සියක් සියපත් 25

මදිරා ගේ හදවත තුළ දීර්ඝ වූ ශිශිරයක් පුරා  බීජෞෂණ සමයක් පසු කළා වූ එක පුංචි බීජයක්, පෙති දෙපෙති විහිදමින් ප්‍රරෝහණය වෙන්නට දරනා තැතක් ඇයට දැනේ. ඒ සියුම් පත්‍ර වල පහසින් ඇගේ හද මිහිරට පත් වේ. කිති කැවේ. තවමත් පොහොට්ටු සමයක් ගත කරනා, පිපෙන්නට නියමිත මලක් ගැන සුවඳ පොදක් ඉහිරවයි. හැන්දෑ වන විට නො සන්සුන් කමක් හිතේ එහෙ මෙහෙ වෙයි. නමුත් ඒ මිහිරි නො සන්සුන් කම හදවත තුළ ම රහසේ වැඩෙන්නට හරිනු මිස මදිරා ඒ වෙනුවෙන් කලබල නොවී හිඳියි. උද්‍යානයට යන්නට ඕනේ ම යයි කියා හදවත සුන්දර වදයක් දෙන වෙලාවට, බැරි ම නම් විතරක් ඇය සියපත් සමගින් එහි යයි.

ඔවුන් ගියත් නො ගියත් මනුල දියවන්නා දිය කඳ දෙස බලා සිටී. මේ ඉසව්වට මුලින් ම පැමිණි දින වල හිතේ වූ ශෝකී අඳුර ඔහු ට තවම අමතක නැත. වැවකට වුණත් දැරිය හැකි තරමට එහි දිය පිරිය යුතු ය. නො එසේ වී නම් වැව් බැමි පුපුරා යා හැක. සිය හදවත දරුණු වියෝගයකට මුහුණ දී සිටි වෙලාවක ඒ පීඩනය තුනී කර ගනු වස් ඔහු මෙහි ආවේ ය. එළිමහන් තැනකට වී අසීමිත ව රැලි නගනා දිය කඳක් දෙස බලා සිටින විට හිතිවිලි වල කැළඹුම මඳක් සන්සුන් වේ. වැව් දිය සරැලි නගමින් අවකාශයෙහි වැඩි ඉඩක් අත්පත් කර ගනිමින් පීඩනය තුළනය කර ගන්නවා සේ මිනිස් හදවත ද පීඩනය අවම කර ගත යුතු ය. තරුණ බිරිඳ හා ඇගේ කුස තුළ ම කුළුඳුල් දරුවා අකාලයේ මිය යාමේ ඛේදවාචකයට මුහුණ දී සිටි මනුල ට ඒ වියෝ දුක තුනී කර ගන්නට පමණක් ඕනෑ විය. 

බිඳී ගිය මිනිසුන් වුව මියෙන තුරු ජීවත් විය යුතුව තිබේ. ඒ බිඳීම් කිසි දා පෑහෙන්නේ නැති විය හැකි ය. ඒ තුවාල කැළැල් සදහට ම දරා ගන්නට සිදු විය හැකි ය. නමුත් ඒවා සමග ම අනාගතයට ගමන් කළ යුතුව තිබේ. ජීවත් වෙත්දී නවමු මිනිසුන් හමු වන්නේ ය. ඒ මිනිසුන් සමග අනාගතය වෙත ඇවිද යන්නට සිදු වන්නේ ය. ජීවිතය එක තැනක නතර වී නො පවතින නිසා අලුත් අනාගතයේ දී අලුත් මිනිසුන් සමග අලුත් සබඳතා ඇති කර ගන්නට සිදු වන්නේ ය. එහෙම වූවා කියා අතීතය අමතක වී යන්නේ නැත. අතීතයේ ළඟින් ම උන් මිනිසුන් අමතක කොට දමන්නට ද බැරි ය. නමුත් ජීවිතය ගඟක් සේ ගලයි. එක තැන නතර වී සිටීම දරුණු පීඩා හා විපත් ඇති කරයි.

මදිරා නිසා සිය හදවත හිර වී තිබි පීඩනය මඳින් මඳ ලිහිල් වන හැටි මනුල බලා සිටියේ ය. ඇය සමග කතා කරන විට ඔහු ගේ සොහොන් බිම් හදවතට සතුටක් කාන්දු වෙන බවක් දැනිණ. සොහොන් කොත් අතරේ මිනී මල් පූදින බවක් දැනිණ. විටෙක ඔහු තිගැස්සී ගියේ ය. අසාධාරණ ලෙස ලෝකයෙන් ඉවත් කොට හැරුණු සිය අවිහිංසක බිරිඳ සිහි නොවූවා නොවේ. 

“ඒත් මට ආයෙ එන්න බෑනෙ. ඔයා හැම දාම මෙහෙම බලං හිටිය කියල මොකක් නං වෙනවද…ඔයාට ඉන්න නියමිත කාලෙ ජීවත් වෙන්න ඕනෙ. තනියම ඒ ගමන යන්න ලේසි නෑනෙ. ඔයාගෙ ළඟින් ඉන්න කවුරු හරි ඕනෙ. ඔයාගෙ හිතේ මට තිබුණු ඉඩ…එහෙමම තියෙයි. ඒත් තව අයටත් ඒ හිතේ ඉඩ තියෙනව”

හිත තුළින් සිය බිරිඳ එසේ මුමුණනු මනුල ට ඇසෙන්නට විය. ඔහු මදිරා සමග සිනහ වී කතා කරත්දී ඇය හිත් කොනක සිනහ වී සිටියා ය. 

ඔහු සමග කතා කරන එක සැබවින් මදිරා ට සතුටක් විය. ප්‍රේමය කියන්නේ යෞවනයේ දී ඇයට අතපසු වී ගිය දෙයකි. නමුත් හේමන්තයේදීත් මල් පිපිය හැක. ආදරය කියන්නේ ආත්මීය රැකවරණයක් දනවන හැඟීමකි. එය ජීවිතයට සෙවනැල්ල වාගේ ය.

උද්‍යානයේ දී ඇතැම් හැන්දෑ වරු වල වන මේ හමු වීම් ඔවුන් දෙදෙනාගේ ම ජීවිත වල අලුත් බලාපොරොත්තු පණ ගන්වන ලදී. මොන හේතුවක් නිසා හෝ ඔවුන් අතරේ දුරකතන අංක හුවමාරු වීමක් සිදු විය.

“අපි අද පාක් එකට එනව. ඔයා ඉන්නෝද”

කියා අසන තරමට මදිරා ඒ චමත්කාරයට බැඳෙමින් සිටියා ය. ඇය එනවායි කියන දින වලට පමණක් එහි යන තරමට ඔහු වර්තමානය තුළ ලිහිල් වෙමින් සිටියේ ය. ජීවිතය එහෙම ය. හැම මොහොතක ම වෙනස් වීමක් අපේක්ෂා කරයි!

වියානා කහවණුගොඩ මැදුරේ නිතර දැකිය හැකි කෙනෙකු වෙමින් සිටියා ය. ඇය සනාතන හා සදාතන වෙන් කොට හඳුනා ගන්නේ සදාතන ගේ මූණ ඇය දකින විට හැකිළෙන නිසා ය. එහෙම ප්‍රතික්ෂේප වන තැන්වල රැඳෙන්නට සාමාන්‍යයෙන් ඇය කැමති නැත. අනිත් අතට මේ විවාහ යෝජනාව වැඩිහිටියන් වෙතින් ඉදිරිපත් වූ එකකි. ඉතින් ඇයට සදාතන ගේ ආඩම්බර නොබලා කෙළින් ම ඉවත් වන්නට පුළුවන. නමුත් ඇය මේ නිවුන් සොයුරන් ට කැමති ය. මේ ගෙදර ජීවන ක්‍රමයට කැමති ය. ඔවුන් ගේ බැඳීම් වලට කැමති ය. ඒ නිසා ක්ෂණික පසු බෑමකට ඉඩක් වූයේ නැත. අනිත් අතට මේ විවාහ යෝජනාව ස්ථිර වශයෙන් සිදු වෙන එකක් බව ඇය දනී.

“එයා බොරුවට මාව මගඇරල වැඩක් නෑනෙ අක්ක. මේ දවස් ටිකේ අපිට කතා කරල අඳුර ගන්න කියලනෙ කිව්වෙ. ඒත් මෙයා මාව දැක්කහම බූමිතෙල් වැදිච්ච ගැරඬිය වගේ දුවනවනෙ”

වියානා මදිරා ට එසේ නෝක්කාඩු කියත්දී සියපත් ද එතැන සිටියා ය. වියානා එය කී තාලයට සියපත් ක්ෂණික ව සිනහ වුණා ඇත්ත ය. නමුත් ඇගේ පපුවේ ගිනි මැලය ඇවිළිණි. නමුත් ඒ සිනහවට වියානා සියපත් විනිවිද බැලුවා ය.

“මට හිනා ගියේ ඔයා අර ගැරඬියගෙ කතාව කියපු විදිහට”

“ඒව අපේ අම්මිගෙං අල්ලගත්ත කතා”

වියානා ද සිනාසුණා ය. දියමන්ති ජයකොඩි මහත්මිය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධි ධාරිනියකි. නමුත් ඇමරිකාවේ පදිංචි වූවාට පස්සේත් ඇය ගෙදර කතා කළේ තනිකර සිංහලෙනි. වියානා මේ තරම් පැහැදිලි සිංහල කතා කරන්නේ එබැවිනි. 

මදිරා මේ කාරණයේ දී ඉතාමත් ප්‍රවේසම් සහගත වූවා ය. මල්ලිලා ගේ ජීවිත ලස්සන වෙනවාට ඕ රිසි ය. එසේ ම ඔවුන් ගේ ජීවිත ඔවුන් රිසි පරිදි තීරණය වෙනවාට ඇය කැමති ය. ඇය අභියස හිඳිනා ගැහැනු ළමයින් දෙදෙනා ම හොඳ ළමයින් ය. එක්කෙනෙකු සදාතන වෙත යෝජනා වී තිබේ. අනිත් කෙනා කෙරේ සදාතන ප්‍රේමයෙන් පසු වේ. මෙය ඉතා සියුම් ලෙස අත තැබිය යුතු ගැටළුවකි. එක හදවතක්වත් බිම වැටී බිඳී යා යුතු නැත. සදාතන ට එය කොහොම කරන්නට සිටින්නේ දැයි මදිරා දන්නේ නැත. නමුත් එදෙස බලා ඉන්නට ඇයට සිදු වේ.

“කලබල වෙන්න එපා වියානා. හෙමිහිට ඇස් ඇරගෙන මේ ප්‍රශ්නෙ තේරුං ගමු. එතකොට අපිට පාරවල් පෙනෙයි”

මදිරා හොඳ ම අවවාදය දුන්නා ය. ඔවුන් කතා කරමින් සිටියදී සදාතන ගෙදර ආවේ ය. ඔහු මතු මහලට නැගෙත්දී ම පසුපසින් ගිය වියානා සදාතන ගේ කාමරයට වැදුණා ය.

“මේ මොකද මේ…වියානා මේ යූඑස්ඒ නෙවෙයි…ලංකාව. අන්න ඒක මතක තියා ගෙන හැසිරෙන්න. රූම් එකෙන් එළියට යන්න”

සදාතන තදින් කීවේ ය. මේ විදිහට ඇය කාමරයට විත් දොර වසා ගැනීම ගැන සියපත් වැරදි චිත්‍රයක් මවා ගන්නට හැකිය යන සිතිවිල්ල ඔහු නො සන්සුන් කළේ ය.

“මට කොහේ වුණත් එකයි. යූඑස්ඒ වලදිත් මං හැසිරිල තියෙන්නෙ මට හරි කියල හිතෙන ලිමිට් එකේ. අනිත් එක ඔයා කියන්නෙ මං මැරි කරන්න ඉන්න කෙනානෙ. ඉතිං මට දැනගන්න ඕන ඔයා මට මෙහෙම කරන්නෙ ඇයි කියල. ඔයා මාව මැරි කරන්න කැමතියි කියලයි අපේ තාත්ත හිතං ඉන්නෙ. ඔයා අකමැතිනං ඒක කෙලින් කියන්න ඕනෙ. මොකද්ද මේ හැංගිමුත්තම…මං ඔයාට මොන වැරැද්දක් කළාටද හැමෝම ඉස්සරහ මාව පල් වෙන විදිහට හැසිරෙන්නෙ…ඇයි අනේ…”

අත් දෙක පපුව මැද බැඳ ගත් වියානා මූණ හකුළා ගත්තා ය. සදාතන හෙමිහිට ගොස් දොර හැර තැබුවේ ය. වියානා ගේ තොල් කොනට ආවේ සිනහවකි.

“බලාගෙන. මං ඔයාව රේප් කරයි”

සදාතන ඉවත බලා ගත්තේ ය. නමුත් මේ ගැටළුව විසඳා ගැනීමේ අයිතියක් ඇයට තිබෙනා බව ඔහු පිළිගනී. ඒ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට සිදු වී ඇති බව කියන්නට බැරි නැත. නමුත් ප්‍රශ්නය උද්ගත වන්නේ ඉන් පසුව ය. 

“ඔයාට හිතෙන්නැද්ද…අපි මැච් වෙන්නෑ කියල…”

ඔහු කැළඹිල්ල සන්සුන් කරමින් වියානා හේත්තු වී සිටි බිත්තියට ම හේත්තු වූයේ ය. ඇය නෝක්කාඩු බැල්මක් හෙළුවා ය.

“කොහොමද එහෙම කියන්නෙ…”

“ජීවිතේ කියන්නෙ එක්ස්පෙරිමන්ට්ස් කර කර ඉන්න පුළුවන් තරං දිග එකක් නෙවෙයි නේද…මේගොල්ලො කියන නිසා මැරි කරල…ටික කාලෙකින් ආයෙ වෙන් වෙලා…ආයෙ ජීවිතේ අලුතෙන් පටන් ගන්න තරං කාලයක් තියනවද…අපි දෙන්නගෙම ජීවිත නේද දැන දැනම අවුල් කර ගන්න හදන්නෙ…අපි එහෙම දේකට කැමති වෙන්න ඕනද…”

“ඉතිං ඇයි වෙන් වෙන්නෙ…”

“වියානා…මේක තේරුං ගන්න බලන්න වියානා”

“ඒත් ඔයා මාත් එක්ක හොඳට කතා කර කර හිටියනෙ. අපි වෙඩින් එකත් ප්ලෑන් කළානෙ අනේ…හිටපු ගමං ඔයාට මොකද වුණේ…ඔයාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නවද දැන්…”

“මං දෙයක් කිව්වොත්…ඔයා තරහ වෙනවද…”

සදාතන එසේ ඇසුවේ මොහොතක කල්පනාවකින් තීරණයකට ඇවිත් ය. 

“කොහොමත් ඉතිං යාළු කමක් නෑනෙ අපේ”

“ඒක හොඳයි”

ඔහු මඳහසක් පෑවේ ය. වියානා රැව්වා ය. ඇයට මේ හරස් පද ප්‍රහේළිකා තේරෙන්නේ ම නැත. 

“ඒ දවස් වලත්…ඔයා එක්ක කතා කළේ මං නෙවෙයි”

වියානා ගේ ඇස් ලොකු විය. නළල රැලි නැංවුණේ ය. ඒ විලාශය නැවත ද සදාතන ගේ මුහුණට සිනහවක් ගෙනාවේ ය.

“සනාතන”

වියානා ගේ හුස්ම හිර වූවා සේ ය. විවර වූ මුව ඕ අතකින් වසා ගත්තා ය. මේ අවුල කොහොම ලිහා ගන්නද කියා දැන් නම් ඇයට තේරෙන්නේ ම නැත. එය තව දුරටත් පැටළුණ නූල් බෝලයක් වෙමින් තිබේ. 

සියපත් හිටියේ හද ගැස්මෙනි. සදාතන වියානා ට ඇය ගැන යම් කිසි ඉඟියක් දේවිද යන බිය ඇයට දැනේ. එය අවංක බියකි. අහිංසක බියකි. ඇය වූ කලී වත් පොහොසත් කම් ඇති ලොකු පවුලකින් පැවත එන දැරියක නොවේ. යන්තම් ඇගේ මව් පියන් දැළි කුණු ගොඩේ නොසිට කීයක් හෝ උපයා සපයා ගන්නට ගත්තා පමණකි. මේ දේවල් නිසා මුලින් ම නැති වී යන්නේ ඒ අහිංසක මිනිසුන් ගේ ආත්මීය ශාන්තියයි.

ආදරය සිය හදවතෙහි මලක් සේ පිපුණ බව ඇත්ත ය. නමුත් ඒ වූ කලී හිමි කර ගන්නට සිහින දැකිය හැකි මට්ටමේ බලාපොරොත්තුවක් නොවේ. සියපත් ඒ ගැන ගව් ගණන් දුරට හිතන්නේ ද නැත. 

වියානා යළි පහළ මහළට ආවේ හොඳ හිතකින් නොවේ. ඇය ගැන කිසිදු හැඟීමක් නැති මිනිසෙකු සමග විවාහ වීමේ අභියෝගය දැන් ඈ ඉදිරියේ තිබේ.  පියා ගේ තීරණ බොහෝ දුරට ව්‍යාපාර වල අනාගතය සමග බැඳී තිබෙනා බව ඇය දනී.

“මට දුකයි”

වියානා සියපත් ට කීවා ය. 

“මාත් එක්ක මෙච්චර කල් ෆෝන් එකෙන් කතා කරල තියෙන්නෙත් එයා නෙවෙයි. අර අනිත් පිස්ස. මං හොඳටම රැවටිලා සියපත්”

සියපත් වියානා ගේ අතකින් අල්වා ගත්තා ය. දැන් දැන් ඒ රැවටීමේ කෙළවරක තමන් ද සිටිනා බව හිතන්නටවත් ඇය නො කැමති වූවා ය. වියානා පාමුල සියල්ල තබා නික්ම යන්නට ඇයට පුළුවන. නමුත් සදාතන ඇගේ හදවතට බරකි.

“මං අද මෙහෙ ඉන්නව කියල අම්මිට කිව්වෙ. ඒත් මට ඉන්න බෑ වගේ. අවුල් අප්ප…”

“අනේ…එහෙම හිතන්නෙපා. හැම දෙයක්ම හොඳට වෙයි. අක්ක කිව්ව වගේ හිත කලබල කර ගන්න එපා”

ආයේ කිසි දාක කහවණුගොඩ මන්දීරේ හතර මායිමේ පස් නො පාගන්නට සියපත් සිතුවා ය. ඇය වාගේ ම ගෑනු ළමයෙකු ගේ පපුවට වෙඩි බෙහෙත් බැඳ සදාතන ගේ නෙතු අස රසඳුණක් වෙන්නට ඇයට නුපුළුවන.

“මං අද ඔයා එක්ක එන්නද…ඔයාගෙ ගෙදර…”

එය අහිංසක ඉල්ලීමකි. වියානා ගේ ඇස් වල බැගෑපත් බවක් විය. 

“අනේ…ඒක හරි දුප්පත් ගෙයක්. කිසිම පහසුකමක් නැති. ඔයා වගේ සැපට හැදුණ ගෑනු ළමයෙක්ට විනාඩි පහක්වත් එහෙ ඉන්න පුළුවන් වෙන්නෑ වියානා”

“ඒත් ඔයා ළඟ මට මොකද්දෝ සනීපයක් දැනෙනව. ඔයාගෙ අතක් අල්ල ගත්තහම පුදුම හයියක් දැනෙනව. මට මේ දේවල් ගැන කතා කරන්න ඕනෙ සියපත්. හිතන්න ඕනෙ. මට ඔයා එක්ක එන්න දෙන්න…ප්ලීස්…”

සිය අහිංසක හා දුප්පත් ජීවිතය මත්තේ ඉරණම මේ කරනා සෙල්ලම කුමක් දැයි සියපත් දන්නේ නැත. නමුත් පළා යා නො හැකි ලෙසට ඇය ද දැන් මේ පඹ ගාලේ පැටලී තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles