මල්සර හී සර – 29

0
2541

“මට නම් හරි ලැජ්ජයි ඒ දරුවා මාව මේ තට්ටු ගාණක් උඩට උස්සන් ආව එකට”කියල නන්දා කියද්දි ජයබාහු මහත්තය නෝනා දිහා බැලුවෙ පොඩි කිණ්ඩියකුත් එක්ක.

“මං ඉස්සර ඔයාව උස්සද්දි එහෙම ඔයාට එච්චර ලැජ්ජාවක් තිබ්බෙ නෑනෙ. ඉතින් ඔය අපේ දරුවෙක්ගෙ වයසෙ දරුවෙක් ඔයාව මේ උඩට අරගෙන ආව එකට මොකද වෙන්නෙ?”

“අනේ මේ විකාර කියවන්න එපා අනේ. අපේ දරුවෙක් කියන්නෙ මොක උනත් පිට ළමේක්නෙ. අනික ඒ ළමය මොනව හිතුවද දන්නෙ නෑ අපි ගැන”

“ඒ ළමය නම් මුකුත් හිතන්නෙ නැතුව ඇති. ඔයා තමයි මට පේන විදියට මේ ඒ ළමය ගැන හිතන්නෙ. මොකෝ මේ නාකි හමට වඩා තරුණ කොල්ලෙක් සෙට් කරගත්තා නම් හොදයි කියල හිතෙනවද?” කියල ජයබාහු මහත්තය හිනාවෙද්දි නන්දා බැරි අමාරුකම් ඔක්කොම පැත්තක තියලා තමයි අත මිට මොලවල පිටට එකක් ගැහුවෙ.

“හරි හරි මං මේ විහිලුවක්නෙ කරේ. ඔයා ඒක එච්චර හිතන්න එපා. අනික ඔයා කිව්ව විදියට ඒ කොල්ලා මෙහෙ යන්නෙ එන්නේ අපෙ කෙල්ල ගැන හිතකින් නම් ඉතින් ඔය වගේ දෙයක්වත් කරන්න ඕනනෙ ලකුණක් දෙකක් දාගන්න නේද?” කියල ජයබාහු මහත්තය කියද්දි ඇඳ උඩ කකුලෙ අමාරුවට හාන්සිවෙලා උන්නු නන්දා නෝනා ඇඳ විට්ටමට කොට්ටෙ තියල හේත්තු වුණේ ඕන්න ඔය ගැන කතාකරන්න.

“ලකුණක් දෙකක් දාගන්න නං කොල්ලො ඔයිට වඩා දේවල් උනත් කරන්න යනව කියන එක මං නොදන්නවය. මට තියෙන ප්‍රශ්නෙ ඒ කොල්ල ලකුණු දාගන්න ප්ලැන් කරන්නෙ මේ අපේ ගෙදරින් විතරක් නොවෙච්ච එක”

“ඔයාගෙ හිතට වද දෙන්නෙ ඒ දරුවා මාලවීලගෙ ගෙදර ගිය එකනම් මං කියන්නෙ අපි කෙලින්ම ඕක අහල දාමු”

“කාගෙන්ද?”

“ඒ ළමයාගෙන්නෙ ඉතින් වෙන කාගෙන්ද?”

“පිස්සුද ඔයාට? ඒ ළමයා හිතාවි අපි මේ අපේ දරුවව එයාගෙ ඇඟේ ගහන්න හදනවා කියලා”

“මෙහෙමයි ඔය මේ ඔක්කොම පාරමිතා පුරන්න ඔයා හදන්නෙ මේ බුදු වෙන්න නෙවෙයිනෙ. ඕකට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. උන් දෙන්නට යාලුවෙලා බලන්න දෙන එක”

“ඔයා හරි කතාවක්නෙ අනේ කියන්නෙ? එහෙම කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව අපි කොහොමද ගෑණු ළමයෙක්ට ඉඩ දෙන්නෙ කොල්ලෙක්ව ආස්‍රේ කරන්න”

“ඔයා බලන විදියට හොයන්න බලන්න යන එකෙන් වෙන්නෙ උන් වෙන වෙලාවක කරන්න හිතන්නෙ නැති දේවල් පවා මේ වගේ වෙලාවක කරන්න හිතන එක. ඕනවට වඩා ගෙවල් වලින් ප්‍රශ්න කරදර එන්න පටන් ගත්තම මොකද්ද වෙන්නෙ කොල්ලටයි කෙල්ලටයි උන් දෙන්නගෙ අඩුපාඩු, උන් දෙන්නගෙ තියෙන හොඳ නරක පේන්නෙ නැතිවෙන එක. මොකෝ උන්ට ඒව දැන හොයාගන්නවට වඩා කරන්න වෙන්නෙ ගෙවල්වලින් එන ප්‍රශ්න විසඳගන්න නැහෙන්න වෙන එක. එහෙම එකේ අපි උන් දෙන්නට යාලුවෙන්න ඕන නම් යාලුවෙන්න ඉඩ දෙමු. ඔයා බර බරේ දාන තරමට උන් බලන්නෙ එක්කහු වෙන්න. ඊට වඩා හොඳයි උන් දෙන්නට උන් දෙන්නව තේරුම්ගන්න ඉඩ දෙන එක. මං දන්නවා අම්මා කෙනෙක් විදියට ඔයාට තමන්ගෙ දරුවා ගැන විශේෂෙන්ම ඒ දරුවා දුවෙක් උනාම ඔය වගේ කාරණාවකදි බය හිතෙනව කියන එක. අනික මෙතනදි බයටත් වඩා ඔයාගෙ හිතේ තියෙන්නෙ මෙච්චර කල් කොල්ලෙක් පස්සෙන් ආවත් ඔයාට ඇවිල්ල කිව්ව ළමය මේ කාරනාව ගැන කිසිම දෙයක් තාම ඔයා එක්ක කෙලින්ම කතා කලේ නැති එක ගැන. එහෙම එකේ අපි සද්ද නැතුව ඉමු. අපි බලමු මොකද වෙන්නෙ කියල. අනික දෙයක් වෙන්න තියෙනම් අපි කොච්චර මාර්ග බාධක දාන් උන්නත් වෙන දේ වෙනවනෙ” කියලා ජයබාහු මහත්තය එදා කතාව එතනින් නතර කරාට සප්තමීගෙයි සමුද්රගෙයි ඇත්තම කතාව නම් පටන් ගත්තෙ එදා. අම්මා අසනීප වෙලා පැත්ත වැටිච්ච එකෙන් ගෙදර ඔක්කොම වගේ වැඩ පල ටික කරන්න උනේ සප්තමීට. වෙනදටත් අම්මට උයන පිහන ඒවට ලාවට වගේ උදව් කරාට මොකෝ අම්මා කෙනෙක්ට ගෙදරක කරන්න කොච්චර වැඩපල තියෙනවද කියන එක සප්තමීට උනත් තේරුණේ මෙන්න මේ වෙලාවෙ. උදේ පාන්දර නැගිටල මල්ලිටයි තාත්තටයි ගෙනියන්න ඕන කරන කෑම බීම හදල, අම්මටත් කෑම තේ එහෙම ලං කරල දීලා, ගෙවල් අතු පතු ගාලා, ඔය ලයිට් බිල් වතුර බිල් එහෙම ගෙවාගෙන ඒ සතිය දෙක සම්පූර්ණයෙන්ම තමන්ට තමයි මේ ගෙදර ගෘහණිය වෙන්න වෙන්නෙ කියන එක සප්තමී දැනගෙන උන්නා.වෙනදවසක නම් ඔහොම දෙයක් උනාම කරගන්න අමරුයි කියල තාත්තට හරි අඬා වැලපෙන්න ඉඩක් තිබ්බට මෙදා පාර අම්මා ගොඩක්ම වෙලාවට කරේ කාමරේට වෙලා නිදියන එක හරි පොත් කියවන එක හරි හන්දා හරිම නිදහසේ සමුද්ර එක්ක කතා කරන්නයි, එයා ගැන හිතන්නයි ඕනවටත් වෙලා ඉඩ ලැබිච්ච එක.

“තාත්තා සල්ලි දුන්න ඕන කරන එලවලු මාලු හෙම අරගෙන එන්න කියලා. මම හෙට උදේ ගේ අස්කරලා දහය මාරට එකොලහට විතර යන්න කියල ඉන්නෙ පොලට” කියල සප්තමී නොකිය කිව්වෙ මොකද්ද කියන එක තේරුම්ගන්න බැරි ගොනෙක් නෙවෙයිනෙ ඉතින් සමුද්ර. මිනිහගෙ කටෙන් වචනෙ පැන්නෙ නිකන් හරියට මෙහෙම චාන්ස් එකක් එනකම් බලාගෙන උන්නා වගේ.

“හරි දැන් ඔයා බඩු ලිස්ට් එකක් හදාගෙනද යන්නෙ බඩු ගන්න?”

“ඔව්”

“හරි ඒ බඩු ලිස්ට් එක මට එවන්න, කොහෙන් ගත්තත් අවුලක් නෑනෙ”

“ඇයි ඔයාට බඩු ලිස්ට් එක, මං ඔයාගෙන් අහන්න ගියේ අපි දෙන්නම ගිහිල්ල බඩු ගමුද කියලා. අපේ අම්මා නුගේගොඩ පොලෙන් තමා බඩු ගේන්නේ”

“රත්තරන්, මං දන්නව ඔයා බලන් හිටියෙ මාත් එක්ක බඩු ටික ගන්න යන්න කියල. මාත් ආසයි. ඇත්තමයි. බැන්ද කාලෙක ඔයා එක්ක මම එනව උදේ නෙවෙයි මහ රෑක උනත් පොලට යන්න. ඉරිදා තියෙන පොලට මම සෙනසුරාදාට හරි යන්න එන්නම්. ඒ උනාට හෙට මට එන්න බැ ඔයා එක්ක පොලට යන්න. කොටින්ම කිව්වොත් හෙට පොලෙන් බඩු ගන්න ඔයා යන්නෙත් නෑ”

“ඒ කිව්වෙ? එහෙම කොහොමද? මම ගෙදරින් එලියට එන්නෙම බඩු ගන්න යනවා කියලනෙ. හිස් අතෙන් ගෙදර ආවොත් අම්මලා බලාවි මම මොකටද එලියට ගියෙ කියලා’

“ඔව් ඔව් මං දන්නව. බය වෙන්න එපා. ඔයා ගෙදර යද්දි ඔයාගෙ බඩු ලිස්ට් එකේ තියෙන ඔක්කොම බඩු ටික හෙට ඔයාගෙ අතේ තියෙනවා. ප්‍රොමිස් ඒක ගැන ඔයාට බයවෙන්න දෙයක් නෑ. හැබැයි හෙට ඒ බඩු ගන්න යන්නෙ ඔයාවත් මමවත් නෙවෙයි. අපි දෙන්න හෙට පොඩ්ඩක් නිදහසේ රවුමක් දාල කතා කරමු”

“කවුද එතකොට බඩු ගන්න යන්නේ?”

“සුමල්” කියලා සමුද්ර කියද්දිත් සුමල් උන්නෙ සමුද්රට එහා පැත්තෙ මේසෙ වාඩිවෙලා ටැබ් එකෙන් අලුත්නෙ ආව ඕඩරේක පර්චෙසින් රිපොට් එකක් බලන ගමන්. හැබැයි මෙච්චර වෙලා ෆුල් ඒකටම අවධානෙන් කරගෙන ගිය වැඩේට තව දුරටත් අවධානය දෙන්න සුමල්ට බැරිවුනේ හෙන හෑල්ලකට පස්සෙ තමන්ගෙ නම කියනවා ඇහුනම. 

“මුගේ ලව් හින්ද බටකොල කන්න උනේ මටනෙ” කියල ෆේස් එකක් දාගෙන බෑ කියාන්න හිතන් සමුද්ර දිහා බැලුවට මොකෝ ඌ කෑම ටිකක් ඉල්ලන් පස්සෙන් එන හිඟන්නෙක් වගේ තමන් දිහා බලද්දි ආයම වතාවක් අනුකම්පං උපාදාය කියල සමුද්ර වෙනුවෙන් පොලේ යන්නත් තමන්ට සිද්ද වෙන විත්තිය සුමල් තේරුම් ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here