මේ ඒ වසන්තයයි – 43

0
1293

නුරාන්  මුළුතැන්ගෙයට  යන විටත් ඉසිනි මුලුතැන් ගේ තුළ එහෙ මෙහි ඇවිදිමින් ආහාර සකස් කරන්නට සූදානම් වෙමින් උන්නාය. නුරාන් යමක් සිහිවී මෙන් යලි නිවසින් පිටතට ගොස් ආවේය. ඔහු එක් අතෙක රැගෙන ආ මල්ල දෙස බැලූ ඉසිනි ඒ ගැන විමසුවේ දෑසිනි.  ශීතකරණය විවෘත කෙරූ නුරාන්  බියර් කෑන් කිහිපය ඇති බව තහවුරු කරගත්තේය.  

ඉන් පසුව ඉසිනි වෙතට ඇවිද ගොස් ඕ අල්ලා කුස්සියේ වූ කුඩා අසුනේ හිඳගන්නට ඉඩ හැදුවේය.

” මං බයිට් මොනවා හරි හදලා රෑට කන්නත් මොනවා හරි හදන්නම්…  ඔහොම වාඩි වෙලා මොනවා හරි කියව කියව ඉන්න…”

යළි ඉසිනිගේ දෑස් විසල් කරමින් නුරාන් එලෙසින් පැවසුවේය. 

හතු පැකට්ටු දෙකක් බෑගයෙන් ඉවතට ගත්  නුරාන් ඒවා පැන්ට්‍රිය මත තබා හතු පැකට් දෙක කඩා හතු බඳුනකට දමා ගත්තේය.  හතු හොඳින් සෝදා ලුණු වතුරේ දැම්මේය. ඉන් පසුව මිරිකා කැබලි වලට ඉරා ගත්තේය.  ඉසිනි  අසුනෙන් නැගිට විත් නුරාන් අසලින් සිට ගත්තාය. නුරාන් ඕ දෙස බලා ඇසක් ඉඟි වරා මිරිකා ගත් හතු  බඳුන පසෙකට කලේය.

ඉන් පසුව ගෙනා බෑගයේ ඌ කඩල පිටි පැකට්ටුවක් ගත් නුරාන් ඉන් යම් ප්‍රමාණයක් හතු මතට දැම්මේය. ඉන් පසුව පෙනෙන්නට තිබූ මිරිස් කුඩු බෝතලයෙන් ස්වල්පයක් ද , කහකුඩු බෝතලෙන් ස්වල්පයක්ද, ලුණු කුඩු බෝතලයෙන් ස්වල්පයක්ද, ගත් නුරාන්  ඒ  සියල්ල හොඳින් කලවම් වන  තෙක් මිශ්‍ර කළේය.

ඉසිනි බලා උන්නේ ඔහුගේ අතැඟිලි දිවෙන අපූරුවය. ආසක්තව නොයන යමක් දැන් නුරාන්ට නොමැති වග ඇයට දැනෙයි. එහෙත්, මෙතරම් කාලයක් කිසිඳු ගැහැණියක ට නොබැඳී ඔහු සිටීම අදහා ගන්නට නොහැකි බවද  ඒ සැනින්  සිතුනේය.

ඉසිනිට හෙලුණු සුසුමේ බර නුරාන්ටද දැනුණි.
ඔහු වහා ඇය දෙස බැලුවේ සුද්ද කරමින් තිබූ ලූණු ගෙඩිය අතේ තබාගෙනමය.

” මොකෝ …”

නුරාන් ඇසුවේ ඇගේ මූණටම එබෙමිනි. ඕ කිසිත් නැතැයි පවසන්නට හිස සැලුවාය.

” ඔය සුදු ලූණු ගෙඩියක් අරගෙන සුද්ද කරන්න …”

ඔහු ඉන් පසුව කීවේය. ඉසිනි සුදු ලූණු ගෙඩියක් ගෙන කුඩා පිහියෙම් එහි දෙපස කැපුවේය. නුරාන් ඒ දෙස බලා උන්නේ හොරැහිනි. ඉසිනි පලමු සුදු ලූණු බිකෙහි පොතු ඉවත් කරන තෙක් බලා උන් නුරාන් තමා අතේ තිබූ රට ලූණු ගෙඩිය පසෙක තබා ඉසිනි අසල වූ සුදු ලූණු බික් කිහිපයෙන් එකක් ගත්තේය.

“වැඩ කරණකොට ලේසි විදි තියෙනවා තාරා.. ලූනු බික ගත්තා.. හරිද ? … මේං මේම දෙකට පැලුවා… දැක්කද ?? පොත්ත අතේ…?”

නුරාන් ඇහි බැම නළලට ගෙන ඉසිනිගෙන් විමසුවේ මුහුණටම එබීගෙනය. ඉසිනි හිස සැලුවේ සිනාසෙමිනි.

” ඉගෙනගන්න …”

“ඉගෙනගත්තා…”

ඕ සෙමින් කීවාය. මිශ්‍ර කරගත් හතු පසෙක වසා තැබිය යුතු බව ඉසිනිට පවසන අතරේ නුරාන්  ලූණු සහ මාලු මිරිස් කුඩාවට කපාගත්තේය. කරපිංචා ඉති කිහිපයක් ගෙන  සෝදා කොළ වෙන් කර වතුර බේරෙන්නට තැබුවේය.

විනාඩි දහයක් පමණ ඉසිනි වැලඳගෙන දෑස් වසාගෙන උන්නේ කුස්සියටම වූ අසුනේ හිඳගෙනය. ඉසිනිද නොසෙල්වීම ඔහු අසලින් සිටගෙන ඔහුගේ හිස තම කුස මත වම සේ වූ ඉරියව්වට ලෝබීව උන්නාය.

නුරාන් අසුනෙන් නැගිට්ටේ ඉසිනිගේ නළල යළි සිඹිමිනි. ඉසිනි උන්නේ ඒ කිසිවක් වෙනුවෙම් විරුද්ධව යා ගත නොහේය. ඇය ආසක්තව බැඳෙමින් උන්නාය.

නුරාන් ගෑස් ලිප දල්වා තාච්චිය සෙව්වේය. ඉසිනිද තාච්චිය සෙව්වාය. ඇයට පළමු ඔහු එය සොයාගත්තේ ඉසිනිව අපහසු ගඟුලකටඇද දමමිනි.

” සෝක් ඒඩී නෝනා..  ආසාවට කුස්සියට නම් එන්නේ නෑ වගේ…”

නුරාන් ඇයට පැති තට්ටුවක් වැදෙන සේ ගතෙහි වැදුනේය.

” සුදු ලූණු ටික චුට්ටක් බ්ලෙන්ඩරේට දා ගමූ තාරා…”

ඉසිනි එයට හිස සැලුවාය.තෙල් තාච්චිය රත් වන විට සීසන් වෙන්නට තබා තිබූ හතු කොටසින් කොටස දමා රන් වන් පැහැ වන තුරු බැඳ ගත්තේය. මුලුතැන්ගෙය පුරා විසිරෙන්නට ගෙන තිබුනේ නවමු සුවඳකි. ඒ සුවඳ දිගේ  ඉසිනිගේ ජීවිතයට ආලෝකය ගලා එන්නට පටන් ගෙන තිබුණි.

හතු සියල්ල බැද අවසන් වනතුරුම ඉසිනි නුරාන් ට  පසෙකින් වූවාය. දෙදෙනා අතර දොඬමලු වූයේ හුදෙකලාවය.

ඉන් පසුව වෙනත් භාජනයක් ලිප තැබූ නුරාන් එයට තෙල් දමා රත් වූ පසු,  සුදු ලූණු තැවරුම සහ  කරපිංචා එක් කලේය. ඉන් පසුව  කුඩාවට කපා ගත් ලූණු  සහ මාලු මිරිස් එක් කලේය.  කෑලි මිරිස් සහ ලුණු කුඩු ද එක් කර බැදෙන්නට හැරියේය. මාලුමිරිස් යන්තමින් බැදෙන විට නැඟුණු සුවඳ ඉසිනි මේ ජීව්ත කාලය පුරාම විඳ තිබූ යමක් නොවේය. ඕ නාස් කුහර ඉන් පුරවා ගත්තාය.

ඉන් පසුව එය ලිපෙන් බාගත් නුරාන් කලින් බැදගත් හතු එයට එක් කර යන්තමින් කලවම් කරේ, තක්කාලි සෝස්ද එක් කරමිනි.

ඉන් පසුව  ඇඟිලි දෙකකින්  ඉන් කැබැල්ලල් ගත් ඔහු එය ඉසිනි ගේ මුවට ලං කලේය. ඉසිනි එය උගුරෙන් පහලට වැටෙන්නට පෙර මුව තුළ රසයට තබාගෙනම නුරාන් දෙස බලා උන්නාය.

නුරාන් රස විමසුවේ දෑසිනි. ඉසිනි ගේ දැස් දොඬමලු වෙමින් තිබුණි.

” මං ආසම ඩිශ් එකක් මේ…එකින් එක අනෙක්වාත් හදලා දෙන්නම් …”

නුරාන් අනාගතය වෙනුවෙන්, මහා බලාපොරොත්තුවක් සකසා ඉසිනි වෙත බාර කලේය.

” නූඩ්ල්ස් ගෙනාවා මම.. ඒක හදාගමූ රෑ වෙලා….දැන් එන්න…”

සකසා ගත් හතු බැදුම භාජනයෙන් පිඟානකට දැමුවේ ඉසිනිය. නුරාන්  බියර් කෑන් කිහිපය ගත්තේය. බෑගයේ වූ ඇපල් ගෙඩි දෙකක් කැබලි කපාගත් නුරාන් එය වෙනම පිඟානකද, පීනට් පැකැට්ටුව වෙනම පිඟානකටද දැමුවේය.  සාලයේ වූ කුඩා මේසය මත එතරම් උත්සව ශ්‍රීයක් මින් පෙර  කිසි දිනෙක ඉසිනි දැක තිබුනේ නැත.

“එළියේ හුළං වැදෙන්නයි, අහස පේන්නයි තියෙන්නෝනා තාරා … ඒත් අදට, දැනට මේත් ඇති ….”

නුරාන් දිග සෙටියේ හිඳගත්තේය. ඉසිනිද පසෙකින්  හිඳගත්‍තාය. ඉසිනි ගේ ජංගම දුරකතනය නාද විය. ඕ ඒ දෙස බලා කලබලයෙන් ඇමතුම නුරාන්ටද පෙන්වා කාමරය තුළට වැදුණාය

” ඒ ගාණට බය තිබ්බම ඇති එක අතකට..පිස්සු ගෑණි…”

නුරාන් එලෙස සිතමින්ම අය්යා අමතන්නට නිවසින් පිටතට බැස්සේය.

” තෝ කොහෙද ඉන්නේ නුරාන් ?”

එක්වරම අකුණු ඇසුණි.

” ගමනක් ආවා ඕයි.. මොකද මේ පිස්සුවෙන් වගේ කෝල් කරලා.. අම්මට කිව්වා මම…”

“නුරාන් මේ.. උඹ අම්මව තම්බපං.. ඒත් මාව නෙවෙයි… උඹ ඒඩීගේ ගෙදර නේද ඉන්නේ ?”

“ඔව්…”

“හරිනේ.. හරිනේ.. සරා.. මං කිව්වනේ හූනා කියන්නා සේ.. මේ බූරුවා අපිටත් පාරේ බැහැලා යන්න නැති කරනවා… ඒක කරන්න මේ හදන්නේ….”

” නැට්ට පාගගන්නේ නැතුව  ඉන්නවා අය්යා… මං මෝඩයෙක් නෙවෙයි.. ඒ වගේම  මම තාපසයෙකුත් නෙවෙයි…. ඔළුව කන්නෙපා ඕයි.. මං උදේ එනවා ගෙදර.. ආවම කතා කරමු…”

ඉන් එහා ධනුකට ඉඩක් නොදුන් නුරාන් ඇමතුම විසන්ධි කර වහා නිවස තුලට ආවේය. ඉසිනි ඇමතුම විසන්ධි කර ආවේ ඉන් විනාඩි දහයකට පමණ පසුවය.

” අක්කාගෙන්  බේරුමක් නෑ ..”

ඕ නුරාන් අසලින් හිඳගෙන නෝක්කාඩු ස්වරයෙන් කීවාය.

” සැක හිතිලාද ?..”

“හ්ම්ම්ම්…”

“කියන්න අක්කට මාව මුණ ගැහුණා කියලා.. පුලුවන් නම් අම්මලටත් කියලා මෙහෙ ඇවිල්ලා යන්න එන්න කියන්න…”

නුරාන් ඇගේ පිටි අල්ල පිරිමදිමින් කීවේය. ඉසිනි එය කෙලෙස කරන්නටදැයි සිත ගත නොහැකි බැල්මකින් බලා උන්නාය.

” අපි වැඩිහිටි මිනිස්සු නේ තාරා… තීරණ ගමු හිතට එකඟව….”

බියර් කෑන් දෙකෙන් එකක් කඩා ඉසිනි වෙත පාමින් නුරාන් එලෙස කීවේය.

” මම අවුරුදු ගාණකින් කටේ තියලා නෑ නුරාන්… මට මතක නෑ මට කොහොමද ඉෆෙක්ට් වෙන්නේ කියලා…”

“කොහොම ඉෆෙක්ට් වුනත් ඉන්නේ නුරාන් ළඟනේ… ම්ම්ම්ම්…”

ඉසිනි දෙතොල් පෙරලා එකඟ වූවාය. නුරාන්ගේ හතු බැඳුමෙන් ඕ රසයෙන් මුසපත්ව යමින් උන්නාය.

“ඒක නම් මාරම රසයි.. අපි අතන මේ ඩිශ් එක ටේක් අවේත් දෙමු නුරාන්…”

එක්වරම ඉසිනිට එලෙසින්ද කියැවුණි. නුරාන් ඕ වෙත පහත්වී දෙතොල් මතම කෙටි හාදුවක් තැබුවේ අවසරයක් නොඉල්ලාමය. ඉසිනි තිගැස්සුණාය.

” ඔන්න ඔහොම අමුවෙන් ඉන්නවා මගේ නෝනා… හිතේ තියෙන්නේ මං එක්ක ඉන්න ඕනි බලාපොරොත්තුව බව මට කාන්දු වෙන්න දෙනවා ඔන්න ඔහොම … ඒකට මම මාර ආසයි තාරා.. මට ජීවත් වෙන්න ආසා හිතෙනවා…”
නුරාන් ඇගේ දෑසටම එබී කීවේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here