සඳ ගංතෙර – 39

“මං ගෑනු ළමයෙක්ට ආදරෙයි කිව්වා. ඊටපස්සේ ඒ ගෑනු ළමයට වෙච්ච දෙයක් නෑ. අඩුම තරමේ මැසේජ් එකක්වත්”

දුලන්‍යා සරසවියට හැරලවන්නට ඉඩ ලැබුණු ඊළඟ දවසේ සඳරැස් කියන්නේ නෝක්කාඩුවට ය. දුලන්‍යා හිස හරවා හිනැහුණා ය. අද ඇගේ ඇඳුම වඩාත් හැඩ බව ඔහුට සිතේ. මේ ඇඳුම ඇය මීටපෙර දවසක ද ඇඳ සිටියා ය. නමුත් දැන් ඇයව වඩාත් හැඩට පෙනෙන්නට පටන් ගෙන තිබේ.

“දැන් උණ හොඳයිද?”

අනතුරුව නැගෙන්නේ මුහුණ රතුවන ප්‍රශ්නය ය. දුලන්‍යා රිය කවුළුවෙන් එළිය බලාගෙන පැපිලියාන හන්දියේ මාර්ග තදබදයේ ස්වභාවය විපරම් කළා ය. මේ මොහොතේ ඇති වැදගත් ම කටයුත්ත එය ය.

“උණ වැඩි වෙලා ඉන්නේ.”

දුලන්‍යා කියන්නේ ඔහුට මුහුණ නොදී ය. සඳරැස් නිදහස් සිනාවකට ඉඩ තැබී ය.

“ඕනනම් උණ සන්නිපාතෙට, ඩෙංගු රක්තපාතෙට හරවන්නත් පුලුවං”

එසේ කියද්දී දුලන්‍යා ඔහු දෙස සෘජු බැල්මක් හෙළන්නට තීරණය කළා ය. ආදරය කරන්නට ඇති කාලය අපතේ යවා කුමටදැයි ඇය සිතන්නට වූවා ය.

“සනීප නොවෙන උණක් තියෙන්නේ. හැබැයි මට හැමදාම ආදරෙයි නොකීවොත් නම් මම තරහයි.”

සඳරැස් රියෙහි වේගය අඩාල කළේ ය.ඔහු විශ්වාස කරන්නට අමාරු ය. අදත් අනපේක්ෂිත හාද්දක් තබන්නට සැරසෙනවා වන්නට ද පුලුවන. දුලන්‍යා බැලුවේ සැකයෙනි.

“ආදරෙයි කියලා වචනෙන් නම් ඕන එකෙක්ට කියන්න පුලුවන්. මට මේ පාර පනින්න ඉන්න කෙල්ලෙක්ටත් ආ නංගී ආදරෙයි ඈ කියන්න පුලුවන්නෙ. ආදරේ කියන්නේ ඊට වඩා ඉහළ තියන දේකට. ආදරේ තියෙන්න ඕන අපි අනිත් කෙනා වෙනුවෙන් දෙන කාලය ඇතුළේ. අපි අනිත් කෙනා වෙනුවෙන් කරන දේවල්වල. ආදරේ තියෙන්නේ අපේ අම්මා වගේ මඟදී අත් ඇරලා නොදාන අය ගාව. අපේ අම්මා වගේ රවට්ටන්නේ නැති මිනිස්සු ගාව.”

සඳරැස් හැඟීම්බර වෙමින් ද පණ්ඩිත වෙමින් ද සිටියේ ය. කොලුවෙකුට සම්බන්ධතාවයක් තුළ ඔය සෑම මුහුණක්ම මවා ගන්නට හැකි වේ. නමුත් යුවතියකට එය අසීරු ය. ඇය මුහුණ බෙරි කරගෙන බලා හුන්නේ ආදරය ඉල්ලන්නට ය. 

“ඒ වුණාට මට එච්චර ගැඹුරින්ම ආදරේ කරන්න බෑ. මාව බලාගන්න හරිද? මට ආදරේ පෙන්නන්නත් ඕන.”

අම්මා තාත්තා පමණක් නොව සහෝදරයන් දෙදෙනා පවා අප්‍රමාණව හුරතල් කළ කෙල්ලකට ආදරය දැනිය යුතු බව සඳරැස් සිතී ය. ඔහුගේ අක්කා නිවසේ අම්මා වූ කෙල්ලකි. නමුත් දුලන්‍යා කියන්නේ දුලාජ් අයියාගේ භාෂාවෙන් කිවහොත් “හුරතලේට ඇති කරන පූසියකි”

ගී අහන්නට එතරම් කැමැත්තක් නැති බව කියන රිද්මගේ ගී කිහිපයක්ම නොනවත්වාම අසන සඳරැස් ගීයක් වාදනය වෙන්නට ඉඩ හැරියේ ය. ප්‍රේමණීය මොහොතකට ප්‍රේමණීය ගීයක් වාදනය කරන්නට එෆ් එම් නාලිකාව ප්‍රවේසම් වන්නේ නම් ඒ ප්‍රමාණවත් ය. “ලෝකයෙන් යමු.. ආයේ ඉපදෙමූ.” යැයි කවුරුන් හෝ නාසික්‍ය ස්වරයකින් ළතෝනි නොදෙන්නේ නම් ඒ ප්‍රමාණවත් ය.

හීන කතන්දර ඉවරයි

මං ඔයාට පාර කියන්නම්

මහ සයුරේ දිය ඉවරයි

දිය උල්පත ළඟ මං නවතින්නම්

සංඛ දිනෙත්ගේ ප්‍රේමණීයම ස්වරය ඇසේ. පෙම්වතෙකු ගැන මැවූ සිහින අවසන් බව දුලන්‍යා සිතුවේ යටැසින් ඇගේ කඩවසම් ප්‍රේමවන්තයා දෙස බලා සිටියා ය. ඔහු ද සිතමින් සිටියේ ඒ ගැන ය. පිපාසාව කිසිදා නොසංසිඳෙන සයුරක දිය ඔහු ඕනෑතරමට පානය කර තිබේ. හති වැටුණා සහ රෝගී වූවා පමණි. දැන් සියල්ල වෙනස් ය. ඔහු පවිත්‍ර දිය උල්පතක් ළඟ නැවතී හිඳියි.

“මට ඇත්තටම අයියට පාර කියන්න දෙයක් තියනවා.”

යුවතිය පැවසුවේ හදිසියේ ය. ඇය දැනටමත් හිඳින්නේ පාර කියමිනි. එසේ කියන්නට ඔහුට ඕනෑ විය. ඇය ඔහුව මෘදු මිනිසෙක් කරමින් හිඳියි.

“අපි සහස්ගෙ අම්මා මුණ ගැහෙමුද අයියේ?”

දුලන්‍යා අසයි. සඳරැස් යම් තරමකට කැළඹිණ. ඔහු පුදුමයෙන් ඇය දෙස බැලුවේ ය.

“ඇයි ඒ? පුතාව හදා ගන්න කියන්නද? ඔහොම ඇණපාලලා අම්මලට හදන්න බෑ බබා.”

නැත! සහස්ගේ මල විකාර හැසිරීම් දුලන්‍යාට අදාළම නොවේ.

“මං ඒ ආන්ටි කවුද කියලා දන්නවා අයියේ. එයා ඔයාලගෙ අම්මා කියලා මට අක්කි කිව්වා. අපි එක්කො එයා මුණ ගැහිලා එයාටවත් සහස්ටවත් ඔයාට රිද්දන්න බෑ කියලා මතක් කරමු. නැත්තං ඔයාට එයාව නැතුව ඇත්තටම පාලුයි නම් අපි එයා මුණ ගැහිලා එයාට ක්ලෝස් වෙමු.”

අහම්බයකින් පාර පනින්නට ආ කෙනෙකුට සඳරැස් වේගවත් තිරිංගයක් යෙදී ය. ඔහු කෝපයට පත් වී අවසන් ය.

“ඔයා මට ආදරෙයි. ඒත් මගෙ අම්මට ඔයා කිව්වේ ආන්ටි කියලා. එහෙම තමයි. එයා අපිට දුරයි. මං ඔයාගේ අම්මට කොච්චර ආදරෙයිද? අන්න ඒ ආදරේ ඔයාට නිකංවත් විජේවර්ධන නෝනාට දෙන්න බෑ. ඔයාට ඒ ආදරේ දුන්නත් එයාට මට ළං වෙන්න බෑ.”

සංකීර්ණ මානව සම්බන්ධතා ගැන දුලන්‍යා සිතා බලන්නට වූවා ය. ජීවිතය එපමණකට ගැඹුරු ය. එක් අතකට විජේවර්ධනලාට සමීප වන්නට ඕනෑ නැත. ඔවුන්ට ඔවුන්ගේ ලෝකයේ ඉන්නට ඉඩ හරින්නට දුලන්‍යා සිතා ගත්තා ය.

“ජීවිතේ ඇතුළේ කිසිම සම්බන්ධයක් අපිට බලෙන් ඇති කරගන්න බෑ දුලා. අම්මා තාත්තා එක්ක වුණත්. අපි එයාලව අත් ඇරියානම් අත් ඇරියා තමයි. “

කමල් විජේවර්ධන හමුවන්නට ගිය ගමන ගැන කියන්නට තරම් ඕනෑකමක් සඳරැස්ට ඇති විණ. නමුත් ඔහු කිසිවක් නොකියන්නට සිතී ය. පෙම්වතියගෙන් රහස් රැකීම හොඳ වැඩක් නොවේ. නමුත් මේ කතාව කාටවත් වැඩක් නැත.

“අම්මව වුණත් අත් අරින්න තරම් ඔයාගේ හිත තදයි කියලා හිතෙනකොට බයත් හිතෙනවා මට.”

ප්‍රේමය තුළ අත් හැරීම් පහසු නොවේ. නමුත් වේදනාත්මක රැහැන් අත් නොහැර අල්ලා ගන්නා තරමට ජීවිතය වේදනාත්මක ය. ඒ පාඩම දුලන්‍යාට උගන්වන්නට ඕනෑ හෙමින් වග සඳරැස් සිතී ය.

“උණ සනීපයි නේද?”

ඇය සරසවිය අසලින් සමු ගන්නට පෙර ඔහු ඇගේ නළලට අතක් තබා බැලී ය. දුලන්‍යා කුඩා දැරියක සේ හිස වැනුවා ය.

“ඕනනම් ආයේ උණ හදන්නත් පුලුවන්.”

සඳරැස්ගේ දෙතොල් පිපී සිනාවක් මතුව ඒ. දුලන්‍යා ඔහුගේ අත් දඬුවට පහරක් එල්ල කළා ය. කෝලංවලට ද සීමාවක් තිබිය යුතු වේ.

ප්‍රේමය මෙතරමට සැහැල්ලුදැයි ඇයට සිතේ. ඇය සැහැල්ලුවෙන් ය. දරා ගන්නට නොහැකි තරමේ ප්‍රීතියෙනි. ප්‍රේමය ප්‍රීතිය ද සැහැල්ලුව ද ආශිර්වාදය ද පිරුණු තැනක් නම් ජීවිතයට තව කිසිවක්ම ඕනෑ නැතැයි දුලන්‍යා සිතී ය.

(ඔබේ ආදරය ද අදහස් ද තබා යන්න. මට සම්පූර්ණ සුවය ලැබෙන තුරු දුලන්‍යා සහ සඳරැස් එනතුරු බලා සිටියාට ස්තූතියි )

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles