සුසුවඳ සූත්‍ර – 9

0
1874

අහස ගුගුරා හැඬුවේ ය. පොළොවට දරාගත නො හැකි තරම් අහස් දිය කඳක් භූමිය දිය කරගෙන ගලා බසිමින් තිබිණ. ත්‍රීරෝද රිය ගමන් කළේ හෙමිහිටයි. තද සුළඟත් වැස්සත් එහි දෙපස ඉටි රෙදි වලට නො කඩවා පහර දුනි. අන්තරා අසුනේ මැදට වී බෑගය තුරුලු කරගෙන සිටියා ය.

ඒ කඩා හැළුණේ කොහෙත් ම බලාපොරොත්තු වූ වර්ෂාවක් නොවේ. ඒ අස්සේ කුඩයත් අමතක වී යාම ගැන ඇය තමන්ට දොස් කියාගත්තා ය. උදේ පාරින්දි කලබල කරමින් විටින් විට දුරකතන ඇමතුම් දුන් නිසා කවදාවත් නැති ලෙස කුඩය අතපසු වන්නට ඇත.

කෙසේ   වෙතත් පාරින්දි සමගින් ඕරා ඔෆ් ඇරෝමා වෙත ගිය ගමන ගැන හෝ යුගාත්ම හමු වීම ගැන හෝ කිසිදු පශ්චත්තාපයක් අන්තරා ට නැත. ඉඳහිට වැස්සකට හසු වූවාට ජීවිතය දිය වී යන්නේ නොවේ. හිරිකඩක් හෝ නො වදින ගෙතුළකට වී වීදුරු තලාවකින් ඔබ්බේ පෙනෙන වැස්ස දෙස බපා සිටීම මිහිරි අත්විඳීමක් බැව් සැබවි. අතරමගකදී වැස්සකට හසු වීම ඒ තරම් මිහිරි වූ වින්දනයක් නොවේ. ත්‍රිරෝද රියට ගොඩ වීමට මත්තෙන් යම් තරමකට වැස්සට හසු වූ නිසා ඇඳුම් තෙත් වී, පාවහන් තෙමී, තරමක අපුලක් දැනෙනා බැව් සැබවි. නමුත් සුන්දරත්වය වඩා පැහැදිලිව පෙනෙනුයේ අසුන්දරත්වය අත්විඳි විට යයි අන්තරා විශ්වාස කරයි. එබැවින් මේ අනපේක්ෂිත වර්ෂාව ගැන ද උපේක්ෂා සිතකින් සිතන්නට ඇය කැමති වූවා ය.

ත්‍රීරෝද රිය පෙත් මගට හැරුණ විට ය ඈ දුටුවේ, දක්ෂිණ ගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරියේ නතර වී තිබිණ. කෙතරම් ඔහු දුරින් සිටින්නෙකු වී ද ඒ දර්ශනයෙන් අන්තරා ගේ හදවත ගැස්සිණි. අත් බෑගයට අත ඔබා ගේට්ටුවේ දුරස්ථ පාලකය ගනමින් ම ඕ ත්‍රීරෝද රියට මුදල් ගෙව්වා ය. ඈ ගේට්ටුව ඇරියේ වැස්සට තෙතබරිත වෙමිනි. ගේට්ටුව විවර වූ නිසා ඕනේ නම් දක්ෂිණ ට එහෙම ම රිය ඇතුළට ගන්නට තිබිණ. නමුත් ඒ වෙනුවට ඔහු කුඩය ඉහළමින් රියෙන් බැස්සේ අන්තරා තෙමි තෙමී ඉතුරු මුදල් ගනිමින් සිටි බැවිනි.

“කුඩේ ගෙනියන්න අමතක වුණානෙ”

ඔහු ඇගේ හිසට ඉහළින් කුඩය අල්වත්දී අන්තරා අවිහිංසක සිනහවකින් කීවා ය.

“ඇයි ඔයා එළියෙ හිටියෙ… ඇතුළට යන්න තිබුණනෙ…”

“ගේට් එකේ රිමෝට් එක කැබි හෝල් එකේ තිබුන්නෑ. මං වෙන කොහෙහරි තියල ඇති”

දක්ෂිණ කීවේ මුසාවකි. රිය නලා හැඬවූ විට ගේට්ටුව නො හැරුණෙන්, අන්තරා ගෙදර නැති බව ඔහු දැනගත්තේ ය. ඇය නැති ගෙදරට යන්නට ඔහු ට හිතක් වූයේ නැත.

“ඉතිං මට කෝල් එකක් දෙන්න තිබුණනෙ… එහෙනං මං ඉක්මනට එනවනෙ…”

“ඔයා ගිය වැඩක් කරගෙන එන්න එපැයි. ඒකට කමන්නෑ”

 ත්‍රිරෝද රිය නික්ම ගිය ඉක්බිති ඈ කුඩය ගත් අතර දක්ෂිණ යළි රියට නැගී කා පෝච් එක තෙක් ගියේ ය. අන්තරා කුඩය දිගැර ම වැරැන්ඩාවේ බිම තබමින් ද අත් වල තෙත පිසිමින් ද වැස්ස දෙස බැලුවා ය. ඔය වැස්ස පහසුවෙන් නවතින පාටක් නැත.

“දක්ෂිණට මං කිව්වනෙ දැං මෙහෙ එන්න ඕනකමක් නෑ මට තනියක් නෑ කියල. එයා ඒත් එන එකට ඇත්තටම මං කැමති නෑ”

හිත එහෙම කීවත් ඇය ඔහු ට නො රිස්සුමක් නො පෙන්වූවා ය. සැබවින් දැන් ඇය නතර වී සිටින්නේ එහෙම සාමකාමී ස්ථාවර ජීවන තලාවකයි. ඒ සාමයට පළුදු ඇති විය හැකි ලෙස හුස්මක් හෝ ගන්නට ඇය කැමති නැත. අනිත් අතට ඔහු දැන් ඇගේ නොවනා බව හදවත ස්ථිර ලෙස තහවුරු කරගෙන සිටියදී කුමක් කෙලෙස සිදු වුණ ද හදවත වනාහි නියතයකි.

තෙත ඇඳුම් උනා දමා උණුසුම් දියෙන් ස්නානය කොට ගොස්, අන්තරා දෙදෙනාට ම කිරි කෝපි දෙකක් පිළියෙළ කළා ය. දක්ෂිණ ආලින්දයට පිවිස සිටියෙන් ඈ මතු මහලේ ඔහු ගේ කාමරයට යා යුතු වූයේ නැත.

“ත්‍රීවීල් වල රස්තියාදු වෙන්නැතුව ඔයා පොඩි කාර් එකක් ගන්න. කැමති එකක් බලල කියන්න. මගෙන්  ඩිවෝස් වුණාට කමක් නෑ. හැබැයි ඔයා දුක් විඳිනවට මං කැමති නෑ”

අන්තරා ලා හසරැල්ලක් පාමින් කිරි කෝපි උගුරු දෙක තුනකින් උගුර පුච්චාගත්තා ය.

“අනේ ඕන නෑ දක්ෂිණ. ටැක්සි එකක් දාං ගමනක්        යන එක මට ලේසියි. කා එකක් තියනකොට යන්න එන්න ලේසියි තමයි. ඒත් හිතට කරදර වැඩියි. වෙලාවට ලයිසන්ස් ඉන්‍ශූරන්ස් කරන්නෝනෙ… තව ඔය ආදායම් බලපත්‍ර… දුම් පරීක්ෂණ… ගරාජ් ප්‍රශ්න ආවහම ඒව… සර්විස් කිරිලි… හයියෝ ඒ කිසි කරදරයක් නෑ ටැක්සි එකක් දාං ගියාම. ගමන ගියා ටැක්සියෙන් බැහැල ගෙට ආව”

“ඒ වගේ නෙවෙයිනෙ…තමන්ටම කියල වාහනයක් තියන එක හරි පහසුවක්. ඊටත් වැඩිය අර කරදර ටික තිබුණට…ටැක්සි වලට යනවට වැඩිය අභිමානයක් එතන තියනව”

“එහෙම අභිමානයක් මේන්ටේන් කරන්න ඕන අයට ඔයා කියන දේ හරි. ඒත් මට දැන් එහෙම දේවල් නෑ දක්ෂිණ. හිතේ සාමයෙන් ජීවත් වෙන්න තියනවනං ඇත්තටම ලොකු ලොකු කිසිම දෙයක් ඕන නෑ”

“ඔක්කොමත් හරි ඔයාගෙ ඔය මුරණ්ඩුකමත් හරිනෙ”

ඒ ආදරණීය නෝක්කාඩුවකි. අන්තරා බෑ කියූ දෙයක්, එපා කියූ දෙයක් කවුරුන් කීවත් වෙනස් කරන්නේ නැත. ඔවුන්ගේ යුග දිවිය සම්බන්ධයෙන් අත්වෙන ඉරණම ද එය බව දක්ෂිණ ඉඳුරා දනී. ඕනෑ වී ද ඊට එරෙහිව ඇයත් සමගින් සටන් කරන්නට හයියක් ඔහු ට නැත.

“මට මෙහෙ එන්නත් එපා ඔයා ගැන බලන්නත් එපා කියනවනං… ඔයා පුතා ඉන්න දිහාට හරි යන්න ඕනෙ අන්තරා. මෙහෙම තට්ට තනියම ඔයාට ඉන්න අරින්න බෑ. මං කොහොමද එතකොට හිත හදාගෙන…”

“දක්ෂිණ…”

අන්තරා බාධා නො කළ ද ඉන් ඔබ්බට කතා කළ නො හැකි ලෙස දක්ෂිණ ගේ උගුර හිර විය. ඇගේ ඉදිරිපත් වීම ඔහු ට සහනයක් වූයේ එබැවිනි.

“මාව හිතට කරදරයක් කරගන්න එපා. පුතත් මට කිව්ව එහෙට එනවනං එන්න කියල. නොදන්න මිනිස්සු දහස් ගාණක් අතරෙ තනි වෙනවට වැඩිය දන්න මිනිස්සු දහස් ගාණක් අතරෙ තනි වෙන එක ලේසියි කියල මට හිතෙනව දක්ෂිණ. අපි බලමු. එහෙම යන්න ඕන අවස්ථාවක් ආවොත් මං යයි. තාම මට මාව බලාගන්න බැරිකමක් නෑ”

දක්ෂිණ නො පැමිණියේ වී නම් අමුතුවෙන් රෑ කෑම පිසීමක් ගැන ඇය නො සිතනු ඇත. නමුත් ඔහු නිසාවෙන් ඇය එළවළු සුප් එකක් තනා, බිත්තර සාරු පොඟවා පාන් ටෝස්ට් කළා ය. ඒ අතරේ පාරින්දි ගේ නමින් දුරකතනය හැඬවිණ. ගෙදර ගොස් ඇමතුමක් දෙන්නය කියා ඈ කියූ බවක් අන්තරා ට සිහි වූයේත් ඒ වෙලාවේ ය.

“අනේ පාරි එනකොට හොඳටම වැස්සනෙ. ඒ ගමන කෑම හදන්නත් වුණ නිසා මට කෝල් එකක් ගන්න බැරි වුණා”

“යුගාත්ම කෝල් කරල කිව්වෙ… ඔයා ගියා කියල කෝල් කළේ නැති නිසා කතා කරල බලන්න කියල”

“පාරි මං පාන් ටෝස්ට් කරන ගමං ඉන්නෙ. හස්බන්ට කන්න දෙන්න ඕනෙ. අපි පස්සෙ කතා කරමූ”

කියා අන්තරා දුරකතනය තැබුවේ හිතා මතා ම ය. ගෙදර ගිය පසු ඇමතුමක් දෙන්න කියා යුගාත්ම කාන්තාවන් දෙදෙනාට ම පොදුවේ කීවේ ය. නමුත් ඒ පාරින්දි වෙනුවෙන් විශේෂිත වූ ආරාධනයක් කියා සිතා අන්තරා ඒ මොහොතේ ම එය අමතක කොට දැමුවා ය. කොහොමටත් යුගාත්ම සමගින් එහෙව් ඉක්මන් සුහදකමක් ඇයට ඕනෑකර තිබුණේ නැත.

අන්තරා සමගින් ටිකක් වැඩිපුර කතාබහ කරමින් ඉන්නට දක්ෂිණ ට ඕනෑ වී ද ඈ ඊට හෝ ඉඩක් නො තැබුවා ය.

“මහන්සි නිසා ටිකක් නිදිමතයි වගේ”

කියා ගොස් කාමරයේ දොර වසාගත්තා ය. දක්ෂිණ සුසුමක් සමගින් මතු මහලට නැගුණේ ය.

කියන්නට නො තේරෙන හේතුවක් මත, යුගාත්ම තෘප්තිමත් හැඟීමක පා වෙමින්        සිටියේ ය. පාරින්දි සමග අන්තරා ඕරා ඔෆ් ඇරෝමා වෙත පැමිණීම තවමත්  ඔහු ට අමුතු සිහිනයකි. ඒ සුවඳ තවමත් ඔහු ට ප්‍රහේළිකාවකි. ඒ සුවඳ ගැන විමසූවත් ඕ සාමාන්‍ය සිනහවකින් සාමාන්‍ය පිළිතුරක් ලබා දුන්නා ය.

“ඒක එහෙම බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් නෙවෙයි…”

ඒ වචන ටික යුගාත්ම ගේ මනසෙහි පිලිරැව් දෙමින් තිබේ. සුවඳ පමණකුදු නොව සමස්ථ ඇය වූ කලී අපූර්වත්වයකි. ඒ වචන ප්‍රකෝටි ගණනකින් හෝ විස්තර කළ නො හැකි හැඟීමකි.

“ගෙදර ගිහිං කෝල් එකක් දෙන්න” කියා පොදුවේ කීවත් ඔහු ට එය කියන්නට ඕනෑ වූයේ අන්තරා වෙනුවෙනි. නමුත් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ පාරින්දි විතර ය. අන්තරාගෙන් ඒ ඇමතුම එනතුරු ඒ තරම් නො ඉවසිල්ලෙන් බලා ඉන්නට හේතුවක් ඔහුට වන්නේ ද? නමුදු ඒ නො ඉවසිල්ලෙන් මිදෙන්නට හෙතෙම අපොහොසත් වූයේ ය. පාරින්දි කතා කිරීමෙන් දෙහෝරාවකට පසු යළිත් ඇගේ  දුරකතනයට ඇමතුමක් ගන්නට ඔහු පෙළඹවූයේත් එකී නො ඉවසිල්ලමයි.

දුරකතන තිරය මත යුගාත්ම ගේ නම සනිටුහන් වෙත්දී පාරින්දි ගේ හිත හෙළවී ගියේ ය. ඇය දුරකතන සම්බන්ධය ලබා ගත්තේ උනන්දුවෙනි.

“අන්තරා ගෙදර ගිහින් කතා කළාද…”

යුගාත්ම ගේ ප්‍රශ්නය, ඒ ප්‍රීතිමත් උද්‍යෝගය පරවුණ මලක් බවට පත් කළේ ය.

“න්… නෑ”

“ඒකනෙ. මං මගින් මගට කියලවත් ගියා කියල මෙසේජ් එකක්වත් නෑනෙ”

“යන්න ඇති යුගාත්ම”

“ඔයා චුට්ටක් කෝල් එකක් දීල බලන්නකො”

පාරින්දි අන්තරා ට කතා කළේ ඉනික්බිතියි. බලාපොරොත්තු වූවාටත් වැඩිය ඉක්මනින් අන්තරා කතාව අවසන් කළ බැවින්, පාරින්දි අනිත් අතට යුගාන්ත ඇමතුවා ය.

“එයා ගෙදර ගිහිං”

“ඉතිං කතා කරල නැත්තෙ…”

“වැඩ කිව්ව. දැනුත් හස්බන්ට කන්න දෙන්න පාන් ටෝස්ට් කරන ගමං කියල ඉක්මනට ලයින් එක කට් කළා”

කියන්නට යමක් නැතිව මොහොතකට යුගාන්ත ගේ හිත හිර වී තිබිණ. ඊලඟට ඔහු දිරිය ගෙන කතාකළේ ය.

“හ්ම්. එහෙමනං කමක්නෑ”

පාරින්දිගෙන් සමුගන්නේවත් නැතිව ඔහු දුරකතන සම්බන්ධය බිඳ දමා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here