මල්සර හී සර – 36

0
2055

“දැන් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා අරගෙන ආව පේශන්ට්ගෙ භාරකාරයන්ට ඩොක්ටර් කතාකරනවා” කියල නර්ස් ඇවිල්ලා කියනකම්ම සමුද්‍රයි, සප්තමිගෙ තාත්තයි උන්නෙ සප්තමී උන්න තැනින් එලියෙ ඉස්පිරිතාලෙ කොරිඩෝවට වෙලා කඳුලු හලන ගමන්. කකුලෙ ආබාධෙ හන්දා ඉස්පිරිතාලෙට එන්න විදියක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් නිරත්තරයෙන් සප්තමීගෙ සැප දුක අහන්න ෆෝන් කෝල් දෙන් අම්මගෙ ඇස්වලින් එලියට ආව කඳුලු ලෝකෙට පේන්න තිබ්බට පිරිමි දෙන්නගෙ කඳුලු නම් වැක්කුරුණෙ හිත අස්සට හන්දා පේන්න උනේ නෑ.

මාමයි බෑණයි දෙන්නා උන්නේ දෙපැත්ත බලාගෙන කල්පනා කරන ගමන්. කතා කරන්න නම් දේවල් ඕන තරම් තිබ්බත් එවෙලෙ උන්නු තැනයි ඒ වටපිටාවයි කිසිම විදියකින් කතාකරන්න ඉඩක් හදල දුන්නෙ නැති හන්ද හිතට එන ප්‍රශ්නවලට හිතෙන්ම උත්තර දෙන්න ගමන් මේ දෙන්නා කල්පනා කර කර උන්නා.

මාමයි බෑණයි දෙන්නම සප්තමීට දෙවිදියකින් භාරකාරයා වෙච්ච හන්දා නර්ස් ඇවිල්ල අරහෙම කිව්වම එහෙම බැල්මක් දෙන්න අතරෙ හුවමාරු කරගෙන එකම වේගෙකින් තමයි දෙන්නම දොස්තර මහත්තයව හම්බුවෙන්න ගියේ. 

“මේ සප්තමීගේ පවුලෙ අයද?” කියල දොස්තර අහද්දි තාත්තා තමා උත්තර දෙන්න ඉස්සර උනේ.

“මං සප්තමීගෙ තාත්තා ඩොක්ටර්. මේ එයා බඳින්න ඉන්න ළමයා, සප්තමීට දැන් කොහොමද?”

“එයා දැන් නම් ස්ටේබල්. බය වෙන්න දෙයක් නෑ. හැබැයි පොඩි පොඩි තුවාල කිපයක් නම් තියෙනවා. කොලර්බෝන් එකක් ෆ්‍රැක්චර් වෙලා තියෙනවා. ඒක සනීප වෙන්න සති කීපයක් වගේ යාවි. පොඩි සිරීම් කිපයක් එක්ක සප්තමී ඉන්නෙ පොඩි කම්පනයකින්. ඒ ඇරෙන්න බයවෙන්න දෙයක් නැහැ. ඉන්ටර්නල් බ්ලීඩින් එහෙම මුකුත්ම නෑ”

“එයාට සිහිය තියෙනව නේද ඩොක්ටර්?” කියල ඇහුවෙ සමුද්‍ර.

“ඔව් ඔව් සිහිය තියෙනව. එවෙලෙ අර කම්පනේට තමයි මං හිතන්නෙ පොඩි කලන්තයක් අල්ලල තියෙන්නෙ. පොඩි කලන්තෙ ගතියක් තාම තියෙනව. හැබැයි එයාගෙ සිහියෙ අවුලක් නෑ. අපිව, අද දවස, ඇක්සිඩන්ට් එක උන විදිය එහෙම ඔක්කොම එයාට මතකයි”

“කොලර්බෝන් එකේ ෆ්‍රැක්චර් එක හදන්න සර්ජරි එකකට යන්න වෙයිද ඩොක්ටර්?”

“ම්ම්ම් මම හිතන්නෙ නෑ ඕනවෙයි කියලා. sling and physiotherapy වලින් අපිට ඒකට ට්‍රීට් කරන්න පුලුවන් වෙයි. සර්ජරි එහෙකට වගේ යන්න වෙන්නෙ එහෙම කරලත් ඕක විසඳුනේ නැත්තම් විතරයි. හැබැයි මං හිතන්නෙ නෑ එච්චර දුර යන්න හේතුවෙන සීරියස් ඩැමේජ් එකක් වෙලා තියෙනවා කියල. අපි බලමු. මම physiotherapist කෙනෙක්ව ලියල දෙන්නම් ගිහින් පෙන්නන්න.

හැබැයි වැඩිය බර උස්සන මහන්සිවෙන දේවල් මේ ටිකේ කරන්න එපා. පරිස්සම් වෙන්න ඕන ඉක්මනට සනීප කරගන්න නම්. කොහොමත් තව දවසක් දෙකක්වත් එයාව හොස්පිටල් එකේ තියන්න පුලුවන් නම් හොඳයි. මොකද අපිට තව ක්ලෝස්ලි මොනිටර් කරන්න පුලුවන් නිසා.

එයාව දැන් බෙඩ් එකකට දානවා අපි. ඔයාලට ගිහින් බලන්න පුලුවන්. හැබැයි වැඩිය කතා බහ කරන්න යන්න එපා. ලෙට් හර් රෙස්ට්” කියල ඩොක්ටර් කිව්වට පස්සෙ ඩොක්ටර්ට තැන්ක්‍යු කිව්වා සමුද්‍රයි, ජයබාහු මහත්තයි දෙන්න සප්තමීව දැම්මා කියන ඇඳ දිහාවට ගියා. ඒ යද්දිත් සප්තමී උන්නේ නිදාගෙන හන්දා එයාට කරදර කරන්නෙ නැතුව ඕන කරන දේවල් ටිකක් අරගෙන එන්න හිතාගෙන එලියට යන ගමන් තමයි ඔන්න මේ දෙන්න ඇත්තටම මේ ඇක්සිඩන්ට් එක වෙච්ච එක ගැන කතාකරන්න හිතුවෙ.

“මට හිතාගන්න බැරි පුතා මේ කඩ පිළක උන්නු ළමේක්ට මෙච්චර ඩැමේජ් එකක් වෙන්න තරම් ඔය කියන බයික් කාරයා මොන ලෝකෙන්ද ඩ්‍රයිවින් ඉගෙන ගත්තෙ කියලා”

“මටත් හිතාගන්න බැරි ඒක, සප්තමී උන්නු තැනටම වගේ ඇවිල්ලා හප්පල වෙට්ටුවක් දාලා ඌ ටාර් ගාගෙන ආයෙ බයික් එකෙන්ම ගිහින් තියෙනවා”

“සමහරවිට ඔය අද ඊයෙ ලයිසන් ගත්ත පොඩි එකෙක්ද දන්නෙ නෑ? දැන් ඔය ඒලෙවල් පංති යන ලමයි පවා බයිසිකල් පදිනවනෙ. අනේ මන්ද මට හිතාගන්න බෑ. ඒ මිනිහා මෙයාව හැප්පිච්ච පාර බයටද දන්නෙ නැ කඩං බිඳන් ගිහින් තියෙන්නෙ නතරකරන්නෙ නැතුව”කියල අංකල් කිව්වට මොකෝ මේක තව ටිකක් හොයන්න ඕන කියන විදියෙ සිතුවිල්ලක් හිතට ආවෙ ඇයි කියන එක ඇත්තටම සමුද්‍රටවත් හිතාගන්න පුලුවන් උනේ නෑ.  ඒත් මොකක් හරි හේතුවක් නිසා මේක නිකන්ම නිකන් ඇක්සිඩන්ට් එකකට එහා ගිය වෙන මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න පුලුවන් කියන එක සමුද්‍රට හිතුනා. තමන් හිතන දේ හරිම ඇති කියල හිතාගන්න බැරි උනාට කෝකටත් ඔය විත්තිය තව හොයන්න ඕන කියල හිතල තමයි සමුද්‍ර සුමල්ට කතාකරලා මේ විස්තරේ කියල පුලුවන් නම් ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට ගිහිල්ලා විස්තර ටිකක් හොයල බලන්න කියල කිව්වේ.

“උඹ නිකන් ඒක අමුතු ටෝන් එකකින් කිව්වේ, උඹට මොකක් හරි සැකයක් තියෙනවද වෙච්ච දේ ගැන?”

“මේ වගේ ඇක්සිඩන්ට් වෙන්න පුලුවන් කියන එක වගේම ඕන තරම් වෙලා තියෙනව කියන එකත් මම නොදන්නව නෙවෙයි මචං. ඒ උනාට, ඒ උනාට මොකක් හරි අමුතු දෙයක් මගෙ හිත කියනව. මං ඒකයි උබෙන් ඇහුවෙ ගිහිල්ලා පොඩ්ඩක් බලපන් කියලා. ඒ හරියෙ කඩේක හරි බිල්ඩින් එකක හරි සීසීටීවි හරි තියෙනවන් ඒකෙනුත් බලාගන්න පුලුවන් නෙ මොකක්ද ඇත්තටම උනේ කියලා” සමුද්‍ර කිව්වයින් පස්සෙ තමා සුමල් හිතුවෙ කෝකටත් ගිහිල්ල බලන එක හොඳයි කියලා. අනික් එක එක ඉස්කෝලෙ එක පංතියෙ එකට ඉගෙන ගත්ත උන් කීපදෙනෙක්ම පොලිසිවල ලොකු ලොකු පුටුවල ඉන්න හන්දා ඕන වැඩකට ඕන සපෝට් එකක් ගන්න එක නතින් විත්තියත් සුමල්ට අමුතුවෙන් කියන්න ඕන උනේ නෑ.

සුමල් ඕන්න ඒ මෙහෙයුමට යන අතරවාරෙ තමයි සමුද්‍ර සප්තමීට සිහිය එනකම් ඉස්පිරිතාලෙ ඇඳ අද්දරට වෙලා උන්නේ. නන්දා නෝන කකුල කඩාගෙන එහෙන් ගෙදරඇඳක් උඩ තැපලා ඉන්න වෙලේ අංකල්ට ඉස්පිරිතාලෙට වෙලා ඉන්න බැරි හන්ද වගේම ළඟ තියන්න කෙනෙක් උන්නෙ නැති හන්දා. දුන්න බෙහෙත්වලට වගේම තිබ්බ ඇඟේ අමාරුවට සෑහෙන වෙලා නිදාගත්ත සප්තමී නැගිටිද්දිත් සමුද්‍ර උන්නෙ ඉස්පිරිතාලෙමයි. ලෙඩ්ඩු බලන වෙලාවක් කියල දෙයක් තිබ්බට මොකෝ දන්න අඳුරන මිනිස්සුන්ගෙ මාර්ගෙන් සප්තමීව බලන්න එන්න විදියක් හදාගෙන තිබ්බ හන්දා “අනේ එයා ඇහැරිච්ච ගමන් මට කියන්න” කියල නර්ස් කෙනෙක්‍ට කිව්ව විදියටම ඒ නර්ස් සප්තමී ඇහැරිච්ච ගමන් සමුද්‍රට පණිවිඩේ දුන්නා.

සමුද්‍ර සප්තමීව බලන්න ආවේ පියාඹගෙන.

“මහන්සි වෙන්න එපා, ඔහොමම හාන්සිවෙලා ඉන්න. ඩොක්ටර් කිව්වා වැඩිය හෙලවෙන්න කරන්න දෙන්න එපා කියලා.

“ඔයාගෙ ඇඟට තාම අමාරු ඇති, ඔලුවට මුකුත් වෙනසක්, කලන්තයක් වගේ දැනෙනවද?”

“නෑ හැබැයි ඔලුව ටිකක් බරයි වගේ”

“ඩොක්ටර් කිව්වා, ඒක නෝමල් කියලා. ඔයා තව ටිකක් නිදාගත්ත නම් හොඳ නැද්ද? තාත්තත් දැන් චුට්ටකට කලින් ගියේ අම්මාව බලල ආයෙ එන්නම් කියලා. අම්මත් හොඳටම අඬනවලු. එන්න විදියකුත් නෑනෙ අම්මට ඔයාව බලන්න”

“අම්මලා දන්නවද ඇක්සිඩන්ට් එකක් උනේ කියලා”

“ඔව් බොරු කියල වැඩක් නෑනෙ බබා, අම්මාට තාත්තා කියල තිබ්බා. අනික අපි එද්දිත් එතන උන්නු මිනිස්සු ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තිබ්බා. ඔයාට මතකද මොකද්ද උනේ කියලා?” සමුද්‍ර අහද්දි සප්තමී කලේ අමුතු විදියට සමුද්‍ර දිහාව බලපු එක.

ඒ බැල්ම අස්සෙ මොකක් හරි තේරුම්ගන්න බැරි කතාවක් තියෙන විත්තිය සමුද්‍රට සප්තමී දිහා බලාගෙන ඉද්දි තේරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here