පතිදම්වැල් 14

“මම තාත්තා එක්ක ගියේ පුදුම බයෙන් කෙල්ල අඬ අඬ ඉන්නව ඇති කියල. අනේ ඒ උනාට එයාගේ ක්ලාස් ටීච පුදුම ආදරයක් නෙ මෙයාට තියෙන්නෙ”

අම්මා එසේ කියන්නේ උකුල උඩ තබාගෙන දුලන්‍යාගේ කොණ්ඩය පීරන ගමන් ය. අම්මා විසින් සුරතලයෙන් කිති කවන නිසාවෙන් දුලන්‍යා එහෙට මෙහෙට කැරකි කැරකි සිනා නංවයි. ෂෝබිතා විසින් සිත තුල කාවද්දනු ලැබූ වේදනාව මදකට හෝ තුරන් කරන්නට ඉන් ලැබෙන්නේ ඉමහත් ශක්තියකි.

“උතාලි චීච ෂෝයි”

දුලන්‍යා ආච්චි අම්මාට උත්තරේ දෙන්නේ කිති කැවීම නිසා මුව මත නැංවුණ සිනහව සමගිනි. දරුවන් ආදරය ඇති තැන්වලට ඇදී යාම නොරහසකි. නිවසේ දී අම්මාගේ ආදරය නොලැබෙන කෙල්ලකට පෙර පාසලේ ගුරුවරුයගෙන් ලැබෙන ආදරය මහ මෙරක් සේ තේරීම අරුමයක් නොවේ. 

“මම ඒ ගෑණු ළමයගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා කෝකටත් කියල”

අම්මා කියන දේ අසමින් තේ කෝප්පය තොල ගාමින් හිටියා මිසක කිසිවකට දෙන්නට උත්තරයක් අනුපට නැත.

“ගොඩක් පොඩි ළමයෙක් පාටයි. ලොකු විස්තරයක් කතාකරන්න බැරිඋනාට මොකෝ හරි සීදේවි පාටට හිනා උනා. පුදුමයක් නෑ ඉතින් කෙල්ල ටීචට ආදරේ කරන එක මෙච්චර”

කොණ්ඩය පීරා අවසන්ව දුලන්‍යාව උකුලෙන් බැස්ස වූ අම්මා සාලයේ තබා ඇති තම සෙල්ලම් බඩු බාහිරාදිය වෙත දිවයන දුලන්‍යා දෙස බලා පවසමින් පනාවේ සිරවී ඇති කෙස් රැල්ලක් අතින් ඉවත් කරන්නට තනයි.

“හොඳ නෑනෙ, පුතා කෝල් එකක් දීල තෑන්ක් කරන්න”

මෙතෙක් වේලා අම්මා කතාව දිග්ගැස්සුවෙ මෙවන් තැනකට එන්නට යැයි සිතා හුන්නද සිත අස්සෙන් ඒ ඇමතුම ගන්න යැයි පෙරැත්ත කරයි. දුලන්‍යාගේ පෙර පාසල් ගුරුතුමියගේ රුව පිළිබඳව එහෙමකට කියා මතකයක් නොතිබුණද ඇයට සිනාසෙන දීප්තිමත් දෑසක් තිබෙන බව අනුපට මතකය. ඒ දෑස පවා තමාට එතරම්ම මතක තිබුනේ ඇයිදැයි අනුපට අදහසක් නැත.

හිස් තේ කෝප්පය අම්මා අතට දී අනුප උඩට ගියේ ඒ ගැනම සිතමිනි. හෙමින් හෙමින් සැඳෑ කලුවර විත් අහස වහගන්නා අයුරු අනුපට පෙනේ. 

මේ සිදු වූ දේ පවසන්නට ෂෝබිතාට ගත්තද “මම අද ගෙදර එන්නෙ නෑ, අම්මලගෙ ගෙදර යනවා” යැයි පවසා දුරකතනය ඉක්මනින් තැබුවාය. ෂෝබිතා ඉන්නෙ තමාගෙන් මදින් මද වෙන් වෙමිනි. ඒ හිස්බව හදවතට මහ මෙරක් තරම් බර සිතුවිලි කැන්දගෙන එයි. 

අනුප උශාලිට ඒ ඇමතුම ගත්තේ එකී බරැති සිතුවිලි සමගිනි.

“හෙලෝ”

එහා පසින් ඇසෙන කුරුලු හඬ සිතට ගෙන එන්නේ අරුමැසි සිතුවිලිය. විවාහක පිරිමියෙකුට, දරුවෙකු හිඳින පියෙකුට එවන් සිතුවිලි සිතන්නටවත් වලංගුද උචිත ද යන්න ගැන හැඟීමක් අනුපට එවෙලේ සිතුනේ නැත. 

හදවත දුකට වඩා ආදරයෙන් සතුට වැළඳග්නී. ගිලෙන්නට යන මොහොතක පිදුරු ගහක වුව එල්ලා ජීවිතය බේරාගැනීමේ සටනක නිරත වෙමින් උන් අනුප එකී සිතුවිලි රැහැනක් ඔස්සේ තාවකාලික සතුටක් මෙවෙලේ අත් විඳිමින් උන්නාය.

“හෙලෝ මිස් උශාලි”

“කියන්න මිස්ට කුලරත්න”

ඇය තමන්ගේ දුරකතන අංකය දුරකතනයේ ගබඩා කරගෙන නැති බැවින් හඳුන්වාදීමක් කල යුතුයැයි සිතා හුන් අනුපට ඒ වදන් ගෙන ආවේ වචනයෙන් කියා විස්තර කල නොහැකි අන්දමේ පුදුමයකි. ප්‍රහ්‍ර්ශයකි. 

“මම මාව ඉන්ට්‍රඩියුස් කරල දෙන්න ගියේ දුලන්‍යාගේ තාත්තා කියල”

“එහෙම ඕන නෑ මට මතකයි”

“මතකයි කිව්වෙ මාවද? එහෙම නැත්තම් මගේ නම්බර් එකද?”

එහා පස නිහඬය. බාගදා තමා පැවසූ වදන් ඇයගේ සිත කෝපයට පත් කලා විය හැක. තමා අනුචිත දෙයක් කිව්වා යැයි යන හැඟීම සිත පාරන්නකි.

“දෙකම”

බලාපොරොත්තු නොවුවද බලාපොරොත්තු රැසක් ගෙන ආ ඒ පිළිතුර පුරාවට ගල්වා තිබුණේ සතුටට පමණක්ම හිමි සෙව්වන්දිය මල් සුවඳයි.

“ඇයි ඒ මතක තියාගෙන හිටියේ?”

තමාගේ කටහඬට අමුතු ගැඹුරකුත්, බරකුත්, හැඟීමකුත් එක්වී උගුර යටින් කෙඳිරියකින් නැගෙන්නාක් බඳුය. ඒ හඬ තමාගේ සිතට ගෙන එන අමුතුම කිතිය තරම්ම හැඟීමක් උශාලිටත් දැනෙනවා ඇත.

“නිකන්”

“නිකන් මත තිබුනෙ ඇයි?”

කතාබහ දිගු කරනු පිණිස ඒ වචන මුවමතට ඇදී එන්නේ හදවතේ මෙතෙක් කල් පිටතට විවර නොවූ අන්තයකිනි. ඒ හද විවරය මෙතෙක් කලක් ෂෝබිතා වෙනුවෙන්වත් විවර නොවූ ඉසව්වකි. එහෙත් ඒ සිතුවිලි කෙතරම්ම සාදාරණිකරණය කරන්නට හැකිද යන පැනය අනුපට සිතුනේ නැත.

ඒ පැනයට උශාලිගේ පැත්තෙන් පිළිතුරක් ලැබුනේ නැත. දෙදෙනා අතර ඇති වූ ඒ නිහඬතාවය දරාගන්නට බැරිම තැන ආයෙමත් කතාව අරඹන්නට අනුප මෙසේ කීවේය.

“එදා කරපු උදව්වට තැන්ක්‍යු වෙරි මච්”

ඒ සරල එහෙත් පරිස්සම් සහගත වදන් පෙළකි.ඒ වචන වලින් කතාබහ දිග්ගැස්සුණාට කිසිවෙකුගේ සිත රිදීමක් හෝ වලංගු අවලංගු සිතුවිලි පිලිබඳ ප්‍රශ්නාර්තයක් නගන්නේ නැති දෙයකි.

තමන්ට එසේ පවසන්නට සිතුනේ ඇයිදැයි යන්න ගැන හැඟීමක් අනුපට වූයේ නැත. එහෙත් අම්මාත් තාත්තාත් කියූ වදන් ඔස්සේ ඇයට ස්තුති නොකර සිටින්නට හැකියාවක් අනුපට තිබුණේ නැත.

“ඔයා එදා ඉඳියෙ නැත්තම්, දුලන්‍යාට තනියෙන් තමයි ඉන්න වෙන්නේ. ඒකමයි මම ඔයාට කෝල් කරල තෑන්ක් කරන්න හිතුවෙ. අපෙ අම්මා ඒත් කිව්ව කීප සැරයක්ම ඔයා හිටියෙ නැත්තම් දුලන්‍යා තනියම අඬ අඬ ඉඳීවි කියල”

“ඒකට කමක් නෑ. මම ඉතින් ඉඳිය එවෙලෙ. මම යන්න ලෑස්තිවෙලා එලියට බහිද්දි තමා දැක්කෙ එයා එලියට වෙලා ඉන්නවා. ඇහුවම තමා කිව්වෙ වෑන් එක එන්නෙ නෑ කිව්ව කියල”

“ඔව් ඒ ඩ්‍රයිවර්ට අමතක වෙලා අපේ ගෙදරට ඒක ඉන්ෆෝම් කරන්න. මට එන්න විදියක් තිබුනෙ නෑ ඔෆිස් එකේ හිටපු නිසා. ඒත් ඔයා කෝල් කරල ඉන්ෆෝම් කරපු එකට තැන්ක්‍යු, නැත්තම් ඇත්තටම අපි ඇවිල්ල බලනකම්ම දුලන්‍යාට තනියම තමයි ඉන්න වෙන්නෙ”

“ඒකට කමක් නෑ. තැන්ක්‍යු කියන්න උවමනාවක් නෑ”

කුරුලු හඬින් ඇය එහා පස සිට මෙපසට එවන සිනහව රැඳුණු වචන සිතට පෙර නොවූ විරූ සැහැල්ලුවක් ගෙන එයි. සිත හරියට වලාකුලක් වැනිය. අහසේ පාවෙන අලු පාට අඳුර රැගත් වලාකුලු දෙස බලාගෙන අනුප කල්පනා කරේ එයයි.

“මම කෝල් කරල තැන්ක්‍යු කිව්ව එක හරිනම් මදි. මම ඇවිල්ලයි තෑන්ක් කරන්න ඕන. ඒත් ඒකට පරක්කු වෙන නිසා මම කෝල් කරේ. දැන් දවස් කීයක්ම ඔහොම දේවල් වෙලා ඔයා කතා කරලද ඉන්ෆෝම් කරේ. දුලන්‍යා හරි ආදරෙන් ඉන්නෙ. එය ඔයා ගැන කතා කරන්නෙත් හරි සන්තෝසෙන්. ඒ හැමදේටම තැන්ක්‍යු වෙරි මච්”

වඩා බර කල හඬක් සමහ අනුප එසේ පවසා කතාව නැවතුවේ සිනහවකිනි. ඒ සිනහව ආචාරශීලී වීම සඳහා පමණක් නැගූ සිනහවක් නොවේ. මේ කතාබහ නිසාවෙන් සිත තුල අලුතෙන් පිපුණු සැහැල්ලුව නිසා හටගත් සිනහවකි.

“මැඩම් ගෲප් චැට් එකේ දාලා තිබුණා අර අවුරුද්දට කරන වැඩසටහන ගැන කතාකරන්න පේරන්ට්ස්ලට එන්න කියල. මම ඒ ආවම  ටීච එක්කත් කතා කරන්න එන්නම්. මෙයාල ඉතින් වද දෙනවත් ඇතිනේ ටීචට නේද? 

හරි එහෙනම් තැන්ක්‍යු වෙරි මච් ෆො ඕල් ද හෙල්ප් වන්ස් අගේන්”

“නෝ වොරීස්”

අනුප සැරසුණේ දුරකතන ඇමතුම නිමාකරනට වුවද හදවත ඇතුළතින් හටගත් කුමක්දෝ අමුතු සිතුවිල්ලක්, වචන වලින් එළියට පිටකරන්නට නොහැකි අන්දමේ උගුරේ සිරවුණු හැඟීමක් එය කිරීමෙන් වලක්වන්නට විය.

“එහෙනම් මම තියන්නද?”

අනුපගේ මුවින් ඒ වදන් ආවේ හඬකට වඩා කෙඳිරීමකට ළංවය. එය කිසිත් හේතුවක් මූලික කොටගත් හැඟීමක් නොවුනි. ඉබේ හටගත්තකි.

“ම්ම්ම්”

ඇයගේ නිහඬතාවය දරාගන්නට නොහැකි තැන අනුප නැවත එසේ ඇසුවේ පැවසිය යුත්තේ කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. ඒ නිහඬතාවය දරාගන්නට පහසු, උණුසුම් හැඟීම් ගොන්නකින් පිරුණකි.

“තියන්න එපා”

උශාලිගේ කටහඬ ආවේ වෙනත් ලොවකින් මෙන්‍ ය. ඒ තමා ජීවත්වන වටපිටාවෙන් ඇසුණක් නොව ඈත සිහින ලොවකින් ඇසුණක් බව අනුපට මතකය. ඒ වචන තුළ ඇය තමාව ඉතා සුවිශේෂී ඉසව්වකට රැගෙන යමින් උන් බව අනුපට තේරුණාය.

එහෙත් ඒ ඉසව්ව තමාට යාමට උචිත තැනක්ද යන කුහුල සිත අස්සේ නොතිබුනා නොවේ.

“ඇයි තියන්න එපා කිව්වේ?”

නිහඬතාවයක් යනු බොහෝ දේ සිත අස්සේ දොඩමලු වෙන නිමේෂයකි. ඒ නිහඬ නිමේශය තුළ දුරකතනයේ එහා පස සිට මෙපසට බොහෝ අදහස් හුවමාරු වෙමින් තිබුනද සිත අස්සේ ඒ සිතුවිලි තැන්පත් වූවා මිසක දෙතොල මත ඒවා රැඳවුනේ නැත.

එහෙත් ඒ හැඟීමේ වූයේ සිත සනසාලන උණුසුමකි. ආදර සුවඳ තැවරුණ මුදු බවකි. ඒ සිත මෙතෙක් ඉල්ලමින් සිටි, එහෙත් නොලද හැඟීමක් බව අනුප බිඳෙන් බිඳ තේරුම් ගනිමින් උන්නේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles