මල්සර හී සර – 37

0
2647

සමුද්‍ර ආපහු වතාවක් තමන්ව බලන්න ඉස්පිරිතාලෙට එද්දි සප්තමී උන්නේ ඇඳ උඩ වාඩිවෙලා තමන්ගෙ ඉස්සරහ තියෙන කොට තාප්පෙන් එහා පේන බිල්ඩින් එක දිහා බලාගෙන කල්පනා කරන ගමන්. හැප්පිච්ච, රිදිච්ච, තැලිච්ච තැන්වල වේදනාව දැනෙන එක නතර කරන්න බැරි බව දන්නව උනත් ඒක ගැනම හිතද්දි ඒ වේදනාව තව තව වැඩිපුර දැනෙන හන්ද තමයි සප්තමී එළියෙ පේන අනිත් බිල්ඩින් එක දිහා බලාගෙන එක එක ඒව කල්පනා කර කර උන්නෙ. 

අන්න ඒ වෙලාවෙම වගේ තමයි සමුද්‍ර ඇස්වල ලොකු කලබලයක් ඇඳගෙන උනත් හීන් සැරේ පියවර තියලා තමන්ගෙ ඇඳ දිහාවට ඇවිදගෙන එනවා සප්තමී දැක්කේ. සමුද්‍රගෙ ඇස්වල මොන විදියෙ කලබලයක්, ප්‍රශ්නාර්තයක් ඇඳිල තිබ්බත් ඒ විත්තියක් තමන්ට නොකියන්න වගේ බොරුවට ඇඳගත්ත හිනාවක් එයාගෙ දෙතොල් අස්සෙ ඇඳිල තියෙනවා සප්තමී දැක්කා. 

“තාම ඇඟට අමාරුද?” කියලා සමුද්‍ර අහද්දිත් ඔලුව වනවා නෑ කියල කියද්දි උනත් සප්තමී උත්සහ කලේ සමුද්‍රගෙ ඒ ඇස් අස්සෙ ඇඳිලා තිබිච්ච ප්‍රශ්නාර්තෙ මොකද්ද කියල තේරුම් ගන්න.සමුද්‍ර ඒක තමන්ට නොකිය ඉන්නෙ ඇයි කියල තේරුම්ගන්න.

“ඔයා මොනාහරි මගෙන් හංගනවද?” කියල සප්තමී ඇහුවේ ඒ ප්‍රශ්නාර්තෙ මොකද්ද කියල හොයන්න ගිහින් හිත අන්තිම බිංදුවටම මහන්සි වෙච්ච හන්දා. 

“ඇයි එහෙම දෙයක් ඇහුවෙ?” කියල සමුද්‍ර ඇහුවෙ ඇත්තටම තමන් හිතේ දෙයක් හංගගෙන ඉන්න විත්තිය දන්න හන්දම නෙවෙයි. ඒක සප්තමීට තේරුනේ කොහොමද කියන එක හිතාගන්න බැරුව.

“ඔයා මොනවහරි හංගන්න හදන විත්තිය මට පේනවා”

“කොහෙන්ද පේන්නෙ?”

“ඔයාගෙ ඇස් දෙකෙන්”

“ආහ් ඒ කියන්නෙ ළමයා දැන් මගේ ඇස් දෙක කියවන ලෙවල් එකටම දියුණු වෙලා නේද?” කියන ගමන් සමුද්‍ර අර ලස්සන හිනාව ආයෙම පාරක් මූණෙ ඇඳගෙන එද්දි වෙච්ච හැමදේම වගේම ඇඟපතේ අමාරුකම් තප්පර ගාණකට අමතක කරලා හිනාවෙන්න සප්තමීටත් පුලුවන් උනා. ඒත් සමුද්‍ර උන්නේ එලියෙන් හිනාවෙන ගමන් හිත අස්සෙන් පිච්චි පිච්චි කියල දැනගෙන උන්නේ සමුද්‍රම විතරයි. කලින්දවසෙ සුමල්ට මේ වෙච්ච දේ ගැන හොයල බලන්න කියල කිව්වට පස්සෙ “ඔයාට මතකද මොකද්ද උනේ කියලා?”  සප්තමීගෙන් ඇහුවම සප්තමී දුන්න උත්තරේ සමුද්‍රට අමතක වෙලා තිබ්බෙ නෑ.

“අනේ මන්දා මට මෙහෙම හිතෙන්නෙ ඇයි කියලා. ඒ උනාට ඒ බයික් එකේ ආව ළමයා මාව ෆලෝ කරාද කියලත් මට හිතුනා” කියල සප්තමී කියද්දි එයා එහෙම දෙයක් කියන්නෙ ඇයි කියන එක සමුද්‍රට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ.

“ඇයි එහෙම කිව්වේ?”

“නෑ මම එහෙම කිව්වේ, අර අපි එදා ශූටින් ඉවර වෙලා එතන ඉඳලා චේන්ජ් කරගෙන එද්දි මට නිකන් මතකයි මම ලාවට වගේ ඒ බෝයි ඇඳන් උන්නු ජැකට් එක දැක්කා කියලා. ඊටපස්සෙ එයා කඩේ ළඟඳි මං දිහාවට බයික් එකේ එද්දිත් මට ඒ ජැකට් එක හොඳට පෙනුනා”

“එකම වගේ ජැකට් එකක් මිනිස්සු දෙන්නෙක් ඇඳන් ඉන්න එක නෝමල් නේද?”

“ඔව් ඔව් මං නෑ කියන්නෙ නෑ. ඒ උනාට වැස්සක් පේන මානෙක නැති කාලයක් කියල දන්න මේ වගේ මාසෙක හොඳටම රස්නෙ වෙලාවක මනුස්සයෙක් බයික් එකක යද්දි උනත් මුලු ඇඟම වැහෙන විදියෙ රේන් කෝට් ජැකට් එකක් දාන් ඉන්නවා කියන එක පොඩ්ඩක් අමුතුයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?” කියල එවෙලෙ සප්තමී කියද්දි ඒකට දෙන්න උත්තරයක් නැති හන්දා තමන් සද්ද නැතුව උන්නට පස්සෙ සුමල් එක්කම ගිහින් සිද්දිය වෙච්ච තැන්වල සීසීටිවි එහෙම බලද්දි සමුද්‍රට මේ හැමදේම හොඳට ප්ලෑන් කරපු දෙයක් වෙන්න පුලුවන් කියන එක ආයෙ වතාවක් හිතුනා.

“සප්තමී කිව්වා මචං එයාට මතකයි කියලා පාර පැනලා කහ ඉරෙන් එහා පැත්තෙ තිබිච්ච කඩේට එනවා ෆෝන් කාඩ් එකක් ගන්න” කියල සමුද්‍ර කිව්වේ සීසීටිව් ෆුටේජස් ටික ලෝඩ් වෙන අතරවාරේ. සීසීටිවි ෆුටේජ් එකක් ලෝඩ් උනෙත් සප්තමී පාර පනින්න තව මිනිස්සු කීප දෙනෙක් එක්කම බලාගෙන ඉන්නවත් සමුද්‍ර වගේම සුමල් දෙන්නම දැක්කා. 

“ඕක තව පොඩ්ඩක් අපි පස්සට දාලා බලමු” කියල සමුද්‍ර කිව්ව විදියට තමයි කඩේ අයිති මනුස්සයා සීසීටිවි ෆුටේජ් එකේ ආයෙ පොඩ්ඩක් පස්සට ගත්තේ. සප්තමී පාරෙ එක පැත්තක ඉඳල කහ ඉඩ තියෙන දිහාවට ඇවිදගෙන එනවත්, ඒ පස්සෙන්ම වගේ කිසිම වාහන තදබදයක් නැති වෙලාවක කලු පාට රේන් කෝට් එකක් පොරවගත්ත, ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගත්ත මනුස්සයෙක් බයික් එක හරිම හිමින් පැදගෙන එනවත් ඒ වීඩියෝ එකේ හොඳට පේන්න තිබ්බා. 

“නම්බර් ප්ලේට් එකක් ගලවපු බයික් එකක් කියන්නෙම සීන් කෝන් එකක් නේද?” කියල බැල්මකින් සුමල් තමන් දිහා බලද්දි සමුද්‍ර සුමල් දිහාව බැලුවෙ ඒ කතාවට එකඟ වෙන්න වගේ. 

“දැන් නෙ මහත්තය මාත් දැක්කෙ මේක නම්බර් ප්ලේට් නැති වාහනයක් විත්තිය” කියල කඩේ මනුස්සය කියද්දි සුමල්ටවත් සමුද්‍රටවත් කියන්න දෙයක් එතන තිබ්බෙ නෑ. වීඩියෝ එකේ හීන් සැරේ බයික් එක පැදන් ආව මනුස්සය සප්තමී කහ ඉර පනින වෙලාවක් එන කම් මග රැක රැක උන්නට සප්තමී කහ ඉර පැන්නෙත් තව මිනිස්සු කීප දෙනෙක් එක්කම හන්දා ඒක කරගන්න බෑ කියල තේරිච්ච විදියට බයික් එක රේස් කර කර ඉන්නවත් ඒ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා තිබ්බා. සප්තමී පාර පැනලා කහ ඉරෙන් එහා පැත්තෙ කමියුනිකේශන් එකට එනවත්, මෙච්චර වෙලා බලන් උන්නු මනුස්සය සප්තමී දිහාවට එක එල්ලේ බයික් එක රේස් කරන් එනවත් දැක්කට පස්සෙ ඉතුරු ටික බලන්න විදියක් තිබ්බෙ නැති හන්දම සමුද්‍ර ඇස් දෙක තද කරල පියාගත්තා.

“මෙතන මොකක් හරි අපි දන්නෙ නැති සීන් එකක් තියෙනව මචං. නම්බර් ප්ලේට් නැති බයික් එකක් ෆුල් ෆේස් හෙල්මට් දාගෙන මෙහෙම ඇවිල්ල සප්තමීව හප්පනව කියන එකම වෙල් ප්ලෑන්ඩ් වැඩක් කියන එක මම ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?” කියල සුමල් කියද්දි “මං හිතන්නෙ මහත්තය පොලිසියට යන එක තමා හොඳම,මං මේ වීඩියෝ එක කොපි කරල දෙන්නම්” කියල කඩේ මනුස්සය කියද්දිත් සමුද්‍ර උන්නෙ මෙහෙම දෙයක් කරන්න තරම් සප්තමීට ඉන්න තරහා කාරයො කවුරු වෙන්න පුලුවන්ද කියන එක කල්පනා කරන එක.

“මෙච්චර දෙයක් උනාට පස්සෙත් ඒ බයික් කාරයා කිසිම පැනික් වීමක් නැතුව එතනින් යන එකෙන්ම පේනවා නේද මේක ප්ලෑන්ඩ් කියලා” සුමල් අහද්දිත් සමුද්‍ර කලේ ඔලුව වනලා ඒක පිලිගත්ත එක. 

ඒත් සුමල්ගෙ වගේම සමුද්‍රගෙ හිතෙත් තිබ්බෙ එකම එක ලොකුම ලොකු ප්‍රශ්නයක්. ඒ “සප්තමී එක්ක මෙච්චර තරහකින් ඉන්න කෙනා කවුද?” කියන එක.

“උඹේ හිතේ කවුරුහරි ගැන සැකයක් තියෙනවද මෙ වගේ දෙයක් සප්තමීට කරන්න?” කියල සුමල් අහද්දිත් සමුද්‍ර කිව්වෙ “ඒකට ඇත්තටම උත්තර දෙන්න පුලුවන් වෙන්නෙ සප්තමීටම නේද මචං? එයා මට එහෙම සීන් එකක් කියලා නෑ. මම නොදන්න මොකක් හරි කේස් එකක් තියෙනවද කියන්න මම දන්නෙත් නෑ” කියලා සමුද්‍ර කියද්දී මේ පටලැවිල්ල ලෙහාගන්න පුලුවන් හොඳම විදිය මොකද්ද කියන එක ගැන සුමල් සමුද්‍ර වෙනුවෙන් හිතන්න පටන් ගත්තා.

“අපි නොදන්න ඕන තරම් කතන්දර අපි දන්න මිනිස්සුන්ගෙ ජීවිත අස්සෙ උනත් තියෙන්න පුලුවන් මචං. ඔක්කොටම කලින් උඹ කොහොමත් ඕක ගැන සප්තමීගෙන් අහපං. කොහොමත් මෙහෙම ඇක්සිඩන්ට් එකක් උනාම පොලිසිය එනවනෙ ඕක ගැන ඉන්ක්වයරි එකක් කරන්න. 

ඊට කලින් උඹ සප්තමීව හම්බුවෙලා මේක ගැන තරලි කතාකරපං. අපි නොදන්න මොකක් හරි පරණ කේස් එකක් සප්තමීගෙ පස්සෙන් ආයෙ එනවද කවුද දන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here