සුසුවඳ සූත්‍ර – 14

0
574

භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි කාමරයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. කිශෝරි යහන මත හිඳ සැමියා දෙස බලා සිටියා ය. හැත්තෑ වන විය සපුරා සිටියත් ජිතේන්ද්‍ර ට වයස පේන්නේ නැත. කළු කෙස් අතරෙහි හරි හරියට නැගී සිටිනා සුදු කෙසින් හිස කේ සමන්විත වී ද ඒ නිසා ඔහු ගේ රුවට එක් වී තිබෙනුයේ ආකර්ෂණීය පරිනත පෙනුමකි. ගාම්භීරත්වයේ අංශු මාත්‍රික අඩුවක් සිදු කරන්නට වයස කියන දේ සමත් වී නැති සැටියෙකි. ජිතේන්ද්‍ර ගේ කඩවසම් පිරිමි පෞරුෂය අස වයස යනු හිස ඔසවාගත නොහී දුර්වල ව ගිය සාධකයකි.

ඔහු පපුවේ රෝම පිරිමදිමින් සක්මන් කරමින් ම කල්පනා කරයි. සුසුම් හෙළයි. පපුවේ පිරී ඇති සුනෙර බර හෑල්ලු කරන්නට ඒ සුසුම් වලින් දරනා උත්සාහය ම විහිළුවක් බව ජිතේන්ද්‍ර නො දන්නවා නොවේ. ඇස් දෙක වන් එක ම දියණිය සැනසිල්ලේ ජීවත් වෙනවා නම් ඔහු ට හිතේ සැනසීමෙන් නිවී සැනසිල්ලේ සිය වැඩක් කරගන්නට පිළිවන. නමුත් ඇය දක්ෂිණගෙන් දික්කසාද වෙන්නට යනවා යන ආරංචිය ජිතේන්ද්‍ර ගේ වියපත් වෙමින් සිටිනා හදවතට බර වැඩි ය.

“ඔය යකාගෙං ඩිවෝස් වෙලා ගෙදර එන්න කියන්න”

 කියා ඔහු මීට වසර ගණනාවකට පෙර බිරිඳ ඉදිරියේ සිංහනාද කළේ, දක්ෂිණ පන්තියේ ශිෂ්‍යාවක සමග පවුල් කන බව ආරංචි වූ වෙලාවේ ය. අන්තරා හා ඇය මහ ගෙදරට කැටිව එන කොලු පැටියා ඔහු ට වැඩි නැත. ඔවුන් දෙදෙනා වෙනුවෙන් අනාගතයක් තනා දෙන්නට ජිතේන්ද්‍ර ට බැරි නැත. මලක් සේ හැදූ දියණිය ආතක් පාතක් නැති මිනිසෙකු සමගින් ගොස් දුකට වැටීම ඔහු ට දරාගත නො හැකි වූයේ ය. ඊට ද වසර ගණනකට පෙර අන්තරා දක්ෂිණ සමග ගෙදරින් පලා ගිය වෙලාවේ ඔහු වහළේ උළු කැට උඩ යන සේ කෑගැසුවේ ය. අන්තරා ඔවුන්ගේ අවමඟුලට හෝ යළි මේ හතර මායිමට පැමිණිය යුතු නැතැයි ගුගුළේ ය. ඇය මිය ගියා සේ සලකන ලෙසට කිශෝරි ට පවා අවධාරණය කළේ ය.

“ආදරේ එහෙමයි ජිතේ. මං ඇයි ඔයා එක්ක ආවෙ… මගෙ අම්ම අප්ප… සහෝදරයො නෑදෑයො… මං දන්න මිනිස්සු… මගෙ රට පවා අත්ඇරල මං ඔයා එක්ක ආවෙ ඇයි… ආදරේ නිසා නේද… එතනදි මං ඔයාට තියෙන්නෙ මොනාද කියල හිතුවෙ නෑ. මොනා තිබුණත් නැතත් මං ඒ ගමන එනවමයි. ඒ මට ඔයාවයි ඔයාගෙ ආදරෙයි නැති කරගන්නවට වැඩිය මුළු ලෝකෙම නැති කරගන්න එක ලේසි නිසා. අපි දුව ගැනත් එහෙම හිතමු”

ඇය හැකිතාක් ඔහු ගේ කේන්තිය දියකොට හිත මෘදු කිරීමට තැත් කළා ය.

“ඔයා ආවෙ දෙමව්පියන්ගෙ අකමැත්තෙන් නෙවෙයි”

“එයාල අකමැති වුණානං ඔයා මාව දාල එනවද… මං ඔයා එක්ක එන්නැතුව ඉන්නවද… ආදරේ කියන්නෙ ආදරේට ජිතේ. ඒක ධාරාගෙ ආදරේනං… අපි ඒකට ගරු කරමු”

නමුත් ජිතේන්ද්‍ර ට කිශෝරි හා එකඟ විය නො හැකි විණි. ඔහුට දක්ෂිණ පිළිබඳ පහන් හැඟීමක් දැනුණේ ම නැත. ඇය දැරිය රවටා ගත්තායි වේදනාවකින් කාලයක් ම ජිතේන්ද්‍ර පෙළුණේ ය. නමුත් කිශෝරි ගේ ඖෂධ වන් වදන් නිසා ටික ටික හිත හැදිණි. සංගීතයට වැඩි අවධානයක් දීම ඔස්සේ ඔහු ඒ තුවාල අමතක කොට ඒවාට වියලෙන්නට කාලය ලබාදුන්නේ ය.

දක්ෂිණ දින දින දියුණු වෙමින් සිටියේ ය. නූතන නර්තනාචාර්යවරයා ඔහු වන තරමට මාධ්‍ය මගින් ඔහු ට අවස්ථා සැලසිණ. දක්ෂිණ රට පුරා ජනප්‍රිය විය. ඔහු ගේ ප්‍රසංග සඳහා විදේශ වලින් පවා ඉල්ලුමක් විය. දියණිය හොඳින් සිටීම ගැන ජිතේන්ද්‍ර හිත සකසාගත්තේ ය. අන්තරා සමගින් ඔහු කිසිදු සන්නිවේදනයක් නො පැවැත්වී ද කිශෝරි ට ඒ තහනම් වූයේ නැත. ඇය ඉඳහිට දුරකතනයෙන් දියණිය සමග කතාබහ කළා ය. නමුත් දක්ෂිණ  ගේ ගෙදර පස් නො පෑගුවා ය.

නින්දට එළඹෙමින් සිටි සිංහයා යළි අවදි වූයේ දක්ෂිණ සිය සිසුවියක සමගින් සම්බන්ධයක් පවත්වන බව දැනගත් වෙලාවේ ය. අන්තරාව යළි ගෙදරට ගෙන්වන ලෙස ජිතේන්ද්‍ර කිශෝරි ට අණ කළේ ය.

“ඒක කරන්න බෑ අම්ම. සමහර විට ඒක කරන්න තාම කල් වැඩියි. මගෙ පුතාට තාත්ත කෙනෙකුයි පවුලකුයි ඕනෙ. කාත් එක්ක සම්බන්ධකං හදාගත්තත් එයාගෙ ලීගල් වයිෆ් මං. පුතා වෙනුවෙන් මට මෙහෙම ඉන්න දෙන්න අම්ම”

අන්තරා පියාගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ එසේ ය. දත්මිටි කා ඉවසාගත්තා මිස ජිතේන්ද්‍ර ඉනික්බිති වචනයක් හෝ කීවේ නැත. නමුත් හැම මාසයක ම දියණියගේ විය හියදම් වලට ප්‍රමාණවත් තරම් මුදල් ඇගේ ගිණුමට බැර කළේ ය. දක්ෂිණ අන්තරා හා පවුල ගැන බැලුවත් නො බැලුවත් ඇයට නූපුර ගේ වැඩ කරගෙන ජීවත් වෙන්නට ඒ ප්‍රමාණවත් වූයේ ය. එනමුත් දක්ෂිණ ගෙදරට රුපියලකවක් අඩුවක් වෙන්නට ඉඩ තැබුවේ නැත!   

එදා දක්ෂිණගෙන් නීත්‍යානුකූලව වෙන් වී අන්තරා ට ගෙදර එන්න යයි සිංහ නාද කළාට, ඇයට එහෙම වෙන්නට යත්දී ජිතේන්ද්‍ර ගේ පපුව කකියයි. දක්ෂිණ සොයා ගොස් ඔහු ගේ බොටුවෙන් අල්වා මිරිකන්නට තරම් ආවේගයක් දැනේ. ලස්සන ගමනක් යන්නට තිබූ කෙල්ල ගේ ඉරණම වෙනස් කළ පව්කාර ග්‍රහයා වන දක්ෂිණ ව බිම දමා පාගා චප්ප කොට දමන්නට තරම්, ඒ ආවේගය හුම්මානයක් සේ නැගේ.  

“කාම් ඩවුන් ජිතේ. ඔයා ප්‍රෙශර් වැඩි කරගත්තොත් ඒ කරදරත් අපිටමනෙ. ඔයා ලොකු වැඩකට අතගහල තියන වෙලාවෙ හිත සන්සුන්ව තියාගමු. මේක වෙන්නැති වෙන්න තිබුණ හොඳම විදිහ”

ජිතේන්ද්‍ර ගේ නො සන්සුන් හැසිරීම දෙස තවත් බලා සිටිය නො හැකි තැන කිශෝරි නැගිට විත් ජිතේන්ද්‍ර ගේ අත් ගොබයකින් අල්වාගෙන කීවා ය. ඔහු පිය බිරිය දෙස බැලුවේ සුසුමකිනි. දියණියක නිසා පියෙකුගේ පුපුවට දැනෙනා අසරණකම ඒ දෑස් මත විය.

“එයා කොයි තත්වෙකින් ආවත් අපි එයාව බාරගන්නව කියල මං ධාරාට කියලනෙ තියෙන්නෙ. හොඳම දේ වෙයි ජිතේ”

ජිතේන්ද්‍ර නිහඬ කේශර සිංහයෙකු සේ යහන්තලා වැතිරගත්තේ ය. කිශෝරි හැමදාමත් සේ ඔහු ගේ සුරතේ උඩු බාහුවෙහි හෙමිහිට හිස තැබුවා ය.

අම්මා ට කතා කිරීමෙන් පසු අන්තරා කළේ යුගාත්ම විසින් එවා තිබූ අංකය හිමි නීතීඥවරයාට දුරකතන ඇමතුමක් දෙන එකයි. සම්පතී එය ඉක්මන් කරවීමට උත්ප්‍රේරණයක් සපයා තිබිණ. ඊලඟට නීතීඥවරයා හමු වීමේ වාරය එළඹිණි. වෛද්‍යවරයාට රෝගය සේ ම නීතීඥවරයාට අර්බුධය සැඟවූවොත් සිදු වන්නේ නිසි පිළියම් නො ලැබෙන එකයි. එබැවින් ලැජ්ජාව සඟවාගෙන ඇය හා දක්ෂිණ ගැන ද ඔවුන් අතරෙහි තුන්වෙනියෙකු වූ සම්පතී පිළිබඳව ද තතු ඇති සැටියෙන් දැනුම් දෙන්නට ඇයට සිදු විය.

 ඊළඟ දින කිහිපය එකී කටයුතු වෙනුවෙන් ගෙවී ගියේ ය. ඇතැම්  අවස්ථා වල, කාලයේ වැලිතලා අතරේ සැඟවී ගිය ඇතැම් මතක, කුණාටු අතරින් ම ඉස්මතු වී ආයේ ය. කුණාටු විසින් ම ඒවා යටපත් කොට වෙනත් මතකයන් මතු කළේ ය. අභ්‍යන්තරයෙහි එහෙව් කුණාටුවක් පවතිත්දී බාහිරයෙන් වෙනදා වාගේ ම සන්සුන් ව හිඳින්නට අන්තරා උත්සාහ කළා ය. ජීවිතයේ එක් පරිච්ඡේදයකට නිල වශයෙන් නැවතීමේ තිත තබන්නට යන බව පිළිගන්නට හදවත පහසුවෙන් සූදානම් වූයේ නැත. මිය යන්නට එනවා වන් පීඩාවක් ඈ අත්වින්දා ය. ඒ දින කිහිපය තුළ ඕ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරගෙන සිටියා ය. ඒ අලුතෙන් ඇය හා සම්බන්ධතා පවත්වන්නට පටන් ගත් පාරින්දිගේ හා යුගාත්මගේ සමාගමයන් වලින් ඈත් වී හිඳිනු වස් ය. නීතීඥවරයා හා ඇගේ කුඩා ජීවන කවයෙහි සිටිනා අය ගෘහස්ථ දුරකතන අංකය දැන සිටියහ.

ඒ වූ කලී තමන් විසින් තමා වටා ඉදි කරගන්නා වූ ගුහාවක් තුළ තනි වෙන්නට ඕනෑ වන්නා වූ අවස්ථාවකි. එහෙම මොහොත වල අනුන්ගේ එබිකම්කිරීම් හදවතට මහත් වදයකි. තමන් තුළට ම ගුළි වී මතක පාරමින් ද දුක් විඳිමින් ද අවැසි නම් හඬමින් ද හුදෙකලා වීම හැරෙන්නට, එකලට අන් කිසිත් කැප නැත. සුවඳවත් ජීවිතයකට රිසි අන්තරා පරණ ඇඳුමක් ඇඟලාගෙන ඔහේ අතන මෙතන වැටි වැටී හිටියා ය. දාහයක් දැනුණ ද දිය නාන්නට හිතුණේ ම නැත. අතිශය කුසගිනි දැනෙත්දීත් යමක් කුසට දාගන්නට හිත් නො දුනි. හිත මූසල වෙවී, ආත්මය නිස්සාර වෙවී දින කිහිපයක් ගෙවී ගියේ ය.

ඉනික්බිති දවසක දක්ෂිණ ගෙදර පැමිණියේ ය. ඔහු ගේ මූණ නිදන්ගත රෝගියෙකුගේ සෙයින් එල්ලා වැටී තිබිණ.

“එහෙනං ඔයා ඒක කළා නේ… මට ලෝයර් කතා කළා”

ඉතාමත් දුර්වල හඬකින් ඔහු මුණිවත බින්දේ ය. ඒ වගේ අසරණ පෙනුමක් අන්තරා කවදාවත් ඔහු වෙතින් දැක නැත. ඇගේ හද මඬලෙහි උණුහුම් වායු ප්‍රවාහයක් කැරකෙමින් තිබිණ.

“කොච්චර කොහොම කිව්වත් මං හිතුවෙ නෑ ඔයා එහෙම කරයි කියල”

අන්තරා ගේ කට කොනක් සිනහවකට ඇද වූයේ ය.  

“ඔයා හිතුවෙ හැමදාම මං ඔයාගෙ අන්තඃපුරේ අග බිසව පදවි දරාගෙන ඔහේ ඉඳී කියලද…”

දක්ෂිණ දෑත් කලිසම් සාක්කු වල ඔබාගෙන, බිමට මුහුණ හරවා සක්මන් කළේ ය. ඔහු ගේ හදවත කුණාටු කලාපයක් බවට පරිවර්තනය වී තිබිණ. නීතීඥවරයා කතා කළ වෙලාවේ පටන්                                                                                                            හිත අයාලේ ඇදෙයි. මහ කළු ගලක් උරස් කුහරය මත තැබුවා වන් බරක් දැනෙයි.

“ඔයා දන්නව දක්ෂිණ. මං ඔයා එක්ක ආවෙ ඔයා දවසක රජෙක්  වෙයි කියල බලාපොරොත්තුවකින් නෙවෙයි. හැබැයි ඔයාට ආදරෙන්. ඔයා හිඟන්නෙක් වුණත් ඔයාගෙ ජීවිතේ එකම ගෑනි වෙලා මැරෙනකල්ම ජීවත්වෙන එක හිතෙන්. හැබැයි හැමදේම අත්ඇරල ආදරේ වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරපු කෙල්ලෙක්ට අන්තිමට ඔයා මොනාද කළේ… අවුරුදු ගාණකට පාර හොයාගන්න බැරි හද්ද කැලේක අතරමං කරපු එක. ඒත් මං සිහියෙන් හිටිය දක්ෂිණ. ඉවසීමෙන් පාර හොයාගත්ත. මං හිතන්නෑ දැං ඔයාට කියන්න දෙයක් ඇති කියල”

ඈ කතා කළේ නිකට මඳක් ඉදිරියට නෙරනා සේ මුහුණ ඉදිරියට හරවාගෙන ය. දුකක් ද කේන්තියක් ද සම අනුපාත වලින් ඇගේ උගුරේ හිර වී තිබෙන්නට ඇත. නමුත් පෙරී පිටතට ආ වචන අතරේ වූයේ ඒ දෙක ම නොව මහා ආඩම්බරයකි.           

දින කිහිපයක් තිස්සේ අන්තරා ගෙන් කිසිදු හෝඩුවාවක් නොවීම ගැන යුගාත්ම අවදියෙන් සිටියේ ය. කිහිප විටක් ඔහු ඇගේ දුරකතනය සම්බන්ධ කරගන්නට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඕරා ඔෆ් ඇරෝමා කොල්ලුපිටිය ශාඛාවේ දී ඔහු ඒ ගැන පාරින්දිගෙන්  විමසුවේ ය.

“මටත් කතා කළේ නෑ. මං කීප සැරයක් ගත්ත ඒත් කන්ටැක්ට් කරගන්න බැරි වුණා”

“ඇයි දන්නෑනෙ. එයා එහෙම ෆෝන් ඕෆ් කරං ඉන්නෑ නේද…”

“ට්‍රිප් එකක්වත් ගිහිංද දන්නෑ දුරකට”

“ඒත් කිව්වෙ නෑනෙ එහෙම කතාවක්”

පාරින්දි නො දන්නා බව හඟවන්ට උරහිස් හැකිළුවා ය.

“අපි ගෙදරට ගිහිං බලමුද නිකමට…”

“ගේ තියෙන්නෙ කොහෙද කියලනං මං දන්නෑ”

“හස්බන්ගෙවත් කන්ටැක්ට් නම්බර් එකක් නැද්ද…”

“එහෙම ඉල්ලගත්තෙ නෑ ඉතිං. එදා ඔය දෙන්නවම කොෆී ශොප් එකේදි දැකල ඇති වෙච්ච යාළුකමනෙ මේ”

“මේ ළමයට මොනා වෙන්න ඇද්ද…”

‘ළමය?’ යි පාරින්දි ගේ සිත ප්‍රශ්න කළේ ය. නමුත් ඒ වචනය මුවින් පිට කරන්නට තරම් ඇයට ශක්තියක් තිබුණේ නැත. යුගාත්ම සිටියේ සැබවින් ම අන්තරා අතුරුදන් වූයේ කොහේදැයි සිතාගත නො හැකිව ය. ඇය යළි කිසිදාක දැකගන්නට අවස්ථාවක් නො ලැබෙනු ඇත්ද?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here