නෙ නැති හිරවෙලා ඉන්න කැමති ගැහැණියව.
ඔයා දන්නවද කාශ්‍යප, ඔයාට කවදාවත් ගෑණියෙක්ව හරියට paint කරන්න බෑ, ඒ ගෑණිව හරියට අඳුරගන්නෙ නැතුව.
සමහර පිරිමි හිතනවා පිරිමින්ට ලොකු power එකක් තියෙනවා කියලා පාරෙ යද්දි විසිල් එකක් ගහලා, කුණුහරුප comment එකක් දාලා, කට්ටිය එක්ක එක්කහුවෙලා කැත විහිලුවක් කරලා හිනාවෙලා, ඊටත් එහා ගිහින් නියුඩ් ෆොටෝ එකක් වගේ දෙයක් එලියට දාලා බය කරලා, බ්ලැක්මේල් කරලා ගෑණුන්ව බයකරගෙන, හිරකරගෙන ඉන්න.
Power එක කියන්නෙ ඒක නෙවෙයි කාශ්‍යප. මූණට මූණ ඇවිත් ප්‍රශ්නෙ විසඳගන්නෙ නැතුව බ්ලැක්මේල් කරන එක, ලැජ්ජ කරන එක Power එකවත් පිරිමිකමවත් නෙවෙයි. ඒකට කියන්නෙ බයගුලුකම කියලා. මොකද්ද ඇත්තටම Powerful මිනිස්සුන්ට කවදාවත් ඒක විඳින්න තව කෙනෙක්ව silent කරන්න උවමනාවක් ඕන වෙන්නෙ නැති හන්දා”
එදා රෑ ඒ විදියට ගෙවුනා. කාශ්‍යප සුපුරුදු විදියට හැමදාම evening walk එකේදි ඒ ගෑණු දිහා බලන් මොන මොනවද කල්පනා කරා. කවුරු මොන දේ කිව්වත් තමන් ඉතිහාසයක් නිර්මාණය කරා කියල හිතන සන්තෝස වුණා, තනියෙන් ආඩම්බර වුණා. “මේ හැම ගෑණිම මගේ තමයි” කියල හිතලා තමන්ගෙ powerful කියල හිතපු පිරිමිකම ගැන සන්තෝස වුණා. ඒත් කාශ්‍යප එක දෙයක් දැනගෙන හිටියෙ නෑ.
ඒ බය කරලා ලඟ තියාගන්න පුලුවන් ඇඟෙන් විතරයි කියන එක.
විජ්ජුලතා, මේඝලතා කියලා ඒ ගෑණු කවදාවත් ඉල්ලුවෙ නැති නම් දීලා, ඒගොල්ලො කවදාවත් ඉල්ලුවෙ නැති ජීවිතයක්, තැනක් දීලා, කාශ්‍යප නිකන්ම නිකන් බයගුල්ලෙක් විදියට මේ ලෝකෙන් පිටවෙලා ගියා.
කාලෙ ගෙවුණා. හුලඟ, වැස්ස වෙනස් වුනා.ඒ වෙනස් වෙච්ච හුලඟ, වැස්ස එක්ක සීගිරි පර්වතේ වෙනස් වුනා. ගල් බිත්තියෙ ඇඳිල තිබිච්ච චිත්‍ර ටික ටික මැකිලා ගියා. අන්තිමේ දවසක පේන්නෙ නැතුවම ගියා.
සමහරු කිව්වා ඒක තමයි සොබා දහම කියලා.
සමහරු කිව්වා හැමදේම අනිත්‍යයි කියලා.
ඒත් කාශ්‍යප දැනන් හිටියා ඒ වෙන සොබා දහමවත්, අනිත්යවත් නෙවෙයි ඒ තමයි ඒ ගෑණු තමන්ගෙ හයිය පෙන්නපු විදිය කියලා.කවදාවත් තමන්ගෙ හිත තේරුම්ගත්තෙ නැති බිත්තිවලින්, හිත්වලින්, ඇස්වලින්, ජීවිතවලින් තමන්ව සදහටම මකලා දාපු විදිය කියලා.
කාශ්‍යපට මතක තිබ්බ එදා රෑ අන්තිමට ඒ ගෑණු දෙන්නා කිව්වා කතාව.
“ගෑනුන්ට රැජිණියො වෙන්න රජෙක් ඕනම නෑ කාශ්‍යප
හැබැයි සමහරවිට රජෙක්ට පිරිමියෙක් වෙන්න රැජිනක් වගේ ගෑනියෙක් ඕන වෙන්න පුලුවන්”