මල්සර හී සර – 38

0
2387

පොලිසියෙ කට්ටිය ඉන්ක්වයරි එකට එද්දි තමයි මාලවී සප්තමීව බලන්න ඉස්පිරිතාලෙට ආවෙ. තනියෙන් නෙවෙයි අම්මත් එක්කම.

“අප්පේ නන්දා අක්කා කිව්ව හැටියට මං හිතුවා දූ අත පය එල්ලගෙන ඇත්තෙ” කියාගෙනම මාලවීලගෙ අම්මා එද්දි සප්තමී කිව්වෙ නැතුවට මොකෝ හිතෙන් ඒත් හිතුවා නෙදකින් කියල. මං අහන්නෙ ලෙඩෙක් බලන්න එද්දි කියන කතන්දරද නේද ඕවා?

“අනේ මට එන්න බැරිඋනේ පහුගිය දවස් දෙකේ මං අර දානෙකට නුවර ගිහිල්ලා උන්න හන්දා සප්තමියො. ඒත් මම හරිම අවුලෙන් හිටියෙ ඔයා තරහා වෙලාද දන්නෙත් නෑ මං නාවට කියලා” මාලවී කියද්දි නම් සප්තමී ඒත් කිව්වා “අනේ මොකට තරහ වෙන්නද? ඔයාට පුලුවන් වෙලාවෙනෙ ආවෙ” කියලා.

“කොහොමද අනේ මෙහෙම දෙයක් උනේ?” කියල මාලවි අහද්දි සප්තමී කී වෙනි වතාවටද මන්දා ඒත් ආයෙම ඉතින් සීන් එක වෙච්ච විදිය කියලා දැම්මා.

“මාර වැඩේනේ අප්පා වෙන්නෙ. අනේ දැන් කාලෙ ඔය බයික් කාරයන්ට අප්පා බයික් එක අතට ගත්තම මතක නෑ තමන් මේ යන පාරෙ තව මිනිස්සු යනවා කියන එක. නිකන් තමන්ගෙ අම්මා අප්පගෙ බූදලේ කියල හිතාගෙනනෙ. අන්තිමේ නිකන් මේ අහක යන මිනිස්සු තමා කරදරේ වැටෙන්නෙ නේද?” කියල කියන ගමන් මාලවීලගෙ අම්මා එහා පැත්තෙ ඇඳේ උන්නු ගෑනු කෙනෙක් එක්ක කතාකරද්දි මාලවී කලේ සප්තමීගේ අතේ හීරිච්ච කැලැල් දිහා බලාගෙන කල්පනා කරන එක.

“වසන්ත සර්ල එහෙම ඊයෙ ආවා බලලා යන්න” කියල සප්තමී කියද්දි තමා මාලවී ඔලුව උස්සල සප්තමී දිහාව බලලා හීන් සැරේ හිනා උනේ.

“ඔව් ඔව් මට කිව්වා. ඒත් මම සමුද්‍රට කෝල් එකක් දීලා විස්තර අහන්නත් හදල වෙච්ච දේවල් අස්සෙ මං ආයෙ සමුද්‍රට කෝල් කරන්න යන එක ඔයාගෙ හිතට හොඳ මදිවෙයි කියල මම එහෙම කරේ නෑ” කියල මාලවී කියද්දි සප්තමී ඒකට ලොකුවටම උත්තර දෙන්න ගියේ නෑ. අන්න ඒ වෙලාවෙ තමයි පොලිසිය සප්තමීගෙ ඇඳ දිහාවට ආවෙ. තනියෙන් නෙවෙයි සමුද්‍රත් එක්කම.

“මචං මේ තමයි සප්තමී කියලා” සමුද්‍ර පොලිසියෙ මනුස්සයට තමන්ව ඉන්ට්‍රඩියුස් කරල දෙද්දි මේ නම් පොලිසියෙ මහත්තයෙක්ට එහා ගියපු සමුද්‍රගෙ හිතවතෙක් කියන එක තේරුම් ගන්න සප්තමීට වගේම මාලවීටත් බැරි උනේ නෑ. 

“හෙලෝ නංගි, අපි මං හිතන්නෙ මේ විදියට නෙවෙයි හරි නම් හම්බුවෙන්න ඕන නේද?” කියල ඒ ආව මනුස්සය හිනාවෙලා ඇහැක් ගහල සමුද්‍ර දිහාවයි සප්තමී දිහාවයි මාරුවෙන් මාරුවට බලද්දි සප්තමී කලේ ඒ මනුස්සය කිව්ව වචනවල ගෑවිල තිබ්බ තේරුම තේරුම් ගිය හන්ද ඇස් බිමට හරවං හිනාවෙච්ච එක.

“එහෙම දවස් ඉස්සරහට එන එකේ මේ වෙච්ච දේ ගැන කතාකරමුකො. මේ ඔයාගෙ අම්මයි නංගිද?” කියලා සමුද්‍ර අරවින්ද කියල හඳුන්වල දුන්න පොලිසියෙ මහත්තයා මාලවීවයි කාන්තිලතාවයි පෙන්නල අහද්දි තමයි සප්තමී ආයෙ ඒ මනුස්සය දිහාව බැලුවෙ.

“අනේ නෑ මේ මගේ යාලුවෙකුයි එයාගෙ අම්මයි. අපෙ ගෙවල් ළඟ ඉන්නෙ” කියල සප්තමී කියද්දි සමුද්‍ර ඒ කතාවට මදිපාඩු එක්කහු කලේ “මං උඹට අර කිව්වේ මේ ගොල්ලො රඟපානව කියලා”

“අපි සප්තමීගේ මේ වෙච්ච දේ ගැන විස්තරයක් අහගන්න කම් ආන්ටිටයි නංගිටයි පොඩ්ඩක් එලියෙන් ඉන්න පුලුවන්ද?” කියල පොලිසියෙ මහත්තය අහද්දි වෙන කරන්න දෙයක් නෑ වගේ අකමැත්තෙන් වගේ තමයි මාලවී නම් ඉඳන් උන්නු තැනින් නැගිට්ටෙ. ඒ එක්කම නැගිට්ට කාන්තිලතා “එහෙනම් අපි මෙහෙමම යන්නම් පුතේ. මේ දවස් ටිකේ අපි තමයි එහෙට කෑම බීම එහෙමත් දුන්නෙ” කියද්දි සප්තමී බොහොම අමාරුවෙන් වගේ “හරි නැන්දෙ” කියල කිව්වා. ඒ දෙන්නට යන්න ඇරලා අරවින්ද කලේ සප්තමීගෙ ඇඳ ලඟ තිබිච්ච පුටුවක් ඇදලා අරගෙන කතාව පටන් ගත්ත එක.

“ඔයාට මතක විදියට සිද්දිය ආයෙ විස්තර කරන්නකො නංගි” කියල අරවින්ද කිව්වට පස්සෙ සප්තමී කලින් සමුද්‍රට එහෙම කිව්ව විදියටම සිද්දිය විස්තර කරලා කිව්වා. වෙලාව, ආවෙ කොයි පැත්තෙන්ද, ඒ මනුස්සයගෙ මූන දැක්කද. එහෙම නැත්තම් අඳුරගන්න පුලුවන් විදියෙ වෙන ටැටූ එකක් වගේ දෙයක් දැක්කද කියලා අරවින්ද අහපු ඒවට ඔව් නෑ කියල උත්තර සප්තමී දුන්නා. ඒ ඔක්කොම ප්‍රශ්නවලට පස්සෙ තමයි අරවින්ද අමාරුම ප්‍රශ්නෙ ඇහුවෙ.

“මේක නංගි මම නිකන් තව ශුගර් කෝට් කරන්න ඕන නෑනෙ. ඔයා මොලේ තියෙන කෙල්ලෙක් විත්තිය දැක්කම තේරෙනවනෙ. මේක එක්තරා විදියක ප්ලෑන් කර වැඩක් කියල අපිට හිතන්න සාධාරණ හේතු ගොඩක් තියෙනවා. මං ඒකයි මේ ප්‍රශ්නෙ ඔයාගෙන් අහන්නෙ, මේවගේ දෙයක් ඔයාට කරන්න පුලුවන් හෝ හේතුවක් තියෙනව කියල හිතෙන සැක කරන කවුරුහරි ඔයාට ඉන්නවද?”

අරවින්ද ඒ අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් ඇත්තටම සප්තමීට තිබ්බෙ නෑ. තමන්ව ඔහොම හප්පලා දාන්න හේතුවක් හරි තරහක් හරි තියෙන කිසිම එක්කෙනෙක්ව මතක් කරගන්න බැරි හන්දම තමයි සප්තමී “නෑ” කියලා කිව්වේ.

“හොඳට මතක් කරලා බලන්නකො, ඒ සීසීටිවි වීඩියෝ එක දැක්කම මට හිතුනෙ ඒ කෙනා කවුරු උනත් එයාගෙ ඉන්ටෙන්ශන් එක වෙලා තියෙන්නෙ ඔයාව මරල දානව වගේ එකක් නෙවෙයි, ඔයාට නිකන් පොඩි තුවාලයක් එහෙම කරල පොඩි පාඩමක් උගන්නනවා වගේ දෙයක්.

ඒ වගේ ලෙවල් එකේ තරහක් තියෙන කවුරුමහරි ඔයාට මතක් වෙනවද? අද ඊයෙ අඳුරගත්ත කෙනෙක් නෙවෙයි සමහරවිට ඔයාගෙ අතීතෙ උන්නු කෙනෙක් වෙන්නත් පුලුවන්. සමුද්‍ර ඉන්න තැනක ඒ වගේ දෙයක් ගැන උත්තරයක් දෙන්න බැරිනම් සමුද්‍රට අපි යන්න කියමු නේද?” කියල අරවින්ද ඔලුව හරවල බලද්දි සමුද්‍ර ඔලුව වැනුවෙ ඒකට එකඟ වෙන්න වගේ.

“අනේ නෑ එහෙම සමුද්‍ර නොදන්න කිසිම දෙයක් නෑ. මට ඇත්තටම හිතාගන්න බෑ මට එහෙම පාඩමක් උගන්නන මට්ටමේවත් තරහක් මාත් එක්ක තියෙන කෙනෙක් ගැන.මම එහෙම කාටවත් වරදක් කරලා නෑනෙ. අනික මං එහෙම කාගෙවත් දෙයක් උදුරගෙන…” කියලා සප්තමී කියාගෙන ආව දේ එකපාර මගින් නතර කරද්දි සප්තමී තමන්ට මෙච්චර වෙලා නොකිව්ව දෙයක් එයාට එකපාර මතක් උනා කියන එක අරවින්දට වගේම සමුද්‍රටත් තේරුනා.

“මට අයිතිවෙන්න ඕන දෙයක් ඔයා බලෙන් අයිතිකරගන්න හැදුවට ඒක වෙන්න මම කොහොමවත් ඉඩක් තියන්නෙ නෑ කියන එක අමතක කරන්න එපා” කියල සති කීපෙකට කලින් මාලවී කිව්ව එක සප්තමීගේ හිත අස්සේ ආයෙ ආයෙ දෝංකාර දුන්නා. තමන්ට මේ ජීවිත කාලෙටම එහෙම දෙයක් කිව්වේ මාලවී විතරක් කියන එක හිත ආයෙ ආයෙ මතක් කරත් ඒ හිතම “මාලවී මට කවදාවත් එහෙම දෙයක් කරාවිද?” කියන ප්‍රශ්නෙ සප්තමී ආයෙ ආයෙ කල්පනා කරා.

තමන්ගෙ හිතවත් හරියට නොදන්න දෙයක් ගැන අරවින්දට වගේම සමුද්‍රට කියන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ සප්තමීගේ හිතේ නොතිබ්බා නෙවෙයි. ඒත් එහෙමයි කියලා වරදක් කල මනුස්සයෙක්ට ලේසියෙන් බේරිලා යන්න ඉඩ දෙන්න තමන්ගෙ කට උත්තරේ වෙනස් කරන්න ඕනද?

“මොනවහරි එකපාර මතක් උන හන්ද නම් කතාව මග නතර කලේ හිතේ තියෙන කාරනාව කියල දාන්න නංගි. ඔයා කියන දේ අපි භාරගන්නෙ සැකයක් විදියට විතරයි කොහොමත්. අපි ඇලර්ට් එකේ ඉඳල ඔයාගෙ සැකේ ඇත්තක්ද කියල බලන එක තමයි ඊලඟට කරන්නෙ” කියල අරවින්ද කිව්වට සප්තමී උන්නෙ තමන්ගෙ සැකේ කියනවද නැද්ද කියන එක කල්පනා කර කර.

“මොන දේ උනත් ඒ මගෙ පොඩි කාලෙ ඉඳල යලුව, මොන තරහක් තිබ්බත් මාලවී කවදාවත් මට එහෙම කරාවිද? අනික එහෙම දෙයක් කරානම් එයා බය නැතුව මාව බලන්න එන්නෙ නෑනෙ” කියලා හිතන ගමන් සප්තමී මාරුවෙන් මාරුවට අරවින්දයි සමුද්‍රයි දිහාවට ඇස් දෙක පා කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here