ප්‍රේමයේ අභිමන් – 33

හැන්දෑව රාත්‍රියට අත වනන වෙලාවට හැම දේ ම තීරණය වන්නේ තත්පර වලිනි. එක තත්පරයක් වුව අඳුර ට ගලා එන්නට අවසර දෙන්නා වූ බැවිනි. වස්සානය තවමත් පහව නොගිය ලක්ෂණ අහසේත් පොළොවේත් වායු ගෝලයේත් වේ. අහස අළු වලාකුළු වලින් ගහන ය. දැන් නැතත් රාත්‍රියේ දී වැසි ඇද හැලෙනු ඇත. සුළඟ තෙතමනය දරා ගෙන ය. පොළොව තවමත් වියළී යන්නට පෙර තෙමනා වැසි නිසා තෙත හා කළල් ස්වභාවයෙන් යුක්ත ය. 

වැස්සට කොපමණ ආශා වී ද අපරාජිතා මඩ පෑගෙනවාට රිසි නොවූවා ය. තෙත හා මඩ දෙපා වල තැවරුණ විට ඇගේ හිතෙන් වැස්සේ සුන්දරත්වය අහෝසි වී යයි. ඒ නිසා ඇය පාද හොඳින් ආවරණය වන සේ සපත්තු පැළඳ, සිසිලෙන් රැකෙන්නට අත් දිග ටී ශර්ට් එකක් ඇඟ ලා සිටියා ය. අරවින්ද ගේ දෝශාරෝපණයෙන් පසු ඇය ට අමුතු ශීතලයක් දැනෙන්නට ගත්තේ ය. දෑත් පපුව මත බැඳ ගෙන ඇවිදිත්දී පවා ඇගේ දෙතොල් වෙව්ලා ගියේ ය.

අනන්‍යා විත් පිටතට යන්නට සසංක කතා කරනවා කියනා වෙලාවේ අපරාජිතා සිටියේ යහනේ ගුලි වී හැඟුමන් ප්‍රවාහයක් හා පොර බදමින් ඒවා තරණය කිරීමේ උත්සාහයක ය. දික්කසාදය කියන වචනය පවා ඈ බිය කළ යුගයක් තිබිණ. විශේෂයෙන් දික්කසාදිත ස්ත්‍රියක සමාජය තුළ කෙතරම් අනාරක්ෂිත හා අනතුරුදායක ඉසව්වකට අතහැරිය හැකි දැයි ඇය අසා දැක තිබුණා ය. සමාජයෙන් ඇය වෙත එල්ල විය හැකි නින්දා අපවාද ගැන අපරාජිතා දැන සිටියා ය. නමුත් අවසාන වශයෙන් ඒ සියල්ල හරහා යමින් ඒවාට මූණ දෙන්නට ඇය හිත හදා ගත්තා ය. කෙසේ වතුදු ඇදෙස බලා හිඳිනා කිසිදු පිරිමි ඇසක් අස ආත්මය පාවා නො දෙන්නෙමැයි ඕ තදින් සිතා ගෙන සිටියා ය. 

මීට ටිකකට පෙර සිය හිටපු සැමියා වන අරවින්ද ගෙන් එල්ල වූ චෝදනාව මේ තරමට ඇය සසල කරවූයේ එබැවිනි. පසෙක සිටි සසංක ගේ නම ද ඒ අපවිත්‍ර චෝදනාවෙහි ගෑවී තිබීම ඈ වඩාත් ව්‍යාකූල කළා වූ කාරණයයි. අනන්‍යා සසංක ද සමගින් පිටතට යන්නට කතා කරත්දී අපරාජිතා යම් කැළඹීමකට ලක් වූවා ය. නමුත් ඕ තමන් සමග ම සිතින් තර්ක කොට ඇය ව ජය ගත්තා ය. 

සසංක ඇවිද්දේ අපරාජිතා ට මඳ පරතරයක් ඇති ව අම්මා හා දූ ට සමාන්තර ව ය. පාරේ ඉඩ මඳ තැන් වලදී ඔහු අඩියක් ඉක්මන් කොට ඉස්සර වූයේ ය. ඔවුන් අතරේ කතා බහ ඉතා අඩු විය. වැඩිපුර දොඩමළු වූයේ සුසුම් හා හැඟීම් ය. අපරාජිතා ඇස් බැල්මකින් හෝ සසංක ට වරදක් නො වන සේ වග බලා ගත්තා ය. අරවින්ද ගේ ස්වභාවය ඇය දනී. ඔහු ට බොරු ඇත්ත කරනා එක මහ දෙයක් නොවේ. සමහර බොරු පසඟ පිහිටා කියමින් ඔහු ඇත්ත කරන්නට ම වෙහෙසෙනා හැටි දැක ඇය ට පුරුදු ය. බොරුවෙන් ජීවත් වෙන මිනිසුන්ට ඇත්ත කියන දේ ඉක්මනින් අමතක වී යයි. මවා ගත් බොරුවක් තුළ ම ඔවුහු ජීවත් වෙන්නට පටන් ගනිති. අවසන ඇත්ත කුමක් ද බොරුව කුමක් ද කියා ඔවුන්ට ම වෙන් කොට සිහිපත් කර ගත නො හැකි තත්වයක් ඇති වේ. සසංක ගැන කියමින් අරවින්ද කෑ ගෑ හැටියට, දැන් ඔහු සිය මනසින් ඇය ව සසංක සමග යහන් ගත කොට අවසන් බව අපරාජිතා දනී. තව ටික දවසක් යන විට එය ඔහු ට ඔහු විසින් මවා ගත් බොරුවක් බව අමතක වී යයි. ඉන් පසු ඔහු ජීවත් වන්නේ ඇය සසංක ගේ නීත්‍යානුකූල නොවන අඹුව සේ සලකා ගෙන ය.

සසංක වරින් වර අපරාජිතා දෙස බැලුවේ ය. ඈ සිටින්නේ ගැඹුරු සිතිවිලි අගාධයක පත්ලේ සැඩ දියඹ හා පොර බදමින් බව ඔහු ට ස්ථිර ය..ඇය ව ඉන් මුදා ලන්නට වෙහෙසෙනවාට වඩා හොඳ ම ඒ හා සටන් වැදෙන්නට ඇය ට ඉඩ දී බලා ඉන්නා එකයි. ඇය යථා තත්වයට පත් වන්නේ තමන් විසින් සටන් වැද ජයග්‍රහණය කිරීමෙනි.

වැස්සකට පසු මහ මග අමුතු චමත්කාරයක් දරයි. සුළඟ පවා වැහි සුවඳ ය. ඔවුන් ඇවිදිමින් සිටියේ ජුබිලිකණුව දෙසට ය. වෙසක් බලන්නට යනවා වාගේ හෙමි හෙමිහිට පයින් යන මේ වාගේ ගමන් අපරාජිතා ව නිවා ලයි. ඇවිදින දුර ගැන ඇය ට හැඟීමක් නොවේ. නමුත් අනන්‍යා ට නම් දැනුණේ තවත් ඇවිදින්නට බෑ වාගේ ය.

“අපරාදෙ. අපිට කා එකේ එන්න තිබුණෙ”

ඇය වෙහෙසකින් කීවා ය.

“කා එකේ යනවට ඇවිදිනව කියල කියන්නෑනෙ”

සසංක ට ඕන වුණේ අපරාජිතා වෙනුවෙන් ඇගේ පැත්තේ සිට ගන්නට ය. අපරාජිතා ගේ සිහින් දෙතොල් අතරේ තුනී සිනහ රේඛාවක් මතු වූයේ ය. අනන්‍යා ට සැනසීමක් දැනිණ. අම්මා යම් චිත්ත පීඩාවක විඳවනවා නම් ඊට ක්ෂුද්‍ර වූ හෝ වරදක් ඇගේ පැත්තේ වේ. තාත්තා ඉදිරියේ සසංක ගැන කියා ලැබු කුරිරු සතුට දැන් ක්ෂය ව ගොසිනි.

“මෙතනිං කොත්තු කන්න ඕන මට”

හදිසියේ ම අනන්‍යා ගේ ඇස් යොමු වූයේ මැටියෙන් බිත්ති සකසා ගැමි පෙනුමක් ලබා දෙන්නට උත්සාහ ගන්නා ලද නූතන රාත්‍රී බොජුන් හලක් ඉදිරියේ ය. ‘කොත්තු’ යනුවෙන් ලොකුවට ලියූ ආලෝක පුවරුවක් පාරට හොඳින් ප්‍රදර්ශනය වන සේ සවි කොට තිබිණ.

“පූරි කාල නේද ඉන්නෙ..”

යනුවෙන් සසංක ඇය ට එක වර එකඟ නොවූයේ, මෙතැන කෑම කන්නට රැඳීම අපරාජිතා ගේ චිත්ත සමාදානය ඇති කිරීමට බාධාවක් විය හැකි යයි සිතූ බැවිනි. බොජුන් හලේ ඉදිරිපස මකර රුවක් ඇඳ තිබුණේ සිංහල කෑම වලට චීන ආකෘතියක් බලෙන් පැටවීමට මෙනි. නමුත් ඒ ඉඩ කඩ ඇති උද්‍යානයේ තැන් තැන් වල පිදුරු සෙවිලි කොට ඉදි කර තිබූ ගිම්හාන කුටි හා ලී කොට වලින් ඇටවූ බංකු වලට අපරාජිතා ගේ සිත ගියේ ය. ගිම්හාන කුටි පියසි වල ලන්තෑරුම් එලි දැල්වෙන්නට විය. කොත්තු ගසනා බෙලෙක් හඬ හාත්පස පැතිර ගියේ ය. බොජුන් හලෙන් වහනය වූ රොටි සුවඳ අපරාජිතා ගේ දෙපා ද එදෙසට හරවන ලදී. 

“මට කොත්තු නෙවෙයි..ගෝදම්බ රොටියක්”

අපරාජිතා අනන්‍යා වෙත සිය මුදල් පසුම්බිය පාමින් ගිම්හාන කුටියක ලී කොටයක් බංකුවක් කොට වාඩි වූවා ය. නවාතැනක් අවශ්‍ය වී තිබුණා වාගේ හැඟීමක් ඇය ට දැනිණ. 

“ජින්ජර් බියර් එකකුත් ඕනනෙ අම්මිට…”

අනන්‍යා අම්මා ගේ ස්වභාවය දැන සිටියා ය. හිත සන්සුන් කර ගනු වස් ජින්ජර් බියර බීමේ ඇගේ පුරුද්දෙහි පදනම නම් ඇය දැන සිටියේ නැත.

අනන්‍යා සමග ආහාර ඇනවුම් කරන්නට යනවා ද නැත්නම් අපරාජිතා ගේ තනියට ගිම්හාන කුටියේ රැඳෙනවාද කියා තත්පරයක් තුළ තීරණය කරන්නට සසංක ට සිදු විය. ඔහු පළමු වැන්න තෝරා ගත්තේ ය. 

“මොකද වුණේ…ඒ ගෑනිට සැනසීමෙන් ඉන්න දෙන්නැද්ද ඔයා..”

සසංක අනන්‍යා වෙතින් එසේ විමසූයේ ඇය චීස් කොත්තුවක් ද ගෝදම්බ රොටි හා සසංක වෙනුවෙන් පරාටා ද ඇනවුම් කළාට පස්සේ ය. 

“මං මුකුත් කළෙ නෑ”

අනන්‍යා මූණ හකුලා ගෙන පිළිතුරු දුන්නා ය. 

“තාත්ති බැන්නෙ”

සසංක ගේ මුව අගුළු වැටිණ. කියන්නට උන් ගොඩක් දේවල් පොළොව යට සැඟවී ගිය ගඟක් සේ අතුරුදහන් වූයේ ය. සැබවින් ම ඉනික්බිති කියන්නට දෙයක් සොයා ගැනීම පහසු වූයේ නැත.

“තාත්ති කිව්ව මාවත් අරං වෛද්‍ය රෝඩ් එකේ අපේ ගෙදරට යන්න කියල…මං මෙහෙ ඉන්නකල්”

කියන්නට හොඳ කතා ටිකක් මුවට ගලා ආවේ ඒ වෙලාවේ ය. නමුත් සසංක අනන්‍යා ගෙන් ඉවතට හැරී යමක් කුටු කුටු ගෑවා පමණි.

“කන පැලෙන්න ගහන්නෙ මං ඉස්සරහට ආවොත්නං”

අනන්‍යා ට වචන පැහැදිලි ව ඇසුණේ නැත. නමුත් සසංක ගේ ඉරියව් වටහා ගන්නට ඇය අපොහොසත් වූයේ ද නැත. ක්ෂණික කේන්තියක් ඇගේ සිතට ආවේ ය. එය කිසියම් ආකාරයක ඊර්ෂ්‍යාවක් බඳු හැඟීමකි. 

‘මෙයාට වැඩක් නෑනෙ අපේ තාත්තිට එක එක ඒව කියන්න’

ඇය සිතින් එසේ මිමිණුවා ය. 

අපරාජිතා තනි ව ගිම්හාන කුටියේ සිටීම ගැන සසංක ගේ හිතට හොඳක් වූයේ නැත. බොජුන් හලට එමින් සිටි කොල්ලන් රංචුවක් ඇදෙස බලමින් විහිළු කරනු ඔහු ට පෙනුණේ ය. ඇගේ තනියට එතැනට ගියොත් අනන්‍යා මෙතැන තනි වන්නී ය. 

“අනන්‍යා යන්න අම්ම ළඟට. මං අරං එන්නං කෑම ටික”

අවසන ඔහු එසේ තීරණය කළේ ය. අනන්‍යා කිසිවක් නො කියා යන්නට ගියා ය. 

ගෝදම්බ රොටි වල වන තුනී, වෙන් කොට හඳුනා ගත නො හැකි මිශ්‍ර රසයට අපරාජිතා කවදත් ආශා කළා ය. ඒ රස හරියට විඳිත හැකි වන්නේ කළබල නැතිව ඉතා හෙමිහිට සැපීමෙනි. ඒ රස සොයා ගැනීම හරියට ජීවිතයේ රස සොයා ගැනීම වාගේ දෙයකි. ගෝදම්බ රොටි කැබලි සපමින් සිටිනාතරවාරයේ අපරාජිතා ගේ සිත අරවින්ද කෙරේ වූ තරහෙන් හිස් වන්නට විය. ඔහු කෙතරම් අනන්‍යා ට ආදරය කළා ද කියන දේ ගැන සාධාරණ ව හිතන්නට ඇය ට පුළුවන. ගැහැනියක හා පිරිමියෙකු අතරේ ආදරය බින්දුවට ම ක්ෂය ව ගිය පසුවද ඔවුන් ගේ ජන්මානු වලින් ජනිත වූ දුහිතෘ පරපුරේ සාමාජිකයන් ගැන වන ආදරයේ අඩුවක් විය නො හැකි ය. අවාසනාවකට ලංකාව වාගේ රටක දික්කසාදය කියන්නේ වෛරයක් පිරිමසා ගැනීම වාගේ දෙයකි. එයින් වෙන් වූ දෙදෙනෙකු ගේ දරුවන් ඒ වෛරය නිසා එක් පසෙකට ඇදී යා යුතු යයි කල් ඇතිව ම තීරණය වී තිබේ. අනන්‍යා ව එසේ පැහැදිලි ඉරක් ගසා අරවින්ද ගෙන් වෙන් කොට තමන් ළඟ තියා ගන්නට අපරාජිතා ට කිසි දා උවමනා නොවී ද, අරවින්ද ට සිත් සේ සිය දියණිය අස දැවටීමේ අවස්ථාව හිමි වන්නේ නැත. ඊට එක් හේතුවක් නම් අනන්‍යා පියා ගේ අලුත් විවාහය නිසා ඔහු ට වෛර කරන්නට වීම ය. අනිත් හේතුව රොෂෙල් විය හැකි යයි අපරාජිතා  අතිශය සාමකාමී හිතකින් සිතුවා ය. දික්කසාදිත පුරුෂයෙකු ගේ ජීවිතයට ලං වෙනා ස්ත්‍රියක තුළ නිරන්තරයෙන් ඇති විය හැකි හීන මානයෙන් ගැලවෙන්නට රොෂෙල් ට ද අසීරු වී ඇතිවා විය හැක. අනන්‍යා සමග වන බැඳීම යනු ඔහු සිය මුල් විවාහය සමග වන බැඳීම ය කියා රොෂෙල් වාගේ ස්ත්‍රියක් සිතන්නට පෙළඹීම ගැන පුදුම විය යුතු නැත. ඇය අරවින්ද හා අනන්‍යා ගේ පීතෘ දියණි සම්බන්ධය ඉතා සාමාන්‍ය ලෙස දකින්නට උත්සුක වූවා නම් අරවින්ද මේ සා මානසික වියවුලකට පත් නොවන්නට තිබිණ.

“අපරාදෙ රෑට උයපු කෑම”

හදිසියේ ම අපරාජිතා කල්පනා ලෝකයෙන් එබී කීවා ය. මුව ඇර ගෙන, දමා ගන්නට ගිය පරාටා කැබැල්ල අතේ ම තිබියදී සසංක මොහොතකට ගල් ගැසී බලා සිටියේ ය. ඊළඟ තත්පරයේ ඔහු ගේ මුහුණට නිරායාස සතුටු සිනහවක් ආවේ ය. අපරාජිතා යථා තත්වයට පත් ව සිටී!

“කමන්නෑ. ගෙදර ගිහිං ඒවත් කන්න අපිට පුළුවන් නේ…”

ඔහු අනන්‍යා වෙතින් ඇසුවේ ය. ඇය සිය කුස පිරිමැද්දා ය.

“බලමු ට්‍රයි කරල”

අපරාජිතා තරමක් හඬ නැගෙන සේ සිනහ වූවා ය.

අරවින්ද රාත්‍රිය ගෙවා ගත්තේ අසීරුවෙනි. අනන්‍යා කාර්යාලය තුළට නොපැමිණියේ රොෂෙල් නිසා ය යන හැඟීමෙන් මිදෙන්නට ඔහු ට පහසු වූයේ නැත. උදයේ ද ඔහු රොෂෙල් ගේ මූණ මගහැරියේ ය. ඇය අපරාජිතා වෙතින් මුළුමනින් මිදීමට  උදව් නොකොට ඔහු ව උන්මන්තක කරන්නට යනවා යි අරවින්ද සිතුවේ ය. අනිත් අතට පෙර දා අපරාජිතා ට කතා කළ ආකාරය ගැන හෙතෙම ආත්ම ලැජ්ජාවකට පත් ව සිටියේ ය. ඒ සියලු සිතිවිලි හා හැඟීම් එකට එක්කාසු වූ කල්හි මිනිසෙකුට පහසුවෙන් සිය අරමුණු වෙත යොමු විය නො හැකි ය. තමන් කරන්නේ මොනවාද කියා නිරවුල් අදහසකින් තොරව ම අරවින්ද උදෙන් ම ජය පාරට ගියේ ය. ඊට පෙර ඔහු සුපර් මාකට් එකකින් මලු කිහිපයක් පිරෙන්නට ආහාර ද්‍රව්‍ය මිල දී ගත්තේ ය. සසංක ගේ නිවස ඉදිරියේ රිය නතර කළ හෙතෙම කිසිදු පසු බෑමකින් තොර ව ඉන් බැස මලු ටික අතට ගෙන දෙපස වන ගේට්ටු දෙක දෙස බැලුවේ ය.

ඒ වෙලාවේ අපරාජිතා හා අනන්‍යා හිටියේ සඳැල්ලේ ය. සසංක පිට ව යාමට රිය වෙත එන ගමන් බැල්කනියේ උන් අම්මාටත් දූටත් පොදුවේ ගුඩ් මෝනිං කීවේ ය. වාචික ව ප්‍රතිචාර දැක්වූයේ අනන්‍යා පමණකි. එකෙනෙහි අරවින්ද ගේ රිය ද ඔහු ඉන් බසිනු ද දුටු අපරාජිතා දියණිය ගේ මුහුණ බැලුවා ය. කුමක් කරන්න ද යන අදහස ඔවුන් දෙදෙනා වෙත ම වූවායි සිතිය නො හැකි ය. කෙසේ වෙතත් අනන්‍යා ඊළඟ මොහොතේ පිය ගැට පෙළ දිග දිව යන්නට වූවා ය. අපරාජිතා සිතිවිලි වලින් බර වූ හදින් යුතුව අඩියක් දෙකක් පහළට තැබුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles