ධනුක එලෙසින් පවසා කාමරයෙන් ඉවතට ගියේද නුරාන්ට හරි හැටි නොවැටහුනු මොනවාදෝ පවසමිනි. පැහැසරා වහා ඔහු පසුපස ඇවිද ගියේ මෙවෙලෙහි කල යුතු පලමු දේ ධනුක සන්සුන් කර ගැනීම බව සිතමිනි. නුරාන් හෙලූ සුසුමේ සැනසීම සහ ඔහුට නොවැටහුනු බරක් තැවරී තිබුණි. එහෙත් අයියා කිසිවක් නොදැන තිබියදී ප්‍රශ්න ඇතිවීම වන්නේ නැති බවත්, ප්‍රශ්නයක් ඇති නොවන තාක් කල් විසඳුමක් සෙවීම උකටලී බවත් නුරාන් සිතුවේය. රාත්‍රී ආහාරය මඟැර නින්දට යෑමට අම්මාගෙන් ඉඩක් නොවන බව දන්නා නිසාම නුරාන් අයියා මඟ නොහැර ඔහු හා සම්මුඛ වෙමියි සිතුවේය.
ජංගම දුරකතනය මත වැටුණ නම නුරාන්ගේ මුව මත සිනා වැස්සක සේයාවක් තැනුවේය. ඔහු යහන මත හරහට වැටුනේය. ඇමතුම පිළිගත්තේය.
“ තාරා ….”
නුරාන්ගේ හඬෙහි කලබලයක් නොමැති බව වටහා ගත් ඉසිනි සැනසුම් සුසුමක් හෙලුවාය. නුරාන් නිවසට ලඟා වූ බව පවසා පැය දෙකකුත් ගෙවෙන තුරු ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති වෙද්දී ඉසිනි ස්වයං පීඩනයක් ගොඩ නගා ගත්තාය. නුරාන් තමා පිළිබඳව වන සත්‍ය ඔහුගේ සොයුරාට පැවසීමෙන් පසු නුරාන්ගේ නිවසේ ඕනෑම දෙයක් සිදුවිය හැකි බව ඉසිනි සිතුවාය. එලෙසින් වූ සිතුවිල්ල වහ වහා, වඩ වඩා නැඟුනේ නුරාන්ගේ නිහඬ විනාඩි පසු වෙද්දිය. නුරාන් රැගෙන දුන් රාත්‍රී ආහාර පාර්සලය ගිල දැමුවේ කුසගින්නකට නොව, නුරාන් එය රැගෙන දුන්නාය යන සිතුවිල්ලේ හිඳිමිනි.
යම් පුද්ගලයෙකු වෙත අප පෙම් කරන විට, එකී පුද්ගලයා අප වෙනුවෙන් සිදු කරන ඉතා කුඩා දෑ තුලින් පවා සැනසෙන්නට සිත ඉඩ සකසා ගන්නේය. එය සිනහවක්, කතා බහක සිට සිහියයෙන්වත් නොසිතන ආකාරයේ යමක් විය හැක. ජීවිතය කෙතරම් තිත්ත වුවද, එකී තත්පර අහුලමින් ජීවිතය රසවත් කර ගැනීමට අප උත්සාහ දරන්නෝ වෙමු.
“නුරාන් නිදිද ?…”
ඉසිනි කලබලය සඟවා ගනට උත්සාහ කරමින් කීවාය. එහෙත් නුරාන් ඒ කලබලය හැඳින්නේය.
“ මොකෝ මේ ඇහැරගෙන … නින්ද යන්නේ නැද්ද ?…”
“ නෑ ….”
ඉසිනි වැඩි විස්තර සිත තුළ සඟවාගෙන එලෙස කීවාය. නුරාන්ගේ මුවඟ වූයේ මනමාල කුරුල්ලෙකු සතු වන සිනහවය. ඇය සමග ලෝකය පුරා පියඹන්නට ආසා හිතෙන්නේය. ලෝබ සිතෙන්නේය. අත් හැරීමකට පසු යලි වන මුණ ගැසීමේ ඉහිර මෙතරම් බව දැනගන්නට ලැබෙන්නේ ජීවිතයේ එහෙමත් කෙනෙකුටය.
“ මම එන්නද නිදි කරවන්න …”
ඉසිනි වැතිරී උන් සෙටියේ ගුලි වූවාය. මෙවන් පෙම් බස් මිමිණීමේ මිහිර ඇයට මතක තිබුණෙ නැත. නෙත් තෙත් වීම ඇයට පාලනය කරගන්නට හැකි වූයේ නැත. ඒ හා සමඟම නාසය ලෙහිල්ව යන බව දැනෙද්දී ඔ නාසය ඉහලට ඇද්දාය. ඉන් කලබල වූයේ නුරාන් ය.
“ තාරා .. ඔය අඬනවාද ?…”
හුස්මකින්, සුසුමකින් පවා තමා කියවාගන්නට හැකි පිරිමි ළඟ ගැහැණු කොහොමටත් බිඳී යන්නේය. ඉසිනිගේ සුසුම් හැඬුමකට පෙරලුනේ නුරාන් හැඬුමක් ඇසුවාට පසුවය. ඕ ඉකි ගැසුවාය. නුරාන් යහනෙන් නැගිට ගත්තේය. ජංගම දුරකතනය සවන් අතරේ මාරු වූයේය.
අයියාට හෝ අක්කාට ඇය අමතා යම් දෝශරෝපණයක් සිදු කරන්නට තරම් වෙලාවක් වූයේ නැත. ඇයගේ හැඬුම තමා ඇයට ළයාදර වීම නිසා වන සැනසීමේ තුටු කඳුලු හෙලීම උදෙසාද ?
“ තාරා ….”
නුරාන් යලි මදක් උස් හඬකට ආරූඩ වූයේය.
“ම්ම්ම්ම්ම්…”
ඉසිනි දෙනෙත්ද, නාසයද, කොපුල්ද ඇඳ උන් රාත්‍රී ඇඳුමෙන් පිසදාගත්තාය. ඇය හැසිරෙන්නේ තම හැඬුම් නුරාන්ට සඟවා ගන්නට උත්සුක වෙමිනි.
“ අඬනවාද ඔය …”
“ ම්හ්හ් .. නෑ ..”
“ නැත්තේ නෑ ..ඔය අඬනවා.. ඇත්තමයි තාරා.. බොරු කිව්වොත් එනවා ආයේ හැරෙන තැපෑලට මම .. දන්නවනේ මම කිව්වොත් කිව්වා …”
නුරාන් එවර මදක් පහල හඬකින්, එහෙත් තර්ජනාත්මකව කිවේය. ඉසිනි ඉන් තිගැස්සුනාය. දැන් රෑබෝවීය. නුරාන් ගේ හිතුවක්කාරකම් ඕ මනාව දන්නීය.
“ ඇඬුණා.. දැන් අඬන්නේ නෑ…”
“ මොන මඟුලකටද ඇඬුවේ ?..”
“ සතුටට …”
“ මොන මඟුලක්ද තාරා.. දුකට සතුටට තනියට බයට සේරටම කරන්නේ අඬන එකද ?… මේ ගෑණුන්ට නම් පිස්සුද මන්දා ?…”
“ ගෑණුන්ට කිව්වේ ?… දුකට සතුටට තනියට බයට සේරටම අඬන ගෑණු කොච්චරක් ඉන්නවාද ඔයාට තව ?…”
බළලා මල්ලෙන් නොව, හැඹිලියෙන්ද එලියට පැන්නේය. නුරාන් මදක් නිහඬව උන්නේ ඉසිනිගේ ස්වරයේ තැවරී තිබූ කෝපය, ඉරිසියාව, නොරිස්සුම එකිනෙක වෙන් කර ගන්නට නොහැකිවය. පසුව ඔහු උස් හඬින් සිනාසුනේය. ඉසිනි ඒ සිනහවෙන් තමා හෙලුණු අපහසුව හඳුනාගත්තාය.
“ හනේ හනේ තාරා නෝනා …”
නුරාන් එලෙසින් පැවසුවේද සිනහව අතරිනි. ඉසිනි නිහඬවම සෙටිය මත ඇඹරුණාය.
“ උපාසක නෙවෙයි නේ … ඉතින් ගෑණු කොච්චරක්ද අහන්නෙපා… හැඟීම් දැනීම් උපරිමෙන් තියෙන ෆිට් කොල්ලෙක්නේ …”
නුරාන් ඕ තවත් අවුස්සා තැබුවේය. එහෙත් ඉසිනි සුසුමක් හෙලුවා පමණි. ඔහුගේ පෞද්ගලිකත්වය එලෙසින් ප්‍රශ්න කරන්නට තරම් තමාට ඇති අයිතිය කුමක්ද?…
ඉසිනිගේ නිහඬ වීම නුරාන් යලි ටක්කේටම වටහ ගත්තේය.
“ අනේ ජෝක් එකක් කරාම ඒක ඒ විදියෙන් ගන්නවා මිසක්, වවාගෙන කන්න නම් තියාගන්න එපා ඈ..”
ඔහු වඩා වගකීම් සහගත බවක් තමා මතට ගත්තේය. ඉසිනි එයටද කිසිත් කීවෙ නැත. නුරාන් ඒ කතාවට තිත තැබුවේය. මෙවන් වෙලාවකට වඩා ගැලපෙන්නේ එයය.
“මම අයියලා ට ඔයා ගැන කිව්වා…”
“ ඉ..තින් ..න්..”
“ අයියා අක්කට ඒ වෙද්දිත් ගින්න දීලා… අවුලක් නෑ .. මම ගිනින්නකට ලෑස්ති වෙලාමනේ උන්නේ ..”
“ නුරාන් ?….”
“ මේක මේ මල් පාවඩ දාලා හෙම අයියයි අක්කයි අහන්න සූදානම් වෙන කතාවක් නොවෙන බව ඔයත් දැනගෙන උන්නානේ තාරා .. ඒ වගේම මේ හැම කතාවකම ඇතුලේ තිබුන කතා එයාලා දැනගත්තම දේවල් වෙනස් වෙන්න පුලුවන් කියන විශ්වාසේත් තියාගන්න …”
“ ධනුක මහත්තයා මොකක්ද කිව්වේ ?.. පැහැසරා මිස් ?…”
“ හෙට කියන්නම් .. දැන් ඔව්ව කතා කරන්න වෙලාව නෙවෙයි …”
“ මට නින්ද යන්නේත් නෑ නුරාන් ..පපුව හිර වෙනවා…”
“ ඒක තමයි .. එන්නද අහන්නේ ?.. නින්ද යනකල්, රිදෙන තැන් සනිපෙට අතගාන්නම් ..”
නුරාන් මනමාල වූයේය. ඉසිනි තවත් ගුලි වූවාය.
“ ආහ් තාරා… මම එන්නද ?..”
“ ම්ම්ම්ම්ම් …”
“ එන්නද කෙල්ල මම ?…”
“ හෙට එන්න .. වේලාසනින් .. දැන් .. රෑ එපා ..”
“අනේ තාරා .. අනේ … මම පරෙස්සමට එන්නම් … මහ වෙලාවක් යන්නේ නෑනේ..”
‘ හෙට නුරාන් .. හෙට ..”
නුරාන්ගෙ කෙඳිරිලි ඉල්ලිම් වලට කෙඳිරුම් යෝජනා නඟමින් ඉසිනි කීවාය.
“
ReplyForwardAdd reaction |