” ඔයා කවදාවත් ඔයාගේ පවුලේ අයව හොයන්න ට්‍රයි කරේ නැද්ද ? ”
ධීර ඇසූ පැනය හමුවේ තමා ගොළු වූ අයුරු තාදී ට සිහි වූයේ හවස නිවසට එන අතරතුරය.නිවාස සංකීර්ණය වෙත පැමිණෙද්දී දැනෙන තනිකම පහුගිය අවුරුදු විසි අට පුරාවටම දැනුනු එකක් වුවත් තාදී මේ වන විට උන්නේ එය දරා ගතහැකි වයසකය.
තම දෙමව්පියන් සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවුනත් පසුගිය කාලය පුරාවටම තාදී ඒ සඳහා උත්සාහයක් හෝ දැරුවේ නැත. ඒ දෙමව්පියන් කෙරෙහි ඇති අනාදරය නිසා නොව ඔවුන් තමාව ළමා නිවාසයකට භාරදී පැතූ ජීවිතය එලෙසින්ම ගත කරනවා යැයි සිතූ නිසාය.
” උඹට පුළුවන්නේ මචන් ඉතින් ඒකිට පේරන්ට්ස්ලා හොයාගන්න උදව් කරන්න ? “
ධීර නිවසේ පිහිනුම් තටාකය අසලට වී මත්පැන් බිඳක් තොල ගාමින් ආයුශ් සමඟ කතාවට වැටුණේ ඒ මොහොතේ ගජනායක යුවළ නිවසේ නොසිටි නිසාය.
” මං හිතන්නේ තාදී කැමති නැහැ ඒක කරන්න. මට ඒක එයාගේ කතාවෙන් තේරුණා “
” මොන ළමයද මචං අකමැති තමන්ගේ අම්මයි තාත්තයි කවුද කියලා දැන ගන්න ? අනික කෙල්ලෙක් ? ”
ආයුශ් අසන්නේ ඇත්තය. එහෙත් තාදී සිටින්නේ කෙදිනක හෝ දෙමව්පියන් තමා සොයා එන තුරුය. සමහර විට ඇය නොකියනා කුමක් හෝ යමක් ඇගේ සිතෙහි ඇති බව ධීරට සිතුනි.
” මොනාද උඹ කල්පනා කරන්නේ ? ”
ධීර ගේ නිහඬතාවය නිසාම ආයුශ් ඇසුවේය.
” තාදී දැන් ඔය ඉන්න ජීවිතේට හුරු වෙලා ඉන්නේ. ඒ නිසා එයා කැමති නැතුව ඇති එයාව ළමා නිවාසෙක දාලා ගිය අම්මයි තාත්තයි හොය හොය කරදර වෙන්න. ඒත් එයාලා තාදිව හොයාගෙන එන එක නම් වෙනම කතාවක් ”
” ඔව් හැබැයි. දැන් ඉතින් හොයන් ආවා කියලා ඇති වැඩකුත් නෑනේ බං. ඒ කෙල්ල ලයිෆ් එකේ ගොඩක් දුර ඉස්සරහට ඇවිත් ඉවරනේ. දැන් ඉතින් අම්මයි තාත්තයි හොයාගත්තා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ ”
තාදී මහා හයියක් ඇති කෙල්ලක බව ධීරට සිතුනේ ආයුශ් එසේ කී විටය. ළමා නිවාසයක හැදුන වැඩුණ තරුණියකට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර දෙපයින් නැගී සිටීම එතරම් පහසු කාරණාවක් නොවේ. නමුත් තාදී මේ වන විට ජීවිතයේ බොහෝ දෑ ලබා ගෙන තිබේ. අඩුවකට කියා පෙනෙන්නට ඇත්තේ දෙමව්පියන් ඇයව හැර යාම පමණක් බව ධීර සිතුවේය.
රෑ කෑමට එළවළු කිහිපයක් තම්බා ආහාරයට ගත් තාදී සඳළුතලයට පැමිණියේ තව පැයකට දෙකකට වත් නින්ද තමා කෙරෙහි නොපැමිණෙන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය. දුරකථනය නාද වූයේ ඔය අතරය.
ඇමතුම පැමිණි අංකය ධීර ගේ බව තාදී දැන උන්නාය. ඒ , දුරකථනයේ ඔහුගේ අංකය කලින්ම සටහන් කරගෙන තිබුණු නිසාය. එහෙත් ඔහු මේ තමාව දුරකථනයෙන් අමතන්නේ ප්‍රථම වතාවට ය.
” තාදී ”
” ධීර ”
” නිදි නැද්ද තාදී ? ”
ධීර ඇසුවේ ඒ පැනය දිනපතාම තාදීගෙන් අසනා ආකාරයක තරම් හුරුපුරුදු බවකිනි.
” මං දැම්ම නිදාගන්නේ නැහැ ධීර. ඔයා අරගත්තේ මොකක් හරි හදිස්සියකටද ? ”
” හදිසියක් නම් විතරද ඔයාට කෝල් කරන්න පුළුවන් ? ”
” අනේ නෑ. මං එහෙම හිතල ඇහුවාා නෙවෙයි”
” නෑ තාදී. දැන් තමයි ආයුශ් අපේ ගෙදර ඉඳලා ගියේ ”
තාදී දුරකතනය දෙස බැලුවාය. වෙලාව රාත්‍රී දොළහට ආසන්නය.
” බිව්වා නේද ?”
තාදී ඇසුවේ නිකමට ය. ධීර ගේ කතා බහේ වෙනස ඇය ඒ වන විටත් හැඳින ගෙන උන්නාය.
” ඔව්. ටිකක් ”
” මිසිස් ගජනායක ගෙදර නැද්ද ? ”
” අම්මලා function එකකට ගිහින් තාම ආවේ නෑ. Servants ලත් නිදි මං හිතන්නේ ”
ඒවා වැඩකට ඇති කතා නොවේ. එහෙත් ධීර ට ඒවා තාදී සමග බෙදාගන්නට වුවමනා වූයේ හේතුවක් නැතුවම ය.
” තාදී මට ඔයා ගැන හරි දුකයි. මං ඔයාට ඒකයි කෝල් කලේ ”
තමා ගැන තමාවත් දුක් නොවන කාලයක ධීර තමා ගැන දුක් වන්නේ කුමකටදැයි තාදී නිහඬවම සිතුවාය.
” ඔයා අහගෙනද ඉන්නේ තාදී ? ”
තාදී ගේ නිහඬ බව නිසාම ධීර ආයෙම ඇසුවේය.
” අහගෙන ඉන්නේ ධීර. කියන්න ”
” මට මගේ ජීවිතේ ඕන තරම් මිනිස්සු හම්බවෙලා තියෙනවා. ඒත් ඔයා වගේ කෙනෙක් මට හම්බවුණේ පළවෙනි පාරට “
ධීර කියාගෙන ගියේය.
” මං වගේ කෙනෙක් කිව්වේ ? ”
” ඔයා වගේ හයියක් තියෙන කෙල්ලෙක් ”
” හ්ම් ”
” ඔයා හරියට අපේ අම්මා වගේ. මගේ අම්මත් පුදුම හයියක් තියෙන මනුස්සයෙක්. මොකද අපේ තාත්තත් එක්ක ඉන්න එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. එයා කියන විදිහට , එයාගේ නීති වලට යට වෙලා , වෙලාවට කලාවට අපි වැඩ කරන්න ඕනේ.ඒකට පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගෙදර අපි ඉඳලා ඉවරයි ”
ධීර කියනා ආකාරයට ඔහු ගේ පියා වැනි එතරම් වත් පොහොසත්කම් ඇති මිනිසෙකු එකත් එකටම ගාම්භීර සහ බලපුළුවන්කාරයෙකු යැයි තාදී සිතුවා ය. නමුත් ධීර ට ඇත්තේ ජයමිණි ගජනායක ගේ ගතිගුණ වෙන්නට ඇතැයි තාදී අනුමාන කළාය.
” ඔයා ආයෙම සද්ද නැති වුණා ”
” ඉතින් මං අහගෙන ඉන්නේ ධීර ”
” ඔයාට මං මේ වෙලාවේ කතා කරන එක කරදරයක්ද තාදී ”
ධීර ඇසුවේ බැරිම තැනය. ඇත්තටම මෙය කෙල්ලෙකුට කතා කරන්න හොඳ වෙලාවක් නොවේ යැයි ධීර ට සිතුනේ තාදීගේ නිහඬ බව හමුවේය.
” අනේ මට කිසි කරදරයක් නෑ, මං ඔයා කියන එක අහගෙන හිටියේ ධීර ”
” කෙල්ලෙක් වෙන්න ඕනෙ ඔයා වගේ තාදී “
ධීර මේ කතා කරන්නෙ මත් වූ වෙලාවකය. කියනා කිසි දෙයක් ඕනාවට වඩා ඔළුවට ගත යුතු නැතැයි තාදී සිතුවේ ඒ නිසාය.
” මං වගේ කිව්වේ ? ”
” කවුරුත්ම නැතුව තමන්ගෙ දෙපයින් නැගිටින්න , මේ ලෝකේ ඉන්න නපුරු මිනිස්සු එක්ක ඉහ ගහගෙන ඉන්න හැම කෙනාටම බෑ. වැඩිය ඕන්නෑ. මේ මං දිහා බලන්න. මම සල්ලි හම්බ කරන්න පටන් ගත්තෙත් මේ ඊයේ පෙරේදා. ඒකත් මගේ තාත්තගේ බිස්නස් එකට ජොයින් වෙලා. ඒ නැතුව ඔයා වගේ තමන්ගේම බිස්නස් එකකින් නෙමෙයි . එහෙම බැලුවම මනුස්සයෙක් අතින් ඔයා මාරම තැනක ඉන්නවා ”
” ඉතින් ඔයාට පුළුවන්නේ තාත්තා වගේම බිස්නස් එකක් පටන් ගන්න “
” එහෙම කරන්න තරං මං හයිය මනුස්සයෙක් නෙමෙයි තාදී . ඔයාට මේ පේන මනුස්සයාට වඩා මං ගොඩක් වෙනස් ”
” ඒ උනාට ඔයාගේ තාත්තට පුළුවන් නම් ඔයාට බැරි වෙන්න විදිහක් නැහැ ධීර. ඉස්සෙල්ලා ඔයා තාත්තගේ බිස්නස් එක දියුණු කරන්න පුළුවන් හැමදේම කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාගෙම කියලා දෙයක් පටන් ගන්න. අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බැහැල බලන්නම වෙනවා කියනවනේ ”
තාදී මේ පෙන්වන්නේ තමාගේ ජීවිතය ගෙන යා යුතු පාර බව ධීර සිතන්නට පටන් ගත්තේ දුරකථන ඇමතුම අවසන් කළ පසුය. තමන්ගේ මව , පියා පසුපස හිඳිමින් නිහඬවම කරන්නේද එවැන්නක් ය. එහෙව් ධෛර්යයක් තමාට දෙන්නට මේ තාක් කිසිවෙකුට බැරි වූ කල තාදී යනු ඇගේ ජීවිතයේ සිටින සියල්ලන්ගේම ජීවිත එළිය කරන පහනක් බඳු යැයි සිතමින් ධීර යළිදු දුරකථනය අතට ගත්තේය.
” කියපං ධීර, මොකද බං ? ”
ආයුශ් අසන්නේ නිදිබරවය.
” මට උඹට කියන්න දෙයක් තියෙනවා ”