මල්සර හී සර – 35

0
1416

“ටෙලි ඩ්‍රාමා එකේ ලොකුම කොටසක් දැන් අපි කරගෙන ඉවරයි නේද?” කියල කට්ටිය කතා උනේ උදේ වරුවෙ ශූටින් ඉවර වෙලා දවල්ට කන අතරවාරෙ. සමහර ටෙලි නාට්‍ය කණ්ඩායම් වල නම් සීනියර් අයට එක විදියකටයි ඔය පොඩි චරිත කරන අයට එක විදියකටයි සැලකුවට මොකෝ සමුද්‍ර වියදම් කල හන්දා මිනිහා කලින්ම වසන්තට කියල තිබ්බෙ “එක එක අයට එක එක සැලකිලි බෑ” කියලා. ඒ නිසාම දවාලෙ හැමෝටම කන්න ගෙනත් තිබ්බ ජාති කන ගමන් කට්ටිය එක එක කතන්දර කිය කිය උන්නා.

“ඇත්තටම වසන්ත සර්ගෙ උනන්දුව හන්දා තමා මෙච්චරටම ඉක්මනට මෙච්චර කොටස් ගාණක් කරගන්න් පුලුවන් උනේ නේද?” කියල තව නලුවෙක් කියද්දි වසන්ත නම් හිනා උනේ ඕනවටත් වඩා නිරහංකාර විදියට.

“මගේ උනන්දුව විතරක් ඉතින් තිබිල මදිනේ. මගේ උනන්දුව විතරක්ම නෙවෙයි අපේ මේ රංග මණ්ඩලේ කට්ටියයි, ප්‍රඩක්ශන් හවුස් එකේ අයයි ඒ විතරක්‍ ය මෙතන නැති උනාට සමුද්‍ර ගැනත් කියන්න එපාය. මිනිහා ඔක්කොම බර පැන දරන හන්දයි තමා මෙච්චර දෙයක් කරගන්න පුලුවන් උනේ”

“අනික මං හිතන්නෙ වසන්ත මහත්තය කොහොමත් ඔය දැන් තියෙනව වගේ කොටස් දෙසීයෙ තුන්සීයෙ මෙගා ටෙලි නාට්ටි ගහන්නෙ නැතුව කොලිටි කතන්දර විතරක් කරන හන්දා කොටස් ගාන අඩු හන්දාත් කරගන්න ලේසි ඇති නේද?”

“නෑ මලින්ද ඇත්තටම කරන්න ලේසි මෙගා නාට්‍ය. කොටස් සීයක් තිබ්බත් ඉතින් වෙන්නෙ එකම දවසෙ සීන් එක මාසයක් විතර අදින එකනෙ. ස්ක්‍රිප්ටින් එහෙම හරි ලේසියි. අනික අද ඉන්න නිළිය හෙට අයින් කරන්න ඕන නම් ඒව උනත් කරන එක ලේසිනෙ. කතාව දිගට දිගට ඇද ඇද කියන එක හරි ලේසියි. අමාරු වැඩේ මේ කොටස් තිහ හතලිහකින් විතර හොඳ කතාවක් කියන එක තමයි”

“වසන්ත සර් හිතුවෙ නැත්තෙ මොකෝ මෙගා ටෙලි නාට්ටියක් කරන්න?”  කියල කතාවක් ඇහුවෙ මෙච්චර වෙලා සද්ද නැතුව උන්න සප්තමී. 

“මං ඇත්තටම හිතල තියෙනවා. නැතුව නෙවෙයි. ඒ උනාට මං දැන් මේ ෆීල්ඩ් එකේම සෑහෙන බර කාලයක් වැඩ කරල ඔය මේඝානන්දය, අසනි වර්ශා වගේ හොඳම හොඳ අවෝඩ් විනින් ටෙලි ඩ්‍රාමා කරලා නිකන් මෙගා ටෙලි නාට්ටි කරලා මගේ ඒ ලෙවල් එක අඩු කරගන්න ඕන නෑනෙ සප්තමී. මං ඒකමයි කොච්චර ආරාධනා ආවත් ඒ වගේ දේකට යොමු උනේ නැත්තෙ.

ඔන්න අපේ ඔය සමුද්‍ර වගේ හොඳට ස්ක්‍රිප්ට් ලියන්නයි බය නැතුව අත දිග ඇරල වියදම් කරන්නයි පුලුවන්කම තියෙන මනුස්සයෙක් මෙගා ටෙලි නාට්ටියක් ලිව්වොත් සලකල බලන්න ඇහැකි” කියල වසන්ත මහත්තය හිනාවෙවී කියද්දි සප්තමී කලේ කෑම පිඟාන දිහා බලන් හිනාවෙච්ච එක.

“දැන් එහෙනම් ඔය වසන්ත කිව්ව කතාව අපේ සප්තමීට බැරිය පණිවිඩ කාරයා වෙලා සමුද්‍රට අරගෙන යන්න නේද?” කියල කට්ටියටම හිනාවෙන්න කිව්වේ සමන්තා නෝනා. දැන් සෙට් එකේ හැමෝම වගේ සප්තමී – සමුද්‍ර ආදර අන්දරේ දන්න හන්දා එලිපිට සප්තමීට සමුද්‍රගෙ නම කියල විහිලුවක් දෙකක් කරන්න දෙතුන් පාරක් හිතුවෙ කරේ නෑ. සප්තමී උනත් කට්ටිය සමුද්‍රගෙ නම කියල තමන්ට ඒ විදියට විහිලු තහලු කරන එක ගැන හිත අස්සෙන් අමුතුම සන්තෝසයක් වින්ද හන්දා ඒකට විරුද්ධව මුකුත් කිව්වෙත් නෑ.

එදා ශූටින් ඉවර වෙලා යන්න කලින් සප්තමී සමුද්‍රට කෝල් එකක් දුන්නෙ සමුද්‍ර ඉන්නෙ කොහෙද වැඩ එහෙම ඉවරද කියල අහන්න. සමුද්‍ර ඇවිල්ලා ගෙදර අයත් එක්ක කතා කරයින් පස්සෙ කොළබ ශූටින් තියෙන දවස්වල තමන්ව ගෙදරින් අරගන්නයි ගෙදරට ඇරලවන්නයි කරන රාජකාරිය සමුද්‍ර භාරගත්ත හන්දා මේ දවස් ටිකේම එයා එක්ක ගෙදර ගිහින් අද ටෙලිඩ්‍රාමා කෘ එකේ කට්ටිය හොයල දෙන වාහනේකින් ගෙදර යන්න වෙන එක ගැන සප්තමීට නිකන් හිතට පොඩි අමුත්තකුත් තිබ්බා.

“අද මං නැතුව යන එක පාලුද?” කියල සමුද්‍ර ආදරෙන් අහද්දි උනත් “අනේ මොන පාලුවක්ද අද ඉතින් මට කන් දෙක නිදහසේ තියාගෙන යන්න පුලුවන්” කියල සප්තමී කිව්වෙ විහිලුවටයි සමුද්‍රව අවුස්සන්නයි උනාට මොකෝ වෙනද වගේම එක අතකින් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් අනික් අතින් තමන්ගෙ අත අල්ලගෙන, හෙමිහිට අත අතගගා යන්න සමුද්‍ර උන්න නම් කොච්චර හොඳද කියන එක සප්තමීට කල්පනා උනේ නැත්තෙ නෑ.

“කන් දෙක විතරද ඉතින් නිදහස් වෙන්නෙ අද?” කියල සමුද්‍ර අර මනමාල හිනාව එක්ක අහද්දි උනත් ෆෝන් එකෙන් පෙනුනෙ නැති උනාට ඔය වගේ මනමාල කතාවක් කියද්දි සමුද්‍රගෙ ඇස් බාගෙට පියවිල මූණට එන අමුතුම ලුක් එක හිත ඇතුලෙන් මවාගන්න සප්තමීට අමාරු උනේ නෑ.

“ඇයි තව මොනවද නිදහස් වෙන්නෙ?” කියල සප්තමී අහද්දි සමුද්‍ර වටපිට බලලා ලඟපාත කවුද ඉන්නෙ කියල බලලා පොඩ්ඩක් එහාට මෙහාට වෙන ගමන් තමයි ඉතුරු වචන ටික කියන්න ගත්තේ.

“ඇයි ඔයාගෙ තොල් දෙක? මාත් එක්ක යන දවසට ඉතින් වාහනේ කොහෙ හරි පාක් කරාට පස්සෙ ඔයාට ඔයාගෙ තොල් දෙකේ නිදහසත් නැතිවෙනවා නේද?” කියල අහලා සමුද්‍ර හයියෙන් හිනාවෙද්දි සප්තමී එහා පැත්තෙන් ඉඳන් හිනාව අමාරුවෙන් තද කරගෙන ලැජ්ජව හිත අස්සෙම හිරකරගෙන ඉන්න විත්තිය සමුද්‍ර නොදන්නවා නෙවෙයි.

“ඔයා නම් අනේ…” කියල සප්තමී කියද්දී ඒකෙ ඊලඟ වචන ටික කම්ප්ලීට් කරන්නෙ සමුද්‍ර. දැන් ඒ වචන ටික සප්තමීගෙ කටෙන් ඇහිල ඇහිලම සප්තමී කියනව වගේම ඇදලා “හරීඊඊඊ නරකයි” කියන්න සමුද්‍රටත් හොඳටම ප්‍රැක්ටිස්.

“මං ඉතින් නරකයි තමයි නෝනෙ. මං යාලුවෙද්දිම කිව්වම මං ඔයාව යාලුකරගත්තෙ බඳින්න කලින් ටිකකුයි බැන්දට පස්සෙ ගොඩකුයි නරක දේවල් කරන්න කියල. ඒ නිසා දැන් නිකන් බොරුවට දැනගෙන හිටියෙ නෑ වගේ මං නරකයි කිව්වට වැඩක් නෑ. මං නරකයි තමයි” කියල සමුද්‍ර කියද්දි සප්තමී කරන්නෙ “හ්ම්ම් හ්ම්ම්” කියන එක. ඔය අමනාපෙන් කිව්වට කෙල්ලත් ඔය වගේ හුරතල් වැඩවලට ආස හන්දම සමුද්‍ර ඒ වගේ වෙලාවට කරන්නෙ තොල් දෙකක් උරුක් කරලා කිස් කරනව වගේ සද්දයක් ෆෝන් එක හරහා සප්තමීගේ කන් දෙකට යවන එක තමයි.

“මං නැතුව පාලු නැද්ද ඉතින්?” කියල සමුද්‍ර අහද්දි “මොන පාලුවක්ද?” කියල බොරුවක් කියන්න ආස උනාට ආදරේ කරද්දි තප්පරේකට උනත් ඈත්වෙලා ඉන්න එක අමාරුයි කියල දන්න හන්දා තමයි සප්තමී “මං ඇත්තම කියන්නද?” කියල ඇහුවේ.

“බොරුවක් කියන්න එපා ඉතින්” කියල සමුද්‍ර හිනාවෙද්දි ඒ හිනාවට මද පමණින් එකතුවෙන ගමන් තමයි සප්තමී “මට ඔයා නැතුව හරිම පාලුයි අනේ. ඉක්මනට ඔයාට තුරුල්…” කියල කතාව සම්පූර්ණ කරන්න ගියේ. සප්තමී ඒ කතාව සම්පූර්ණ කරනකම් හිත කොච්චර ඉවසිල්ලක් නැතුව වලිකෑවත් සමුද්‍ර බලාපොරොත්තු වෙච්ච විදියට ඒ කතාව සම්පූර්ණයෙන්ම අහල ඉවර කරගන්න පුලුවන්කමක් ලැබුනෙ නෑ.

“මට ඔයා නැතුව හරිම පාලුයි අනේ. ඉක්මනට ඔයාට තුරුල්…” කියල සප්තමී කතාව කියල ඉවර කරන්න කලින් සප්තමී “අනේ අම්මාආආආආ” කියල කෑගහන සද්දෙකුත්, වටපිටාවෙන් “අයියෝ අර දරුවා, අනේ දෙයියනේ, කෝ එන්න එන්න, අයියෝ” කියලා කට්ටිය කෑගහන සද්දෙකුත් එක්ක සමුද්‍රට ඇහුනෙ වාහන එහෙ මෙහෙ යන, එක එක සද්ද මහ ගොඩක් එක්කහු වෙච්ච ලොකුම ලොකු සද්දයක් විතරයි.

තප්පර ගානකට තමන්ගෙ කන් දෙක අගුල් වැටිලා කීංංංංංං ගානවා සමුද්‍රට ඇහුනා. ඒ එක්කම තමයි හිත කෑගැහුවේ “සප්තමිට කරදරයක්” කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here