ඔබ දකින තුරා 34

අමාරසී ගේ ඇස් රතු වී තිබිණි. අම්මා ට කඳුළු නො පෙනෙනු වස් මූණ තදින් පිස දා ගෙන ගෙදරට ගියාට, ඇස් පොඩි කිරීමත් හැඬීමත් නිසා ඇති වූ රත් පැහැය නිර්මලා ගෙන් සැඟවිය හැකි වූයේ නැත. කිසිත් ප්‍රශ්න කළ යුතු ද නැත්ද කියා ඇය හුඟක් සිතුවා ය. අන්තිමට,

“මුකුත් ප්‍රශ්නයක් එහෙම වුණාද..”

කියා ඇසුවා ය. අමාරසී කෘතිම සිනහවක් නගා ගෙන,

“මුකුත් නෑ”

කියා කීවා ය. සැබවින් මේ කඳුළු හෝ රිදුම් අම්මාටත් තාත්තා ටත් පෙන්වීම මහත් පාපයක් සේ ඇය ට දැනිණ. ඔවුන් දරුවන් තිදෙනෙකු තැනුවේ මහා ධනවතුන් වූ නිසා නොවේ. ධනවතුන් නොවූ නිසා ඒ දරුවන් බිහි වන්නට පෙර ම විනාශ කර දැමුවේ නැත. බිහි වූ පසු කාණු පල්ලෙහි ලූයේ ද නැත. රාජ්‍ය සේවයේ සොච්චම් ලිපිකාර වැටුපෙන්, අඩු පාඩු එමට වී ද හැකි උපරිමයෙන් ඒ දරුවන් තිදෙන  උස් මහත් කළහ. ඉගෙන ගන්නා උපරිමයට ඉගැන්වූහ. සිය බත් පතින් අඩු කොට හෝ දරුවන් ගේ කුස් පිරවූහ. එහෙව් මව් පියන්ට දරුවන් ගේ කඳුළු දකිනා එක පහසු නැත. ඒ අහිංසක මිනිසුන් ගේ හිත් වල තවත් ගිනි අවුළුවන්නේ නැතිව, තමන් දල්වා ගත් ගිනි නිවා ගත යුතු යයි අමාරසී සිතුවා ය.

දිසත් ට පැහැදිලි කොට දෙන්නට කාරණා බොහොමයක් ඔහු ගේ නීතීඥ මහතා ට විය.

“එයා මට ගැලපෙන්නෑ එයාට මං කැමති නෑ එයාව බැන්දෙ වැරදිලා වගේ හේතු උඩ දික්කසාදයක් ගන්න පුළුවන් කමක් ලංකාවෙ දික්කසාද නීතියෙ නෑ. දික්කසාදයක් ඉල්ලන්න පුළුවන් කාරණා තුනකිං එකකට යටත්ව විතරයි. ද්වේශ සහගත හැර යාම, අනාචාරයේ හැසිරීම, ලිංගික බෙලහීනතාව කියන කාරණා. අපිට තියෙන හේතු ඔය කාරණා තුනෙන් එකකට දා ගන්න එක තමයි කරන්න වෙන්නෙ. දැන් මෙතනදි ගෙදරිං ගිහිං තියෙන්නෙ ඔයානෙ. මෙහෙම දෙයක් තියෙනව. මේ කාරණේ යටතේම තියෙනව අනුමිත ද්වේශ සහගත ලෙස හැර යාම කියල එකක්. ඒ කියන්නෙ එක ගෙදරක ඉන්න ගමන් ම යන තැනට වැඩ සිද්ද කරන එක. හරියට නිකං නොකෙරෙන දීගෙ හෙවනැල්ලත් ඇදයි කියන්නෙ..පල නොකියා පළා බෙදනවා කියන්නෙ…ඔන්න ඔය පදනමෙං තමයි අපිට කේස් එකකට යන්න වෙන්නෙ. උඹ කියන විදිහට දිසත්..මේකි අනාචාරෙ හැසිරෙනව වුණත් ඒක පළවෙනි එකට වඩා ටිකක් කම්ප්ලිකේටඩ් වෙනව ඔප්පු කරන එක. මොකද ඒකට අපි ඔය අනාචාරයේ හැසිරෙන අනිත් පුද්ගලයවත් විත්තිකාරයෙක් විදිහට ඉදිරිපත් කරන්න ඕනෙ. නමුත් ඔය කියන විදිහෙ ඇමති පුත්‍රයෙක්නං පැටලිලා ඉන්නෙ…මං උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒව හෙණ කරදර වෙන වැඩ. ඒක නිසා අපි මේක මෙහෙම ගෙනියමු. කොහොමත් කසාද මිනිහට කන්න ටික තේ ටිකවත් හදල දුන්නෙ නැති…ක්ලබිං ගිහින් පාන්දර ගෙදර එන ගෑනියෙක් කියන්නෙ…ඒ ගෑනි කසාදෙ ප්‍රතික්ෂේප කරනව කියන එකනෙ”

දිසත් දිගු සුසුමක් හෙළුවේ ය. සාමාන්‍යයෙන් දික්කසාද නඩුවක දී විනිශ්චය කාන්තාවගේ පැත්ත ගැන වැඩි නැඹුරුවක් දක්වන බව ද නීතීඥවරයා කීවේ ය. ඔවුන් දික්කසාදයට එකඟ වුණොත් පහසු ය. එසේ නොවී ඔවුන් ද නඩු මගට පිවිසියොත් මේ නඩුව දිගු කලක් ඇදෙනු ඇත.

“හැබැයි නඩුව ඉවර වෙනකල් උඹට ඔය කෙල්ලව බඳින්නනං බෑ රජෝ. එහෙම වුණොත් උඹ ද්වී විවාහ කියන වැරැද්දට අහු වෙනව. කේෂිගෙ ලෝයර් ඒ ගැන ඒකිව දැනුවත් නොකර ඉන්නෙ නෑ”

දිසත් සිය නීතීඥ මිතුරා වෙතින් නික්ම ආවේ ළඟ පාතක විසඳුමක් නැතිව ය.

මිනිසුන් ප්‍රශ්න විසඳා ගැනීම කෙරේ දක්වන්නේ විරෝධයකි. කවර වේශයකින් හෝ ප්‍රශ්න, ගැටළු හෝ සිත් වේදනා පවතින්නේ වී නම් ඔවුන් කැමති ය. නැත්නම් ප්‍රශ්නයක් අලුතෙන් හොයා ගෙන හෝ සතුටු වීම මිනිස් ගතියයි.

කේෂි කාර්යාලය වෙත ආ බවත් ඇය ගීතානි ව හමු වී ඇති බවත් දිසත් දැන ගත්තේ එදා රාත්‍රියේ අමාරසී සමගින් දුරකතනයෙන් කතා කරත්දී ය. කාර්යාලයකට මෙහෙව් පුවතක් කියන්නේ කාලයකට රස විඳිත හැකි කට ගැස්මක් බව දිසත් දනී. නමුත් මේ විදිහේ ගැටළුවකට හේතු වන ස්ත්‍රිය හා පුරුෂයා අතරින් පිරිමියාට ලොකු පීඩනයක් එල්ල නො කිරීම ද මේ සමාජ ව්‍යූහයේ ලක්ෂණයකි. පිරිමින් ට ඕනෑ ම දෙයක් කළ හැක. මොනවා කළත් ඒ පිරිමිකම නිසා ය. කොලුකම නිසා ය. ගැහැනිය එසේ නොවේ. ඇය අශික්ෂිත ය. අවිනීත ය. ගල් ගසා මරා දැමීමට නියමිත වන්නී ය.

“ඔයාට එහෙනං ඔතන වැඩ කරන්න බැරි වෙයි අමා. මිනිස්සු ඔයාව අන්තිමටම මානසික ව වට්ටයි. ඔළුව උස්සන්න දෙන එකක් නෑ. කේෂි නොච්චර හොඳට රඟපානවද කියන එක මං දැන ගත්තෙත් එදා ඔයාගෙ බර්ත් ඩේ එක දවසෙ”

“මට මැනේජ් කර ගන්න පුළුවන්. මං හොඳින් දිසත්”

කොයි තරම් අපහසුවක් හිතට දැනුණ ද ආදරයේ දී ඒවා දරා ගැනීමේ නිසඟ ශක්තියක් ඉස්මතු වේ. එහි ආනුභාවයෙන් නින්දා අපවාද සයුරක් මැද වුව නො ගිලී එල්ලී සිටීමේ හැකියාවක් ඇති වේ. මිනිසුන් එය දකින්නේ ලැජ්ජා නැති කමක් හැටියට ය.

කාර්යාලය තුළ පැය කිහිපයකදී එම ආරංචිය තටු සලා ඉගිලී තිබිණි. හැම ඇසක් ම ඇය දෙස බලන්නේ අවඥාවකින් බව අමාරසී ට දැනුණේ ය. හිත හයිය කර ගන්නට හැදුවාට ඇය නිබඳ හිතින් කඩා වැටුණා ය. නිරන්තර දෑස් තෙත් වෙමින් තිබිණ.

“මොකද්ද මේ මේ කර ගත්තෙ”

කියා අනුකම්පා සහගත ව විමසූ ඇසක පවා වූයේ,

“හොඳ වැඩේ උඹට. අපිට තමයි ගණං උස්සගෙන හිටියෙ”

 වැනි කතාවකි. ඇතැම් පිරිමි ඇය ඕනෑ ම පුරුෂයෙකුට අවනත කර ගත හැකි ය වැනි හැඟීමකින් අමාරසී ගේ ශරීරය ස්පර්ශ කිරීමට පවා නිර්භය වී සිටියහ. ඔවුන් ගේ ඇස් වල වූයේ “දිසත්ට හොඳ නං ඇයි අපිට බැරි” වැනි කතාවකි.

එවන් අවස්ථාවක අමාරසී තදින් ඔවුන් ප්‍රතික්ෂේප වන සේ ප්‍රතිචාර දැක්වූවා ය. නමුත් ඔවුන් ගෙන් මිදුණු වහා ඇගේ ඇස් වලින් කඳුළක් ගිලිහිණි.

“මුං ඔක්කෝම ගෑනියෙක් පිරිමියෙක් දිහා ඇහැක් ඇරලවත් බලල නැති පියෝ උපාසක උපාසිකාවො. අර ගීතානි අම්මණ්ඩිට ළමයි පස් දෙනයි…පඩි පේළිය වගේ. ඒ වුණාට උන්දා කසාද මිනිහගෙ මූණවත් තාම හරියට දැකල නෑ. හම්මෝ…”

තරුෂි ගේ ඒ කතාවට දිලිනිට පමණක් නොව අමාරසී ට ද සිනහ නැගිණ.

“අනික ඔය උපාසක මහත්තුරු ටික ඉන්නව නේද…කසාද ගෑනිගෙං එහාට මෙතන රූප සුන්දරියක් හිටියත් බලන්නෑනෙ ඔවුං. ඒ තරං සාන්ත දාන්ත තීන්ත කූඩු. උන් දන්නෙත් නැතුව ඇති මේ ලස්සනට ඇඳල කරල ඉන්න ගෑනු කී දෙනෙක් දිහා උං බලන්න ඇද්ද හිතෙන් නිරුවත් කරලයි කියල. වෙන මිනිහෙක් ආදරේ කරනවයි කියල දැන ගත්තහම තමයි මේ මහත්තුරු නෝනල ටික කුලප්පු වෙන්නෙ”

“මාත් රසීට කියන්නෙ මේ හාල්පාරුවන්ගෙ බලු කතාවක් ඇහුණත් නෑහුණා වගේ ඉන්නව මිසක් කඳුළු පෙරන්න යන්න එපා. ටිකක් අමාරු වෙයි. ඒත් අපිට මේක දරා ගන්න අමාරුයි අපි දිය වෙලා යනව කියල දැනුණොත් මුං කරන්නෙ චප්පම කරල දාන්න බලන එක. අඩු ගානෙ අඬන්න ඕනනං කවුරුත් නැති තැන අඬන්න. මුන්ට පේන්න අඬන්නෙ නැතුව”

යෙහෙළියන් දෙදෙන ඈ දෙපස හිඳිමින් ඈ ශක්තිමත් නො කරන්නට අමාරසී මීටත් වඩා හිතින් ගරා වැටෙන්නට තිබිණ.

නිර්මලා නම් හිතුවේ මේ නරක කාලයක් ය කියා ය. පෙර ආත්ම භව වලදී කරන ලද අකුසල කර්ම ගෙවී යත්දී නින්දා අපහාස විඳ ගන්නට සිදු වන්නේ ය.

“ගිනි කන්දක් වුණත් පුපුරල ගියාට පස්සෙ ටික ටික නිවෙන්න ගන්නව නිර්මලා”

අජිත් ඉතා උපේක්ෂා සහගත තත්වයකට පරිවර්තනය වෙමින් සිටියේ ය. හිත් රිදුම් වලින් පදම් වෙත්දී හිතක් එසේ වන්නේ ය.

ඊට පස්සෙ මිනිස්සුන්ට එතන ගිනි කන්දක් තිබුණද කියලත් අමතකයි. කොහොමත් මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ කතා කරන්න තව දෙයක් හම්බ වෙනකල් විතරයි”

හැන්දෑවේ ගෙදර එත්දී මගදී හමු වූ අසල්වැසියෙකු කී කතා ගැන අජිත් නිර්මලා ට වුව නො කියා සිටියේ ය. ඒ අසල් වැසියා සිටියේ කඩයක් ඇතුළේ ය. අජිත් බස් එකෙන් බහිනවා දුටු හෙතෙම අත්පුඩියක් ගසා ඔහු නවතාගෙන, කඩයට ගිය සිය කාරියත් සම්පූර්ණ කර නො ගෙන දිව ආවේ ය.

“කොහොමද අනිල් ඉතිං…කාලෙකින් දැක්කෙ”

“ඒක නේන්නං. මං මේ අජිත්ව හම්බ වෙන්න ඕන කියලම හිටියෙ…මොකද්ද අජිත් මේ දුව කරගෙන තියෙන අපරාදෙ…”

ඒ කතාව එක්වන අජිත් ට වැටහුණේ ද නැත.

“අපරාදයක් කිව්වෙ අනිල්…”

“අනේ මං මේ අනුංගෙ ඕපදූප හොයනව කියල හිතන්න එපා. ඒත් මේක තව දුරටත් රහසක් නෙවෙයිනෙ. ගමේ හුඟක් අය මේක දන්නවනෙ. අජිත් ගෙ දුව බැඳපු හාදයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන කියල”

“අ..ආ..ඒක මේ… මාත් එක්ක හිතවත් කමටයි ඒ ළමය අපේ ගෙදර ආවෙ ගියේ. එයාගෙ වයිෆ් ඒක ගැන වැරදියට හිතල”

අජිත් යන්තමින් හෝ ලිස්සා යන්නට බැලුවේ ය. නමුත් එය පහසු කාරණාවක් වූයේ නැත.

“ඒ වුණාට දෙන්නගෙ සම්බන්දයක් තියෙනවලුනෙ දැන්. මොනා වුණත් රසී ළමය අපරාදෙ නම කැත කර ගත්තෙ. අතන ගෑනියෙක් හූල්ලනව සාප කරනවනෙ කොච්චර වුණත්…”

ලොකු අනුකම්පාවකින් සේ කතා කළා ට ඔහු ට උවමනා වී තිබුණේ රසී නම කැත කර ගත් කෙල්ලක බවත්, සාපරාධී ක්‍රියාවකට වග උත්තර කාරිය බවත් තමන්ට ඒත්තු ගැන්වීම බව  අජිත් නො දැන සිටියා නොවේ.

ඔහු ගෙන් ලොකු සුසුමක් ගිලිහිණි.

“ඇයි අජී…”

නිර්මලා මුදු ලෙස විමසුවා ය. නමුත් අජිත් ඇගේ මුහුණ දෙස වුව බැලුවා නොවේ.

“නෑ…”

“අනේ මන්දා. ඔයාගෙ බීමත් නතර වෙච්ච එකේ…මං හිනා වෙන්න හැදුව විතරයි…මේක අපි ඔක්කොමල එකතු වෙලා කරපු කරුමයක් වෙන්න ඇති”

“ඔයා කියන්නෙ දිසත් කරුමයක් කියලද..”

“නෑ දෙයියනේ. දිසතුත් එක්කම අපි ඔක්කොම ගැනයි මං කිව්වෙ. රසී වුණත් හිනා වෙන්න හැදුව විතරනෙ…”

“මොනා වුණත් දිසත් තාම දික්කසාද මිනිහෙක් නෙවෙයිනෙ. බැඳපු මිනිහෙක්…එතනදි…කොච්චර අහිංසක වුණත් රටේ ලෝකෙ උං අපේ කෙල්ලගෙ පැත්ත ගන්නෑ. ගන්නෙ අර ගෑනිගෙ පැත්ත. උසාවිය වුණත් එහෙමයි. කෙල්ලට ඉන්නෙ අපි දෙතුන් දෙනෙක් විතරයි නිර්මලා. ඒක නිසා අපි ඒකිගෙ හිත ගැන කල්පනාවෙං ඉන්න ඕනෙ. ලෝක අපවාද දරා ගන්න බැරි වෙන වෙලාවල මිනිස්සු දිවි නසා ගන්නත් පෙළඹෙනව”

රෝමය ගිනි ගත්දීත් නීරෝ වීණා වැයු බැව් කියවේ. නමුත් මේ ගින්න ඇවිලී ඇති වෙලාවේ එසේ කළ නො හැකි බව දිසත් දැන සිටියේ ය. ගින්න කෙතරම් දුරකට ඇවිල ගියේ ද යත් ආයතනයේ ඉහළ තනතුරු දක්වා එය මුවෙන් මුව පැතිර ගියේ ය. දිසත් ට පරිපාලන අංශයෙන් කැඳවීමක් කෙරිණ.

“අපිට  දිසත් ගෙ පරසල් ලයිෆ් එක කොහෙත්ම අදාල නෑ. අපි ඒවට ඉන්වෝල්ව් වෙන්නෙත් නෑ. ඒත් දෙන්නෙක් අතරෙ අෆෙයා එකක් ඇති වුණොත් එක තැනක වැඩ කරන්න බෑ කියන එක අපේ කම්පනි එකේ නීතියක් කියල දිසත් දන්නවනෙ. ඒක නිසා අපිට ඔය දෙන්නව බ්‍රාන්චස් දෙකකට දාන්න වෙනව. දිසත් ඔතනම ඉන්නවනං අපි ඒ ගර්ල්ව වෙන තැනකට ට්‍රාන්සර් කරනව. එහෙම නැත්තං දිසත්ට හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන්”

එය ආයතනයේ නීති පද්ධතියට අදාල කාරණයකි.  ඊට එකඟ වන්නට දිසත් සේ ම අමාරසී ද බැඳී සිටී. මේ වෙලාවේ වෙනත් ශාකාවකට මාරු වී යෙහෙළින් ගෙන් ද දුරස් වන්නට වන එක අමාරසී ට දඬුවමක් සේ වන බව දිසත් ට වහා වැටහිණ.

“මං රෙසිග්නේශන්ස් දෙන්න ලෑස්තියි”

ඔහු ක්ෂණික ව තීරණයක් ගත්තේ ය. එහෙම කළ හැකි හේතුවක් ද තිබිණි. ඒ වෙත්දී ත් වෙනත් ආයතනයකින් දිසත් ව ඉහළ වැටුපකට කැඳවා තිබිණි. නමුත් ඔහු ඒ ගැන තීරණයක් ගත නොහැකි ව ටික දවසක් තිස්සේ කල්පනා කරමින් සිටියේ ය. කෙසේ වෙතත් මේ ආරංචිය දැන ගත් අමාරසී කොට්ටයේ මූණ ඔබා ගෙන ඉකි බිඳිමින් හඬන්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles