මම වෙනම මලක් – 19

‘ලිලී ෂේඩ්’ හි මල් සැකසුම් ප්‍රවාහනයේ යෙදෙන තරුණයෙකු වූ දිනේෂ් නිලුපුලී වෙත ආවේ මල් කළඹක් රැගෙන ය. එය රතු රෝස මල් කළඹකි. ඔහු එය නිලුපුලී අසල තැබී ය.

“දිනේෂ් මල්ලි, අක්කලාගෙ ආදරේ තමයි ෂෝක් කියලා නිලූට මල් බොකේ එකක් දුන්නද?”

පසෙක හුන් සාවිත්‍රි අසන්නේ හිනැහෙමිනි. දිනේෂ් මුහුණ නොරොක් කර ගනිමින් නිලුපුලී ඇමතුවේ ය.

“මේ මල් බොකේ එක ආයේ රිටන් වුණා අක්කේ. ඒක ඒ කෙල්ල බාර ගන්න බෑ කිව්වා.”

ත්‍යාගයක් බාර ගන්නට අකමැති අරුමපුදුම මිනිසුන් ලෝකයේ සිටීදැයි නිලුපුලී සිතුවා ය. එහෙන් මෙහෙන් ලැබුණු ආධාර හැරෙන්නට ඇයට ලැබුණු මුල්ම තෑග්ග දුන්නේ අහස්‍යා ය. තෑග්ගක් කියන්නේ දිව්‍යමය හැඟීමක් නොවේදැයි ඇය සිතුවා ය. සුරංගනා ලෝකයෙන් නෙළා ගත් පරිදි ඇති රතු රෝස කුසුම් සියල්ලම ප්‍රතික්ෂේප කළ අරුම පුදුම යුවතිය ගැන ඇයට ඇතිවූයේ පුදුමයකි.

“මේ සල්ලි ආපහු රිටර්න් කරන්න බලමු. රෙඩ් රෝස් බොකේ එකක් කියන්නේ කොහොමටත් විකිණෙන දෙයක්නෙ. මේක රිජෙක්ට් කරලා කියලා අපි ඕඩර් එක දාපු කෙනාට දන්වමු.”

උපේකා හේතු කාරණාවක් ගෙන ආවා ය. මෙය තරමක මිලාධික එකකි. එය ප්‍රතික්ෂේප වූ බව ඇණවුම් කළ තැනැත්තා දැන ගත යුතු බව උපේකා පැහැදිලි කළා ය. 

“ඔය වගේ වෙලාවක දී සල්ලි රිටන් කරන්නේ කියලා සර් කොහොමත් කියනව. උද්දච්ච ගෑනියෙක් හින්දා කොල්ලෙක් නිකං අපිට සල්ලි පූජා කරන්නෙ මොකටද?”

උපේකා එසේ පැවසුවත් නාඳුනන මල් ඇණවුම්කරු ගැන නිලුපුලීට දැනුණේ වේදනාවකි. 

I’m sorry, don’t leave me, I want you here with me

I know that your love is gone

I can’t breathe, I’m so weak, I know this isn’t easy

Don’t tell me that your love is gone

That your love is gone

මල් පොකුරේ කොණක එසේ අමුණා ඇත. ඒ Love Is Gone ගීතයේ කොටසක් බව කවුදෝ කියන හඬ නිලුපුලීට ඇසිණ. මේ සමාව ඉල්ලීමකි. නමුත් සමාව වාගේම ආදරය ද ප්‍රතික්ෂේප වී තිබේ.

“අඩේ මේ!”

එකියක් එක්වරම හඬ නැඟුවා ය. උණු උණු ආරංචියක හැඩයකි.

“ඒ මල් බොකේ එක ඕඩර් කරලා තියෙන්නෙ විකුම් සර්. අනේ මට නම් පුදුම සතුටුයි. අර නිමේෂා කියන අහංකාර ගෑනි සර්ට පොඩ්ඩක්වත් ගැළපුණේ නෑ . බ්‍රේකප් වෙලානම් යසම යසයි.”

එහෙම කියන්නට හේතුව සචිනි විකුම් කෙරෙහි දක්වන ආකර්ෂණය බව කියමින් කෙල්ලන් හිනැහෙන්නට පටන් ගෙන තිබිණ. ජනප්‍රිය ළමා චිත්‍රපටයක අඩංගු දෙබසක් වන “මම දන්නෙ නැති දේවල් ගොඩක් තියනවා” වාක්‍ය ඛණ්ඩය නිලුපුලීට සිහිපත් විණ. අහස්‍යාගේ එකම සහෝදරයා විවාහ වී සිටින උමාලිගේ එකම මල්ලී විකුම් බව කලබලය අතර කෙල්ලක නිලුපුලීට පැවසුවා ය.

“ඕක ගැන නොකියා ඉමු.මොකද විකුම් සර්ට සල්ලිවලින් අඩුවක් කියලද?”

එකියක් එසේ යෝජනා කරද්දී තමන් ඊමේල් පණිවිඩය යවා අවසන් බව සචිනි නිවේදනය කළා ය.

ප්‍රතික්ෂේප වීමේ වේදනාව ඒ තරුණයා ට කෙසේ දැනෙනවා ඇති දැයි නිලිපුලී කල්පනා කළා ය. තාත්තා අහිමි දියණියක ලෙස ඈ දන්නා කාලයේ පටන් ප්‍රතික්ෂේප වූවා ය. ඇගේම අම්මාගේ ආදරය පවා ලැබුණේ මෑතකදී ය, අහම්බයකිනි. ප්‍රතික්ෂේප වීමේ වේදනාව සමාන වන්නේ මරණයේ වේදනාවට බව නිලුපුලී කල්පනා කළා ය.

“අපේ මෝඩ ජනකය දැන් කියන්නේ මීට කලින් යවපු ඔක්කොම මල් බොකේස් ඒ කෙල්ල ඩස්ට්බින් දැම්මලු. කාණුවට දැම්මලු. අද මොන හේතුවටද මන්දා රිටන් කරලා.”

ඒ කියන්නේ ඔහුගේ නොලැබෙන ප්‍රේමය පසුපස බොහෝ කල් හඹා ගොස් තිබේ. කෙල්ලන්ගේ ඕපාදූපවලට අනුව විකුම් සහ මල් පොකුර එපා කී යුවතිය සැලකිය යුතු කාලයක් පෙමින් වෙලී සිට තිබේ. සාධාරණ හේතුවක් ඇතිව හෝ නැතිව ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම අනෙකාට අවම සිත්තැවුලක් ඇතිවන සේ සිදු කළ යුතු නොවේදැයි නිලුපුලී සිතුවා ය. ඇය මුළු දවසම ගෙවා දැමුවේ නොදන්නා තරුණයා කෙරෙහි අනුකම්පාවෙනි.

“විකුම් සර් ඊමේල් එකට රිප්ලයි කරලවත් නෑ. අපේ සර්ට කියමු. සල්ලි රිටන් කරනවද නැද්ද කියලා එයා බලලා කියයිනෙ.”

අවසානයේ කෙල්ලන් ඒ තීරණයට පැමිණි අතර නිලුපුලී ද ඔහේ බලා ඉන්නට වූවා ය. ඇගේ වගකීම මුදල් නැවත බැර කිරීම ය. ඉන් එහා ඇයට කිසිම වගකීමක් ඒ ගැන නොවේ.

ඔහු ආවේ සුළඟක් ලෙස ය. ලා මත් සුවඳක් සහිත හිස කෙස් අවුල් කරගත් තරුණයා කාර්යාල කාමරය වෙත කඩා වැදුණේ සුළඟක් ලෙස නොවේ. කුණාටුවක් ලෙස ය.

“රිජෙක්ට් වුණු රෙඩ් රෝස් එක කෝ?”

ඔහු එසේ අසද්දී කවුරුන් හෝ ඔහු අත මල් කළඹ තැබී ය. ෂාරුක් ඛාන්ගේ දුක්බරම රංගන අවස්ථාවක මෙන් මල් කළඹ තුරුළු කරගෙන හඬන කොලුවෙකු දකින්නට නිලුපුලීට ඕනෑ විය.

නැත!

යෞවනයා මල් පොකුර පොළොවේ ගැසී ය. සුරංගනා කතාවක මායාකාර කොටසක මෙන් රතු රෝස මල් හාත්පස ඉහිරී ගියේ ය. ඔහු නැවත එය පොලොවේ ගසද්දී ඔහුගේ අතෙන් ලේ ගලන අන්දම නිලුපුලීට පෙනිණ. රෝස කටු ඇනී තුවාල වූ අතට වඩා ප්‍රතික්ෂේප වීම හන්දා ඔහුගේ හදවත තුවාල වී ඇතැයි ඇය සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles