සුහදිනී -13

නපුරු සිහින නොදකින රාත්‍රීන් ගණනාවක් පසු කරද්දී සැනසීමෙන් ජීවත් වීමේ සතුට සකී හදවත පුරා විඳ ගන්නට විය.තාත්තා රෝගයක් සමඟ සටන් වදිමින් සිටියි.එහෙත් ඇය දැන් ඒ වේදනාවට හුරුපුරුදු ය.ඔහුට සකී ගැන සැනසීමක් අත් විඳින්නට ඉඩ හරින්නට ඇයට උවමනා ය.

“ඔයාට හොඳ කෙනෙක් ඔය කාලෙම හොයා ගන්න සුදු පුතේ.කැම්පස් එකේ ඉන්නවනෙ හොඳ ළමයි.”

අම්මා එසේ කියද්දී සකී හිනැහුණා ය.ඇයගේ ආදරය පතන්නන් සරසවි බිම නැතිවාම නොවේ.

“අපේ අනිත් බාගේ ලෝකේ කොහේ හරිම ජීවත් වෙනවා.එයා හොයා නොගෙන කාටහරි ආදරේ කරාට ආදරේක තියන සැනසිල්ල විඳගන්න අපිට අමාරුයි.”

සකී ඒ කතාව පැවසුවේ අම්මාට නොවේ,දෙමිතුරියන් ට ය.නමුත් ඔවැනි කාරණා ගැන ගැඹුරින් බලන්නට අකමැති රන්මිණි එය නිර්දය ලෙස බැහැර කළා ය.

“අනේ විකාරනෙ බං.එහෙම අනිත් බාග හොයන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද?”

ඒ අතරම ඇයට වෙනත් ප්‍රශ්නයක් මතුව ආයේ ය.එවැනි අර්ධයක් සොයමින් වෙහෙසෙන සකී කොහේවත් නැති ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනුවෙන් පෙනී සිටීම සාධාරණ නොවේ.අනිත් අර්ධය කෝප ගන්වන්නට එයම ප්‍රමාණවත් ය.සකී මන්දහාසයක් නැඟුවා මිස එයට කිසිම පිළිවදනක් නොදුන්නා ය. 

“නිම්නා කියන ට්වින් ෆ්ලේම් එකත් ඒ වගේ කතාවක්.”

සකී පැවසුවේ ඒ වචන කිහිපය පමණකි.ආදරය වැනි කාරණා තර්ක ගොඩ නඟන්නට ඇති කාරණා නොවේ.

“ඔයා අපිට හොරා චැට් කරලා අරක මේක කරලා ඔය අහස් එක්ක යාළු වෙනව එහෙම නෙවෙයි.”

රන්මිණි ඒ අතරම තහනම් නියෝගයක් කළා ය.සියුම්ට චිත්‍ර ලබා දීමෙන් පසු ඔහු අහස්ව මුණ ගැසෙන්නට සකීට කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කළ බව කනින් කොනින් ආරංචි පැතිර යද්දී එය එසේ වන්නට හේතුව ගැන රන්මිණි සහ නිම්නා කතා කළ අවස්ථා බොහෝ ය.සකී එසේ කරන්නට හේතුව ඔවුන්‍ට පුදුමයක් විය.

“ඔයා ජනප්‍රිය කෙනෙක් එක්ක යාලුවෙනවට තියන බය නිසා මිසක් ඉරිසියාවකට නම් නෙවෙයි කිව්වේ.”

රන්මිණි එය පහදන්නට වූවා ය.ජනප්‍රිය තරුණයෙකුට ආදරය කිරීම වනාහි දැලි පිහියෙන් කිරි කන අන්දමේ කාරණාවක් බව ඇය අනතුරුව කියා සිටියා ය.කිනම් මොහොතක අත හරින්නට සිදුවේදැයි,අහිමිව යාදැයි බියෙන් ආදරය කිරීම පහසු අත්දැකීමක් නොවේ.

“ජනප්‍රිය වුණත් ඒ ඉන්නෙ මනුස්සයෙක්නෙ.සම්බන්ධයකට වංක වෙන එක අවංක වෙන එක ඕන මනුස්සයෙක්ට කරන්න පුලුවන් දෙයක්.”

සකී එසේ සැහැල්ලුවෙන් පැවසීම මිතුරියන්‍ට ගැටලුවකි.පොදු සමාජයේ පවතින මතය සැබෑවක් බව සිතන්නට ඔවුන්ට ඕනෑ විය.ජනප්‍රිය වීම කියන්නේ අන් අය රැවටීම වෙනුවෙන් ලැබෙන බලපත්‍රයක් බව කියන්නට බොහෝ අය කැමති ය.

“අපේ කැම්පස් එකේ කොච්චරක්නම් ඉන්නවද ඩබල් ගේම් ගහපු කොල්ලො.ඒ ගොල්ලො ජනප්‍රිය ද? වංක වෙන එක අවංක වෙන එක තමන්ගේ හිතිවිලි එක්ක ගොඩ නැගෙන දෙයක්.ඒ නිසා අපි වැඩිය නොදන්න මනුස්සයෙක්ට චරිත සහතික නොලියා ඉමු.”

සකීගේ ඒ කතාව පිළිගන්නට නොකැමති වුණත් දෙමිතුරියෝ නිහඬ වූහ.ඔවුන් සිතන්නේ සකී සිටින්නේ අහස් කෙරෙහි උමතු ප්‍රේමයකින් බව ය.එසේ සිතමින් ඇය නෙළා ගත නොහැකි සිහිනයකට උමතුවෙන් පසු වීම ගැන විස්සෝප වීම ඔවුන්ගේ ස්වභාවය ය.

ආත්මීය සහකරුවෙකු යන සංකල්පය විශ්වාස කරන්නට සකී කැමති ය.අහස් ජනප්‍රිය තරුණයෙකු නොවී සාමාන්‍ය තරුණයෙකු වූවානම් මේ සිහින ගැන ඔහු සමඟ බොහෝ වෙලාවක් කතා කරන්නට පවා තිබිණ.එක් අතකට මේවා මෙසේ සිදුවන්නේ ම ඔහු ජනප්‍රිය තරුණයෙකු වීම නිසා නොවේදැයි ඇය ඉන් අනතුරුව සිතුවා ය.

 “මට ආයේ ඔයාගෙන් චිත්‍ර ඕනෑ නැති වෙයිද මන්ද.”

ඒ පණිවිඩය පැමිණ තිබුණේ රාත්‍රියක ය.අහස් ඒ පණිවිඩයට අමුණා තිබූ චිත්‍රයක සිතුවම නොදුටුවානම් “ආත්මීය සහකරු” යන සංකල්පය අමතක කරන්නට සකීට පහසු වන්නට පවා තිබිණ.ඒ ත්‍යාගයක් නොව තමන්ගේ නිර්මාණයක් බව අහස් ලියා එවූයේ ඇය වැරදි අවබෝධයක් ලබා ගන්නට පෙර ය.

ඔහු සිතුවමක් ඇඳ තිබිණ!

පැහැදිලි නිල් අහසක් පාමුල කහ පැහැති සූරියකාන්ත මල් පිපී තිබිණ!

“මම ඉස්කෝලේ කාලේ දක්ෂ විදියට චිත්‍ර අඳිනව කියලා හැමෝම කිව්ව.ක්‍රිකට් ජීවිතේ වුණාට පස්සේ නම් චිත්‍ර අඳින්න අමතක වුණා.ඒ වුණාට පහුගිය දවස්වල ටිකක් රිලැක්ස් වෙන්න උවමනා නිසා මට චිත්‍රයක් අඳින්න ඕන වුණා.”

සකී ඒ කතාවට පැහැදිලි සහ සුහද පිළිතුරක් යැවුවා ය.ඔහුට සමීප වන්නට ඕනෑවටත් වඩා අවස්ථාව ලැබී තියේ.එහෙත් එය ප්‍රයෝජනයට ගන්නට ඇයට සිතක් නොවේ.ජනප්‍රිය තරුණයන් මෙසේ සාමාන්‍ය තරුණියන් කතාබහට අල්ලා ගන්නා බවත් ඉන්පසු ඇසෙන කතා එතරම් යහපත් නැති බවත් කවුරුන් හෝ කියන්නට ඉඩ තිබෙන බව සකී දනියි.එනිසා ම ඇය මේ කතාව මිතුරියන්ට නොකියන්නට සිතුවා ය 

එහෙත් ඔහු සමඟ එක්ව සිතුවමක් අඳින දිනයක් වෙනුවෙන් සිහින දකින්නට ඇය කැමති වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles