මේ ඒ වසන්තයයි – 31

0
4832

ඉසිනි නුරාන් යොමු කර තිබූ නැවතුම වෙත ගොස් යළි නුරාන්ට ඇමතුමක් ගත්තාය. කුස පුරා සමනල් හැඟුමන් දැනෙන්නේය. තමා මේ හමුවන්නට යන්නේ කලකට පෙර තමා විසින් අතැරි අතක් අල්ලා ගන්නටය යන දෙගිඩියාව පරයන නැවුම් බවක් ඉසිනි සතු විය. ධනුකගේ රළු වචන ඉක්මවන දයාවකින් ඇය වටා නුරාන්ගේ වදන් කැරකෙමින් තිබුනේය. එනිසාම ඕ නුරාන් ඇමතුවේ, නිවෙසට හොරා තම පෙම්වතා හමුවන්නට විත්, ඔහු සොයන්නට ඇමතුමක් ගන්නා තිගැස්මෙනි.

” ඇතුලට එන්න තාරා ඔහොමම .. මම ඇතුලේ  අප්ස්ටෙයාර් ඉන්නේ….පේනවා ඔයාව මට ….”

සැනින් නුරාන්ගේ හඬ ඇසුණු පසු ඉසිනි කිසිවක් නොපවසාම ඇමතුම  විසන්ධි කලාය. ඉන් පසුව නුරාන්  සිටින්නේ කොහිදැයි බලන්නට උඩු මහල වෙත දෑස් යොමු කලාය. එහෙත් ඇයට කිසිවෙක් පෙනුනේ නැත.  ඕ සාරි පොට අත වටා කරකවා ගත්තාය. ඇතුලුවී, පඩි එකින් එක නැග්ගාය.

උඩම පඩියට නැග උඩුමහලට ඇතුලු වීමට පෙර ඕ ඇස් උස්සා ඒ දෙස බැලුවාය. සිනාසෙමින් උන්නේ නුරාන් ය. ඇය ඒ පඩියද තරණය කලාය.

නුරාන් හිසින් සන් කරගෙන ඇය තමා පසුපස ගෙන්වා ගත්තේය. ඉසිනි කාන්දමකට ඇදී යන යකඩ කැබැල්ලක් මෙන් ඔහු පසුපස ඇදී ගියාය. ඉසිනි හිඳ ගත්තේ නුරාන් මේසයෙන් ඉවතට කර දුන් පුටුවේය. ඕ අත් බෑගය මේසයේ පසෙක තැබුවාය. නුරාන් ඕ ඉදිරියේ අසුනේ ඉඳ ගත්තේය.

” මොකද තාරා මේ බ්ලශ් වෙලා … ඇඹරෙන්නේ මොකෝ ?…”

නුරාන් ඇය තවත් විලියක තවරමින් ඇසුවේය. ඕ කිසිවක් නොමැති වග අඟවන්නට දෑසින් සන් කලාය.

” ඩේට් එකකට එක්ක ආවා නෙවෙයි .. ඔය ඇඹරිල්ල එහෙම දවසකට තියාගන්න …”

නුරාන් එලෙසින්ද පවසා ඕ තවත් අපහසුවක හෙලුවේය. ඉසිනි කලේ එයටද හිස සැලීම පමණි.,

” ලස්සනයි තාරා ….”

නුරාන් ඉන් පසුව කීවේ එලෙසය. ඉසිනි එය වටහා ගන්නට නොහැකිව මෙන් නුරාන් දෙසත්, යලි ඉවතත් බලා නුරාන් වෙත තරවටු බැල්මක් හෙලුවාය.

” කවුද කියලා අහන්නේ නැද්ද ?…”

නුරාන් ඇයව ඉතා අසීරු අඩියකට දමමින් උන්නේය.

” ඇති නුරාන් .. ඇයි මේ …?”

” මං ලක්ෂයක් දුන්නානේ .. මට ඕනි ඒවා කරන්නෝනි , අහන්න ඕනි …”

නුරාන් කුඩා කොල්ලෙකු වෙමින් කීවේය. ඉසිනි ඔහු වෙත විමතිය මුසු හඬක්ද පා කලාය. ඉන් පසුව අත් බෑගය විවෘ ත කලාය. ඉන් මුදල් මිටිය ගත්තාය. මේසය මතින් එය නුරාන් වෙත තල්ලු කලාය.

” ම්ම්ම් … දැන් ඩීල් නෑ …”

” මම බයේ  හිටියේ …”

නුරාන් මුදල් දෙස බලමින් කීවේය. ඉසිනි එය නොවැටහුනු බව දනවමින් උන්නාය.

” ලක්ෂේ ආයේ ලැබෙන්නේ නැති වෙයි කියලා …”

නුරාන් මහ හඬින් සිනාවෙමින් පවසද්දී, ඉසිනි බුම්මාගත්තාය. නුරාන් ඇගේ ඒ ස්වරූපය දෙස බලමින් තව තවත් සිනසුනේය.

” යනවා යන්න මම …”

ඉසිනි වචන වලින්  කෝපය පල කරන්නට ගත්තේ එලෙසින්‍ ය. නුරාන් ඉන් තවත් උද්‍යෝගීමත් වූයේය. ඔහු ඈ අසල වූ මෝටර් රියේ යතුර ගෙන කලිසම් සාක්කුවේ ඔබා ගත්තේය.

” මෙහෙ ඉතින් ඌබර්, පික් මී නෑ … යන්න වෙන්නේ පයින් තමා ..”

” එහෙම වෙන්නේ නෑ .. මං වීල් එකක් දාගෙන යනවා…”

” ඔන්න දන්න තරම ඒඩී නෝනා …  අලි එලි බහින නිසා වීල් එන්නේත් නෑ හයර් එකට ….හරි ඔට්ටුයි, පුලුවන් නම් හය පහුවෙලා හයර් යන වීල් එකක් සෙට් කරගෙන පෙන්නන්න ..”

” අනේ නුරාන් …”

ඉසිනි මුහුණ හකුලුවා ගත්තාය. නුරාන්ට සිනහ අඩු වූයේ නැත. ඕ තම මතකයේ උන් කුඩා කෙල්ල සේම හැසිරෙන්නේය.

නුරාන් ඇය අවුස්සවාගන්නට තවත් කිසිවක් නොපවසා පළතුරු යුෂ සහ කෙටි කෑම ඇණවුම් කලේය.

” තාම ඇවකාඩෝ ෆේවරිට් නේ ?…”

ඔහු ඇණවුම තහවුරු කල අවසන, අවන්හල් සේවකයාද නික්ම ගිය පසු ඉසිනිගෙන් විමසුවේය. ඉසිනි  හිස සැලුවාය.  ඉන් නුරාන්ගේ වත මත සැනසුම් සෙයියාවක් මැවුනේය. ඇතැම් දේ නොවෙනස් බව දැනීම මෙතරමට සැනසීමය් ගෙනෙන්නේය.

” තාරා …”

නුරාන්  ගැඹුරු සුසුමකින් පසු මේසය මතට දෑතින් බරවී ඉසිනි දෙස බලමින් කීවේය. ඒ ස්වරය ඉසිනිගේ හදවතටද එක් කලේ බරකි. මේ දැනෙන උණුසුමට  හේතුව  තමන් දෙදෙනා වට ඇවිලෙන ගින්නදැයි එක්වරම ඇයටද සිතුනි.

ඕ කෙල පිඬක් ගිල දැම්මාය. නුරාන් ඊළඟට පවසන්නට යන්නේ කුමක්දැයි බලා උන්නාය.

” අද මම අයියාටයි අක්කාටයි අපි ගැන කියනවා තාරා .. හෙට ඉඳන් දේවල් තව ටිකක් ටෆ් වෙයි ඔයාට .. ඒත්, මට පොරොන්දු වෙන්න ඕනි ඔයා කලබල වෙලා දේවල් කරන්නේ නෑ කියලා ..  මම හැමදේම විසඳගන්නකල් , ඔයාගේ පැත්තට එන බර චුට්ටක් දරාගන්නවා කියලා…”

ඉසිනි ගල් ගැසී බලා උන්නාය. දේවල් මෙලෙසින් විය යුතුද ?..

” ඒත් නුරාන් ?…”

” ඔයා අකමැති නම්, මට ඔයාව බඳින්න බෑ තමා තාරා ..මගේ හිතේ සැකයක් තිබුනා.. ඒත්, මේ ආව ගමන ඔයා ආවේ, ඔයාට මං ලඟින් ඉන්න ඉඩක් හදාගන්න ඕනි නිසා කියලා මම හිතාගන්නම් නේද තාරා…”

” ඔයා හිතනවා වගේ මේක ලේසි නෑ නුරාන් .. මම අරුණෝද එක්ක අවුරුදු පහක් හිටියා … මම ඩිවෝස් වුනේ අරුණෝද මගෙන් ඩිවෝස් එක ඉල්ලපු නිසා…. එහෙම නැත්නම් ඒ දුක් විඳගෙනම මම එහෙම ඉන්නවා මිසක්කා, ඔයාව හොයන් මෙහෙම ඒවිද නුරාන් ?.. ඒවිද ?..”

ඉසිනිගේ හඬ බිඳෙමින් තිබියදී පවා ඕ නොසෙල්වීම කියෙව්වාය. නුරාන්ට ඒවා කටුක වචන නොවූවා නොවේය. එහෙත් ඉසිනි තමා ඉදිරියේ එලෙසින් දොඬමලු වෙන තරමට කාරනා පහසු වෙන බව නුරාන් දැන උන්නේය.

” ඔයා දැන් ඩිවෝස් වෙලා ඉන්න සින්ගල් ගෑනියෙක් තාරා .. එච්චරයි මෙවෙලේ මට වැදගත් ..  ඔයා කසාද බැඳලා උන්නා නම්, ලීගලි ඔයා ඒ ඩොක්ටර්ගේ වයිෆ් තාරා.. එතකොට මට පුලුවන් ඈතකට වෙලා ආදරේ කරන්න මිසක්, අයිතිවාසිකම් කියන්නවත්, වගවීම් වගකීම් දරන්නවත් නෙවෙයි … ඔයා ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න .. ඒ සිද්ද වුන දේවල් දැන් වෙලා ඉවරනේ තාරා …”

” දේවල් එහෙම ඉවර වෙන්නේ නෑ නුරාන් … ධනුක අයියලා, අපේ යාලුවෝ කවදාවත් මට සමාව දෙන්නේ නෑ ..”

ඉසිනි දෑස් පියාගෙන සන්සුන් ලෙසින් හුස්ම ගන්නට උත්සාහ කලාය.

” ඔයා ජීවත් වෙන්න යන්නේ මා එක්ක තාරා.. මමයි මේ කියන්නේ මට ඔයා එක්ක ජීවත් වෙන්න ඕනි කියලා…”

” ඔයාට මං එක්ක ජීවත් වෙන්න නම්, ධනුක අයියලාව අතාරින්න වෙයි නුරාන් .. ඒගොල්ලො එහෙම කියයි … දැන දැනම මං කොහොමද පවු පුරවගන්නේ නුරාන්.. ධනුක අයියා මට පැහැදිලි කරලාම තියෙද්දීත් … කොහොමද මම ?…”

” අනේ තාරා .. අනෙක් ඔක්කොම දේවල් අමතක කරලා මට කියන්න ., ඔයාට මං එක්ක ඉන්න ඕනි නැද්ද ?…”

” නුරාන් ..ප්ලීස් …”

” ඔයා කියන්න තාරා .. යන්න කියනවා නම් ඇත්තටම යන්නම් … මං දන්නවා බලෙන් අල්ලගෙන තියාගන්න බැහැ කාවවත් කාටවත් …”

” නුරාන් … මම අරුනෝදගෙන් ඩිවෝස් වෙලා උසාවියෙන් ආවේ තාත්තයි, අක්කාගේ  මහත්තයි එක්ක … මං හිතුවා නුරාන් ඒ වගේ ආදරණීය මහත්තුරු ඉන්න ලෝකෙක ඇයි මට අරුණෝද වගේ මිනිහෙක් හම්බුනේ කියලා .. එදා රෑ අඬ අඬා මම අක්කාගෙන් ඒක ඇහුවා … එදා . එදා මම අක්කාට කිව්වා නුරා, මම මේ ලෝකේ මට උන්න ආදරණීයම මහත්තයාව දාලා ඇවිල්ලා ඉවරයි අක්කේ කියලා.. මට හොඳට මතකයි, එදා අක්කා ඇඬුවා මට වඩා හයියෙන් …එයා කිව්වේ, ඒ පව එයාට ගෙවලා ඉවර කරන්න බැරි වෙයි කියලා .. අක්කා එදා ඇහුවා, ඔයා ඝැන ආයෙම විස්තර හොයන්නද කියලා.. එදා මම අක්කගෙන් පොරොන්දු කරගත්තා, කිසිම හේතුවක් නිසා ඔයා ඉන්න තැනකටවත් , ඒ අහලකින්වත් යන්න හිතන්නේවත් නෑ කියලා .. ඒ පොරොන්දුව මම මටමත් වුනා නුරාන්…  අරුණෝද කැමති වුනේ නෑ මම සෝෂල් මීඩියා පාවිච්චි කරනවාට .. ඒ හින්දා මට අහම්බෙන්වත් ඔයාව පේන්න තිබ්බ ඉඩ ඇහිරුනා නුරාන්… මම .. මම ප්‍රාර්තනා කලේ නෑ  ආයේ කවදාවත් ඔයාව හම්බෙන්න කියලා…”

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here