අනෙකාව සිර කර තැබීම ආදරය නොවේ.

සතුටින් ඉපිලෙන හිතත් අරගෙන මං කාර් එකට නැග්ගෙ යන්තම් පාන්දර හතර පහු වෙද්දි. අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතිව සතුට බෙදා ගන්න කොට මං පිටිපස්සෙ සීට් එකට වෙලා මං රැයක් දවාලක් නැතුව කැපවෙලා දිනාගත්ත කුසලානයත් එක්ක තනි උනා.
හිතේ කැකෑරෙන අසීමිත වේදනාවක් එක්කයි මං ගායන තරඟයේ අවසන් වට වල තරඟ වැදුනේ. අභූත චෝදනාවන් රාශියක් එක්ක විරාජ්ගෙන් ඈත්වීමේ වේදනාවත් දරාගෙන මං ඕනවටත් වඩා පුහුණුවීම් වල යෙදුනේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් හුඟාක් අමතක කරන්න හිතාගෙනමයි.

තවත් පිරිමි ළමයි දෙන්නෙක් එක්ක මං අවසාන වටයටත් තේරෙනකොට අවසන් දොළොස් දෙනාගෙ වටයෙන් තරඟයෙන් එලියට විසි වුණ විරාජ් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා බලාගෙන හිටියෙ කෝපයෙන් පිපිරෙන ඇස් වලින් කියලා මං හොඳටම දැක්කා.

” ඔයාට තියෙන්නේ ඕනේ තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන් වොයිස් එකක් සුරේඛා “

” ගොඩක් අය ඔයා ගැන ඉරිසියාවෙන් ඉන්නේ සුරේඛා “

විරාජ් දවසක් කෙටි පණිවිඩයකින් මට එහෙම කිව්වා. එයා එහෙම කියන්න හේතුව මම දැනගෙන හිටියත් ඒක එයාගෙන්ම අහගන්න මට ඕන වුණා .

” ඔයාට special talents තියනවා කියලා කොල්ලො ටිකත් makeup room එකේදි කතා වුනා “

විරාජ්ගේ වචන වලට මට දැනුණේ ආඩම්බරයක් . හැමෝම එක්ක මං සුහදව හිටපු නිසා කවුරු මොනවා කිව්වත් මම ඒ තරම්ම ගණන් ගත්තෙ නෑ . සතියට දින කිහිපයක්ම පුහුණුවීම්වලදී මුණගැහෙන නිසා විරාජ් මගේ හොඳම යාළුවෙක් වුණේ හිතාගන්නවත් බැරි තරම් වේගයකින්.
ඊටත් පස්සෙ ඒ යාළුකම ආදරයක් බවට පෙරළුණේ අපිටත් නොදැනිම

ඊළඟ තරඟ වට වලට මං සහභාගි වුණේ ගොඩක් ආසාවෙන් වගේම උනන්දුවෙන් . විරාජ් ඇතුළු අනෙක් තරඟකරුවන් වේදිකාවේ කොණක වාඩි වෙලා ඉන්නකොට මං වේදිකාව උඩ මගේ උපරිම දක්ෂකම් පෙන්නුවා.

” කවද හරි අපි දෙන්නට අතුල – සමිතා වගේ සින්දු කරන්න පුළුවන් නේද විරාජ් ? “

විරාජ් එක්ක සුන්දර අනාගතයකට හීන දැක්ක මං බලාපොරොත්තු ගොඩගැහුවේ එහෙම

” එකට ස්ටේජ් නගින්නත් පුළුවන් අපිට “

විරාජ් ඒ හීන වලට ඉනිමං බැන්දා.

විරාජ් සහ මම පෙම්වතුන් කියලා ටික දිනක් යනකොට තරඟයේ හිටපු ගොඩක් දෙන දැනගත්තා.පුදුමයකට වගේ බොහෝ දෙනා අපිට සුබ පැතුවා.හැම දවසක්ම ගලා ගෙන ගියේ සුරංගනා කතාවක් වගේ සුන්දරව.

හැම පුහුණුවීම් වාරයක් සඳහාම අපි දෙන්නා ගියේ එකට.විරාජ්ව මුණගැහෙන්න තියන ආසාව වගේම ගායනය කියන්නෙත් මං ආසම දේ නිසා ඇත්තටම මගේ ජීවිතේ හැම මොහොතක්ම මං හරි අපූරුවට වින්දා.

” සුරේඛා හරි සතුටින් ඉන්නෙ කියලා දැන් මූණෙන්ම පේනවා “

විනිශ්චය මණ්ඩලයේ ඉන්න වජිරා මහත්මිය එහෙම කිව්වම මම ලැජ්ජාවෙන් වගේ හිනා වුනා

” අපි දන්නවා රහස “

ඇය එහෙම ඉඟියකුත් දුන්නේ හරිම ආදරෙන්

” අර චින්තක ඔයා ගැන වර්ණනා කරනවා වැඩියි “

මට වැඩිය අවුරුද්දක් දෙකක් වැඩිමල් උන තරගකරුවෙක් ගැන දවසක් විරාජ් එහෙම කියද්දි මං ඒ ගැන වැඩිය හිතන්න නොගියේ විරාජ් හැරුනම තරගය හිටපු හැම කෙනෙක්ම මට එක හා සමාන නිසා .

ඒ වෙද්දි අපි හිටියේ තරඟයේ අවසාන 24 දෙනාගේ වටයේ.ඉතාම තියුණු තරඟයකින් අවසන් 21 දෙනාව තෝරගත්තාට පස්සේ අපි 21 දෙනාට පුහුණු කඳවුරක් සඳහා කොළඹ හෝටලයක නවතින්න පහසුකම් ලැබුනා.

පුහුණු කඳවුරකට වඩා අපිට ඒක විනෝද ගමනක් ආවා වගේ දැනුනා.හැමෝම සැහැල්ලුවෙන් කාලය ගෙවනකොට දවස් කීපයක්ම එක දිගට විරාජ්ව පේන මානයේ ඉන්න ලැබෙන එකේ සතුට මං වගේම විරාජුත් භුක්ති වින්දා.

” සුරේඛා මොකෝ මෙතන ? “

මගෙ මිතුරිය අයේශා දුරකථන ඇමතුමක් ඉවර කරලා එනකන් හෝටලේ කොරිඩෝවක් ලඟ හිටපු මගෙන් එහෙම ඇහුවේ චින්තක

” මේ අයේශාට කෝල් එකක් ආවා අයියේ.අපි ලන්ච් අරන් රූම් එකට යන ගමන් හිටියේ “

” ආ.. එහෙමද ? මොකක්ද සුරේඛා ඔයා ඊලග රවුන්ඩ් එකේදි කියන සින්දුව ? “

චින්තක අහපු ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට පුළුවන් නොවුනේ ඒ වෙලාවෙ එතනට විරාජ් ආව නිසා

” සුරේඛා.. ඔයාට මම කී පාරක් ගත්තද ? ඇයි ආන්සර් කරන් නැත්තෙ ? ලන්ච් අරන් කොහෙ ගියාද කියලා මම මේ බැලුවේ “

විරාජ්ගේ හඬ ටිකක් රලුයි කියලා මට යන්තමින් දැනුනා

” අ…අනේ විරාජ්.. මම ෆෝන් එක රූම් එකේ දාලා ඇවිත් “

ඇත්තටම කිව්වොත් විරාජ්ට ගැටලුව උනේ මම ෆෝන් එකට උත්තර නොදීපු එක නෙමෙයි.කොරිඩෝවක් ලඟට වෙලා චින්තක අයියා එක්ක කතා කරපු එක.

” ඌ තමුසෙට බැල්ම දානවා කියලා දැන දැනම තමුසේ මොකටද එක එක අහුමුලු වල ඉඳන් ඌ එක්ක කතාවට ගියේ ? “

විරාජ්ගේ පලවෙනි චෝදනාව උනේ ඒක

” ඔයාට පිස්සුද විරාජ් ? එයා අපි දෙන්නා ගැන හොඳටම දන්නවානේ.අනික එයා එතනට ආවේ අහම්බෙන් “

” අහම්බෙන් ගොඩක් ඒවා වෙනවා වගේ “

විරාජ් ඕනවට වඩා කෝපයට පත් වෙලා කියලා මට දැනුනත් මගේ හිතේ ඔහු ගැන තියන අසීමිත ආදරේ මට ඉවසීම හුරු කලා.

රෑ කෑම වෙලාවෙදි චින්තක ආවේ පරක්කු වෙලා. විරාජ් මගේ ලඟ වාඩිවෙලා ඉන්නකොට මගේ අනෙක් පැත්තෙ පුටුව හිස් වෙලා තියන නිසා චින්තක ඇවිත් එතනින් වාඩිවුනා

” තමුසෙද අරූට එහා පැත්තෙන් වාඩි වෙන්න කිව්වේ ? “

රෑ කෑම ඉවර වෙලා කාමරයට ආවට පස්සේ විරාජ්ගෙන් කෙටි පණිවිඩයක් ආවේ එහෙම අහලා.මට සුසුමක් හෙලුනේ ඉබේටම.

” මොකක්ද මේ වෙන්න යන්නේ “

මම මගෙන්ම අහගත්‍තා

ඉන් පස්සේ ඇරඹුන හැම දවසක්ම ගලාගෙන ගියේ විරාජ්ගේ සැකය දලු දාගෙනයි.

දවස් දාහතරක පුහුණු කඳවුරෙන් පස්සේ අපිට සතියක විවේකයක් ලැබුනා. ඊලඟ සතියේ සෙනසුරාදා තරඟයේ ඊලඟ වටය පැවැත්වෙන්න නියමිතව තිබුන නිසා අපිට බ්‍රහස්පතින්දා පෙර පුහුණුවීම් තියන්න නියමිතව තිබුනා

” මොකද සුරේඛා තමුසෙගේ ෆෝන් එක වේටින් ?

” රත්නපුරේ පැත්තෙ ළමයෙක් කතා කලා විරාජ්.මට SMS කරපු ළමයෙක් “

” ඇත්තට ? මම මෝඩයෙක් කියලද හිතන් ඉන්නේ ? “

” ඇයි ? “

” හැයි තමයි.. හෙට ප්‍රැක්ටිස් යන්න මං එනකන් ඉන්නවා . මං නැතුව ගියොත් බලාගන්නම්කො මං “

විරාජ් මාව ආරක්ශා කරන්න හදනවද එහෙමත් නැත්තම් හිර කරන්න හදනවද කියලා මට හිතාගන්න බැරිවුනා.

” ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ සුරේඛා ? ”

පුහුණුවීම් අතරතුරදී අයේශා මගින් එහෙම ඇහුවේ වෙනදා ඉන්න දගකාර කෙල්ල වෙනුවට තරමක් නිහඬ කෙල්ලෙක් මගෙන් දැක්ක නිසා වෙන්න ඇති

” එහෙම නෑ අයේශා.. මගෙ හිතට ටිකක් හරි නැහැ “

” සුරේඛා.. මොකෝ අවුල ? “

චින්තකත් එතනට ආවේ එතකොට. මගේ හිත පණ බයේ ගැහෙන්න ගත්තේ ඊලඟට මොකක් සිද්ධ වෙයිද කියලා හිතාගන්න බැරිකොටයි

” තමුසේටයි චින්තකටයි උදව් කරන්නේ අයේශා ද ? “

පුහුණුවීම් අවසන් වෙලා මං තාත්තා එනකන් ඉන්නකොට විරාජ් ඔහුගේ චෝදනා කිරීම පටන් ගත්තා

” මට තේරෙන්නෙ නෑ විරාජ් ඔයාට මොනවා වෙලාද කියලා “

මගේ හඬ බොඳවෙලා ගියා.දශමයක වත් වරදක් නොකර මේ විදියට චෝදනා අහන්න ලැබෙන එක මට දරාගන්න බැරිවුනා. ඒත් විරාජ් දිගින් දිගටම එයාගේ සැකයේ එල්ලිලා හිටියා.

රෑ එළිවෙනකන් මොකක් හරි දේකට රන්ඩු කරන එක, පුහුණුවීම් වලදි මගෙ පස්සෙම වැටිලා ඇහැ ගහගෙන ඉන්න එක විරාජ් පුරුද්දක් කරගත්තා.

අවසාන දාහතර දෙනාගේ වටයේදි තරඟය තරමක් අසීරු බවක් පෙනෙන්නට තිබුනා.හින්දි ගීත ගායනා කරන්න විනිශ්චය මණ්ඩලය නියම කරලා තිබුන නිසා ඉතා හොඳින් පුහුණු වෙන්න අපිට සිදුවුනා. ඒත් පුහුණුවීම් වලට අවධානය දෙනවා වෙනුවට විරාජ් , මම චින්තක එක්ක කතා කරනවද කියලා අවධානෙන් ඉන්න ගත්තා .

” ඔය දෙන්නා අතර ප්‍රශ්න නේද ? “

ගොඩක් දෙනා එහෙම අහන එක මට මානසික වදයක් උනා. ඊටත් වඩා දවස ගානේ විරාජ්ගේ සැකයට බඳුන් වෙන එක මට දරාගන්න බැරිවුනා.

තේරෙන කාලේ ඉඳලා මගේ හීනය උනේ ගායිකාවක් වෙන එක.පොඩි කාලේ ගෙදර පුටු උඩට නැගගෙන මං සින්දු කිව්වෙ ස්ටේජ් එකක සින්දු කියනවා කියලා හිතාගෙන. ඒ හීනයට යන්න පාර කපාගන්නයි මම මේ තරඟයට ආවේ. නොසන්සුන් හිතකින් තරඟ වදින්න බෑ කියලා මට වැටහුනත් ,මේ මොහොතේ කරන්න ඕන මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුනා

හැමදේටම තිත තියන්න ඕනෙ කියලා අන්තිමට මම තීරණය කරේ විරාජ් මගේ කම්මුලට ගහපු දවසේ. ඒකට හේතුව උනේ පුහුණුවීම්වලට ගිහින් ගෙදර එන අතරතුරදී තරඟයේ හිටපු වෙනත් තරගකරුවෙක් වුන රදීශ් මට දුරකථන ඇමතුමක් ගැනීම.රදීශ් මට කතා කලේ මගේ ෆෝන් චාජර් එක මම දාලා ඇවිත් බව කියන්න කියන එක විරාජ් විශ්වාස කලේ නෑ.

” ඒ පාර තමුසේ ඌ එක්කත් නටන්න ගත්තද ? “

එදා පුහුණුවීම් වලට ගිහින් ඇවිල්ලා රෑ එලිවෙනකන් විරාජ්ගෙන් කාපු කම්මුල් පාර මතක් කරමින් මං හැඬුවා. මගේ හීනයට යන පාර විරාජ්ගේ අකටයුතුකම් නිසා ඇහිරෙනවා කියලා අන්තිමට මම තේරුම් ගත්තා. ආදරය කියන තැනට සැකය ගෑවුනොත් දෙන්නෙකුට එකට ගමනක් යන්න බෑ කියන එකත් මම තේරුම් ගත්තා.

ඉතින් මම තීරණය කලා නතර වෙන්න.

හැමදේම පැහැදිලි කරලා විරාජ්ට කෙටි පණිවිඩයක් යවපු මම දුරකථනය ක්‍රියා විරහිත කරලා පැය ගණනාවක් හිටියා . ඊලඟ දවසෙ පුහුණුවීම් වලට යන්න තිබුණ නිසා වෙලාවටත් කලින් මම අම්ම එක්ක ගෙදරින් පිටත් වුනේ පුහුණුවීම් ඉවර වෙන්න රෑ වෙන බව අම්මට කියලා

හිත ඇතුලෙ මහා ලොකු දුකක් තදකරගෙන මම පුහුණුවීම් වලට සහභාගි වුණේ මාත් එක්ක කතා කරන්න උත්සහ කරපු විරාජ්ව මග අරින්න ලොකු උත්සහයක යෙදෙන ගමන්. එකම එක වැරදි තීරණයක් නිසා මගේ අරමුණු නැති කරගන්න ඕනෙ නෑ කියලා මම ඒ වෙද්දි තදින්ම තීරණය කරලා තිබුණා .

” මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න “

විරාජ් එක වෙලාවකදි මගේ අතින් තද කරලා අල්ල ගත්ත මොහොතක මම එහෙම කිව්වා

” තමුසේට බෑ සුරේඛා මට මෙහෙම කරන්න “

” පුළුවන් . ඔයාගෙන් ගුටි කකා බැනුම් අහ අහ ඉන්න ඕනද මම ? ඔයා ආදරේ කියලා හිතන් ඉන්නෙ ඒක නම් ඔයාට වැරදුනේ අන්න එතන “

දැඩි ස්වරයකින් කියපු මම විරාජ් ගේ අත ගසලා දාලා එතනින් ආවා .

තවත් තරඟ වට දෙකකින් පස්සේ අවසාන දොළොස් දෙනාගේ වටයෙන් විරාජ්ව තරඟයෙන් ඉවත් වුනා.ඔහුගේ ගායනයේ තිබුන අඩුපාඩු නිසාත් රසිකයන්ගේ SMS පණිවිඩ මදිකම නිසාත් තරඟයෙන් ඉවත් වුනත් විරාජ් හැම තරඟ වටයක්ම නරඹන්න ඇවිත් තරහව පිරුණු ඇස් වලින් බලන් ඉන්නවා මම දැක්කා.

ආදරය කරපු මතක අමතක කරන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙන නිසා මං ඒ වේදනාවත් එක්ක වැඩිපුර පුහුණුවීම් වල යෙදුනා.වේදිකාව උඩ ගායන කරන සමහර අවස්ථා වල විරාජ්ව මතකයට ආවත් ආයාසයෙන් ඒ මතක යටපත් කරගෙන මම තරඟ වැදුනා.

අන්තිමට ,
මම මගේ හීනේ ජය ගත්තා.

අවසන් මහා තරඟයට තේරිලා අද රෑ මම තරඟ වැදුනේ වෙනදාටත් වඩා ප්‍රබෝධයෙන්. අවසන් ප්‍රතිපලයේදි මගේ නම කියනකොට මුලු ලෝකේම ලැබුනා වගේ හැඟීමකින් මම වේදිකාව උඩ සතුටු කඳුලු වැගිරුවා. වේදිකාවට ඇවිත් මට සුබ පතපු අය අතරේ විරාජුත් හිටියා.ඔහුගේ ඇස් වල තිබුනේ පරාජිත හැඟීමක්.

එකම පාරක යන්න බැරිවුනත් විරාජ් කියන්නේ මගේ ජීවිතේ මට ආදරය ගැන ලස්සනම මතක එකතු කරපු කෙනා. ඔහු ගැන මගේ හිතේ අහිතක් ඉතිරි වෙලා තිබුනේ නෑ.

ආදරයේදි අනෙකාට නිදහස දෙන්න ඕනේ. අපි අනෙකාව තදින් අල්ලාගෙන හිටියොත් බුරුලක් ලැබෙන පලවෙනි මොහොතේම එයා නිදහස හොයාගෙන ඉගිලිලා යනවා.

ජීවිතය විඳින්න හීන ජයගන්න හැම කෙනාටම අයිතියක් තියනවා. අපි හැමවෙලාවෙම ආදරය කරන කෙනාගේ හීන වලට යන්න පාර පෙන්වනවා මිසක් මග අහුරන්න හොඳ නෑ . මං දිනාගත්ත තරු කිරුළ දිහා බලාගෙන මං අන්තිමට හිතුවේ එහෙම !

More Stories

Don't Miss


Latest Articles