තාදී – 13

0
1384

” උඹ ඕක තාදීගෙන් අහන්න ඉක්මන් උනා වැඩි නැද්ද ? ” 

ආයුශ් උදෑසනම හෝටලයට පැමිණියේ ධීර ගේ කීමට අනුවය. ධීරට ඕනෑ වූයේ හිත නිදහස් කර ගැනීමටය.

” වෙලාවේ හැටියට මට ඒක කියන්න උනාා බං. තාත්තා අම්මගේ ජීවිතේ එයාට ඕන හැටියට පාලනය කරනවා මදිවට දැන් මගේ ජීවිතේටත් ඒකම කරන්නයි හදන්නේ ” 

ධීර කතා කලේ කලකිරීමෙනි. උපන්දා සිට ජීවත් වූයේ තාත්තාට ඕනෑ හැටියටය. එහෙත් විවාහය යනු ඔහුට ඕනෑ හැටියට කළ හැක්කක් නොවේ. ඒ ඇරත් තමා ජීවත් විය යුත්තේ කා සමගින්දැයි තීරණය කළ යුත්තේ තමා ය.

” දැන් උඹ ඊලඟට මොකද්ද කරන්න හදන්නේ ධීර ? උඹගෙ අම්මා මේකට කැමති වුණත් මං නම් හිතන් නෑ අංකල් මේකට කැමති වෙයි කියලා ” 

ආයුශ් කීවේ තිත්ත උනත් ඇත්තය. එහෙත් ආදී ගේ එකම අඩුවකට කියා ඇත්තේ දෙමව්පියන් නොමැතිකම පමණි. ඒ ඇරුණු කොට තාදී යනු සර්ව සම්පූර්ණ තරුණියකි. තම ජීවිතයේ මෙතෙක් කිසිදු තරුණියෙක ගෙන් නොදුටු එහෙත් තමා සෙවූ බොහෝ ගතිගුණ තාදී සතුව ඇත. ඉතින් තාදී යනු තමාගේ හොඳම තෝරා ගැනීම වනු ඇත

” මට මේ කෙල්ලව මග ඇරගන්න බෑ මචන් ” 

ධීර කිවූයේ සේවකයකු ගෙනා කෝපි කෝප්පය ආයුශ් වෙත පාන අතරේ ය.

” ඒ උනාට වැඩිය දුරදිග යන්න කලින් පොඩ්ඩක් හිතල බලපන්. තාදිගේ කිසිම වැරැද්දක් නෑ තමයි. ඒ උනාට උඹ උඹේ තාත්තාගේ හැටි හොඳට දන්නවනේ ” 

” ඒකම තමයි මචං මට තියෙන බය ” 

” හරි දැන් තාදී උඹට කැමතිද ? ” 

” ඒකි එහෙම නොකිව්වට මං දන්නවා මට කැමතියි කියලා ” 

ධීර කීවේ බලාපොරොත්තු සහගතවය. සුපිරි වෙළඳ සැලේ දී තාදීව දුටු මුල් දිනය ධීර ට සිහිවුනි. ගෝල්ෆේස් හී මුහුද ආසන්නයේ බැම්ම මත වාඩි වී මුහුද දෙස බලා සිටි තාදීව ද ධීර ට අමතක නැත. එතැන් පටන් ඇයව මුණ ගැසෙන්නට කාරණා යෙදුණේ දෛවෝපගත ලෙසය. ඒ ඇය තමාගේ ජීවිතයේ කොටසක් වීමට යන නිසා බව ධීර තදින්ම විශ්වාස කළේය.

” ඕන එකක් වෙන්න ඇරලා මේ ගැන තාත්තටත් කියලා දාන්න හිතනවා බං ” 

ආයුශ් කෝපි කෝප්පය පසෙක තබා ධීර දෙස බැලුවේ පුදුමයෙනි.

” පිස්සුද බං උඹට ? ” 

” ඇයි ? ” 

” දැන් මේ උඹලගේ තාත්තා ඉන්නේ රූපසිංහ අංකල් ගෙනාපු ප්‍රපෝසල් එක ගැන පට්ට සන්තෝසකින්. එහෙම වෙලාවක උඹ ඕක කියන්න ගියොත් එහෙම ඒ සන්තෝසෙ අනිත් පැත්ත හැරෙනවා. ඕව කොහෙන් කෙලවර වෙයිද කියලා කවුද බං දන්නේ? “

” ඉතින් මං මොකක්ද බං කරන්නේ? ? තාත්තා ලබන සතියේ ඒ මිනිස්සුන්ට අපේ ගෙදර එන්න කියලා ” 

” හරි ඉතින් අන්කල් ඒ මිනිස්සුන්ට ගෙදරට එන්න කිව්වෙ පොඩ්ඩක් කතාබහ කරන්න මිසක් උඹව එදාටම ඒ කෙල්ලට කසාද බන්දන්න නෙමෙයිනේ ? ” 

ධීර පුටුවෙන් නැගිට බැල්කනිය වෙත ගියේය. ආයුශ් ද ඔහු පසුපස ගියේ  ඒ අනුවය.

” ඒ වුණාට බන් ඊට පස්සේ ඒ කෙල්ලත් හෝප්ස් තියාගන්නවා නේ. උන් අපේ ගෙදර එනවා කියන්නේ මේක දුරදිග යනවා. එතකොට කොහොමත් මේ ප්‍රොපෝසල් එක මට මගාරින්න බැරිවෙයි බං. ඊට කලින් මේක නවත්තල දාන එක නෙමෙයිද හොඳ ? ” 

” කලබල වෙලා අර මොකක්ද එකටත් අත දාන්න බැහැ කියලා කතාවක් උඹ අහලා නැද්ද ? මේ වෙන දේවල් මෙහෙම්ම වෙන්න දීපන් ධීර. දැන් තාදී ගැන උඹල ගේ අම්මත් දන්න එකේ අපි හෙමිහිට ආන්ටි ගෙනුත් සපෝට් එකක් අරගෙන මේක සෙට්ල් කර ගමු.එතකං උඹ බොරුවට දඟලලා මේ වැඩේ දෙල් කර ගන්නෙ නැතුව හිටහං ” 

කොස්තාගේ ලොරිය ගබඩාව අසන්නයට විත් නවත්වන ආකාරය ධීර බලා උන්නේය. කොස්තා ලොරියෙන් බැස විත් දුරකථන ඇමතුමක් ගන්නා ආකාරයත් විනාඩි කිහිපයකට පසුව ගජනායක එතැනට පැමිණෙන ආකාරයත් ධීර මෙන්ම ආයුශ් ද බලා උන්හ.

” අර මෑන්වනම් මට දිරවන්නෙම නෑ බං ” 

ධීර ට කියවිනි. බැලූ බැල්මට ගජනායක සහ කොස්තා අතර බහින්බස් වීමක ස්වරූපයේ කතාබහක් ඇතිවන ආකාරය පෙනුනි

” එතන මොකක් හරි අවුලක්ද බන් ? ” 

ආයුශ් ඇසුවේ ය.

” අනේ මන්ද බන් ඌ එන හැම වෙලාවකම මොකක් හරි අවුලක් තියෙනවා කියලමයි මට හිතෙන්නේ ” 

” ඒ කිව්වේ ? ” 

” මහ හොර මූණක් ඔය මිනිහට තියෙන්නේ. එක දවසකුත් මං උගෙන් විස්තර අහද්දී තාත්තා ඒක මග ඇරලා මාව උඩට එව්වා ” 

ගජනායක ඇමතුම් කිහිපයක් ගනිමින් එහා මෙහා යන ආකාරය සහ කොස්තා ලොරියෙන් පෙට්ටි කිහිපයක් පිටතට ගන්නා ආකාරය ධීර දුටුවේය.

” මොනාද බං ඒ ? ” 

ආයුශ් ට දැනුන අවුලම ධීර ටත් අඩුවක් නැතිවම ඒ මොහොතේ දැනුණු අතර ඔහු තවත් විමසිල්ලෙන් ගබඩාව දෙස බැලුවේය

” මූ සාමාන්‍යයෙන් අරන් එන්නේ මල්. මේ මොනවද බං මේ? ” 

කොස්තා අහම්බෙන් මෙන් ධීර සහ ආයුශ් බැල්කනිය සිටිනවා දුටුවේය. ඔහු වටපිට බලා හෙමින් සීරුවේ ගජනායකට ඒ බව කියනායුරු ධීර දුටු අතර ගජනායක ඒ මොහොතේම හැරී බැල්කනිය දෙස බැලුවේ ය. ඉන්පසුව ගජනායක යමක් කොස්තාට කී අතර කොස්තා කලබලයෙන් මෙන් බිමට බා තිබූ පෙට්ටි කිහිපය නැවතත් ලොරියට දමා ගෙන ලොරියට නැග්ගේය. ගජනායක කඩිනමින් තවත් යමක් ඔහුට කියා ලොරිය පිටත් කර හැර හෝටලයට ඇතුලු වූයේය. මේ සියල්ල සිදුවීමට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. 

” මොකද්ද බං ඒ උනේ ? ” 

ආයුශ් ඇසුවේ පුදුමයෙනි. 

” ඒක තමයි බං මාත් බැලුවේ. මොක වුණත් ඒ පෙට්ටිවල තිබ්බේ මේ හොටෙල් එකට අදාල දෙයක් නම් වෙන්ඩ බෑ. එහෙම නම් ඒක ආපහු පටවලා යවන්නේ නෑනේ. අනිත් එක කොස්තා වගේම තාත්තා ත් මාව දැක්කම කලබල උනා ” 

” මං නිකමට දෙයක් අහන්නද උඹෙන් ? ” 

” මොකද්ද ? ” 

” උඹට හිතෙන්නේ නැද්ද ඔය මිනිහයි උඹේ තාත්තයි මොකක් හරි ගේමක් ගහනවා කියලා ? ” 

” මට ඕක හිතුනෙ එදාමයි බං. මං ඒත් අම්මට කෝල් කරලා ඇහුව කොස්තා ගැන. අම්මා කිව්වා අවුරුදු ගානක ඉඳල ඌ අපි ගාව වැඩ කරනවා කියලා. ඒ උනාට ඉතින් මං දැකල තියෙන්නේ ඌ ඔය ලොරිය අරගෙන එහාට යනවා මෙහාට යනවා තමයි. ගොඩක් වෙලාවට හොටෙල් එකට මල් අරගෙන එන්නේ මු ” 

” මල් අරගෙන එන්නේ නෑනේ බං පෙට්ටි වල දාගෙන ” 

ධීර මොහොතක් කල්පනා කලේය. ඇත්තටම කුමක් හෝ අමුත්තක් මෙතන ඇති බව ධීර සිතුවේය. එහෙත් තම පියා වරදක් කරාවි යැයි සිතන්නට නොහැක.

” හැබැයි බං එදාත් ලොරියේ මල් පිටිපස්සෙන් පෙට්ටි වගයක් තිබුණා. මං ඒක ඇහුවහම ඌ කිව්වෙ තව හයර් එකක් යන ගමන් ආවේ කියලා ” 

” එදා ඒක එහෙම වුණා කියමුකෝ ධීර. අද ඌ ඇයි පෙට්ටි ටික බාලා ඒ ටික ආපහු දාගෙන ගියේ ? ” 

ආයුශ්‍ තවත් යමක් කියන්නට පෙර කාර්යාල කාමරයේ දොර හැරගෙන ගජනායක ඇතුලු වූයේ ය. බැල්කනියේ හුන් ධීර ආයුශ් සමඟ ඇතුළට පැමිණියේ ඉන් පසුවය. ගජනායක පැමිණ ධීර ගේ පුටුවෙන් වාඩි වී දුරකථනයත් වාහනයේ යතුරත් මේසය මතින් තැබුවේ ය. 

” ආයුශ් පුතා මොකද අද මේ පැත්තේ ? ” 

ගජනායක කිසිවක් නොවූ විලස හැසිරෙන්නට උත්සාහ කරන බව වටහා ගන්නට ධීරට මෙන්ම ආයුශ්ට ද අපහසු වූයේ නැත.

” ධීර ව හම්බ වෙන්න ආවා අන්කල් ” 

ආයුශ් සහ ධීර ගජනායකට ඉදිරිපසින් වූ පුටුවලින් ගත්හ.

” ඇයි තාත්තා අර කොස්තා ආපහු ගියේ ? ” 

ගජනායක ගැස්සුනේ ධීර ඇසූ ප්‍රශ්නයට ය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here