යුතුකම් නොදන්න දරුවෝ

“තාත්තගෙ බේත් ටික ගන්න සල්ලි එවල නෑ..”

මනුෂි දුරකථනයෙන් එහා පැත්තෙන් එන සැර හඬට ඇහුම්කන් දුන්නේ බොහොම ඉවසීමෙන්.කාර්යාලයේ හොඳටම කාර්යබහුල වෙලාවක මේ වගේ ඇමතුමක් එන එක හිසරදයක්.ඒත් අනෙක් පැත්තෙන් ඇහෙන හඬ ලේසියෙන් නිහඬ නොවන බව මනුෂි දන්නවා.

“අම්මේ, සඳුන්ට සැලරි ලැබෙන්නේ විසි පහ.එයා සල්ලි එදාම දැම්මනෙ..”

මනුෂි බොහොම ඉවසීම පිරුණු හඬකින් කිව්වා.ඒත් හඬ දරුණු වුණේ ඊටපස්සේ.

“ඔව් අද දොළහ.විසිපහ සල්ලි එවලා ආයේ උන්නද මළාද බලන්නේ නෑ.ඒකට තමයි අපි දරුවෝ හැදුවේ.”

මනුෂි දුරකථනය ක්‍රියාවිරහිත කරලා වොෂ්රූම් එකට ඇවිදගෙන ගියේ හිත ටිකක් සන්සුන් කර ගන්න හිතාගෙන.නැත්නම් අද දවසම වැඩ කරලා ඉවරයි කියලා මනුෂි දන්නවා.

“තාත්තාගේ කකුලක් කපන්න වෙලාලු.”

සඳුන් ඒ ආරංචිය ගෙනල්ලා දැන් මාස දෙකකට වැඩි මිසක් අඩු නෑ.ඒක ඒ තරම් හොඳ ආරංචියක් නොවෙන හින්දා මනුෂි මොකුත්ම නොකියා අහගෙන හිටියා.

“දියවැඩියාව තිබුණට ප්‍රවේසම් වුණේ නෑනෙ තාත්තා.ඔය පොඩි තුවාලයක් තියනකොටම මම කිව්වා ඉතින් තාත්තට බෙහෙත් කරගන්න කියල.ඇහුවේ නෑනෙ.”

සඳුන් එදා කතා කරේ හොඳටම හිතේ අමාරුවෙන්.

“අනිත් එක තාත්තා කෑමෙන් බීමෙන් පරිස්සම් වුණෙත් නෑ.අම්මා ඒවට උනන්දු කරෙත් නෑනෙ..”

සඳුන් නොනවත්වාම කියනකොට මනුෂි සඳුන්ගේ හිත හදන්න උත්සාහ කළා.ඒත් සඳුන් හිටියේ හොඳටම හිත පාරාගෙන.

Sad unhappy teenage girl

“තාත්තට සල්ලි ඕනෑ.බේත් කරන්න අපිට කොහෙන්ද සල්ලි?”

සඳුන්ගේ අම්මා ඊළඟට නිතරම ඇමතුම් දෙන්න පටන් ගත්තේ එහෙම කියන ගමන්.හොඳ රැකියාවක් කරන තරමට ඉගෙන ගෙන ලැබෙන වැටුප ප්‍රවේසමෙන් පාවිච්චි නිසා අඟහිඟයක් ඒ තරම් නොදැනෙනකොට ඔය ඉල්ලන මුදල් ගැන මුලදි මනුෂිට අහිතක් හිතුණෙම නෑ.

“එයාලට මේ වෙලාවේ කරදර ඇති සඳුන්..”

මනුෂි නපුරු ලේලියක් නොවී එහෙම කීවේ ඇත්තටම හිත පිරිසිදුකමින්.

“ඒ ලෙවල් ඉවර වුණු ගමන් අම්මා මට රස්සාවක් කරන්න කිව්වා.මම කැම්පස් ඇවිත් ඉගෙන ගත්තෙ පාට් ටයිම් කරල හොයා ගත්තු සල්ලිවලින්.ඔයාට ඒක අමතකද?”

සඳුන් එදා ඇහුවෙත් හිත හොඳටම රිදවාගෙන.මනුෂිට ඒවා අලුතින් මතක් කරන්න ඕනෑ නෑ.උත්සාහවන්ත සරසවි සගයාට ආදරේ කරන්න මනුෂිට හිතුණෙත් ඔහු ජීවිතේ එක්ක කරන සටන දැකලා.

“ඈත ගම්වල ළමයි අපි එක්ක හිටියා මනූ.එයාලට දුප්පත් අම්මලා තාත්තලා හිටියා.ඒ මිනිස්සු අඳේට කුඹුරු කරලත් තමන්ගෙ දරුවො ඉගෙන ගන්න එක ගැන ආස වුණා.අපේ අම්මලට තියෙන්නේ සල්ලි නැතිකම නෙවෙයි.මුදල් පරිපාලනයක් නොදන්නකම..”

මනුෂි ඔය දේවල් හිතමින් ආපහු තමන්ගේ ආසනයට ආවේ හිත ටිකක් නිවා ගන්න ගමන්.ඇවිත් දුරකථනය ක්‍රියාත්මක කරාම එහි මඟ හැරුණු ඇමතුම් කිහිපයක්ම මනුෂිට පෙනුණා.

සඳුන්ගේ නංගි!

“අම්මා සල්ලි ඉල්ලුවද අක්කා?”

මදූකා කතා කරේ නොරිස්සුමෙන්.මනුෂි තත්ත්වය සාමාන්‍ය බව හඟවමින් ඇය සමඟ කතා කළා

“මං පෙරේදාත් සල්ලි වගයක් දීලා බඩුමුට්ටුත් අරන් දීලා ආවේ අක්කා.බලන්නකො අම්මා කරල තියෙන දේ.”

මදූකාගේ කේන්තිකාර කටහඬ එක්ක මනුෂිට ලා හිනාවක් උපන්නා.අද නම් වැඩක් කරන්න වෙන්නෙම නෑ.

“අම්මා පන්සලේ කඨිනෙට ලොකු ගාණක් දීලා.සෝමා නැන්දට වඩා ගාණක් පූජා කරන්න ඕන වුණාලු.බලන්නකො අක්කා.පින් කරන්නෙත් තරගෙට.බෙහෙත් ගන්න සල්ලි අයියගෙන් ඉල්ලගන්නම් ගගා මට බනිනවා..”

බෙහෙත් සේරම අරන් දීලා ඉවරයි කියලා දැනගෙන හිටියත් මනුෂි වචනයක්වත් නොකියා අහගෙන හිටියා.

“ඉඩකඩම් සේරම විකුණ විකුණ ඒ කාලෙත් විකාර කරා.හම්බ කරන සතයක්වත් ඉතුරු කළෙත් නෑ.අපි මහන්සි වෙලා රස්සාවක් කරලා හම්බ කළාමත් ඒකෙන් සෝබන වියදම්.දැන් මට හොඳටම බැන්නා.දෙමව්පියෝ දරුවො හදන්නේ ඒකටලු.එයාලට සලක ගන්නලු.අනේ මට ඔලුව විකාර වෙනව අක්කේ..”

තමන්ගේ දරුවන්ට ඔහේ ඇතිදැඩි වෙන්න ඉඩ ඇරලා ඒ දරුවෝ පාර හොයාගෙන ජීවිතේ දිගේ ඇවිදගෙන යනකොටත් කරදර දෙන අය ඇත්තටම දෙමාපියන් කියන්න සුදුසු අය ද කියලා මනුෂි හිතුවා.ඒත් මොකුත්ම නොකියා අහගෙන හිටියේ මධූකාගේ වේදනාව හේදිලා යනකම්.

මදුකා තවත් බොහෝ දේවල් කියමින් ඉඳලා දුරකථනය විසන්ධි කළා.දවල් කෑම වෙලාවත් ළං වෙලා.ඒත් අද මේ ප්‍රශ්න නිසා රස්සාවටත් බොරු කරන්න වුණා කියලා හිතෙනකොට මනුෂිට තරහයි.

“රස්සාව කරනකොට අවංක වෙන්න.ජීවත් වෙන්න සල්ලි දෙන තැනට බොරු කරන මිනිස්සු දියුණු වෙන්නේ නෑ..”

තාත්තාගෙ ඒ කතාව මතක් වෙනකොටම මනුෂිගේ දුරකථනය ආයෙම නාද වෙන්න ගත්තා.ඒ මනුෂිගේ අම්මා.අම්මා හිතාගෙන ඇත්තේ මනුෂි දවල් කෑම කන්න ලෑස්තියි කියලා.ඒත් අද වෙච්ච සංගදි අම්මට කියන්නයැ.

“පුතේ,පොල් මුරේ කැඩුවනෙ.ඔයාලගෙ කොටසත් එව්වා..”

Sad young woman sitting on the window

අම්මා එහෙම කියනකොට මනුෂිට ඇති වුණේ දුකක්.තාත්තා මනුෂිටත් අයියාටත් හරි ගාණට ඒ මුදල් එවනවා.සඳුන්ගේ අම්මා වුණානම් පොල් ගස්වල ආදායම මදි කියලා මෙලහකටත් ඒ සේරම විකුණලා දාලා.

“අනේ අපිට මොකටද අම්මේ.අම්මල තියාගන්න.පිනක්වත් කරන්න බැරියැ.”

සඳුන්ගේ අම්මගෙ කඨිනෙ මතක් වෙලා කට කොනකට හිනාවක් එනකොට මනුෂි කිව්වේ අම්මා ගැන ආදරෙන්

“අර ඔයාලා හොයලා දුන්නු එස්ඕඑස් දරුවන්ට සල්ලි දාන්නෙ නම් අපේ පෙන්ෂන් එකෙන්නෙ පුතේ.අපි අර ක්ලාස් පීස් ගෙවන සිරියාගෙ ළමයට නම් අද සල්ලි දෙන්න ඕන.අනේ කොල්ලා මෙඩිකල් ෆැකල්ටි යයි වගේ පුතේ.මට ගීතානි කිව්වා පුදුම දක්ෂයි කියලා ඒ කොලු පැටියා.ගීතානිනෙ ක්ලාස් ටීච.ගීතානි දහය වසරෙදි මගෙ පන්තියේ හිටියේ..”

අම්මගේ ලෝකයත් සඳුන්ගේ අම්මාගේ ලෝකයත් ගැන හිතන ගමන් මනුෂි පරිගණකයට ඇහැ අලවා ගත්තේ ආයෙම දුරකථනය ක්‍රියා විරහිත කරලා.

අම්මලා තාත්තලාට කරදර කරන ළමයි ගැන කියවෙන තරමටම දරුවන්ට කරදර කරන අම්මලා තාත්තලා ගැනත් සමාජයේ කතාබහ වෙන්න ඕනෑ.මනුෂි හිතුවේ මඟ හැරුණු වැඩ පටන් ගන්න ගමන්.

More Stories

Don't Miss


Latest Articles