සප්තමී ගෙදර ආවට මොකෝ කිසිම වැඩක් කරගන්න බැරි හන්දා අම්මටයි දුවටයි දෙන්නටම ඇඳටම වෙලා ඉන්න වෙච්ච හන්දා මාරුවෙන් මාරුවට කැම බීම වලට සපෝර්ට් එක දුන්නෙ කාන්තිලතයි සමුද්‍රයි. වැඩ ඉවර වෙලා ගෙදර යන්න කලින් සප්තමීව බලන්න සමුද්‍ර ඇවිත් ගියා. ශූටින් වලට සප්තමීට එන්න ටික දවසක් යනවා කියල තේරිච්ච හන්දම වසන්ත ශූටින් ශෙඩුල් වෙනස් කරල සප්තමී නැති කොටස් ටක් ටක් ගාලා ශූට් කරලා දැම්මා. මාලවි ඒ නිසාම උන්නෙ හරියට බිසී වෙලා. අල්ලපු ගෙදර ඉන්න අසනීප වෙච්ච තමන්ගෙ යාලුවව බලන්න එන්න විදියක් තිබ්බෙ නැති තරම්. ඒ උනාට ෆෝන් එකෙන් එහෙට මෙහෙට සුව දුක් විචාර නම් මාරු උනා.
“අම්මයි දුවයි දෙන්නම ඇඳට වැටිච්චයින් මේ ගෙදර පිරිමියයි, ගෙදරට එන්න ඉන්න පිරිමියයි දෙන්නටම කේස් වෙච්ච එක තමා උනේ” කියල ජයබාහු අංකල් කෑම මේසෙ අරින ගමන් හිනාවෙද්දි සමුද්‍ර කරෙත් හිනා වෙන එක. අංකල් ආන්ටිට බත් කවද්දි සමුද්‍ර සප්තමීට බත් කැව්වා.
“බලන්න ඉතින් මම කොච්චර හොඳද කියල ඔයාට මේවයින්ම තේරෙන්න ඕනනෙ” කියලා සමුද්‍ර ඇහැක් ගහල නෝණ්ඩියට වගේ කියද්දි සප්තමිත් අත පය වැඩ නොකලට මොකෝ කට වැඩ කරන විත්තිය පෙන්නන්න වගේ තමයි සප්තමී ඒවට උත්තර දුන්නේ.
“අනේ ඉතින් තේරෙන හන්දනෙ මම ඔයාට ඇම දැම්මෙ”
“ආහ් දැන් ඇම දාන්න මම මාලුවෙක්ද?’
“ඇමට අහුවෙච්ච හන්දා මාලුවෙක් කියල හිතන්න වෙනවනෙ. අනික පොඩි එහෙකුත් නෙවෙයි තෝරෙක් මෝරෙක් වගේ මාලුවෙක්”
“ආහ් තෝරාද මෝරද කියල මං පෙන්නන්නම්කො නෝනෙ කසාද බැඳගත්ත දවසක, එදාටත් ඔය ඇමට ඒ මාලුවව අහුවෙනවද කියල බලමුකො” අපි කියල සමුද්‍ර ඉති අඟට නොදැනෙන්න වනචර කතා කියද්දි සප්තමී කලේ තුවාල වෙච්ච නැති අතෙන් සමුද්‍රගෙ පිටට පාරක් දුන්න එක.
“ඔය ඉතින් මෙච්චර ආදරෙන් බත් කවද්දිත් මට ගහනවනෙ? ගෘහස්ත හිංසනය” කියල දුක් මූඩ් එකක් දාගත්තට සමුද්‍ර ගෙ විහිලුවල තරම දන්න හන්දාම සප්තමී ඕවට තරහා ගන්නෙ නෑ.
“ඔයාට වදේ නේද අපි හන්දා?” කියල සප්තමී මෙච්චර වෙලා උන්නු හිනා මූඩ් එකෙන් අයින්වෙලා සීරියස් විදියට අහද්දි තමයි සමුද්‍රත් තමන්ගෙ මූඩ් එක ඒ විදියට වෙනස් කරගත්තෙ.
“ඇයි එහෙම කියන්නේ?”
“නෑ මං ඇත්තටම කිව්වෙ ඔයාට එපා වෙලා ඇති නේද කියලා. උදේ ඉඳන් වැඩ කරල මහන්සිවෙලා ආයෙම මෙහෙ ඇවිල්ලා මාව බලල කවල පොවලා යන එක ඔයාට එපා වෙන්නෙ නැද්ද?”
“බබා,ඔයා මගෙ කවුද ගර්ල් ෆ්‍රෙන්ඩ්. කවදහරි අපි බඳිනවනෙ. එතකොට ඔයා හිතන්න ඔයාට ඔලුව කැක්කුමක් හරි එහෙම නැත්තම් වෙන අසනීපයක් හරි, ඒ ඔක්කොම නෙවෙයි පීරියඩ් ක්‍රෑම්ප්ස් හරි ආව දවසක මම ඔයාට සලකන්න ඕන නේද? ඔයාව බලාගන්න ඕන නේද? අනිත් පැත්තට මං අසනීප උනොත් ඔයත් එහෙම කරනවා නේද? ඉතින් එහෙම එකේ ඔහොම අහන්න එපා. මං නෙවෙයි මං හිතන්නෙ කෙල්ලට සිරා ලව් කරන ඕන කොල්ලෙක් මේ වගේ දෙයක් කරාවි.
අනික ඔයා වගේ වටින කෙල්ලෙක් වෙනුවෙන් ඕනම කොල්ලෙක් මං මේ කරන දේ විතරක් නෙවෙයි ඊට එහා දෙයක් උනත් කරයි. ඔයා නිකන් මේ විකාර හිතනවනෙ”
“ඔයාලයි අම්මල දන්නවද අපි ගැන?” කියල සප්තමී අහද්දි සමුද්‍ර තප්පරේකට දෙකකට බත් අනන එක නතර කරා.
“හොඳ ප්‍රශ්නයක්. නෑ තාම දන්නෙ නෑ. මං ඇත්තටම හිටියෙ මේ වීක් එකේ ගෙදර ගිහින් අපෙ අම්මල එක්ක මේ විත්තිය කතා කරන්න. හංගන්නවත්, පරක්කු කරන්නවත් දෙයක් නෑනෙ. මට හැමදාම රෑට තනියෙන් ගෙදර ගියාම ඔයා හිටියනම් පාලු නෑනෙ කියල මතක් වෙනව. එහෙම එකේ මේක තව කල් දාන්න හේතුවක් නෑ. ඔයාට සනීප වෙච්ච ගමන් මං ගෙදර ගිහින් එන්න යනවා. ඉන්පස්සෙ මේ කරදර ඉවර වෙච්ච දවසක බැරිය අපිට ගෙවල් දෙකේ අයව මුන ගස්සවන්න නේද?
ඒ උනාට ඇයි මේ වගේ වෙලාවක එකපාර ඔහොම දෙයක් ඇහුවෙ?”
“අනේ නෑ නිකන්, අපි දෙන්න එක එක ඒව කතාකරාට ඔයාගෙ ගෙදර අය ගැන මම ඇත්තටම හරි විස්තරයක් දන්නෙ නෑනෙ. ඒකයි මං ඇහුවෙ”
“මං ඉතින් ඔයාට ඔය කියල තියෙන දේවල් තමයි එහෙන් මෙහෙන්. ඒ ඇරෙන්න වෙන අමුතු දෙයක් නම් නෑ. අපේ ගෙදර අයව හම්බුනාම ඔයාට බලාගන්න බැරිය” කියල සමුද්‍ර කතාව එතනින් නතර කරල ආයෙ බත් කටක් කටේ ඔබද්දි සප්තමී කලේ සමුද්‍රගෙ ඇස් දෙක දිහා බලන්න ට්‍රයි කරන එක. ඒත් සමුද්‍ර උන්නේ ඒ ඇස් වල පැටලෙන්න බලාගෙන නෙවෙයි.
“ඔයාලගෙ ගෙදරින් මං වගේ කෙනෙක්ට කැමති වෙයිද?” කියල සප්තමී අහද්දි සමුද්‍ර ආයෙ වතාවක් සප්තමී දිහාව බැලුවෙ එයා එහෙම ඇහුවෙ ඇයි කියන ප්‍රශ්නෙ මූණෙ අලවන්.
“නෑ මම එහෙම ඇහුවෙ ඔයා කිව්ව විදියට ඔයාලගෙ අම්මා වලව්වක මනුස්සයෙක්. අපි මේ ඉන්නෙ කුලී ගෙදරක. අපිට කියල ගෙයක් ඉඩමක් නෑ. ඔයා දන්නවනෙ අපෙ තාත්ත කරන රස්සාවෙ හැටියට කවදාවත් කොළඹින් නම් අපිට ගෙයක් ඉඩමක් ගන්න විදියක් නෑ. එහෙම බැලුවම කවදහරි මම හරි හම්බ කරන එකකින් තමා අපේ ගෙවල් වල මිනිස්සුන්ට කරන උදව්වක් කරන්න වෙන්නෙ. ඔයාලගෙ ගෙවල්වල මිනිස්සු කැමති වෙයිද ඒ වගේ පවුල් බරක් තියෙන තැනකින් ගෑණු ළමයෙක්ව ඔයා කසාද බැඳගන්නවට?” කියල සප්තමී කියද්දි සමුද්‍ර විනාඩි ගානක් ඇස් දෙක නලලට අරගෙන ලොකු කරගෙන තමයි බලාගෙන උන්නේ. හැබැයි එහෙම උන්නු විනාඩි ගානකට පස්සෙ මිනිහගෙ කටෙන් බකස් ගාලා හිනාවක් පැන්නා.
“බුදු අම්මේ කෙල්ලෙ, පස්සෙන් ආවෙ මං උනාට මොකෝ ඔයා ඉස්සරහට දේවල් සෑහෙන්න හිතලනෙ අපි දෙන්නා ගැන” කියල සමුද්‍ර කියද්දි නම් සප්තමීට ලැජ්ජත් හිතුනා.
“හිතන්න ඕන නේද? හිතන්නෙ නැතුව බෑනෙ. නිකන් අපි ඔය වගේ දෙයක් ගැන හිතන්නෙ නැතුව අපි ගැන බොලඳ විදියට හිතලා ඉස්සරහට ගිහින් අන්තිමෙ ඔය වගේ දෙයක් නිසා වෙන් වෙන්න උනොත් එදාට දරාගන්න බැරිවෙයි. කල් ගිහිල්ල වෙන් වෙන්න උනොත් අන්තිමේ දෙන්නටම දුක වැඩියිනෙ. මං ඒකයි හිතුවෙ. හොස්පිටල් එකේ ඉද්දි කල්පනා කරන්න දෙයක් නැති තැන මං ඕව කල්පනා කරේ” කියල සප්තමී කියද්දි සමුද්‍ර ආයෙ වතාවක් හීන් සැරේ බත් අනන ගමන් හීනියට හිනා උනා.
“ඔයා කල්පනා කල දේ වැරදි නෑ. ඕනම ගෑණු ලමේක් ඉතින් සම්බන්ධෙකට ආවට පස්සෙ ඔය වගේ දේවල් හිතනවනෙ. අනික මං මෙහෙම එකපාර ඔයාගෙ පස්සෙන් ඇවිල්ල යාලු කරගෙන ගෙවල්වල එහෙම යන්න පටන් ගත්තම ඕනම මනුස්සයෙක්ගෙ හිතේ ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා. අද ඔයා ඔහොම අහද්දි හෙට ඔයාගෙ අම්මල උනත් ඔය ප්‍රශ්නෙම මගෙන් අහන්න බැරිකමක් නෑනෙ. මම ඉක්මනටම අපේ ගෙදර අයව මෙහෙ එක්කරගෙන එන්නම්. එතකොට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ඔයාට ලැබේවි.
අනික් එක අපෙ අම්මල තාත්තල කොච්චර ලොකු මිනිස්සුද පොඩි මිනිස්සුද කියන එක මේ කතාවට අදාලම නෑ. අපේ අම්මල ඒ හැමදේටම වඩා සලකන්නෙ බලන්නෙ අපේ සන්තෝසෙ ගැන. මං දැන් අවුරුදු තිස් ගාණක් එයාලව දැනගෙන උන්නනෙ. ඉතින් එහෙම එකේ ඔයා ඒ ගැන සැකයක් තියාගන්න එපා.
ඔයා ඔය වගේ මගෙන් ඇහුවා වගේ මටත් ඇත්තටම ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා”
“මොකද්ද?”
“මං ඒක අහන්නම් හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕන ඔයා මට බොරුවක් කියන්නෙ නෑ කියලා” සමුද්‍ර තමන් දිහාවම බලාගෙන ඉද්දි සමුද්‍ර මේ අහන්න යන්නෙ උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් විත්තිය සප්තමීට තේරුණේ ඉවෙන් වගේ.