සුසුවඳ සූත්‍ර – 15

0
512

“සිහිල් සුළං රැල්ලේ… ඔබේ සුවඳ මුසු වේ… ආදරයේ මඳ සිනිඳු පහස ලැබ… හදවත දලු සෙලැවේ…”

අත්‍යන්ත වූ දැවීමක් යුගාත්ම කාශ්මීර අමුණුගම ට දැනෙමින් තිබිණ. ජංගම දුරකතනයෙහි, ඒ ගීය තෝරා ගැයෙන්නට හැරියේ ඔහු ම ය. වික්ටර් රත්නායකයන්ගේ ගැඹුරු භාවමය හඬ අතරෙන් මිහිරක් ද අනියත දුකක් ද දැන් ඔහු පාරයි.

අන්තරා හෙමිහිට පිය තබා හදවත මත ඇවිද යන සර ඔහු ට දැනේ. සුළඟටවත් නො දැනෙන සේ හුස්ම ගන්නා ඇය, පොළොවටවත් නො දැනෙන සේ ඇවිද යන ඇය, හදවත මත මෙහෙම කම්පනයක් දනවන්නේ කෙසේදැයි ඔහු දන්නේ නැත.

මීට මොහොතකට පෙර ද යුගාත්ම අන්තරා ගේ දුරකතනය සම්බන්ධ කරගත හැකි දැයි බැලුවේ ය. නමුත් එය ක්‍රියා විරහිත ය. ඇය සිටින්නේ අතිවිශාල වූ කැළඹුමක බව ඔහු අවබෝධ කරගෙන තවමත් අඩ හෝරාවක් ගෙවී නැත. මෙතුවක් දවස් දුරකතන පවා ක්‍රියා විරහිතකොට දමා ඔවුන් වෙතින් ද ඈත් වී ඇය විඳවනා වග දැන් ඔහු දනී. ඒ සිය හිතවත් නීතීඥවරයාට කතා කිරීමෙන් පසුයි. ඒ ඇමතුමට හේතුව, අන්තරා ගැන හෝඩුවාවක් සොයාගැනීම ය. ඇය ගැන සොයන්නැයි හදවත ඔහු ට බලකොට සිටියේ ය. යුගාත්ම නීතීඥවරයාට කතා කළේ එහි සදාචාරාත්මක බවක් නැති බව දැන දැන වුව වෙන කරන්නට දෙයක් නැතිකමටයි.

“මං යාළුවෙක් එව්ව වැඩක් කරගන්න. අන්තරා කියල…”

ඔහු අන්තරා ගේ නම කීවේ ඇගේ හිතවතා කවුදැයි නො දන්නා බැවින්, සාර්ථක වේදැයි නො දැන ය. නමුත් කිසිත් නොකර ඉන්නවාට වඩා අසාර්ථක වන්නට හෝ යමක් කරන්නට ඔහු ට ඕනෑ වී තිබිණ. මේ ලෙස අතුරුදන් වන්නට ඉඩ නොදී ඈ යළි සොයාගන්නට ඔහු ට ඕනෑ වී තිබිණි.

“ආ… අන්තරා. පව් හැබැයි කෙල්ල. එයාට තිබුණෙ මීට කලින් ඩිවෝස් එකට යන්න. මනුස්සය වෙන ගෑනියෙක් එක්ක ජීවත් වෙන ගමං එතන ළමයි දෙන්නෙකුත් හදං ඉන්නව කියන එක ප්‍රසිද්ධ රහසක්නං ඒ ගැන වොරි වෙන්න දෙයක්ම නෑනෙ”

නීතීඥවරයා ඒ විස්තර කියාගෙන ගියේ යුගාත්ම ගේ කිසිදු මැදිහත්වීමකින් තොරවයි. මෙතෙක් ආවරණය වී තිබි අන්තරා ගේ කතාව, ඈ නීතීඥවරයෙකු බලාපොරොත්තු වූයේ වෙනකෙකු වෙනුවෙන් නොව ඇගේ ම දික්කසාදය වෙනුවෙන් බව යුගාත්ම ඉදිරියේ නිරාවරණය වූයේ එලෙස ය. ඒ මොහොතේ ම අන්තරා ට යළි දුරකතන ඇමතුමක් ගත්ත ද දුරකතනයේ  තත්වය එසේ ම විය. යුගාත්ම මේ රෑ මෝරා වැඩෙන යාමයේ සඳැල්ලට ගොඩවැදුණේ නින්දක අවශ්‍යතාවයක් පේන තෙක් මානයේ නැති බැවිනි.

ගීතය නිමා වූයෙන් යුගාත්ම නැවත ද එය ම ක්‍රියාත්මක කළේ ය. මේ රෑ සඳ පානේ, තඹ පාට සුවඳැති සුළඟේ ඇගේ සුවඳ මුහු වී ඇත්තා සේ ඔහු ට දැනේ.

ඔහු ට අන්තරා වටහාගත හැකි ය. නීතීඥවරයා ගැන විමසත්දී ඈ සිය අනන්‍යතාවය හෙළිදරව් නො කිරීම ගැන පහන් හැඟීමක් ඔහු ට වේ. දුටු මොහොතේ පටන් ඇය ගැන ඔහු අවබෝධ කරගත්තා වූ සත්‍යයක් තිබේ. ඒ ඇය සාඩම්බර ගැහැනියක බව ය. සිය පෞද්ගලිකත්වය ඔහු ට පමණකුදු නොව පාරින්දි ට වුව හෙළිදරව් කරන්නට ඇය ඉක්මන් වූයේ නැත. එසේ ම පිරිමියෙකුට පවා බරක් වන්නා වූ දික්කසාදය නමැති කළු ගලෙහි බර හදවතෙහි දරාගෙන ඈ ඒ අන්තිම දවස් වලත් සිනහ වී සිටියා ය. පුංචි දේවලටත් හඬා වැටෙනා හා ගෙදර අර්බුධ සියල්ල පිටස්තර මිනිසුන් ඉදිරියේ දිගහරිනා දියාරු ගැහැනුන් ට වඩා අන්තරා වාගේ හිතින් හයිය ගැහැනුන් ආඩම්බර ය.

තරු ගගන කළුවර ය. යුගාත්ම ගේ හද මඬල වාගේ ය. අහම්බෙන් කෝපි හලකදී දැනුණු සුවඳක හිමිකාරිය මේ විදිහට හදවතට කඩා වැදුණේ කෙසේදැයි ඔහු දන්නේ නැත. දැනටමත් ඇය මිහිරි රිදුමක් වී ඇති බව පමණක් ඔහු දනී. ඈත අහස් අගාධයෙහි සිහින් රේඛා සලකුණක් ඇඳී ඇසිල්ලකින් නො පෙනී ගියේ ය. තරුවක් කඩාගෙන වැටිණි ද නැතහොත් ඒ අක්ෂි මායාවක් ද කියා යුගාත්ම සිතුවේ ය. තරු කඩා වැටෙත්දී හිතනා දේවල් ඉටු වෙන බව ඔහු අසා තිබේ. යුගාත්ම මන්දස්මිතයකින් නැගිට්ටේ බැල්කනි වැට වෙත යන්නටයි. එකෙනෙහි දුරකතනය හැඬවෙන්ට වූයේ ය. ඒ හැබෑවක් ද නැත්නම් මායාවක් ද? තරමක විමතියකින් ඔහු දුරකතනය සවනට ගත්තේ ය.

“අන්තරා…”

“අනේ සොරි යුගාත්ම. ඔයයි පාරින්දියි කෝල්ස් කීපයක්ම අරං තිබුණ”

ඔහුගෙන් සුසුමක් ගිලිහිණි. කොහේ කොතැනක හෝ ඈ හොඳින් සිටි එක ම ඇති ය.

“ඔයා දීපු නම්බර් එකෙන් මං ලෝයර්ව කන්ටැක්ට් කරගත්ත. මට හිතුන මං ඒක ඔයාට කියන්නැතුව හිටපු එක වරදක් කියල”

“ඉට්ස් ඕකේ”

“අනේ තෑන්ක් යූ සෝ මච් යුගාත්ම. ඒ නම්බර් එක නිසා මට ඒ වැඩේ ගොඩක් පහසු වුණා”

“එහෙනං එච්චරයි”

“ඔයා මට කතාකරල තිබුණෙ…”

“නිකං ඉතිං… එකපාරටම ඔයා අතුරුදහන් වුණ නිසා… පොඩි කාලෙක හිතවත්කමක් තිබුණත් හොයල බලන්න ඕනනෙ කියල හිතුණ”

අන්තරා බරැති සුසුමක් හෙළුවා ය. නීතීඥවරයාගෙන් ආරංචි වන්නට පෙර යුගාන්ත ට ඇත්ත කියනා එක හොඳ යයි මඳ වෙලාවකට පෙර සිට ඇගේ හදවත බල කරමින් සිටී.

“එදා මං ඔයාට කිව්වෙ බොරුවක් යුගාන්ත”

ඇයිදෝ මන්දා ඒ වරද නිවැරදි කරන්නැයි ඇගේ යටි හිත යළි යළිත් සිහිපත් කරමින් තිබිණ. පිරිමි හදවත දෙදරා ගියේ ය. මහත් ස්නේහ හැඟීමක් භූගත උල්පතකින් සේ වහා නැගී සිටියේ ය. නමුත් ඔහු මුණිවත ම රැකියේ ය.

“ඩිවෝස් එක… යාළුවෙක්ට නෙවෙයි… මට…”

සැබවින් වචන තෝරා බේරා ගත යුත්තේ කෙසේදැයි ඔහු ට වැටහුණේ ම නැත. වැටහුණ එක ම දෙය, ඇයට කිසිදු පසුතැවීමක්, වරදකාර හැඟීමක් නො දැනිය යුතු බවයි. දික්කසාදය නමැති ටර්නාඩෝ සුළි කුණාටුව මැද සිටිනා ඇයට, එය පහ වී යන තුරු සුවපහසු කලාපයක් තැනිය යුතු බවයි.

“අන්තරා… ඉතින් ඔයා ඒක මට කියන්න ඕන නෑනෙ. හරි කෙනාට ඔයා ඒක කිව්වනෙ. ඔයා හරි. එකපාරටම පිටස්තර පිරිමියෙක් විශ්වාස කරන්නෙ කොහොමද… ඩිවෝස් එකක් වගේ පර්සනල් දෙයක් ගැන කියන්නෙ කොහොමද… කාල බලලවත් මිනිස්සු තේරුං ගන්න බෑනෙ. සාමාන්‍ය ගෑනියෙක්ටවත් ආරක්ෂාවක් නැති මේ සමාජෙ… මං ඩිවෝස් වෙන්නයි හදන්නෙ කියල පිරිමියෙක්ට කියන්නෙ කොහොමද ඒ පිරිමියව විශ්වාස කරල… ඩෝන්ට් වොරි”

“අනේ මේ වෙලාවෙ මාව තේරුං ගත්තට තෑන්ක්ස් යුගාත්ම. දැං මගෙ හිත නිදහස්”

“මමත් ඔය අමාරු දවස් අමාරුවෙන් ගතකරපු  මිනිහෙක්. ඒක නිසා ඔයාට දැනෙන දේවල් ගැන… ඔයාට දැනෙන විදිහ ගැන මට තේරෙනව. ඔයාට හොඳයි කියල දැනෙන විදිහට මේ දවස් ටික ගතකරන්න. සමහරුන්ට ඒ කාලය තට්ට තනියම ඉන්න ඕන වෙනව. කාත් එක්කවත් කිසි ගනුදෙනුවක් නැතුව… තමංගෙ හිත එක්ක විතරක්… සමහරුන්ට පහසුවක් දැනෙන්නෙ ඊට වැඩිය වෙනස් විදිහට. යාළුවො හරි කවුරුහරි එක්ක කතා කර කර… ඇවිදල… හිනාවෙලා කෑගහල…ඒ කොයි විදිහට හරි බැක් ටු නෝමල් වෙන්නයි ඕනෙ. ඒකට ඔයාට ඕනෙ කාලය ගන්න. කාලය අරං සම්පූර්ණයෙන්ම රිකවර් වෙන්න”

අන්තරා ගේ දෑස් පියවී ආවේ ය. ඒ වචන අතරේ ඇයට දැනුණේ හිස පිරිමදිනා සුවයකි.

“යාළුවො විදිහට අපිත් ඔයත් එක්ක ඉන්නව කියල අමතක කරන්නෙපා”

ඔහු ඒ ‘අපි’ කියා යෙදූ බහු වචනය තුළ පාරින්දි ද සිටිනා බව සිතන්නට අන්තරා කැමති වූවා ය.

“තෑන්ක් යූ”

ඔහු ට ඇසෙන නෑසෙන සේ ඇය මිමිණුවා ය.

“ඔයාට ඕනවෙන ඕනම වෙලාවක… ඕනම දේකට කතා කරන්න. ඒ ගැන කිසිම ගිල්ටි ෆීලින් එකක් තියාගන්න එපා. අපි හොඳ යාළුවො කියල විතරක් හිතන්න. ඕකේ…”

“ශුවර්”

ඈ තෙපළේ මුදු සිනහ භාෂිතයකිනි. මහා දුක් වැවක් ඒ සිනහ සර යටින් සරැලි නැගුවේ ය. නමුත් මොකක්දෝ කියන්නට නො දැනෙන සුවපහසු බවක් ද ඇය අත්වින්දා ය.

සුව යහනා පවා සුව නින්දක් උදා නොකරන අවස්ථා තිබේ. අන්තරා ට, දක්ෂිණට සේ ම යුගාත්ම ට පවා එය එසේ වූයේ ය. ඔවුන්ට තනි වෙන්නටත් කල්පනා කරන්නටත් වෙන වෙන ම තමන්ගේ ම ලෝක තිබිණ. ඒ රැයේ අන්තරා පාරින්දිට ද සිය තත්වය ගැන කෙටියෙන් දැනුම් දුන්නේ, යුගාත්ම ට කියා ඇය අත්හරිනා එක යුතු නැති බව දැනුණු බැවිනි. පාරින්දි හදිසි කම්පනයකට ලක් වූවා ය.

“මට ඒක තේරෙන්නෑ. ඒ කියන්නෙ… ඔයා වගේ ලස්සන පෙනුමක් තියන… ඔයා වගේ ලස්සන බිහේවියර් එකක් තියන… කොටිංම ගෑනියෙක්ට ඕන කියල අපි හිතන හැම දෙයක්ම අඩු නැතුව තියන… මනුස්ස දුවකට වඩා දෙව්දුවක් වගේ පේන ඔයා වගේ ගෑනියෙක්ව දාල වුණත් පිරිමියෙක්ට වෙන ගෑනියෙක් ළඟට යන්න පුළුවන්ද…”

“මේ සමහර දේවල් තේරුං ගන්න ඔයා තාම පොඩි වැඩිත් ඇති පාරි. මට වුණත් එහෙම වෙනකොට සිහි නැති වෙලා ගිය තරමයි. සමහර දේවල් අපි කවදාවත් පොත් පත් වලින් ඉස්කෝල වලින් විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගන්නෑ. ඒ කිසි තැනක උගන්නන්නත් බෑ. ඒ දේවල් අපි ඉගෙනගන්නෙ ජීවිතෙන්. ජීවත් වීමෙන්. සමාජෙන්. එහෙම තමයි. හුඟක් ගෑනු ආදරේ හොයද්දි පිරිමි ශරීර වෙනසක් හොයනව. එතනට ලස්සන කියන දේ ලොකුවට වැදගත් දෙයක් නෙවෙයි. ඊට වැඩිය වෙනස්  දේවල් වැදගත් වෙන්න පුළුවන්. මගෙ හස්බන්ටනං… එයා ජීවිතේ උඩට දාගන්න මහන්සිවෙන කාලෙ අර ලේඩි එයා එක්ක හරි හරියට වැඩ කළා. එතනදි මට වැඩිය වැලියු එකක් එයාට ලැබෙන්න ඇති. අනික පිරිමි සෙක්ස් කියන දේට වැඩියෙන් නැඹුරුවෙන අය. එයා බලාපොරොත්තු වෙන ගොඩක්  දේවල් එකම තැනකින් ලැබෙද්දි ඒ පැත්තට වැඩියෙන් බරවෙනව කියන එක සාමාන්‍යයි. ඒ පැත්තෙන් බරදාල අදිනකොට කොහොමත් එහෙට ඇදිල යන්න වෙනව. පස්සෙ මේක කැමැත්තෙන් වගේම අකමැත්තෙන් වෙන්නත් පුළුවන්. තව පස්සෙ ගැලවීමක් නැතිකමට වෙන්නත් පුළුවන්. හැබැයි එතකොට අනිත් පැත්ත බිඳවැටිල තියෙන්න පුළුවන්”

“කොල්ල මාව නිග්ලෙක්ට් කරල වෙන කෙල්ලෙක්ට ලං වෙනකොට මං ඩීප්‍රෙස් වුණා. කෑගහල යකානැටුව. අන්තිමට කොල්ල මාව අතෑරියාම මට ඩීප්‍රෙශන් වලට බෙහෙත් ගන්න වුණා. තාමත් බෙහෙත් බොනව. මට හිතාගන්න බෑ අන්තරා ඔයාගෙ හිත ගැන”

“තදකරල අල්ලං ඉන්නකොට රිදෙන්නෙ අපේ අතමයි පාරි. අත්ඇරියහම එයාලත් නිදහස් අපිත් නිදහස්. මං ඒක දන්නව. හැබැයි කරන්න යද්දි ලේසි නෑ. සම්පූර්ණ අතෑරීමක් වෙනුවෙන් බුදු හාමුදුරුවො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු. ඉතිං මේ දැනෙන අමාරුව ගැන ලොකුවට වද වෙන්න ඕන නෑ. හෙමිහිට ප්‍රැක්ටිස් කරන්නයි තියෙන්නෙ. මං ඒක දන්නව. ඒත් ඒක ලේසි නෑ”

ඒ වෙලාවේත් අන්තරා ගේ ඇතුළාන්තයෙහි ස්පර්ශ කළ නො හැකි යම් තැනකට රිදෙමින් තිබිණ. ඒත් ඇය මඳ සිනහවකින් සිටියා ය. වේදනා නාශක භාවිතයට වැඩිය සැත්කමක් සංකීර්ණ වනු ඇත. වේදනාව වැඩි ද සුව වෙන්නට කාලයක් ගත වනු ද ඇත. නමුත් වේදනා නාශක වලින් කෙරෙනුයේ වේදනාව නමැති රෝග ලක්ෂණය යටපත් කිරීම පමණකි. වේදනාව ඇති කරනා හේතුව පුළිනුපුටා දමන්නට නම් සැත්කමක් කළ යුතු ම ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here