“තමුසෙට හැබෑවටම ඔල්මාදෙද?” කියලා ජයබාහු මහත්තයා නන්දාගෙන් ඇහුවෙ නන්දා අංජනමක් බලලා ඇවිල්ලා ඒ මනුස්සයා දේවාරූඪෙන් කිව්ව ළඟම කෙනා සමුද්ර වෙන්න පුලුවන් නේද කියල ඇහුවම.
“ඔව් ඔව් මට තමය් දැන් ඔල්මාදේ, ඔයාලා ඔක්කොම හිතාගෙන ඉන්නෙ ඉතින් ඔයාලා හැමෝම හැමදේම දන්නවා කියලනෙ. මෙච්චර කල් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බද? නෑනෙ. ඔය ඔක්කොම වින්නැහි වෙන්න පටන් ගත්තෙ ඔය හාදයා සප්තමී එක්කා ඕන්නැති සම්බන්ධයක් හදාගත්තයින් පස්සෙ තමයි”
“මොකද්ද කියනවකො ඕන්නැති සම්බන්ධෙ? මේ නෝනේ කෙල්ලො කොල්ලො යාලු වෙනවා. උන් එහෙ මෙහෙ යනවා. හැබැයි මේ එහෙම ගෙදරිනුත් අවසර දීලා තියෙන එකේ තමන් කසාද බැඳගන්න උන්නු කෙල්ලව අන්තරස්දාන කරන්න තරම් ඒ කොල්ලට මොලේ අමාරුවක් තියෙනව කියල ඔහේ හිතෙනවද?”
“කසාද බැඳගන්න උන්නද කියල කවුද දන්නේ? අපි දන්නේ නෑනෙ ඒව. අපිට එහෙම කිව්ව පලියටම අපි ඒ කතාව පිළිගන්න ඕනද? අනික ඔය ඒ මනුස්සය දන්න පොලිසි කාරයෙක්ම මොකටද ඕක හොයන්නේ. ඇයි අපිට බැරි නිකන්ම පොලිසියට ගිහිලල ඇන්ට්‍රියක් දාන්න මෙහෙම අපේ දරුවා අතුරුදහන් වෙලා ඉන්නේ කියලා.
ඔයත් රැවටිලා ඉන්නේ අර කොල්ලගෙ සෝබන කතාබහට. සල්ලිවලට මොනවද ජයේ අද කරන්න බැරි. මිනිස්සුන්ව අන්තරස්දාන කරන්න විතරක් නෙවෙයි මරල දාන්නයි උපද්දවන්නයි දෙකම සල්ලිවලට කරන්න පුලුවන් එකේ ඔයා හිතන්නෙ ඒ හාදයට අපේ දරුවට මොකක් හරි අනතුරක් කරන්න බැරිකමක් තියෙනව කියලද”
“දැන් කිසිම අනතුරක් නෑ, පරිස්සමෙන් ඉන්නවා කියලත් ඔය අංජනමෙන් කිව්වලු නේද? එහෙනම් මොකද්ද ඔය අනතුරක් ගැන කතාකරන්නේ”
“කොහොමද අංජනමෙන් හරියටම කියඋනාද කියල දැනගන්නෙ”
“ආහ් ඇත්තද? එහෙනම් කොහොමද ඔය ළඟම මිනිහෙක් තමයි මේ අනතුර කරන්න ඇත්තෙ කියලා කියවිච්ච කොටස අමූලික ඇත්තක් කියලා පිලිගන්නෙ, ඒ කොටහත් බොරුවක් වෙන්න බැරිකමක් නෑ නේද?” කියල ජයබාහු අහද්දිත් නන්දා කරේ ජයබාහුට බනින්න බැරිකමට කට වහගෙන උන්නු එක.
“කාන්තිලතා අක්කා කිව්වා මෙතනින්ම ඒත් හරියටම හරියාකාරව විස්තරේ කියෙව්වද කියල සැකයක් තියෙනම් එයා දන්න තව තැනක් තියෙනවය සීනිගම කියලත්. එහෙම උනොත් එතනටත් ගිහින් බලනවා. ඒ උනාට මම නම් කියන්නෙම ඔය සමුද්ර කියන මනුස්සය කියන කාරණා ගැන විශ්වාස කරන්නෙ නැතුව අපි දෙන්න පොලිසියට ගිහිල්ලා අලුතෙන් ඇන්ට්‍රියක් දාමු කියලා වෙච්ච දේ ගැන. අපරාදෙ අර ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවෙ ඒකෙ ඇත්ත නැත්ත හොයන කතාව ඒ මනුස්සයාට භාරදෙන්නෙ නැතුව අපිම ඒකටත් පොලිසියට ගියානම් සමහරවිට මෙහෙම දෙයක් වෙන්නෙ නැතිවෙන්න තිබුනා. මම හෙටානිද්දම දාගන්නවා සීනිගම යන්න” කියල කියාගෙන නන්දා කුස්සිය දිහාවට යන්න ගියේ අර ආසාවට මොනවහරි බඩට දාගන්න හිතාගෙන නෙවෙයි සප්තමී ගැන මොන මොනවහරි හොයල බලන්න මේ ගෙදර මිනිස්සුන්ගෙ ඇඟට පතට පණක් තියෙන්න ඕනනෙ කියලා හිතාගෙන.
“ඔව් ඔව් අතේ තියෙන සොච්චම වියහියදම් කරලා දානවනෙ ඔය බොරු බේගල් දෙසාබාන අංජනම් කාරයන්ට දෙන්න” කියල ඇහෙන නෑහෙන විදියට තමයි කිව්වෙ කියල ජයබාහු මහත්තය හිතුවට කුස්සියට යන්න ගිය ගමන නතර කරලා නන්දා ආයෙම සාලෙ දිහාවට ඇවිදගෙන එද්දි “මේ ගෑණිට නම් තියෙන්නෙ කන් දෙකක් නෙවෙයි” කියල ජයබාහු තමන්ටම කියාගත්තා.
“තමන්ගෙ දරුවා වෙනුවෙන් ඔය එක්කාසු කරගෙන ඉන්න සල්ලි වලින් ටිකක් හෙල්ලුවනම් මොකද වෙන්නේ?” කියාගෙන නන්දා එද්දි ජයබාහු කතාව ඉවර කරන්න හිතාගෙන තමයි කිව්වේ “සල්ලි නෙවෙයි මං ගාව තියෙනව වෙන එකක් හොල්ලන්න. දැකලා ඇතිනෙ කලින්” කියලා.
සප්තමීලගෙ අම්මා තමන් ගැන මෙහෙම දෙයක් හිතනව කියලා දන්නෙ නැතුව තමයි සමුද්ර අංකලුත් ගෙදර ඉන්න වෙලාවක් බලලා ගෙදරකට ඕන කරන බඩු අරවා මේව අරගෙන සප්තමීලගෙ ගෙදර ආවේ. ඒ බඩු මල්ල අතට අරගන්න ගමන් තමයි නන්දා හිතේ තියෙන තරහා එලියට දාගන්නේ කොහොමද කියල හිත හිත සමුද්රට “මේව නෙවෙයි පුලුවන් නම් ඊලඟ වතාවෙ එද්දි මගෙ දරුවව අරගෙන එන්න” කියලා කිව්වේ.
“ආන්ටි හිතාගෙන ඉන්නෙ මං සප්තමීව හංගගෙන ඉන්නව කියලද අංකල්?” කියල සමුද්ර ජයබාහුගෙන් අහද්දි ජයබාහු කරේ හිනාවක් දාලා සමුද්රගෙ පිටට තට්ටුවක් දාන ගමන් “තමන් මාස දහයක් බඩේ තියන් හදපු දරුවා වෙච්ච එකේ ඒ ගෑණිගෙ හිතේ අපි හැමෝම ගැන ඉතින් තරහක් ඇතිවෙන එක සාධාරණයිනෙ පුතා” කිව්ව එක.
“අනේ මං අහිතක් හිතුවෙ නෑ අංකල්. මං අර ආන්ටි කිව්ව දේ ගැන අංකල් ගෙන් ඇහුවෙ. මං අංකල්ව තකහනියක් හම්බුවෙන්න ආවෙ ඇත්තටම පොඩි ඔත්තුවක් ගැන කියන්නත් එක්ක” කියල බැල්කනියෙ ඉඳන් සමුද්ර වටපිට බල බල කවුරුහරි තමන් ගැන ඇහැ ගහගෙන හරි තමන් කියන දේට කණ දීගෙන හරි ඉන්නවද කියන එක ගැන හොයද්දි තමයි ජයබාහු ඒ සතර කණ් මන්ත්‍රනේ මේ කණ් හතරෙන් එලියට නොයන විදියට කතාව අහගන්න සමුද්ර දිහාවට තව වතාවක් ලං උනේ.
“අරවින්දම තමයි අංකල් සප්තමිගේ අර බයික් කේස් එක ගැන බලන්නේ. අපිට පොඩි ඔත්තුවක් ලැබිලා තියෙනවා ඒ බයිසිකල් කාරයා ගැන. අර ඇක්සිඩන්ට් එක වෙච්ච තැනින් එහාට කිලෝමීටර් ගාණක් යනකම්ම කඩේක සීසීටිවි තිබ්බෙ නැති හන්දා අපි හිතුවට ඌව මගෑරුනා කියලා ඌ සෑහෙන දුරක් නම්බර් ප්ලේට් නැතුව ගිහිල්ලා පස්සෙ පාරෙ තැනක පොඩි ගරාජ් එකකින් නම්බර් ප්ලේට් එක හයි කරගෙන තියෙනවා. ඒ ගරාජ් එකේ ඉස්සරහ ගෙදරක ගේට්ටුව අයිනෙ ගහල තිබුන සීසිටිවි කැමරාව ඕක රෙකෝඩ් වෙලා තියෙනවා. ඒකෙන් අපිට නම්බර් ප්ලේට් එක හොයාගන්න පුලුවන් උනා. එතනින් එහා මිනිහව අල්ලගන්න එක නතින් කියලා කියන්න ඕන නෑනෙ”
“ඒ මිනිහාගෙමද දන්නෙ නෑ නේද පුතා බයික් එක? ඕක වෙන කොහෙන් හරි පන්නපු එකක් නම් අපිට ආයෙ ඔය මිනිහව මගෑරෙනවානෙ”
“නෑනෙ අංකල් වෙන කොහෙන් හරි පන්නපු එකක් නම් මිනිහා කීයටවත් ඔය මහ දවාලෙ පොඩි ගැරජ් එකක නතර කරලා හරි නම්බර් ප්ලේට් එක දාගන්න ට්‍රයි එකක් දෙන්නෙ නෑනෙ. පන්නපු එකක් නම් මිනිහට ඔය කොහෙ හරි අස්සක බයිසිකල් එක දාලා යන්න තිබ්බනෙ. කොහෙවත් මිනිහගෙ මූණ අපිට සීසිටීවි වල පෙනුනෙ නෑනෙ. ඔච්චර රිස්ක් එකක් අරගෙන ඔය නම්බර් ප්ලේට් එක එදාම හයි කරගන්න මිනිහා ප්ලෑන් කලේ කාරණා කීපයක් හන්දා.
එකක් මිනිහා තාම මේ ගේම්වලට අලුත් ඩයල් එකක්. පරණ බුවෙක් නම් කීයටවත් එදාම රිස්ක් එකක් අරගෙන නම්බර් ප්ලේට් එක හයි කරන්න යන්නෙ නෑ. අනික එහෙම ගියත් එහෙනම් යන්නෙ තමන් හොඳටම දන්න වෙන සීන් වැටෙන්නෙ නැති පොට් එකකටනෙ. ඒ උනාට මෙතනදි මේ මිනිහා ගිහිල්ලා තියෙන්නෙ එහෙම දන්න තැනකට නෙවෙයි, පාර අයිනෙ අර පොඩි පොඩි වාහන කෑලු හදන ගරාජ් එකකට.
ඊලඟ කාරණේ තමයි මිනිහා එදාම එහෙම නම්බර් ප්ලේට් එක ෆික්ස් කරගන්න හැදුවෙ යන අතරමග පොලිසිය ඉඳලා තමන්ව අල්ලයි කියන බයට. ඒකෙනුත් අපිට තේරෙනව මිනිහා තාම මේ ෆීල්ඩ් එකට අලුත් කියන එක. දැන් අපිට ඉතින් ඊලඟට තියෙන්නෙ ඔය මිනිහව අල්ලගනෙ ඔය ඇක්සින්ඩට් එක පස්සෙ තිබිච්ච ඇත්තම සීන් එකට ඕන කරන සාක්කි ටික එලියට අරගෙන වැඩේ ඉවරයක් කරලා දාන එක තමයි”
මේක මේ තමන් දෙන්නා අතර වෙන සතර කණ් මන්ත්‍රනයක් කියලා සමුද්ර වගේම ජයබාහු හිතන බව දන්න හන්දම තමයි ඒ දෙන්නට නොපෙනෙන විදියට නන්දා දොර රෙද්දට මුවා වෙලා මේ ඔක්කොම කතන්දර අහගෙන හිටියේ. සමුද්ර කතාව කරගෙන යද්දි “මෙච්චර උනන්දුවෙන් ඔය විස්තරේ මිනිහා හොයලා බලන්නෙ නෑනෙ මේ ප්‍රශ්න ඇතිකලේ මිනිහම නම්” කියල තප්පරේකට දෙකකට වගේ සමුද්රගෙ පැත්තට කතා කරාට මොකෝ “රඟපාන්න අනික් මිනිස්සුන්ට කියල දෙන මිනිහට මොකෝ අපිව රවට්ටගන්න රඟපාන්න බැරිද?” කියන එකත් නන්දා ඒ අස්සෙම හිතුවා.
“පුතා හිතන්නේ ඕක ඇත්තටම කාගෙ හරි ප්ලෑන් එකකට වෙච්ච දෙයක් නම් ඒ ප්ලෑන් එක කාගෙ වෙන්න පුලුවන් කියලද?” ජයබාහු අහන්න ඕන හොඳම ප්‍රශ්නෙ අහද්දි නන්දා ආයෙම වතාවක් ඒ පැත්තට කණ හැරෙව්වෙ සමුද්ර ඒකට දෙන්න යන උත්තරේ මොකද්ද කියල හිතන ගමන්.
“ඒකට උත්තරේ මං පස්සෙ දෙන්නම්කො” කියලා කියන ගමන් සමුද්ර ඇස් දෙකෙන් ගේ ඇතුල දිහාව පෙන්නද්දි ඒ සිග්නල් එක දුන්නේ නන්දා එතන ඉන්නවා කියල අඟවන්න කියලා ජයබාහුට තේරුම් ගන්න අමාරු උනේ නෑ.